Skip to content

පටුනට යන්න

වාහන තදබදයේදී ඉවසීමෙන් සැනසීම

වාහන තදබදයේදී ඉවසීමෙන් සැනසීම

වාහන තදබදයේදී ඉවසීමෙන් සැනසීම

ස්පාඤ්ඤයේ පිබිදෙව්! ලේඛක විසින්

ඔබට හදිසි ගමනක් යන්න තිබෙන නිසා කල් වේලා ඇතුව ඔබ ඒ ගමන යන්න පිටත් වෙනවා. ඒ වගේම නියමිත වෙලාවටත් ඔබ එහි ඉන්න ඕන. එහෙත් හිතපු නැති විදිහට ඔබව වාහන තදබදයකට අසු වෙනවා. දැන් ඔබේ වාහනය යන්නේ ඉබි ගමනින්. වෙලාව ටිකෙන් ටික ගෙවී යද්දී ඔබ කලබලයට පත් වෙනවා. අන්තිමේදී ඔබ නියමිත තැනට ඇවිත් තිබුණත් පැය භාගයක් ප්‍රමාදයි.

නගරවාසීන් අද්දකින එක් හිසරදයක් තමයි නිතර නිතර පාර අවහිර වීම සහ වායු දූෂණය වීම. ඒත් මිලියන ගණන්දෙනෙකුට මෙම දෛනික හිසරදයෙන් මිදීමට ක්‍රමයක් නැහැ.

ටෙක්සස්හි ප්‍රවාහණ පර්යේෂණ ආයතනය එක්සත් ජනපදය ගැන මෙසේ වාර්තා කළා. “වාහන තදබදය නැති තැනක් නැහැ.” නගර කරා වැඩි වැඩියෙන් වාහන ඇදී ඒම නැවැත්වීම සඳහා බලධාරීන්ටත් යමක් කිරීමට හැකියාවක් නැහැ කියා තවදුරටත් එහි වාර්තා වුණා. ලොව පුරාම තත්වය මෙයයි. චීනයේ මහාමාර්ගයක රිය පදවමින් සිටි දහස් ගණනක් කිලෝමීටර් 100ක දුරක් දක්වා දිව ගිය වාහන තදබදයකට මෑතකදී අසු වුණා. මෙම තදබදය හරිගස්වන්න පොලිසියට දවස් කිහිපයක්ම ගත වුණා. එමෙන්ම මෙක්සිකෝ නගරය හරහා කිලෝමීටර් 20ක දුරක් රිය පදවාගෙන යෑමට සාමාන්‍යයෙන් පැය හතරක්වත් ගත වෙනවා. නමුත් කෙනෙකුට එම දුර පයින් යන්න ඒ තරම් කාලයක් ගත වෙන්නේ නැහැ.

වාහන තදබදය වැඩිවීමට හේතුව නාගරික ජනගහනය වැඩිවීමයි. ලෝක ජනගහනයෙන් අඩක්ම පාහේ දැන් ජීවත් වෙන්නේ නගරාසන්න ප්‍රදේශවලයි. එමනිසා එහි වාහන සංඛ්‍යාවත් ඉබේම වැඩි වෙනවා. ඒ ගැන එක් ලේඛකයෙක් පවසන්නේ මෙයාකාරයෙන්. “වාහන තියෙන අයත් වැඩියි, වාහනත් වැඩියි. ඔවුන්ට ඕනෙත් එකම ප්‍රදේශයේ එකම වෙලාවට වාහන පදවන්නයි.”

විසඳුමක් නැති ප්‍රශ්නයක්ද?

වාහනවලින් ගමන් ගන්නා පිරිස වැඩි වන විට වාහන ප්‍රමාණයත් වැඩි වෙනවා. මිලියන හතරක පමණ ජනතාවකගෙන් සමන්විත ලොස් ඇන්ජලිස් නගරයේ සිටින ජන සංඛ්‍යාවට වඩා වාහන සංඛ්‍යාව වැඩියි. වෙනත් නගරවල එතරම්ම සංඛ්‍යාවක් නොතිබිය හැකි වුවත් වැඩි වන වාහන සංඛ්‍යාවට ඔරොත්තු දෙන්න හැකි වන්නේ නගර කීපයකට පමණයි. “නගර සාදා තිබෙන්නේ වාහන ගැන හිතලා නෙවෙයි” කියා පවසන්නේ නගර සභාවේ සභාපති කාලොස් ගූස්මාන් විසින්. කාලයකට පෙර සෑදූ නගරවල මංමාවත් පටු නිසා හරි ඉක්මනින් වාහන තදබදයක් ඇති වෙනවා. නමුත් නව නගරවල පවා විශේෂයන්ම උදෑසන හා සන්ධ්‍යා කාලයේ සේවයට යන එන වේලාවන්වලදී මහාමාර්ග ඉක්මනින්ම අවහිර වෙනවා. ආචාර්ය ෂෝන්පෝල් රොඩ්‍රිග් “නාගරික ප්‍රවාහණ ගැටලු” යන තේමාව යටතේ ලියූ වාර්තාවක මෙසේ සඳහන් කළා. “විශාල නගරවල වාහන තදබදය එන්න එන්නම වැඩි වෙනවා. උදේ හවස කියලා වැඩි වෙනසක් නැහැ.”

වාහන වැඩි වෙන ප්‍රමාණයට සරිලන වේගයකින් මහාමාර්ග ඉදි කිරීමට රජයේ බලධාරීන්ට නොහැකි නිසා මනා ලෙස මාර්ග පද්ධතියක් ගොඩනඟා තිබුණත් වාහන සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වත්ම එයද ප්‍රමාණවත් නැහැ. එක් ප්‍රකාශනයක පැහැදිලි කළේ “නව මාර්ග ඉදි කළත්, මොන ක්‍රියාමාර්ගයක් ගත්තත් කාර්යාල වේලාවන්වල වාහන තදබදය නම් අඩු වෙලා නැහැ” කියාය.—එම ප්‍රකාශනය Stuck in Traffic—Coping With Peak-Hour Traffic Congestion.

වාහන නැවැත්වීමේ පහසුකම් හිඟවීමත් වාහන තදබදයට හේතුවක්. නවත්වන්න තැනක් සොයමින් නගරවල වාහන එහාට මෙහාට යනවා. වාහන තදබදය නිසා සිදු වන වායු දූෂණයෙන් සෑම වසරකම 4,00,000ක් පමණ මිය යන බව පැවසෙනවා. ඉතාලියේ මිලාන්හි වායු දූෂණය සම්බන්ධයෙන් පළ වූ වාර්තාවකට අනුව එම නගරයේ දිනක් ගත කිරීම දුම්වැටි 15ක් උරනවා හා සමානයි.

නාස්ති වන කාලය හා වාහනවලින් යන අයට ඇති වන මානසික පීඩනය ගැනත් සැලකිල්ලට ගත යුතුයි. ඇති වන මානසික පීඩනය මෙතකැයි කියා ගණන් බැලිය නොහැකි වුවත් ඇති වන මූල්‍යමය පාඩුව ගණන් බැලිය හැකියි. එක්සත් ජනපදයේ සිදු කළ අධ්‍යයනයකින් පෙන්වන්නේ එහි විශාල නගර 75ක වාහන තදබදය නිසා වසරකට ඩොලර් බිලියන 70ක් පමණ පාඩු වෙන බවයි. තත්වය යහපත් අතට හැරවීමට හැකි වෙයිද?

තදබදය අවම කිරීමට ක්‍රම කීපයක්

තදබදය අවම කිරීම සඳහා සමහර නගරවල දැනටමත් දැඩි ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙනවා. ලෝකයේ වැඩිම වාහන සංඛ්‍යාව තිබෙන සිංගප්පූරුවේ එක් පාරිභෝගිකයෙකුට මිල දී ගත හැකි වාහන ප්‍රමාණය සීමා කර තිබෙනවා. ඉතාලියේ බොහෝ නගරවල දවසෙන් වැඩි කාලයක් වාහනවලින් ඇතුල් වීම සපුරා තහනම් කර තිබෙනවා.

තවත් සමහර නගරවලට ඇතුල් වීමට රියදුරන්ගෙන් ගාස්තුවක් අය කිරීම විසඳුමක් වී තිබෙනවා. මේ සැලැස්ම නිසා ලන්ඩන් නගරයේ වාහන තදබදය සියයට 30කින් අඩු කර තිබෙන අතර තවත් නගරවල මේ ක්‍රමය අනුගමනය කිරීමට උනන්දුවක් දක්වන බවයි පෙනී යන්නේ. මෙක්සිකෝවේ මෙක්සිකෝ නගරය වැනි නගරවලට ඇතුල් විය හැක්කේ සතියේ ඇතැම් දිනවල පමණයි. වාහනවල අංක අනුව දින වෙන් කර තිබෙනවා.

පොදු ප්‍රවාහණ පද්ධති සහ මහාමාර්ග කාලීනව පිළිසකර කිරීම සඳහා නාගරික බලධාරීන් විශාල මුදලක් යට කර තිබෙනවා. මාර්ග සංඥා පාලනය කිරීමට පරිගණක පද්ධති භාවිත කිරීමටත්, හදිසි අනතුරක් වන අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වීමට පොලිසියේ නිලධාරීන්ව දැනුවත් කිරීමටත් එම බලධාරීන් සැලසුම් යොදා තිබෙනවා. විශේෂයෙන්ම දෙදිසාවටම යා හැකි ධාවන පථ කිපයකින් යුත් මාර්ග සහ බස් රථ ධාවනය සඳහා පමණක් වෙන් කළ ධාවන පථ සකසා තිබීම වාහන තදබදය අවම කරගැනීමට රුකුලක්. නමුත් සාර්ථකත්වය ලැබෙන්නේ ජනයා ඊට දක්වන සහයෝගය මතයි.

ඔබටත් හැකිද යමක් කරන්න?

“අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමති ද, ඔබත් ඒ දේම ඔවුන්ටත් කරන්න” කියා යේසුස් ක්‍රිස්තුස් පැවසුවා. (මතෙව් 7:12, නව අනුවාදය) වාහන තදබදය දරුණු වන අවස්ථා අඩු කරගැනීමට මෙම නැණවත් උපදෙස උපකාරවත් වේවි. එහෙත් එක් එක්කෙනා තම තමන්ගේ පහසුව ගැන පමණක් සිතුවොත් ගෙන තිබෙන හොඳම ක්‍රියාමාර්ග වුවත් නිෂ්ඵල විය හැකියි. ඔබේ නගරයේ ඇති වාහන තදබදයට මුහුණ දිය හැකි යෝජනා කීපයක් මතු දැක්වෙයි.

කෙටි දුරක් යෑමට නම් වාහනයෙන් යනවාට වඩා ඇවිදීම හෝ පාපැදියෙන් යෑම සුදුසු විය හැකියි. බොහෝ අවස්ථාවලදී එය ඉක්මන්, පහසු හා ශරීරයටත් සුවදායී වේවි. දුර ගමනක් සඳහා පොදු ප්‍රවාහණයක් භාවිත කිරීම වඩාත් යෝග්‍ය විය හැකියි. වාහන නිවසේම තබා බස්රියෙන් හා දුම්රියෙන් ගමන් කිරීමට ජනයාව පෙලඹවීම සඳහා දැන් එවැනි සේවාවන් වැඩි දියුණු කිරීමට බොහෝ නාගරික බලධාරීන් වෙහෙසක් දරමින් සිටිනවා. මෙම සේවාවන්වලින් ප්‍රයෝජන ගැනීමෙන් මුදල් ඉතිරි කරගැනීමටත් පුළුවන් වෙයි. සමහරවිට භාගයක් දුර වාහනයෙන් ගොස් නගරයට ඇතුල් වීම සඳහා පොදු ප්‍රවාහණ සේවාවක් යොදාගත හැකියි.

වාහනයකින්ම යෑමට අවශ්‍ය නම් කීපදෙනෙක් එකතු වී වරකට එක්කෙනෙකුගේ වාහනයෙන් යෑම ගැනත් කල්පනා කර බලන්න. වාහන තදබදය වැඩි වේලාවන් අඩු කරගැනීමට මෙය කදිම අවස්ථාවක්. එක්සත් ජනපදයේ සියයට 88ක්ම රැකියාවලට යන්නේ වාහනවලින්. ඔවුන්ගෙන් තුනෙන් දෙකක් පමණ ගමන් ගන්නේ තනිවමයි. කීපදෙනෙක් එක්ව වාහනයකින් යෑමේ ප්‍රයෝජනය ගැන වැඩිදෙනෙකුට ඒත්තුගැන්වීමෙන් “කාර්යාල වේලාවන්වලදී ප්‍රමාද වීම් හා තදබදය සෑහෙන දුරකට අඩු කරගත හැකියි” කියා ඉහත සඳහන් ප්‍රකාශනය පවසනවා. එපමණක්ද නොව බොහෝ ප්‍රදේශවල දෙදෙනෙකු හෝ ඊට වැඩි පිරිසක් ගමන් ගන්නා මෝටර් රථවලට විශේෂ ධාවන පථ වෙන් කර තිබෙනවා. එක්කෙනෙක් පමණක් ගමන් ගන්නා වාහනවලට ඒවාවල යෑම තහනම්.

හදිසියක් නැත්නම් වාහන තදබදය වැඩි අවස්ථාවන් මඟහැරිය හැකි වේලාවන්වල ගමන් බිමන් යන්න. මෙය ඔබටත් අනිත් රියදුරන්ටත් පහසුවක් වේවි. එමෙන්ම ඔබ නිසි ලෙස ඔබේ වාහනය නැවැත්වුවොත් වාහන ගමනාගමනයට එය බාධාවක් නොවේවි. මෙලෙස පුළුවන් තරම් හොඳ සැලසුම් යෙදුවත් වාහන තදබදයකට අසු නොවේවි කියා සහතික කිරීමට නම් නොහැකියි. එවැනි අවස්ථාවල කලකිරීමෙන් වැළකෙන්න පුළුවන් වෙන්නේ නිසි ආකල්පයක් ඇතුව සිටියොත් පමණයි.—කොටුව බලන්න.

ඔබ ජීවත් වෙන්නේ විශාල නගරයක නම් වාහන තදබදයට හැඩගැහෙන්නම සිදු වෙනවා. කෙසේවෙතත් පෞද්ගලිකව යම් පියවර ගැනීමෙන් හා අනිත් රියදුරන් කෙරෙහි ආචාරශීලීව මෙන්ම ඉවසිලිවන්තව සිටීමෙන් වාහන තදබදයෙන් අද්දකින පීඩාවලට සාර්ථකව මුහුණ දෙන්න ඔබට හැකි වෙයි.

[23වන පිටුවේ කොටුව⁄පින්තූරය]

වාහන තදබදයකදී සන්සුන්ව සිටීම

ස්පාඤ්ඤයේ මැඩ්රිඩ්හි ටැක්සි රියදුරෙකු වන හයිමේට වසර 30කට වැඩි කාලයක් පුරාම වාහන තදබදය ඉවසන්න සිදු වුණා. කේන්ති යන අවස්ථාවන් උදා වූ විට ඔහු සන්සුන්ව සිටියේ මෙයාකාරයටයි.

▪ මම කියවීමට දෙයක් ගෙනියනවා. වාහන තදබදයේදී එක තැන සෑහෙන වෙලාවක් රැඳෙන්න වෙනවා නම් කලකිරෙන්නේ නැහැ.

▪ ඉබි ගමනින් යනවා නම් රථයේ ගුවන්විදුලියට හෝ බයිබල් කැසට් පටියකට හෝ සවන් දෙනවා. මේ නිසා වාහන තදබදය ගැන හිත හිතා ඉන්නවා වෙනුවට මට කරන්න දෙයක් තියෙනවා.

▪ බොහෝවිට මම නලාව නාද කරන්නේ නැහැ. මොකද ඒක අනිත් අයට වදයක් විතරක් නෙවෙයි ඒකෙන් වැඩක් වෙන්නෙත් නැති නිසා.

▪ කෝපයෙන් පුපුරන රියදුරන් ළඟ පාත ඉන්නකොට සන්සුන්ව ඉන්නත්, පුළුවන් තරම් ඔවුන්ව මඟහැරලා යන්නත් මම උත්සාහ කරනවා. මේ වගේ වෙලාවට ඉවසීම තමයි හොඳම දේ.

▪ වෙන පාරවල්වලට දාලා යන්න උත්සාහ කරද්දී මම වාහනේ ඉන්න අනිත් අයට ඉඟියක් දෙනවා සමහරවිට දරුණු වාහන තදබදයකට අහුවෙන්න පුළුවන් කියලා. වාහනයෙන් නගරය හරහා යද්දී හරි වෙලාවටම යන එක ලේසි නැහැ.