Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

▪ “බීමතින් රිය පැදවීමත්, අතට ගෙන හෝ නොගෙන ජංගම දුරකථන භාවිත කරමින් රිය පැදවීමත් එක සමාන බව” එක් සමීක්ෂණයකින් හෙළි වුණා.—එක්සත් ජනපදයේ REUTERS NEWS SERVICE.

▪ වසර 2006 මුල් මාස පහ තුළදී ග්වාතමාලා නගරයේ බස් රථවල සිදු කළ මංකොල්ලාකෑම් 30,200න්, රියදුරන් හා කොන්දොස්තරවරුන් 14දෙනෙකුගේ වගේම මඟීන් දහදෙනෙකුගේද ජීවිත නැති වුණා.—ග්වාතමාලාවේ PRENSA LIBRE.

▪ ලෝක සෞඛ්‍ය සංවිධානය, රුධිරය එකතු කිරීම හා පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළා. ඊට සහභාගි වූ රටවල් 124න් 56ක්ම කියා සිටියේ “ලැබෙන රුධිරය තුළ HIV වෛරසය, හෙපටයිටිස් B හා C වර්ග මෙන්ම උපදාංශය නමැති සමාජරෝගය තිබෙනවාද කියා පරීක්ෂා නොකරන බවයි.”—ස්විට්සර්ලන්තයේ WORLD HEALTH ORGANIZATION.

▪ ඕස්ට්‍රේලියාවේ විවාහ නොවී එකට ජීවත් වූ යුවළයන්ගේ සංඛ්‍යාව 1960 ගණන්වල සියයට පහක් පමණ වූ අතර 2003 වන විට එම සංඛ්‍යාව සියයට 70 ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා.—ඕස්ට්‍රේලියාවේ UNIVERSITY OF MELBOURNE.

දියවැඩියාව—ලෝක තර්ජනයක්

ජාත්‍යන්තර දියවැඩියා සංගමයෙන් ලැබුණ තොරතුරුවලට අනුව ඉකුත් වසර 20 ඇතුළතදී දියවැඩියා රෝගීන්ගේ සංඛ්‍යාව මිලියන 30 සිට මිලියන 230 දක්වා ඉහළ ගොස් ඇති බව ද නිව් යෝක් ටයිම්ස් පුවත්පතේ පළ වුණා. දියවැඩියා රෝගීන් වැඩිම සංඛ්‍යාවක් සිටින රටවල් දහය අතුරින් හතක්ම දියුණු වෙමින් පවතින රටවලුයි. එම සංගමයේ සභාපති වන වෛද්‍ය මාටින් සිලින්ක් කියා සිටියේ මෙයයි. “ලොව පුරා දක්නට ලැබී ඇති විශාලම සෞඛ්‍ය තර්ජනය දියවැඩියාවයි.” එම වාර්තාවේ තවදුරටත් සඳහන් වුණේ “ලෝකයේ දිලිඳුම රටවල කෙනෙකුට මෙම රෝගය වැලඳුණොත් රෝගියා මිය යනවා මිසක් එයින් ගොඩ ඒමක් නම් නැහැ” කියායි.

ලෝකයේ උසම දුම්රිය මාර්ගය

වර්ෂ 2006 ජූලි මාසයේදී ලෝකයේ උසම දුම්රිය මාර්ගය විවෘත කරනු ලැබුවා. එය බීජිං නගරයේ සිට ටිබෙට්හි අගනුවර වන ලාසා දක්වා කිලෝමීටර් 3,000ක් පමණ දිගයි. “දිය විය හැකි අයිස් මත තනා තිබෙන මෙම දුම්රිය මාර්ගය අවසන් වෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 4,800ටත් වඩා උසකින්. මේක පුදුම දස්කමක්” කියා ද නිව් යෝක් ටයිම්ස් පුවත්පතේ සඳහන් වුණා. ඉන්ජිනේරුවන් ජයගත් එක් බාධකයක් නම් මෙම මාර්ගය තනා තිබෙන අයිස් තට්ටුව වසර පුරාම දියවීමට ඉඩ නොදී තබාගැනීමයි. ඒ වගේම දුම්රිය මෙතරම් උසකට යන නිසා පෙට්ටිවලට වායුව සැපයීමත් මඟීන්ට අවශ්‍ය නම් ඔක්සිජන් සැපයීමත් සිදු වෙනවා.

ව්‍යාජ සිසුන්”

එක් ප්‍රංශ විශ්වවිද්‍යාලයකට සාහිත්‍යය පාඨමාලා හදාරන්න ඇතුල් වෙන මුල් වසරේ සිසුන්ගෙන් සියයට 10ත් 20ත් අතර සංඛ්‍යාවක් “දේශනවලට සහභාගි වෙන්නේ නැහැ” කියා එක පුවත්පතක වාර්තා වුණා. සමහර අය දන්නවා බෙලාරුසියානු, ෆීනිෂ් හා ස්වහීලී වැනි එතරම් ජනප්‍රිය නැති භාෂා පාඨමාලාවලට සිසුන් පැමිණෙනවාද නැද්ද කියා සෝදිසි කරන්නේ නැති බව. ඒ නිසා අන්තර්ජාලය ඔස්සේ සිසුන් හැටියට ලියාපදිංචි වී දවස් කිහිපයක් ඇතුළතදී ශිෂ්‍ය හැඳුනුම්පතක් ලබාගන්නවා. මේ ආකාරයෙන් ඔවුන් “ව්‍යාජ” ලෙස ලියාපදිංචි වෙන්නේ පොදුවේ සිසුන්ට ලැබෙන වාසි එනම් ගුවන්ගමන්වලට, හෝටල්වල නැවතීමට මෙන්ම පොදු ප්‍රවාහණය භාවිතයේදී සහ සිනමා ශාලාවලට ඇතුල් වීමේදී ලැබෙන වට්ටම් නිසයි කියා එම වාර්තාවෙන් හෙළි වුණා.—එම පුවත්පත Le Figaro.

අඳුරෙන් එළියට

ඊශ්‍රායෙලයේ කැණීම්කරුවන් ගල්වළක වැඩ කරද්දී පුංචි උමඟක් දැක්කා. ඔවුන් එය දිගේ ඇතුළට ගිය විට ඔවුන්ට සම්බ වුණේ විලක් සහිත කිලෝමීටර දෙකහමාරක් පමණ විශාල ගුහාවක්. විද්‍යාඥයන් කියා සිටින්නේ එම ගුහාවෙන් “කලින් කවදාවත් සොයා නොගත්” අපෘෂ්ඨවංශීන් හෙවත් කොඳු ඇට පෙළක් නැති කුඩා සත්ව විශේෂ අටක් සම්බ වූ බවයි. උන්ගෙන් සමහරෙකුට ගෝනුස්සන්ගේ හැඩයට ටිකක් සමාන හැඩයක් තිබුණා. මේ සතුන්ගෙන් විශේෂ දෙකක් ජීවත් වන්නේ කරදියෙයි. තවත් දෙකක් මිරිදියෙයි. අනිත් හතර ජීවත් වෙන්නේ ගොඩබිමෙයි. මෙය වාර්තා කළේ ද ජෙරුසලම් පෝස්ට් නමැති පුවත්පතයි.