Skip to content

පටුනට යන්න

කම්චැට්කා අරුම පුදුම දේශයක්!

කම්චැට්කා අරුම පුදුම දේශයක්!

කම්චැට්කා අරුම පුදුම දේශයක්!

රුසියාවේ පිබිදෙව්! ලේඛක විසින්

කම්චැට්කා කියන්නේ රුසියාවේ තිබෙන අර්ධද්වීපයකටයි. මීට අවුරුදු 300කට වැඩි කාලයකට පෙර රුසියාවේ ගවේෂකයන් පිරිසක් පැසිෆික් සාගරයේ නැඟෙනහිර පැත්තට යද්දී ඔවුන් දැක තිබෙනවා කඳු සහිත අර්ධද්වීපයක්. මේ අර්ධද්වීපය පිහිටා තිබෙන්නේ ඔකොට්ස්ක් මුහුද හා බීරිං මුහුද අතරයි. මෙම අර්ධද්වීපය ඉතාලියට වඩා ටිකක් විශාල වුණත් බොහෝදෙනා මේ ප්‍රදේශය ගැන දන්නේ නැහැ.

බ්‍රිතාන්‍යයට කෙළින්ම වගේ පිහිටා ඇති මෙම අර්ධද්වීපයේ තිබෙන්නේ සිසිල් දේශගුණයක්. වෙරළ තීරයේ සීතල කාලයට වුණත් එතරම් සීතලක් නැහැ. නමුත් රට මැදට යද්දී නම් හිමත් වැටෙනවා. සමහර තැන්වල මීටර් 6ත් 12ත් අතර උසකට හිම වැටී තිබෙනවා. ග්‍රීෂ්ම කාලයේදී මේ අර්ධද්වීපයේ මීදුම වගේම හුළඟත් සැරයි. ලැබෙන වැස්ස හා තිබෙන සරු පස නිසා ගස් කොළන් වුණත් හරිම සාරවත්. මෙහි විවිධ වර්ගයේ බෙරි ගස්, මෙන්ම මිනිසෙකුගේ තරම් උසට වැඩුණ තණ කොළ හා විවිධ කැලෑ මල් වර්ගත් දක්නට ලැබෙනවා. ඉන් එක් රෝස වර්ගයක් ඔවුන් හඳුන්වන්නේ තැන්නේ රැජින කියලයි.

මෙහි පුදුමාකාර ගස් වර්ගයක් තිබෙනවා. ඒවායේ කඳ සහ අතු තද සුළඟ හා වැටෙන හිම නිසා ඇඹරිලා ගිහින්. ඒත් මේ ගස් වර්ගයේ ඕනෑම තත්වයකට ඔරොත්තු දීමේ හැකියාව නම් ඉතා ඉහළයි. මේවා සරුවට වැඩුණත් ගස වර්ධනය වෙන්නේ හුඟක් හෙමින්. සාමාන්‍යයෙන් ගසක් වැඩෙන්නේ කෙළින් අතටයි. ඒත් මේවා සමහර කඳු බෑවුම්වල හරස් අතටත් වැඩෙනවා. මේ ගස්වල කොළ හටගන්නේ ජූනි මාසයේදීයි. ඒත් නැවතත් අගෝස්තු මාසයේ සිට සීත කාලය පටන්ගනිද්දී මේවායේ කොළ හැළීමත් ආරම්භ වෙනවා.

ගිනි කඳු, ගීසර හා උණු දිය උල්පත්

කම්චැට්කා අර්ධද්වීපය පිහිටා තිබෙන්නේ පැසිෆික් සාගරයේ භූ චලන වැඩියෙන්ම සිදු වන ස්ථානයක නිසා එහි ක්‍රියාකාරී ගිනි කඳු 30ක් පමණ තිබෙනවා. ඉන් එකක් වන්නේ ක්ලවිචෙව්ස්කයා ගිනි කන්දයි. “එය ඉතා අලංකාර කේතු හැඩයේ” ගිනි කන්දක් ලෙසයි හඳුන්වා තිබෙන්නේ. මෙම කන්ද මුහුදු මට්ටමේ සිට මීටර් 4,750ක් උසට යන අතර මේ ප්‍රදේශයේ තිබෙන උසම ගිනි කන්දත් මෙයයි. රුසියානු ගවේෂකයන් කම්චැට්කාවලට මුලින්ම ගිය අවස්ථාව වන 1697 සිට මේ දක්වා ගිනි කඳු පිපිරීම් 600කට වඩා මේ ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

වර්ෂ 1975ත් 1976ත් අතර කාලයේදී ටෝල්බාචික් ප්‍රදේශයේ පොළොව පැළිලා ලාවා ගලන්න පටන් අරන් තිබෙනවා. එදා ඇති වූ පිපිරීමෙන් ගින්දර සහ අළු මීටර් 2,500කට වඩා ඉහළට විසි වෙලා. අවුරුදු එකහමාරක් තිස්සේ දිගටම මේ ආකාරයට පිපිරීම් සිදු වී තිබෙනවා. මේවායේ ප්‍රතිඵලයක් ලෙස අලුත් ගිනි කඳු හතරක්ම ඇති වෙලා. ඒ වගේම කලින් තිබූ ගංගාවන් හා විල් සහිත කැලෑ සම්පූර්ණයෙන් විනාශ වී ගිහින්. තවත් විශාල ප්‍රදේශයක් කාන්තාරයක් බවටත් පත් වෙලා.

ගිනි කඳු පුපුරන ස්ථාන සාමාන්‍යයෙන් ජනාකීර්ණ නැහැ. ඒ නිසා මේ වගේ සිදුවීම්වලට අසු වී මිය ගොස් තිබෙන්නේ මිනිසුන් කිහිපදෙනෙක් විතරයි. කෙසේවෙතත් මෙහි එන සංචාරකයන් ඉතා පරෙස්සම් විය යුතු දෙයකුත් තිබෙනවා. ඒ කෙක්පෙන්යෙක් ගිනි කන්ද පාමුල තිබෙන මිටියාවතට විශේෂයෙන්ම වසන්ත කාලයේදී සුළං හමන්නේ නැති දවස්වලට ගිනි කඳුවලින් පිටවන විෂ වායුව මේ මිටියාවතේම රැඳීම. මෙහි ලොකුම තර්ජනය තිබෙන්නේ වන සතුන්ටයි. එක් අවස්ථාවකදී වලසුන් දසදෙනෙකුගේ හා වෙනත් කුඩා සතුන් කිහිපදෙනෙකුගේ මළකුණු හමු වී තිබෙනවා. මේ සතුන් මිය ගොස් ඇත්තේ විෂ වායුවේ බලපෑමට ලක්වීම නිසයි.

මෙහි එක ගිනි කන්දක මුඳුනේ තිබෙන්නේ විශාල වළක්. එය නම් කර තිබෙන්නේ ඌසොන් කල්දේරාව ලෙසයි. එතැනට යන කෙනෙකුට දකින්න ලැබෙන්නේ තැනින් තැන උණු වී කැකෑරෙන මඩවළවල්, උණු දිය උල්පත් හා ළිංවල පාට පාට ලස්සන ඇල්ගි වර්ග. එතැනට ටිකක් නුදුරින් තිබෙන්නේ ගීසර මිටියාවතයි. මෙහි සමහර තැන්වලින් විනාඩි දෙක තුනකට සැරයක් වතුර මලකින් වතුර විදිනවා වගේ උණු වතුර ඉහළට විදිනවා. තවත් තැන්වලින් දවස් කිහිපයකට සැරයක් තමයි එහෙම වෙන්නේ. වර්ෂ 1941දී සොයාගත් මේ ප්‍රදේශයට දැන් ගුවන්යානා මගින් සංචාරකයින්ව අරන් යනවා. මේ මනස්කාන්ත පරිසරය තිබෙන්නේ පෙට්‍රොපැව්ලොව්ස්ක් කම්චැට්ස්කි නම් නගරයේ සිට කිලෝමීටර් 180ක් උතුරට වෙන්නයි. කෙසේවෙතත් එහි යෑමට අවසර ලැබෙන්නේ සංචාරකයින් සීමිත සංඛ්‍යාවකට පමණයි. ඊට හේතුව සංචාරකයින් වැඩි වන තරමටම මෙහි සිදු වන පරිසර දූෂණයද වැඩිවීමයි. එය වළක්වාගැනීමටයි. කම්චැට්කාහි ප්‍රදේශ හයක්ම ලෝක සංරක්ෂිත කලාප ලෙස නම් කර තිබෙනවා.

කම්චැට්කාවල උණු දිය උල්පත් බොහොමයක් තිබෙනවා. ඉන් වැඩි ප්‍රමාණයකින් සෙල්සියස් අංශක 30ත් 40ත් අතර අගයකින් වතුර පිටවීම බොහෝ සංචාරකයින්ව පුදුමයට පත් කරවන කාරණයක්. වර්ෂය පුරාම මේ උණු දිය උල්පත්වලින් වතුර උනන නිසා ශීත කාලයට මෙයින් ලැබෙන්නේ කියා නිම කළ නොහැකි උපකාරයක්. මේවාවල භූ තාපයෙන් විදුලි බලයත් නිපදවා තිබෙනවා. රුසියාවේ මේ ආකාරයේ විදුලි බලාගාරයක් මුල්වරට පිහිටෙව්වේත් මේ අර්ධද්වීපයේයි.

විවිධ සතුන්

කම්චැට්කා ප්‍රදේශයේ සිටින සතුන් කිහිපදෙනෙක් ගැන දැනගනිමු. ඉන් එක් සතෙක් වෙන්නේ වලසායි. වලසුන් 10,000ක් විතර මෙහි සිටිනවා. සාමාන්‍යයෙන් මෙම වලසෙක්ගේ බර කිලෝ 150ත් 200ත් අතර ප්‍රමාණයක් වෙයි. ඒත් උන්ව දඩයම් නොකර නිදැල්ලේ ජීවත් වෙන්න දෙනවා නම් උන්ගේ බර මේ වගේ තුන්ගුණයක් වුණත් වෙන්න පුළුවන්. මෙහි සිටින ආදිවාසීන් අතර මතයක් තිබුණා වලසා කියන්නේ මිනිසාගේ “සහෝදරයෙක්” කියලා. ඒ නිසා ඔවුන් වලසුන්ව අගය කළා විතරක් නෙවෙයි උන්ට ගරු කළා. ඒත් මිනිසුන්ට ගිනිඅවි ලැබීමත් සමඟම මේ සහෝදරත්වය ටිකෙන් ටික බිඳ වැටෙන්න පටන්ගත්තා. සංරක්ෂිත කලාපවල නිලධාරීන් දැන් මේ සත්වයා කවදාහරි මුළුමනින්ම නැති වෙයිද කියා කල්පනා කරනවා.

සාමාන්‍යයෙන් වලසුන් උන්ගේ පාඩුවේ ඉන්න නිසා වැඩිය මිනිසුන් ගැවසෙන ස්ථානවල දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් මත්ස්‍යයන් බෝ වෙන කාලයේ, එනම් ජූනි මාසය වෙද්දී උන් රංචු පිටින් ගංගා අසලට එන්නේ රස බොජුනක් සොයාගෙනයි. ඒ සැමන් මත්ස්‍යාවයි. එක් වලසෙකුට සැමන් මසුන් 24ක් විතර එක සැරයකට කාලා දාන්න පුළුවන්. ඒත් ඇයි මේ වලසුන් මෙතරම් කෑදර? හේතුව, උන්ට සීත කාලයට ඔරොත්තු දෙන්න ශරීරයේ තෙල් තට්ටුවක් අවශ්‍යය වීමයි. සාමාන්‍යයෙන් උන් සීත කාලයේදී කරන්නේ කෑම හොයාගෙන එළියට යන්නේ නැතුව ගුහාවලට වෙලා නිදාගන්න එකයි. ඒ නිසා ග්‍රීස්ම කාලයේදී හොඳට කාලා මේ තෙල් තට්ටුව හදාගන්න අවශ්‍යයි.

සැමන් මත්ස්‍යාව අල්ලගන්න තවත් කෑදරයෙක් බලන් ඉන්නවා. ඒ රාජාලි විශේෂයක්. මේ කුරුල්ලන් බොහෝදුරට කළු පාටයි. තටුවල මුල්හරිය සුදුයි. එතැන් සිට තටුවේ අග දක්වා කළුයි. පෙඳයත් සුදුයි. මේ කුරුල්ලාගේ විශාලත්වය කියනවා නම් එක් තටුවක කෙළවරේ සිට අනිත් තටුවේ කෙළවර දක්වා දිග මීටර් 2.5ක් පමණ වෙනවා. දැනට මේ කුරුල්ලන් 5,000ක් පමණ මෙහි සිටින අතර එම සංඛ්‍යාවත් ටිකෙන් ටික අඩු වී ගෙනයි යන්නේ. කම්චැට්කා අර්ධද්වීපයේ හැරුණුකොට මේ කුරුල්ලාව ඇලස්කාවට අයිති ඇලූෂන් හා ප්‍රිබිලොෆ් දූපත්වලත් කලාතුරකින් දක්නට ලැබෙනවා. උන් සෑම අවුරුද්දකම පාවිච්චි කරන්නේ එකම කූඩුවයි. ඒ කූඩුවෙත් අවශ්‍ය වෙනස්කම් කරගෙන එහිම වාසය කරනවා. එක් අවස්ථාවක මීටර් 3ක් පමණ විශාල කූඩුවකුත් සොයාගත්තා. මේ කූඩුව කොතරම් බරද කිව්වොත් කූඩුව තනා තිබූ ගහත් දෙකට පැළිලා ගියා.

ජන ජීවිතය

අද දින කම්චැට්කාවල වැඩියෙන්ම ජීවත් වන්නේ රුසියානුවන්. ඒ වගේම ඒ රටටම ආවේණික වූ ගෝත්‍රිකයනුත් ඉන්නවා. මෙහි සිටින විශාලම ගෝත්‍රය තමයි උතුරේ සිටින කොරියැක් ගෝත්‍රය. ඊට අමතරව චූක්චේ හා ඊටල්මෙන් යන ගෝත්‍රත් සිටිනවා. මේ එක් එක් ගෝත්‍රිකයන්ට ඔවුන්ටම ආවේණික වූ භාෂාවක්ද තිබෙනවා. කම්චැට්කාවේ ජනයා වැඩියෙන්ම ජීවත් වන්නේ පෙට්‍රොපැව්ලොව්ස්ක් කම්චැට්ස්කි කියන ප්‍රධාන නගරයේයි. මේ අර්ධද්වීපයේ අනෙකුත් පැතිවල ජනගහනය ඉතා අඩුයි. ඒ වගේම වෙරළබඩ තීරයේ හා ගංගා ආශ්‍රිතව තිබෙන ගම්මානවලට යන්න පාරවලුත් නැහැ. ඒවාට යනවා නම් යන්න වෙන්නේ ගුවන්යානයකින් හරි බෝට්ටුවකින් හරි තමයි.

කම්චැට්කා ආර්ථිකයට උර දෙන්නේ ධීවර කර්මාන්තයයි. විශේෂයෙන්ම මේ ප්‍රදේශයෙන් අල්ලන යෝධ රතු කකුළුවන්. ඒ කකුළුවන් සඳහා මේ තැන හුඟක් ප්‍රසිද්ධයි. මේ යෝධයාගේ විශාල අඬු දෙක විදාහාගත් විට එක් අඬුවක සිට අනිත් අඬුව දක්වා දිග මීටර් 1.7ක් පමණ වෙනවා. නිකමට සිතා බලන්න. මේ වගේ යෝධයෙක් වෙළෙන්දෙක් තියාගෙන ඉන්නවා දැක්කොත් ඔබ කොතරම් පුදුම වෙයිද කියලා!

වර්ෂ 1989 සිට යෙහෝවාගේ සාක්ෂිකරුවනුත් නිතරම කම්චැට්කාවට යනවා. ඒ මුහුදේ සිටින මසුන් අල්ලන්න නෙවෙයි. නමුත් යේසුස් කියූ ආකාරයට සංකේතවත් මසුන් වර්ගයක් අල්ලන්නයි. ඔවුන් මෙහි සිටින අයට දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය ප්‍රකාශ කරනවා. (මතෙව් 4:19; 24:14) මෙහි සිටින සමහර අය ශුභාරංචියට හොඳ ප්‍රතිචාර දක්වලා ඔවුනුත් අනිත් අයට මේ ගැන කියනවා. ඒ විතරක් නෙවෙයි ඔවුන් නිර්මාතෘ වන යෙහෝවා දෙවිව හඳුනාගෙන ඔහුට නමස්කාර කරන අතර ඔහුගේ මැවිල්ලට නමස්කාර කිරීම අත්හැර දමලා. එහි තවත් ප්‍රතිඵලයක් වී තිබෙන්නේ මේ මනුෂ්‍යයන් භූත බලපෑමවලට තිබූ භයෙන් නිදහස් වීමයි. (යාකොබ් 4:7) මොවුන් ආසාවෙන් බලා සිටින්නේ සියලු දුෂ්ටකමත් සියලුම දුෂ්ට අයත් නැති වෙලා ‘ජලයෙන් මුහුද පිරී තිබෙන්නාක් මෙන් යෙහෝවා ගැන දැනගැන්මෙන් පොළොව පිරෙන’ දවස පැමිණෙන තුරුයි.—යෙසායා 11:9.

[18වන පිටුවේ කොටුව⁄පින්තූර]

පුංචි පාරාදීසයක්

ඌසොන් කල්දේරාව සෑදී තිබෙන්නේ පුරාණ ගිනිකන්දක් පිපිරීමෙන්. එය දැන් කිලෝ මීටර් දහයක පමණ විෂ්කම්භයකින් යුත් විශාල ප්‍රදේශයක්. එදෙස නෙත් යොමද්දී පෙනෙන්නේ කඳු වළල්ලකින් වටවී තිබෙන ආකාරයක්. එක් පොතක මේ ස්ථානය ගැන විස්තර කරන්නේ “කම්චැට්කා පරිසරය තුළ දක්නට ලැබෙන සියලුම දේවල් මෙතනත් දකින්න ලැබෙනවා” කියායි. මේ ස්ථානයේ උණු දිය හා සිසිල් දිය උල්පත්, උණු වී කැකෑරෙන මඩවළවල්, හන්සයන් හා මාළු සිටින විල් වගේම සාරවත් ගස් කොළන්වලින්ද ගහනයි.

“මේ වගේ ලස්සන තැනක් ලෝකයේ වෙන කොහේවත් නැති තරම්” කියා මිරැකල්ස් ඔෆ් කම්චැට්කා ලෑන්ඩ් නම් පොතේ මේ ප්‍රදේශය ගැන වර්ණනා කරයි. ශරත් සමය ඉතා කෙටි වුණත් ඒ කාලයට මෙහි අසිරිය කියා නිම කරන්න බැහැ. තැනිතලාව රතු පාටින් දිස් වෙන අතර ගස්වල කොළ කහ පාටින් ලෙළ දෙනවා. ඊට අමතරව උණු වී කැකෑරෙන මඩවළවලින් පිටවන දුම නිල්වන් අහස බලා පිටත් වෙනවා. ඒ වගේම සීතලට ගස්වල කොළවල අයිස් මිදිලා. සෑම හිමිදිරි උදෑසනකම අයිස් මිදුණු කොළ දහස් ගණනින් පොළොවට පතින වෙන්නේ හරියට වීදුරු කැට කඩා හැළෙනවා වගෙයි.

[19වන පිටුවේ කොටුව]

මාරාන්තික විලක්!

කාරිම්ස්කි නම් විල පිහිටා තිබුණේ කාලයක් අක්‍රීයව තිබූ ගිනි කන්දකයි. කෙසේවෙතත් හදිසියේම 1996දී මෙම ගිනි කන්ද පිපිරුණා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ විලේ මීටර් දහයක පමණ උසකට විශාල රැලි නැඟ තිබෙනවා. එමගින් අවට මුළු ප්‍රදේශයම විනාශ වී ගියා. අනිත් විපත තමයි පිපිරීම නිසා ඇති වූ අළු වර්ෂාව. නමුත් එම විලෙන් කිසිම මත්සයෙකුගේවත්, අවට ප්‍රදේශයෙන් සතෙකුගෙවත් මළ කුණක් දක්නට ලැබුණේ නැහැ කියා ඇන්ඩෘ ලෝගන් පැවසුවා. ඔහු කියා සිටියේ මෙලෙසයි. “විලේ මාළු විශාල ප්‍රමාණයක් හිටියත් මේ පිපිරීමෙන් පස්සේ එම ජලයේ කිසිම ජීවියෙකුට ඉන්න බැරි තත්වයක් ඇති වුණා.” ඒත් සමහරවිට මාළුන් කිහිපදෙනෙක් ඉතිරි වෙන්න ඇති. විද්‍යාඥයන් සිතන්නේ, මෙම පිපිරීමට කලින් ජලයේ ඇති වූ යම් රසායනික විපර්යාසයක් නිසා අනතුරක් ඇති බවට ඉඟියක් ලැබී කාරිම්ස්කි විලේ සිට කැරිම්ස්කි ගඟට මසුන් යන්න ඇති කියලයි.

[16වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

රුසියාව

කම්චැට්කා