Skip to content

පටුනට යන්න

ලස්සන කුරුල්ලෙක් මනරම් ප්‍රදේශයක්

ලස්සන කුරුල්ලෙක් මනරම් ප්‍රදේශයක්

ලස්සන කුරුල්ලෙක් මනරම් ප්‍රදේශයක්

අපි කට්ටියම මාඋවි යන හවායි දූපතට යන්න ආසාවෙන් හිටියේ. විශේෂයෙන්ම අපි බලා සිටියේ හාලියාකෙලා ගිනි කන්ද බලන්න යන්නයි. මේ ස්ථානය පිහිටා තියෙන්නේ මීටර් 3,055ක් විතර උසකින්. ඒ කඳු මුදුන ඉර පායනවා බලන්න කදිම ස්ථානයක් හැටියට ප්‍රසිද්ධයි. හැබැයි වාහනෙන් වුණත් එතනට යන්න පාන්දර දෙකට විතර නැඟිටින්න වෙන එක තමයි අමාරු. අපි හිතුවේ මේ ගමන හුඟක් පාළු එකක් වෙයි කියලයි. ඒත් කොච්චර පාන්දර වුණත් යන වාහන පෝලිම දැකලා අපි පුදුම වුණා. කන්දේ මුදුනට යනකොට හුඟක් සීතලයි. හොඳ වෙලාවට අපි ඒකට සූදානම් වෙලයි ගියේ.

පාන්දර හය වෙද්දී සෑහෙන සෙනඟක් ඇවිල්ලා හිටියා ඉර පායනවා බලන්න. මේ මනරම් දර්ශනයේ ඡායාරූප ගන්න හුඟක් අය සූදානමිනුයි හිටියේ. ඉර පායන්න ඔන්න මෙන්න කියා තියෙද්දීම වලාකුළු ඇවිත් දර්ශනය අඳුරු කෙරුවා. අපි හුඟක් දුක් වුණා. ඒත් මොනවා කරන්නද! කොහොමවුණත් ටික වෙලාවකින් හිරු රශ්මියට වලාකුළු නැති වෙලා ගියා. අපිට ඉර පායනවා බලන්න නම් හම්බ වුණේ නැහැ. ඒත් ගිනි කන්දේ ඇතුළ බලන්න නම් අවස්ථාව ලැබුණා. මේක දැන් අක්‍රියාශීලී ගිනි කන්දක් නිසා හොඳයි. අපි දැක්කා ගිනි කන්ද පුපුරලා එළියට ආපු තැන ලොකු වළක් තියෙනවා. ඒ වගේම ඒකට බහින්න පුංචි අඩි පාරවලුත් තිබුණා.

මේවා බල බල ඉද්දී එකපාරටම “චුකා, චුකා” කියනවා වගේ අමුතු සද්දයක් අපිට ඇහුණා. අපි ටිකක් විපරම් කරලා බලනකොට දැක්කේ චූටි කුරුල්ලෙක්. ඌ වටු පවුලට අයත් රතු පාට කකුල් හා රතු හොටක් තියෙන ලස්සන කුරුල්ලෙක්. (Alectoris chukar) මේක උන්ගේ බෝවීමේ කාලයයි. උන් කූඩු හදාගන්නේ බිම. ඌට පියාඹන්න පුළුවන් වුණාට අපිව දැකලා ඌ පියාඹන්නේ නැතුව දිව්වා.

ඒත් මේ චූටි කුරුල්ලා මෙහාට ආවේණික කුරුල්ලෙක් නෙවෙයි. ඒ වගේම උතුරු අමෙරිකාවේ අය මේ කුරුල්ලන්ව දඩයම් කරනවා. අපි ආවේ ඉර පායන දර්ශනය බලන්නයි, ඒත් අපිට බලන්න ලැබුණේ මේ ලස්සන කුරුල්ලයි.—සපයන ලද්දක්.