Skip to content

පටුනට යන්න

සමලිංගික හැඟීම්—පාලනය කරන්නේ කොහොමද?

සමලිංගික හැඟීම්—පාලනය කරන්නේ කොහොමද?

යෞවන අය අසති . . .

සමලිංගික හැඟීම්—පාලනය කරන්නේ කොහොමද?

“අවුරුදු 12දී මට පාසැලේ තවත් ගෑනු ළමයෙකුට ආස හිතුණා. ඒත් මට භය හිතුණා මම සමලිංගිකයෙක් වෙයිද කියලා.”—ඇනා. *

“යෞවන කාලයේදී මගේ හිත ඇදිලා ගියේ අනිත් පිරිමින්ටයි. ඒත් මම දැනගෙන හිටියා එහෙම හැඟෙන එක වැරදියි කියලා.”—ඕලෙෆ්.

“මමයි තවත් ගෑනු ළමයෙකුයි සැරයක් දෙසැරයක් සිපගත්තා. ඒත් මම පිරිමි ළමයින්ටත් කැමතියි. මට මේ මොනවද වෙන්නේ කියලා මට හිතුණා.”—සාරා.

ගැහැනු පිරිමි අතර සම්බන්ධයක් වගේම ගැහැනු ගැහැනු අතරත්, පිරිමි පිරිමි අතරත් සම්බන්ධයක් පැවැත්වීම අද සමාජයේ දකින්න තිබෙන දෙයක්. ඒ නිසා බොහෝ යෞවන අය මෙවැනි දේවල් අත්හදා බලන්න පෙලඹෙනවා. “අපේ ඉස්කෝලේ හුඟක් ගෑනු ළමයි එහෙම නකර විදිහට තවත් ගෑනු ළමයි එක්ක යාළු වෙලා ඉන්නවා. සමහරු දෙගොල්ලෝ එක්කම හාදකම් පවත්වනවා කියලා” 15-හැවිරිදි බෙකී පවසනවා. ක්‍රිස්ටාට වයස අවුරුදු 18යි. ඇය මෙසේ පැවසුවා. “පන්තියේ ගෑනු ළමයි දෙන්නෙක්ම කිව්වා මට කැමතියි කියලා. එක්කෙනෙක් මට ලියුමක් ලියලා කිව්වා ඔයත් ආස නම් ඒකේ රස විඳින්න අපි එහෙම කරලා බලමු කියලා.”

සමලිංගික හැසිරීම ගැන ප්‍රසිද්ධ වී තිබෙන නිසා සමහරවිට ඔබට මේ විදිහට හිතෙන්න පුළුවන්. ‘සමලිංගික සම්බන්ධයක් ඇති කරගැනීම ඇත්තටම වැරදිද? මටත් මේ වගේ ආසාවක් ඇති වුණොත්? ඒකෙන් අදහස් කරන්නේ මම සමලිංගිකයෙක් බවද?’

දෙවි මෙය සලකන්නේ කෙසේද?

අද සමහර ආගමික නායකයන් ඇතුළු බොහෝදෙනෙක් සමලිංගික ඇසුර සලකන්නේ සුළු දෙයක් ලෙසයි. නමුත් බයිබලයේ එය වැරදියි කියා කෙළින්ම පවසා තිබෙනවා. යෙහෝවා දෙවි පුරුෂයන් හා ස්ත්‍රීන්ව නිර්මාණය කළ බවත්, ලිංගික සම්බන්ධකම්වලට අවසර දී තිබෙන්නේ විවාහ වූ පුරුෂයෙක් හා භාර්යාවක් අතර පමණක් බවත් එහි අපට පහදා දෙනවා. (උත්පත්ති 1:27, 28; 2:24) මේ අනුව බලද්දී බයිබලයේ සමලිංගික හැසිරීම හෙළාදැකීම පුදුමයක් නෙවෙයි.—රෝම 1:26, 27.

නමුත් අද බොහෝදෙනෙකුට හැඟෙන්නේ බයිබලයේ කියන දේවල් නවීන සමාජයට ගැළපෙන්නේ නැහැ කියලයි. දාහතර හැවිරිදි මෙගන් කියන දේ බලන්න. “බයිබලයේ තිබෙන දේවල් අපිට නම් ගැළපෙන්නේ නැහැ.” එහෙත් මේ ගැන ටිකක් හිතලා බලන්න. බොහෝදෙනෙක් බයිබලයේ තිබෙන අදහස් ප්‍රතික්ෂේප කරන්නේ ඒවා ඔවුන්ගේ පෞද්ගලික මත එක්ක ගැටෙන නිසයි. ඔවුන් කැමති දේ නෙවෙයි බයිබලයේ ඉදිරිපත් කර තිබෙන්නේ. බයිබලයේ අපිට දිරිගන්වා තිබෙන්නේ පටු විදිහකට නොසිතන්නයි. ඇත්තටම යෙහෝවා දෙවි අපිට දිරිගන්වන්නේ ඔහු අපිට කියන ඕනෑම දෙයක් අපේ යහපත උදෙසා බව මතකයේ තියාගන්න කියායි. (යෙසායා 48:17, 18) මිනිසා ගැන වඩාත් හොඳින්ම දන්නේ ඔහුගේ නිර්මාතෘ වන යෙහෝවා නිසා එය සාධාරණ නොවේද?

සාමාන්‍යයෙන් යෞවන කාලයේ නොයෙක් ආකාරයේ හැඟීම් ඇති වෙන්න පුළුවන්. හිතන්න ඔබ පිරිමි ළමයෙක් කියලා. ඔබේ සිත තවත් පිරිමියෙකුට ඇදී යනවා නම් ඉන් අදහස් කරනවාද ඔබ සමලිංගිකයෙක් කියලා? බයිබලයේ කියන්නේ යොවුන් වියේ “ලිංගික හැඟීම්” ගොඩක් ප්‍රබල වෙනවා කියායි. (1 කොරින්ති 7:36) එයින් අදහස් කරන්නේ අප නොසිතන ආකාරයට අපේ ලිංගික හැඟීම් ඇවිස්සෙන බවයි. ඒ නිසා සමහරවිට ඔබ තවත් පිරිමියෙකුට කැමති වෙන්න පුළුවන්. නමුත් ඉන් අදහස් කරන්නේ නැහැ ඔබ සමලිංගිකයෙක් කියලා. බොහෝවිට මෙවැනි හැඟීම් ටික කාලයකින් නැති වෙනවා. ඒත් තවදුරටත් ඔබ කල්පනා කරයි ‘ඇයි මේ වගේ හැඟීම් ඇති වෙන්නේ’ කියලා.

සමහර අයගේ මතය නම් මෙවැනි හැඟීම් උපතින්ම පිහිටලා තිබෙන බවයි. තවත් සමහරුන් කියන්නේ එය සමාජයේ බලපෑම් මත ඇති වෙනවා කියායි. නමුත් මෙවැනි හැඟීම් තනි හේතුවකට සීමා කරන්න බැහැ. එය ඊට වඩා සංකීර්ණ දෙයක්. මේ ලිපිය පළ කර තිබෙන්නේ ඒ ගැන සාකච්ඡා කිරීමට නම් නොවෙයි.

කොහොමවුණත් බයිබලය සමලිංගික ක්‍රියා හෙළාදකිනවා යන කාරණය අප මතක තබාගැනීම වැදගත්. එසේනම් අපි අපේ හැඟීම් පාලනය කරගන්නවාද නැත්නම් ඒ හැඟීම් අපිව පාලනය කරනවාද? උදාහරණයකට කෙනෙක් පහසුවෙන් “උදහසට පෙලඹෙන” බව හිතන්න. (හිතෝපදේශ 29:22, න. අ.) අතීතයේදී කෝප වූ අවස්ථාවල ඔහු හිතේ හැටියට තම කෝපය පිට කරන්න ඇති. නමුත් බයිබලය අධ්‍යයනය කළායින් පසු ආත්ම දමනයෙන් ක්‍රියා කරන්න අවශ්‍යයි කියා ඔහුට වැටහෙනවා. එහෙම වුණත් විටින් විට ඔහුට කේන්තියක් ඇති වෙන්න පුළුවන්. නමුත් බයිබලයේ කියන දේ දන්නා නිසා ඔහු ඒ කේන්තිය පාලනය කරගන්නවා. සමලිංගික හැඟීම් ඇතිවීම ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකමයි. විටින් විට අප තුළ එවැනි හැඟීම් ඇති වුණත් බයිබලය සමලිංගික ඇසුර හෙළාදකින බව අප දන්නා නිසා අපට පුළුවන් අපේ හැඟීම් පාලනය කරගන්න.

සමහරවිට කෙනෙක් තුළ තිබෙන මෙවැනි නුසුදුසු හැඟීම් ඉතා ප්‍රබලයි. නමුත් අධෛර්යය වෙන්න එපා. ප්‍රබල හැඟීම් වුණත් පාලනය කරගන්න පුළුවන්. (1 කොරින්ති 9:27; එෆීස 4:22-24) ඇත්තටම ඔබ ජීවත් වන ආකාරය පාලනය කළ යුත්තේ ඔබයි. (මතෙව් 7:13, 14; රෝම 12:1, 2) කවුරු මොනව කිව්වත් ඔබට මෙවැනි හැඟීම් පාලනය කිරීමට උත්සාහ කරන්න පුළුවන්. ඒ වගේම නුසුදුසු ක්‍රියාවලින් සම්පූර්ණයෙන්ම වළකින්න පුළුවන්.

සමලිංගික ක්‍රියා ප්‍රතික්ෂේප කිරීමට . . .

සමලිංගික ක්‍රියාවලින් වැළකී සිටින්න නම් කුමක් කළ හැකිද?

පළමුව යාච්ඤා කරන්න. යෙහෝවා දෙවි “ඔබ ගැන සලකන නිසා” ඔබේ හිතේ තිබෙන සියලුම කරදර ඔහුට භාර දෙන්න. (1 පේතෘස් 5:7; ගීතාවලිය 55:22) එවිට ඔබේ සිතට සමාදානයක් දැනෙයි. එමගින් ඔබේ ‘සිත හා මනස’ආරක්ෂා වන අතර දෙවිගෙන් ‘සාමාන්‍යය ඉක්මවූ බලයත්’ ලැබෙනවා. දැන් ඔබට පහසුවක් වෙයි ඒ වැරදි ක්‍රියාවලින් වැළකී සිටින්න. (ෆිලිප්පි 4:7; 2 කොරින්ති 4:7) මට මේ මොනවද වෙන්නේ කියලා බයෙන් සිටි සාරා පවසන්නේ මෙයයි. “යාච්ඤාව නම් මට නැතුවම බැරි දෙයක්. මගේ සිතුවිලි පාලනය කරගන්න අමාරු අවස්ථාවලදී මම යාච්ඤා කරනවා. යෙහෝවා තමයි මගේ ශක්තිය.”—ගීතාවලිය 94:18, 19; එෆීස 3:20.

දෙවනුව ඔබේ හිත පිරිසිදු යහපත් දේවලින් පුරවගන්න. (ෆිලිප්පි 4:8) බයිබලය දිනපතා කියවන්න. ඔබව යහමඟ යවන්න එයට පුදුම බලයක් තිබෙනවා. (හෙබ්‍රෙව් 4:12) ජේසන් නම් තරුණයාගේ අදහස මෙයයි. “බයිබලයේ තිබෙන සමහර පද උදාහරණයකට 1 කොරින්ති 6:9, 10 සහ එෆීස 5:3 මට ලොකු රුකුලක් වුණා. නුසුදුසු හැඟීම් ඇති වන ඕනෑම වෙලාවක මම මේ බයිබල් පද තමයි කියවන්නේ.”

තුන්වනුව කාමුක දර්ශන සහ සමලිංගික ඇසුර ගැන මාධ්‍යයේ පවසන දේවල් ප්‍රතික්ෂේප කරන්න. * මේවායින් කාටවත් යහපතක් නම් වෙලා නැහැ. (ගීතාවලිය 119:37; කොලොස්සි 3:5, 6) සමහර චිත්‍රපටිවල සහ රූපවාහිනි වැඩසටහන්වල සමලිංගික ඇසුර ඉදිරිපත් කරන්නේ ඕනෑම කෙනෙකුට තෝරාගත හැකි විකල්පයක් ලෙසයි. ඇනා නම් තරුණිය කියන්නේ මෙවැනි විකෘති ආකල්ප තමාට ගොඩක් බලපෑ බවයි. “ඒ නිසා මගේ මනස තවත් අවුල් වුණා. දැන් නම් මම ඒ වගේ දේවලිනුත් ඒ වගේ පුද්ගලයන්ගෙනුත් ඈත් වෙලයි ඉන්නේ.”—හිතෝපදේශ 13:20.

හතරවනුව කතා කරන්න. විශ්වාසවන්ත දැනුම් තේරුම් ඇති කෙනෙක් සමඟ ඔබේ අදහස් බෙදාගන්න. (හිතෝපදේශ 23:26; 31:26; 2 තිමෝති 1:1, 2; 3:10) සභාවේ වැඩිමහල්ලෙකුගේ උපකාර ලබාගත් ඕලෙෆ් ඒ ගැන කියන්නේ මෙසේයි. “ඔහු මට හොඳ උපදෙස් දුන්නා. මම මීට කලිනුයි ඔහුත් එක්ක මේ ගැන කතා කරන්න තිබුණේ.”

අතහරින්න එපා!

නමුත් සමහරුන් මෙහෙමත් කියනවා. ඔච්චර මහන්සි වෙන්නේ නැතුව ඔබ ඒ වගේ නම් ඒ විදිහට ඉන්න. නමුත් බයිබලය එවැනි අදහසකට එකඟ වෙන්නේ නැහැ. එහි පෙන්නුම් කරන්නේ සමලිංගිකයන් ලෙස සිටි ඇතැම් මුල් ක්‍රිස්තියානීන් ඔවුන්ගේ ජීවිත වෙනස් කළ බවයි. (1 කොරින්ති 6:9-11) එමනිසා ඔබටත් එවැනි ක්‍රියාවලින් වැළකී හැඟීම් පවා පාලනය කරගන්න පුළුවන්.

නිතර ඒ හැඟීම් ඇති වෙනවා නම් මට මේකෙන් ගොඩ එන්න බැහැයි කියා සිතමින් ඔබේ උත්සාහය අතහරින්න එපා. (හෙබ්‍රෙව් 12:12, 13) අපි සියල්ලන්ට විවිධ අවස්ථාවලදී වැරදි සිතුවිලි සමඟ පොරබදින්න සිදු වෙනවා. (රෝම 3:23; 7:21-23) ඔබේ උත්සාහය අත් නොහැරීමේ ප්‍රතිඵලයක් ලෙස කල් යත්ම ඒ හැඟීම් පහ වෙලා යන්න පුළුවන්. (කොලොස්සි 3:5-8) වැදගත්ම දේ නම් දිගටම යෙහෝවා දෙවිගේ පිහිට පැතීමයි. දෙවි ඔබට හුඟාක් ආදරෙයි. ඔබ සතුටින් ඉන්නවා දකින්න ඔහු කැමතියි. (යෙසායා 41:10) මේක මතක තියාගන්න: “යෙහෝවා කෙරෙහි විශ්වාසය තබා යහපත්කම් කරන්න. [එවිට] ඔහු ඔබේ සිතෙහි කැමැත්ත ඉෂ්ට කරන්නේය.”—ගීතාවලිය 37:3, 4.

[පාදසටහන්වල]

^ 3 ඡේ. මේ ලිපයේ තිබෙන්නේ සැබෑ නම් නොවෙයි.

^ 19 ඡේ. දැන් දැන් සමාජයේ සමහර පිරිමින් අතර අලුත්ම රැල්ලක් දකින්න පුළුවන්. මොවුන් තමා වෙතටත් තමාගේ පෙනුම වෙතටත් ඕනෑවට වඩා වැඩි අවධානයක් දෙනවා. එනිසා ඔවුන් සමලිංගිකද නැද්ද කියා වුණත් පැහැදිලිව හඳුනාගන්න බැහැ. එක් කෙනෙකුගේ අදහස වුණේ මෙයයි. “මේ වගේ පුද්ගලයන් වැඩියෙන්ම ආදරය කරන්නේ තමාටමයි. එනිසා ලිංගිකව හැසිරෙද්දී ඔවුන් බලන්නේ තමාගේ ආශාවන් පිනවාගන්න පමණයි. එමනිසා එම ආශාවන් ගැහැනු කෙනෙක් හෝ පිරිමි කෙනෙක් තුළින් හෝ දෙදෙනාගෙන්ම ඉෂ්ට කරගන්න එක ඔවුන්ට ප්‍රශ්නයක් නොවෙයි.” එක් විශ්වකෝෂයක සඳහන් වන ආකාරයට “එම රැල්ල දැන් ජනප්‍රිය වී තිබෙන්නේ සමාජයේ දැන් වැඩි වැඩියෙන් සමලිංගිකයන්ව පිළිගැනීම නිසයි. ඒත් සමඟම පිරිමියෙක් කියන්නේ කවුද යන ආකල්පයත් වෙනස් වී තිබෙනවා.”

මේ ගැන සිතන්න

▪ දෙවි සමලිංගික ඇසුර හෙළාදකින්නේ ඇයි?

▪ ඔබට මෙවැනි හැඟීම් ඇත්නම් කුමක් කළ හැකිද?

▪ උපකාර ලබාගැනීමට කතා කළ හැක්කේ කා සමඟද?

[30වන පිටුවේ පින්තූරය]

හොඳ අද්දැකීම් ඇති බයිබල් ප්‍රමිතිවලට ගරු කරන වැඩිහිටියෙකුගේ උපකාර ලබාගන්න