Skip to content

පටුනට යන්න

ස්වාල්බාඩ් හිමෙන් වැසී ගිය දේශය

ස්වාල්බාඩ් හිමෙන් වැසී ගිය දේශය

ස්වාල්බාඩ් හිමෙන් වැසී ගිය දේශය

නෝර්වේහි පිබිදෙව්! ලේඛක විසින්

ස්වාල්බාඩ් කියන්නේ උත්තර ධෘවයේ අක්ෂාංශ අංශක 74ත් 81ත් අතර පිහිටා තිබෙන දූපත් සමූහයකටයි. ගුවන් යානයෙන් එහි යන අපිට වලාකුළු අස්සෙන් යද්දී මුකුත්ම පේන්නේ නැහැ. එකපාරටම වලාකුළු අතරින් එළියට එද්දි බලන බලන හැම පැත්තම අයිස්වලින් වැහිලා තියෙනවා පේනවා. ඒ වගේම හිමවලින් වැසුණ විශාල අයිස් කඳු, ෆියෝඩ හා ග්ලැසියර්වලින් පිරි ලස්සන දර්ශනයකුයි දකින්න තියෙන්නේ.

ස්වාල්බාඩ් යන නම අයිස්ලන්තයේ මුල් වතාවට වාර්තා වුණේ 1194දීයි. එහි අර්ථය වන්නේ “සීත වෙරළ තීරය” යන්නයි. නමුත් මේ ප්‍රදේශය ප්‍රසිද්ධ වුණේ 1596දීයි. එම අවුරුද්දේ විලෙම් බැරන්ට්ස්ගේ නායකත්වය යටතේ ඕලන්ද ගවේෂකයන් පිරිසක් උතුර දක්වා නැවකින් පිටත් වෙලා තියෙනවා. ඒ යන අතරතුරේ එක් දවසක එම පිරිසෙන් එක් අයෙක් නාඳුනන කඳු යායක් සහිත ගොඩබිමක් දැක්කලු. ඔවුන් නොදැනුවත්වම ඇවිත් තිබුණේ ස්වාල්බාඩ්හි වයඹ පැත්තටයි. ඔවුන් එම ප්‍රදේශය නම් කර තිබුණේ “උල් කඳු” කියායි. ස්වාල්බාඩ් දූපත් සමූහයේ විශාලම දූපතට තවමත් තිබෙන්නේ එම නමයි. පසු කාලවලදී ස්වාල්බාඩ් ප්‍රදේශය තල්මසුන්, සීල් මසුන් හා වෙනත් සතුන් දඩයම් කිරීමටත් ගවේෂණ කිරීමටත් ප්‍රසිද්ධ තැනක් වුණා. ඒ වගේම ගල් අඟුරු කර්මාන්තය, විද්‍යාත්මක පර්යේෂණ මෙන්ම සංචාරක ව්‍යාපාරයත් මෙහි කෙරීගෙන ගියා. විවිධ රටවල් මේ ව්‍යාපාර සඳහා පෙරමුණ ගත්තත් 1925 සිට ස්වාල්බාඩ් දූපත් සමූහය අයිති වුණේ නෝර්වේවලටයි.

අධික සීතල හා උත්තරාලෝකය

අපේ ගුවන් යානය දැන් ස්වාල්බාඩ් ගුවන් තොටුපොළට ආවා. අපි කුලියට වාහනයක් අරන් ලෝන්ග්ඉයර්බයින් නගරයට යනවා. මේ නම හැදිලා තියෙන්නේ මේ හේතුව නිසයි. වර්ෂ 1906දී ඇමෙරිකන් ජාතිකයෙක් වන ජෝන් එම්. ලෝන්ග්ඉයර් ඇවිත් තිබෙනවා මෙහේ ගල් අඟුරු කර්මාන්තය කරන්න. ඔහුව සිහි කිරීම සඳහායි එම නම මෙම නගරයට දීලා තියෙන්නේ. ස්වාල්බාඩ් නගරයේ තිබෙන විශාලම නගරය මෙයයි. මෙහි 2,000ක් පමණ ජනගහනය සිටිනවා. අපිට හිතාගන්නවත් බැහැ මෙවැනි දුෂ්කර පළාතක මේ වගේ නගරයක් තියෙනවා කියලා. එහි සුපිරි වෙළඳසැලක්, තැපැල් කන්තෝරුවක්, බැංකුවක්, මහජන පුස්තකාලයක්, පාසැල්, ළදරු පාසැල්, තානායම්, අවන්හල් හා රෝහලක් යනාදියත් තිබෙනවා. ඔවුන්ටම කියා පුවත්පතක්ද මුද්‍රණය කරනවා. ලෝකයේ උතුරෙන්ම තිබෙන විශාලතම නගරය මෙයයි.

අපි නැවතිලා ඉන්නේ ලස්සන තානායමක. කලින් ඒක සාදා තිබුණේ පතල්කරුවන්ට නතර වීම සඳහායි. එම ස්ථානයේ සිට බලන අපිට ලෝන්ග්ඉයර්බයින් නගරය හා යෝට්ෆියලේට් කන්ද මවන්නේ සුන්දර දසුනක්. මේ ප්‍රදේශයේ පිහිටා තිබෙන වෙනත් ගොඩබිම්වලට වඩා මෙහි තිබෙන දේශගුණය ටිකක් හොඳයි. මෙහේ ගිම්හාන කාලය තිබෙන්නේ අප්‍රියෙල් 20 සිට අගෝස්තු 23 දක්වායි. එම මාසවලදී දිගටම ඉර පායනවා. ඒ කියන්නේ මධ්‍යම රාත්‍රියේ වුණත් ඉර එළිය දකින්න ලැබෙනවා. ඒත් මෙම ප්‍රදේශයේ අධික සීතලක් තිබෙන නිසා භූමියේ තිබෙන අයිස් සම්පූර්ණයෙන්ම දිය වෙන්නේ නැහැ. ගිම්හාන කාලයේදී වුණත් මතුපිට තිබෙන අයිස් තට්ටුව විතරයි දිය වෙන්නේ. ශීත ඍතුවේ එනම් ඔක්තෝබර් 26ත් පෙබරවාරි 16ත් අතර කාලයේදී ඉර සම්පූර්ණයෙන්ම පායන්නේ නැති නිසා දවල් වරුවේ වුණත් ගොම්මන් අඳුරක් තමයි පැතිර තිබෙන්නේ. එහි දකින්න ලැබෙන තවත් විශේෂ දෙයක් වෙන්නේ විටින් විට අහසෙහි විශාල ප්‍රදේශයක් පුරා පැතිර යන විවිධ පාටින් යුත් එළිය. ඒකට කියන්නේ උත්තරාලෝකය කියලයි.

ශාක වර්ග හා සතුන්

උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ අටයි. නමුත් අහසත් පැහැදිලි නිසා අපි සංචාරයක යෙදෙන්න සූදානම්. අපේ මඟ පෙන්වන්නා අපිව දැන් අරන් යන්නේ සාකොෆෝගන් කන්ද සහ ලෝන්ග්ඉයබ්‍රීන් ග්ලැසියරය පෙන්වන්නයි. මේ අතරේ ඔහු අපිට මෙහේ හැදෙන මල් වර්ග ගැන විස්තර කරනවා. හරි පුදුමයි ඒවා වර්ග 170ක් විතර තියෙනවාලු. බහුලව දකින්න ලැබෙන වර්ග දෙකකින් එකක් නම් ස්වාල්බාඩ් පොපි මල, අනික තමයි ඉතා සුවඳ දම්පාට මල් වර්ගය.

අපි දැන් තවත් ටිකක් දුරට යනවා. කුරුල්ලෙකුගේ අඩි සලකුණු පේන්න තියෙනවා. සැවුල් කුලයට අයත් එක කුරුළු විශේෂයක් විතරයි ස්වාල්බාඩ්වලට ආවේණික වෙලා තියෙන්නේ. වෙනත් ගලුවියන් හා මුහුදු ලිහිණි වර්ග මේ ප්‍රදේශයට ආවත් උන් ඇත්තටම සංචාරක කුරුල්ලන්. ස්වාල්බාඩ්වලට එන ලිහිණින්ගෙන් එක් විශේෂයක් ආක්ටික් මුහුදු ලිහිණීන්. උන් දක්ෂ සංචාරකයන්. උන් උතුරු අර්ධගෝලයේ සිට දකුණු අර්ධගෝලයේ ඇන්ටාක්ටිකාව දක්වා පියාසර කරනවා.

දැන් අපි තව ටික දුරක් ඉදිරියට යනවා. හිම නරියාගේ අඩි සලකුණුත් දකින්න තියෙනවා. මේ කපටි සතා සාමාන්‍යයෙන් අහු වෙන ඕනෙම දෙයක් කනවා. විටින් විට කුරුලු පැටවුන්වත් කුරුලු බිත්තරත් හොයාගෙන කාලා දානවා. ස්වාල්බාඩ්වල වෙසෙන සතුන් දෙදෙනාගෙන් අනික් සතා තමයි පිනිමුවා. උන් නම් ටිකක් හීලෑයි. ඒ නිසා අපි ටිකක් ළඟට ගිහින් ඡායාරූප කිහිපයක් ගමු. මේ සතා වැඩිය උස නැහැ. ඒ වගේම ශීත ඍතුව ළඟ නිසා උන් හොඳට මහත් වෙලා ඊට සූදානමිනුයි ඉන්නේ.

ආක්ටික් ප්‍රදේශයේ රජා තමයි හිමවලසා. උන්සීල් මසුන් අල්ලාගන්න පාවෙන අයිස් කුට්ටිවල වැඩි කාලයක් ඉන්න නිසා මේ ප්‍රදේශයේ අය උන්ව හඳුන්වන්නේ හිමවලස් මාළුවා කියලයි. ඒ වගේම මේ විශාල සතුන් ස්වාල්බාඩ්හි නිතර නිතර දකින්න ලැබෙන හින්දා අපේ මඟ පෙන්වන්නා තුවක්කුවකුත් අරගෙනයි අපිත් එක්ක ආවේ. වර්ෂ 1973 සිට හිමවලසුන් දඩයම් කිරීම තහනම් කරලයි තියෙන්නේ. කවුරුහරි දඩයම් කළා නම් ඒ ගැන පුළුල් පරීක්ෂණයකුත් පවත්වනවා. මේ නිසා හිමවලස් ගහනය වැඩි වෙලා. ඒත් උන්ගේ අනාගතය නම් සැක සහිතයි. ආක්ටික් ප්‍රදේශය ඉතා පවිත්‍ර සුදුම සුදු දේශයක් හැටියට පෙනුණත් පරිසර දූෂණය මේ ප්‍රදේශයට බෙහෙවින් බලපාලා තියෙනවා. පරිසරයේ තිබෙන විෂ සහිත ද්‍රව්‍යයන් හිමවලසාගේ ශරීරයට ඇතුල් වීම උන්ගේ බෝවීමේ හැකියාව අඩුවීමට බලපානවා.

අන්තිමට අපි සාකොෆෝගන් කන්දේ මුදුනට ආවා. මේ කඳු මුදුනේ සිට ඈත තිබෙන කඳු යායවලුත් කදිමට දැක බලාගන්න පුළුවන්. නිරිතදිග පැත්තෙන් ස්වාල්බාඩ්හි ඇති තවත් ප්‍රසිද්ධ කන්දක් දකින්න ලැබෙනවා. ඒකට ඉර එළිය වැටෙද්දී හරිම ලස්සනයි. කඳු පාමුල තිබෙන ලෝන්ග්ඉයර්බයින් නගරය පේන්නේ හරියට සෙල්ලම් ගෙවල් ගොඩක් හදලා වගේ. අපිට උඩින් තිබෙන්නේ ලා නිල් පැහැති අහස. අපි හරියට ලෝකෙ මුදුනේ ඉන්නවා වගේයි අපිට හැඟෙන්නේ. මෙතන ඉදන් අපි පාන් කාලා උණු වතුරයි බ්ලැක්කරන්ට් නම් පලතුරකුයි දාලා හදපු බීම ටිකකුත් බිව්වා. දැන් ලෝන්ග්ඉයර්බයින් ග්ලැසියරය හරහා කන්ද බහින්නයි අපි ලෑස්ති වෙන්නේ.

ගල් අඟුරු කර්මාන්තය හා වඳ වී යන සතුන්

අපේ ඊළඟ සංචාරය ලෝන්ග්ඉයර්බයින්වලට ආසන්නව තිබෙන ගල් අඟුරු පතලකට යෑමයි. ආරක්ෂිත ඇඳුමකුයි, ඉදිරියෙන් එළියක් සවි කළ හිස්වැසුමකුයි දාගෙන අපේ මඟ පෙන්වන්නා පස්සෙන් අපිත් පතලට රිංගනවා. අපේ මඟ පෙන්වන්නා අපිට කිව්වේ 1900 ගණන්වල ඉඳලම ස්වාල්බාඩ්වල ආර්ථිකයට ගල් අඟුරු කර්මාන්තය ලොකු පිටුවහලක් වෙලා තිබෙනවා කියලායි. නවීන දින පතල් හාරන්නේ යන්ත්‍ර සූත්‍ර මගින් වුණත් ඉපැරණි කාලවල එම කාර්යයෙහි යෙදුණ අයට නම් එය ලේසි වුණේ නැහැ. එදා ඔවුන් වැඩ කරද්දී නිතරම ඉඳලා තියෙන්නේ කොයි වෙලාවේ හරි පතලක් කඩාගෙන වැටෙයිද කියන භයෙන්. පතල් අස්සේ ඉද්දි සද්දෙත් වැඩියි හුස්මගන්නත් අමාරුයි. ඒ වගේම සමහර පතල්වල උස අඩි දෙකක් විතර ඇති. ඒවායේ වැඩ කරන අයට බඩගාගෙනයි යන්න වෙන්නේ. අපිත් ඒ වගේ පුංචි පතලකට රිංගන අවස්ථාවේදීයි අපිට තේරුණේ ඉස්සර අය මේවා කරලා තියෙන්නේ කොච්චර අමාරුවෙන්ද කියලා. මෑත දශකවලදී සංචාරක ව්‍යාපාරයද ස්වාල්බාඩ්හි වැඩි වැඩියෙන් සිදු වෙනවා.

ආක්ටික් ප්‍රදේශයේ සිටින සතුන්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ල වූ කාලයක් තිබුණා. ඒ කාලයේදී තල්මසා, වොල්රස් හෙවත් දළතල්මසා, පිනිමුවා, හිමවලසා සහ අනිකුත් සතුන්ව විශාල පරිමාණයෙන් දඩයම් කරලා තිබෙනවා. උන්ව කොතරම් දඩයම් කළාද කියනවා නම් මේ සතුන් වඳ වී යෑමටත් ඉඩ තිබුණා. නමුත් දැන් මේ සතුන්ව ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබෙනවා.

භූ විද්‍යාඥයන්ට කදිම පෙදෙසක්

ස්වාල්බාඩ් ප්‍රදේශයේ ගස් කොළන් අඩුවෙන් තිබෙන නිසා මෙය භූ විද්‍යාඥයන්ට කදිම ප්‍රදේශයක් ලෙස නම් කර තිබෙනවා. පස් වර්ග තට්ටු වශයෙන් සැකසී කඳු සෑදී තිබෙන ආකාරය දකින විට අපිටත් පැහැදිලිවම තේරෙන්නේ මේ ප්‍රදේශය භූ විද්‍යාඥයන්ට හුඟක් වටිනා ස්ථානයක් කියලයි. මේ එක් එක් පස් තට්ටුවලින් භූ විද්‍යාඥයන්ට ඓතිහාසික යුගයන් ගැන විස්තර සොයාගැනීමට හැකියි. පස් තට්ටුවලින් සමහර ඒවා සෑදී තිබෙන්නේ මැටි හා වැලිවලින්. තවත් සමහර ඒවා සෑදී තිබෙන්නේ දිරාපත් වූ සත්ව කොටස් හා ශාක කොටස්වලිනුයි. මේ ඕනෑම පස් තට්ටුවකින් ෆොසිල සොයාගන්නත් පුළුවන්.

දැන් අපි ඉන්නේ ස්වාල්බාඩ් කෞතුකාගාරයේ. සත්ව හා ශාක ෆොසිල ගැන අධ්‍යයනය කරන්න හොඳ අවස්ථාවක් මේක. සාමාන්‍යයෙන් මේ සතුන් ජීවත් වෙන්නේ හා මේ වගේ ශාක තිබෙන්නේ ටිකක් උණුසුම් ප්‍රදේශවලයි. ඒ වගේම සාමාන්‍යයෙන් ශාක අනුභව කරන ඩයිනෝසරයන්ගේ ෆොසිලත් ස්වාල්බාඩ්වලින් සොයාගෙන තිබෙනවා. ස්වාල්බාඩ්හි සමහර තැන්වල මීටර් 5ක ගනකමින් යුත් ගල් අඟුරු තට්ටු තිබෙනවා. මේ සියල්ලෙන් අපිට පැහැදිලි වන්නේ මීට අවුරුදු දහස් ගණනකට ඉහතදී මෙම දූපත්වල උෂ්ණත්වය දැනට වඩා වැඩියෙන් තිබුණ බවයි.

ඒත් මෙතරම් විශාල ලෙස දේශගුණික වෙනස්කම් සිදු වෙන්නේ කොහොමද කියලා අපි එක් භූ විද්‍යාඥයෙක් වන ටර්ෆින් ෂානෙට්ගෙන් ඇසුවා. ඔහු ලෝන්ග්ඉයර්බයින්හි පතල් කර්මාන්තයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ නියෝජිතයෙක්. ඔහු අපිට කිව්වේ භූ විද්‍යාඥයන්ගේ මතයට අනුව ස්වාල්බාඩ් දූපත් පිහිටා තිබෙන පෘථිවි තලය සමහරවිට මුලින්ම සමකය ළඟ තියෙන්න ඇති; නමුත් එය ක්‍රම ක්‍රමයෙන් ඉහළට ගිය නිසයි කලින් උණුසුම්ව තිබූ මේ දූපත්වල දැන් අධික ශීතලක් පවතින්නේ කියලා. නවීන දින ලැබී තිබෙන චන්ද්‍රකා දර්ශනවලින් පෙනී යන්නේ මේ දේ තවමත් සිදු වෙමින් පවතින බවයි. සෑම වසරකම ස්වාල්බාඩ් දූපත් පිහිටා තිබෙන භූ තලය සෙන්ටිමීටර් කිහිපයකින් ගෝලයේ ඊසාන දෙසට ගමන් කරනවා.

දැන් අපේ සංචාරය ඉවරයි. අපි නැවතත් ස්වාල්බාඩ් සිට ගුවන් යානයෙන් ආපහු යනවා. අපිට සොඳුරු මතකයන් හුඟක් තියෙනවා. අපේ ගුවන් යානය දැන් නැවත වතාවක් වලාකුළු අස්සෙන් පියාසර කරනවා. කන්දක් හෝ දෙකක් වලාකුළුවල ගෑවෙන නොගෑවෙන තරම් නිසා ඒවා දැකගන්න පුළුවන් වුණත් වෙන මුකුත්ම පේන්නේ නැහැ. කොහොමවුණත් අපි එහිදී දැක්ක මනරම් දර්ශන මෙන්ම ඒ ප්‍රදේශයට අනුව සකස් වුණ සතුන් හා ශාක, ඒ සියල්ලේ නිර්මාතෘ ගැනත් ඔහුගේ ලස්සන මැවිලි මිනිසා විසින් රැකගත යුතු බවත් අපිට මතක් කර දෙනවා.

[24වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

උත්තර ධෘවය

ග්‍රීන්ලන්තය

ස්වාල්බාඩ්

ලෝන්ග්ඉයර්බයින්

75°උ

අයිස්ලන්තය

නෝර්වේ

60°උ

රුසියාව

[25වන පිටුවේ පින්තූරය]

ලෝන්ග්ඉයර්බයින් නගරය

[25වන පිටුවේ පින්තූරය]

දුෂ්කර ආක්ටික් දේශගුණයේ පවා විවිධ මල් වර්ග දැකගන්න ලැබෙයි. මේ දම් පැහැති මල ඉන් එකක්

[හිමිකම් විස්තර]

Knut Erik Weman

[26වන පිටුවේ පින්තූරය]

ස්වාල්බාඩ් දූපතට ආවේණික කුරුල්ලා හා පිනිමුවා

[හිමිකම් විස්තර]

Knut Erik Weman