Skip to content

පටුනට යන්න

අලුත් භාෂාවක් ඉගෙනගනිමු!

අලුත් භාෂාවක් ඉගෙනගනිමු!

අලුත් භාෂාවක් ඉගෙනගනිමු!

“ඒ අද්දැකීම ගැන විස්තර කරන්න මට වචන නැහැ” කියා පැවසුවේ මයික්. ෆෙල්ප්ස් කිව්වේ මෙහෙමයි. “මම ගත්ත හොඳම තීරණය ඒකයි.” මේ දෙදෙනාම කතා කරන්නේ අලුත් භාෂාවක් ඉගෙනගැනීමට තිබෙන අභියෝගය ගැනයි.

ලොව පුරා සිටින බොහෝදෙනා පෞද්ගලික, ආර්ථික හෝ ආගමික වැනි විවිධ හේතු නිසා වෙනත් භාෂාවක් ඉගෙනගැනීමට තීරණය කරනවා. වෙනත් භාෂාවක් ඉගෙනගන්නා කිහිපදෙනෙක් සමඟ පිබිදෙව්! සාකච්ඡාවක් කළා. ඔවුන්ගෙන් ඇසූ ප්‍රශ්නවලින් දෙකක් වුණේ, වැඩිහිටියෙක් හැටියට භාෂාවක් ඉගෙනගන්න එක ලේසි දෙයක්ද මේක කරන්න කෙනෙකුට උපකාරවත් වන්නේ මොන වගේ දේවල්ද යන්නයි. ඔබත් අලුත් භාෂාවක් ඉගෙනගනිමින් සිටිනවා නම් හෝ ඉගෙනගැනීමට තීරණය කරනවා නම් ඔවුන්ගේ අදහස්වලින් යම් ප්‍රයෝජන ගත හැකි වෙයි. මෙම ලිපියේ සඳහන් වන්නේ ඔවුන්ගේ අදහසුයි. උදාහරණයකට අලුත් භාෂාවක් ඉගෙනගැනීමේදී තිබිය යුතුම ගුණාංග කීපයක් ගැන ඔවුන් පැවසූ දෙය අපි බලමු.

ඉවසීම, නිහතමානීකම හා නම්‍යශීලීත්වය

සාමාන්‍යයෙන් කුඩා දරුවන්ට එක විට භාෂාවන් කීපයක් ඉගෙනගන්න හැකියාව තිබෙනවා. භාෂාවකට සවන් දීමෙන් පමණක්ම ඔවුන්ට ඒ භාෂාව ඉගෙනගන්න පුළුවන්. නමුත් වැඩිහිටියන්ට අලුත් භාෂාවක් ඉගෙනගැනීම පහසු කාර්යයක් නොවෙයි. සමහරවිට අවුරුදු ගණනාවක් වුණත් ගත වෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන්ට ඉවසීම අවශ්‍යයි. ඔවුන් ඉතා කාර්ය බහුල අය නම් ඒ සඳහා වෙනත් වැඩකටයුතු පවා දෙවැනි තැනට දමා අමතර කාලයක් සොයාගන්න වෙයි.

ජෝජ්ගේ අදහස මෙයයි. “නිහතමානිකම අත්‍යවශ්‍යයි. මොකද අලුත් භාෂාවක් ඉගෙනගද්දී පොඩි ළමයෙක් වගේ කතා කරන්න නිහතමානී වෙන්න ඕන. සමහර අය ඔබව සලකන්නෙත් පොඩි ළමයෙක් විදිහටයි.” මේ ගැන හව් ටු ලර්න් එ ෆොරින් ලැන්ග්වේජ් යන පොතේ මෙසේ සඳහන් වුණා. “භාෂාව දියුණු කරගන්න අවශ්‍ය නම් ඕනෑවට වඩා තමන් ගැන හිතන්න හොඳ නැහැ.” බෙන් මෙසේ පැවසුවා. “ඔබේ අතින් වරදක් වෙන්නේ නැත්නම් ඒකෙන් අදහස් වෙන්නේ ඔබ ඒ භාෂාව අවශ්‍ය ප්‍රමාණයට භාවිත කරන්නේ නැහැ කියන එකයි.”

ඔබ කියන දෙයකට වෙනත් අය හිනා වුණත් තරහ නොගෙන ඔවුන් එක්කම ඔබත් හිනා වෙන්න. කවදාහරි දවසක ඔබ කියපු දේවල් ගැන කියද්දී ඔබටම හිනා යයි. ඒ වගේම ඕනෙ තරම් ප්‍රශ්න අහන්න. යමක් යම් ආකාරකින් කියන්නේ ඇයි කියා තේරුම්ගත්තොත් මතකයේ තබාගැනීමට එය ඔබට උපකාරයක් වේවි.

ඇත්තටම අලුත් භාෂාවක් ඉගෙනගන්නවා කියන්නේ අලුත් සංස්කෘතියකුත් ඉගෙනගැනීමයි. එමෙන්ම එය නම්‍යශීලී වීමටත්, පටු අදහස්වලින් ඉවත් වීමටත් උපකාරයක්. “අලුත් භාෂාවක් ඉගෙනගන්න විටයි මට පැහැදිලි වුණේ යම් දෙයක් කරන්න විවිධ ක්‍රම තියෙනවා වගේම යම් දෙයක් කියන්නත් විවිධ වචන තියෙනවා කියලා. ඒ වගේම භාෂා දෙකක් අතර එකක් උසස් එකක් පහත් කියලා භේදයකුත් නැහැ” කියා ජූලි පැහැදිලි කළා. ජේ යෝජනා කළේ මෙයයි. “ඒ භාෂාව කතා කරන අය සමඟ හොඳ මිත්‍රත්වයක් ඇති කරගන්න. ඔබ ඔවුන්ට, ඔවුන්ගේ ආහාර පාන හා සංගීතය වැනි දේට උනන්දුවක් දක්වන බව ඔවුන් දකිද්දී ඉබේම ඔවුන් ඔබට කිට්ටු වෙයි.” එහෙත් ක්‍රිස්තියානීන් තමන්ගේ ආශ්‍රිතයන් හැටියට තෝරගන්නේ අසභ්‍ය භාෂාවක් කතා නොකරන සුදුසු අයවයි.—1 කොරින්ති 15:33; එෆීස 5:3, 4.

ඔබ එම අලුත් භාෂාව අධ්‍යයනය කරන හා පරිහරණය කරන තරමටයි ඔබට දියුණු විය හැකි වන්නේ. ජෝජ් එය විස්තර කළේ මේ ආකාරයටයි. “කුරුල්ලෙක් ඇටෙන් ඇටේ කෑම අහුලනවා වගේ තමයි අපිත් ටිකෙන් ටික භාෂාවක් ඉගෙනගන්නේ. ඒත් ටිකෙන් ටික ඉගෙනගත් දේ එකතු කළාම සෑහෙන දෙයක් අපි ඉගෙනගෙන තියෙනවා.” බිල් මිෂනාරිවරයෙක්. ඔහුට භාෂා කිහිපයක්ම කතා කරන්න පුළුවන්. ඔහු කියන්නේ මෙහෙමයි. “මම යන යන තැනට වචන ලැයිස්තුව අරගෙන ගියා. ලැබෙන හැම අවස්ථාවකදීම ඒවා බැලුවා.” බොහෝ අයගේ අද්දැකීම වී තිබෙන්නේ නිතිපතා පාඩම් කිරීමට කෙටි වේලාවක් යොදාගැනීම, ඉඳ හිට විශාල කාලයක් ගැනීමට වඩා සාර්ථක බවයි.

අද දින භාෂාවක් ඉගෙනගැනීම සඳහා පොත් පත්, කැසට් පටි හෝ වීඩියෝ පටි වැනි විවිධ මෙවලම් තිබුණත් බොහෝදෙනා කියා සිටින්නේ ඔවුන් එකට එකතු වෙලා පන්ති කාමරයේදී ඉගෙනගත් දේ මතකයේ රැඳුණ බවයි. ඉගෙනගැනීම සඳහා ඔබ කුමන ක්‍රමය යොදාගත්තත් අමතක නොකළ යුතු දේ නම් අඛණ්ඩ වෑයම අත්‍යාවශ්‍යය යන කාරණයයි. ඒ වගේම ඔබට මෙය රසවත් අද්දැකීමක් කරගත හැකියි.

ඉගෙනගන්නා අතරතුරේදී ඉන් වින්දනයක් ලැබිය හැකි එක් ආකාරයක් ගැන ජෝජ් මෙසේ කිව්වා. “මූලික දේවල් ඉගෙනගත්තට පස්සේ පුළුවන් නම් ඒ භාෂාව කතා කරන රටකට යන්න.” බාබ් කියන්නෙත් ඊට සමාන දෙයක්. “ඒ භාෂාව කතා කරන රටකට ගියොත් ඔබට ඒ භෂාව හොඳින් තේරුම්ගන්න පුළුවන් වෙයි.” එවැනි පරිසරයක සිටීමෙන් ක්‍රම ක්‍රමයෙන් එම අලුත් භාෂාවෙන්ම සිතන්නත් ඔබ පුරුදු වෙයි. කෙසේවෙතත් හැමෝටම වෙනත් රටකට යන්න ලැබෙන්නේ නැහැ. ඒත් කනගාටු වෙන්න එපා. එම භාෂාව ගැනත් එම රටේ සංස්කෘතිය ගැනත් ඔබේම රටේ සිට ඉගෙනගැනීමට අවස්ථාවන් තිබිය හැකියි. උදාහරණයකට එම භාෂාවෙන් සුදුසු හා ප්‍රයෝජනවත් පොත් පත්, රූපවාහිනි හා ගුවන්විදුලි වැඩසටහන් තිබෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ජීවත් වන ප්‍රදේශයේ එම භාෂාව කතා කරන අය සිටී නම් ඔවුන් සමඟ ආශ්‍රය කරන්න. කලින් සඳහන් කළ ප්‍රකාශනයේ මෙසේ පවසා තිබුණා. “භාෂා ශෛලිය දියුණු කරගන්න නම් වැදගත්ම දෙය වන්නේ එම භාෂාව භාවිත කිරීමයි.” *

ඔබේ දියුණුව මනින්න

අලුත් භාෂාවක් ඉගෙනගනිමින් යද්දී ඔබටම හිතෙන්න පුළුවන් ඔබ යම් මට්ටමකට ඇවිත් එතනින් එහාට දියුණුවක් නැහැ කියලා. මේ වගේ අවස්ථාවකදී ඔබට කරන්න පුළුවන් කුමක්ද? පළමුව, අලුත් භාෂාවක් ඉගෙනගැනීමට තීරණය කළ හේතුව නැවත මතක් කරගන්න. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගෙන් බොහෝදෙනෙක් වෙනත් භාෂාවක් ඉගෙනගන්නේ අනිත් අයට බයිබලය ගැන කියා දීමටයි. ඔබ මෙය කරන්නේ ඇයි කියා නැවත මතක් කරගැනීමෙන් ඔබට හැකි වෙයි දියුණු වෙන්න.

දෙවනුව, සාධාරණ බලාපොරොත්තු තබාගන්න. කලින් සඳහන් කළ පොතේ මෙසේද පවසා තිබෙනවා. “ඒ රටේ කෙනෙක් වගේ චතුර ලෙස ඔබට ඒ භාෂාව කතා කරන්න බැරි වෙයි. නමුත් කනස්සලු වෙන්න එපා. ඔබට වැදගත් වෙන්නේ අනිත් අයට ඔබ කියන දේ තේරුම්ගන්න හැකිද කියන එක විතරයි.” ඔබේ මව්භාෂාව වගේම චතුර ලෙස කතා කරන්න අවශ්‍යයි කියා නොසිතා ඉගෙනගෙන තිබෙන දේවල් භාවිත කරන්න.

තුන්වනුව, මෙතෙක් ලබා ඇති දියුණුව දෙස බලන්න. උදාහරණයකට ඔබ තණ කොළ දෙස බලා සිටිද්දී එය වැඩෙන ආකාරය නොදැක්කත් දිනෙන් දින ටිකෙන් ටික එය වැඩෙනවා. ඒ හා සමානව ඔබත් ආපසු හැරී බැලුවොත් කිසිම සැකයක් නැහැ ඔබට පෙනේවි ඔබ කොතරම් දියුණු වෙලාද කියලා. ඔබේ දියුණුව අනිත් අයත් එක්ක සන්සන්දනය කරන්න එපා. ඒ සඳහා කදිම උපදෙසක් බයිබලයේ ගලාති 6:4හි තිබෙනවා. “නමුත් එකිනෙකා තම තමාගේ වැඩය කෙබඳුදැයි තමාටම ඔප්පු කරගන්න. එවිට, එකිනෙකා සමඟ සැසඳීම් නොකර තමා ගැනම බොහෝ සෙයින් සතුටු වීමට ඔහුට හේතු තිබෙනු ඇත.”

හතරවනුව, ඔබේ වෑයම දිගු කාලීන ව්‍යාපෘතියක් ලෙස සලකන්න. මේ ගැන හිතන්න. අවුරුදු තුනක හෝ හතරක දරුවෙක් කතා කරන්නේ කොහොමද? දරුවා ලොකු වචන හෝ නිසි ව්‍යාකරණ පාවිච්චි කරයිද? ඇත්තෙන්ම නැහැ! නමුත් අවශ්‍ය දේ කොහොමහරි කියමින් සාකච්ඡාවක් පවත්වගන්න ඒ දරුවාට පුළුවන්. දරුවෙකුට වුණත් භාෂාවක් හරියාකාරයෙන් හැසිරවීමට අවුරුදු කිහිපයක් ගත වෙනවා. එමනිසා ක්ෂණික දියුණුවක් බලාපොරොත්තු වෙන්න එපා.

පස්වනුව, හැකි සෑමවිටම අලුත් භාෂාව භාවිත කරන්න. බෙන් පවසන්නේ මෙසේයි. “අලුත් භාෂාව නිතර කතා කරන්නේ නැති වුණාමයි මට හිතෙන්නේ මම දියුණු වෙලා නැහැ කියලා.” ඒ නිසා කතා කරන්න, කතා කරන්න, නොකඩවා කතා කරන්න! කුඩා දරුවෙක් වගේ කතා කරන්න සිද්ධ වුණාම ටිකක් අධෛර්ය වෙන්න පුළුවන්. ඒත් ඒක ස්වභාවිකයි. “මට අවශ්‍ය දේ, අවශ්‍ය වෙලාවට කියාගන්න බැරිවීම තමයි අමාරුම දේ” කියා පැවසුවේ මිලේවියි. නමුත් ඒ අධෛර්ය වීමම තව තවත් දියුණු වෙන්න පෙලඹීමක් විය හැකියි. “කතාවක් හරි විහිළුවක් හරි තේරෙන්නේ නැති වුණාම කලකිරෙනවා. එහෙම වුණ නිසයි මට දියුණු වෙන්න පෙලඹීමක් ඇති වුණේ” කියා මයික් පැවසුවා.

උදව් කරන්නේ කොහොමද?

අලුත් භාෂාවක් කතා කරන්න උත්සාහ කරන කෙනෙකුට උදව් කරන්න පුළුවන් කොහොමද? කලින් සඳහන් කළ බිල් කියන්නේ මේ ආකාරයටයි. “වේගයෙන් කතා නොකර පැහැදිලිව වචන උච්චාරණය කරන්න. තොඳොල් භාෂාවෙන් නම් කතා කරන්න එපා.” ජූලි මෙසේ පැවසුවා. “ටිකක් ඉවසන්න. ඔවුන් යමක් කියාගෙන යද්දී ඔබ ඔවුන් වෙනුවෙන් වාක්‍යය අවසන් කරන්න එපා.” ටෝනි පැවසුවේ මෙයයි. “භාෂා දෙකක් කතා කරන්න පුළුවන් අය මාත් එක්ක මගේ මව්භාෂාවෙන් කතා කරද්දී ඇත්තටම මගේ දියුණු වීම අඩපණ වෙනවා.” මේ නිසා සමහර අය තමන්ගේ මිතුරන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන් ඉගෙනගනිමින් සිටින අලුත් භාෂාවෙන්ම කතා කරන්න සහ දියුණු විය යුතු පැති පෙන්නන්න කියලයි. අලුත් භාෂාවක් ඉගෙනගන්න අයගේ උත්සාහයන් ගැන අගය කිරීමම ඔවුන්ට දිරිගැන්වීමක් වෙනවා. එය හරියට ජෝජ් කියූ දේ වගෙයි. “මම සාර්ථක වුණේ මගේ යාළුවන්ගේ ආදරය හා දිරිගැන්වීම් නිසයි.”

වෙනත් භාෂාවක් ඉගෙනගැනීමට ගන්නාවූ උත්සාහය වටිනවාද? “ඇත්තෙන්ම වටිනවා.” එහෙම කිව්වේ භාෂා කිහිපයක්ම කතා කළ හැකි බිල්. ඔහු තවදුරටත් මෙසේ පැවසුවා. “මේකෙන් මට මා ගැනත්, අනිත් අය හිතන්නේ කොහොමද කියලත් තේරුම්ගන්න පුළුවන් වුණා. වෙනත් භාෂාවක් කතා කරන අයට බයිබල් සත්‍යය කියා දීලා ඔවුන් එතුළ දියුණු වෙනවා දකිද්දි ඒ භාෂාව ඉගෙනගන්න මම දරපු වෙහෙස අමතක වෙලා යනවා. විවිධ භාෂාවන් 12ක් කතා කරන්න පුළුවන් භාෂා විශාරදයෙක් සැරයක් මට මෙහෙම කිව්වා. ‘ඔයා හරි පුදුම කෙනෙක්. මම භාෂා ඉගෙනගන්නේ විනෝදෙට, ඒත් ඔයා එහෙම කරන්නේ ඇත්තටම අනිත් අයට උදව් කරන්න ඕනෙ නිසයි.’”

[පාදසටහන]

[11වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

අන් අයට උපකාර කිරීමට තිබෙන ආශාව තවත් භාෂාවක් ඉගෙනගැනීමට විශාල පෙලඹීමක්