Skip to content

පටුනට යන්න

මට නොහොබිනා ආරාධනාවක් කළොත් . . .

මට නොහොබිනා ආරාධනාවක් කළොත් . . .

යෞවන අය අසති . . .

මට නොහොබිනා ආරාධනාවක් කළොත් . . .

“හුඟක් ළමයින් මේකට හරි කැමතියි. ඔවුන් බලන්නේ පුළුවන් තරම් අය එක්ක නොහොබිනා ලෙස හැසිරෙන්නයි.”—පෙනී. *

“පිරිමි ළමයි කිසිම ලැජ්ජාවක් බයක් නැතුව කියනවා තමන්ට පෙම්වතියක් ඉන්දැද්දිත් වෙන ගැහැනු ළමයි එක්ක නොහොබිනා ලෙස හැසිරෙනවා කියලා.”—එඩ්වඩ්.

“හුඟක් අය මටත් ආරාධනා කළේ කිසිම ගාණක් නැතුවයි. ඒගොල්ලන්ට කොච්චර බැහැ කිව්වත් අහන්නේ නැහැ.”—අයිඩා.

දැන් දැන් බොහෝ රටවල යෞවනයන් අතර මෙය ජනප්‍රිය වී තිබෙනවා. එය හඳුන්වන්න විවිධ නම් භාවිත කරනවා. ජපානයේ ආකීකෝ නම් තරුණිය කියන්නේ තමන්ගේ රටෙත් එයට නමක් තිබෙන බවයි. කොහොමනමුත් ඇය පවසන ආකාරයට “ඔවුන්ගේ එකම අරමුණ වන්නේ ලිංගිකව හැසිරීමයි.”

යෞවන යෞවනියන් අතර මෙවැනි දෙයක් මෙතරම් ජනප්‍රිය වී තිබෙන්නේ ඇයි? එක් තරුණියක් ඒ ගැන පැවසුවේ මෙසේයි. “මෙහෙම කරනකොට ක්ෂණිකව තම ආශාවන් ඉටු කරගන්න පුළුවන් නේ. ඉන් එහාට බැඳීමක් නැහැ.” ඉන් අදහස් වන්නේ යෞවන යෞවනියන් වගකීමකින් තොරව, ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්නෙත් නැතුව තම ලිංගික ආශාවන් තමන් කැමති කැමති අයගෙන් ඉටු කරගන්නා බවයි. *

ශුද්ධ බයිබලයේ කියන්නේ සැබෑ ක්‍රිස්තියානියෙක් “වේශ්‍යාකම වෙතින් පලා දුවන්න” අවශ්‍ය බවයි. * (1 කොරින්ති 6:18) බොහෝදුරට ඔබේ උත්සාහය වන්නේත් ඒ ප්‍රතිපත්තිය රකින්නයි. නමුත් සමහරවිට එය පහසු දෙයක් නොවෙයි. සින්ඩි පාසැල් යන තරුණියක්. ඇය කියන්නේ “පාසැලේදී ගොඩක් පිරිමි ළමයි මගේ පස්සෙන්ම ආවා” කියායි. මෙවැනි දෙයක් රැකියා ස්ථානයේදීත් සිදු විය හැකියි. මාග්‍රෙට්ගේ අද්දැකීමත් එයයි. “අපේ කාර්යාලයේ ප්‍රධානියා මට කිහිප වතාවක්ම නොහොබිනා ආරාධනාවන් කළා. කොච්චරද කිව්වොත් ඒ නිසා මට රැකියාවත් එපා වුණා. මම අස් වුණා.”

සමහරවිට ඔබ තුළත් යම් දුරකට එවැනි ආශාවක් ඇති වෙන්න පුළුවන්. නමුත් මෙය පුදුම වෙන්න දෙයක් නොවෙයි. බයිබලයේ කියන්නේ “අන් කිසිවකට වඩා සිත කපටිය. හැම අතින්ම එය දූෂණය වී ඇත” කියයි. (යෙරෙමියා 17:9, නව අනුවාදය) ලූඩ්ස් නම් තරුණියටත් මෙවැනි ආශාවන් සමඟ පොරබදන්න සිදු වුණා. “මට නොහොබිනා ආරාධනාව කරපු පිරිමි ළමයාට මම කැමති වෙලයි හිටියේ. ඒ නිසයි එකපාරටම එය ප්‍රතික්ෂේප කරන්න මට අමාරු වුණේ.” ජේන්ගේ අද්දැකීමත් එයයි. “මම එයාට ගොඩාක් කැමති වෙලා හිටපු නිසා එයාගේ ඉල්ලීම අහක දාන එක තමයි මගේ ජීවිතයෙදී මම කරපු අමාරුම දේ.” කලින් සඳහන් කළ එඩ්වඩ් පවා පැවසුවේ හොඳ තීරණයක් ගැනීම ලෙහෙසි දෙයක් නොවන බවයි. “ගොඩක් ගෑනු ළමයි මට නොහොබිනා ආරාධනා කරලා තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී මගේ ක්‍රිස්තියානි ප්‍රමිති රැකීම මට ලොකු අභියෝගයක් වුණා. ඒ වගේ අයට බැහැයි කියන එක හරිම අමාරුයි.”

කොහොමවුණත් ලූඩ්ස්, ජේන් සහ එඩ්වඩ් වරදට වැටුණේ නැහැ. ඔබේ අද්දැකීමත් මෙය විය හැකියි. යෙහෝවා දෙවිගේ ප්‍රමිති රැකගෙන ඔබ හරි දේ කළා නම් ඔබ ප්‍රශංසා ලැබිය යුතුයි. මතක තබාගන්න මෙවැනි දෙයක් අද්දකින්න සිදු වී තිබෙන්නේ ඔබට පමණක් නෙවෙයි. බයිබල් ලේඛක පාවුල්ට පවා නුසුදුසු හැඟීම් සමඟ නිතරම පොරබදන්න සිදු වුණා.—රෝම 7:21-24.

නමුත් ඔබට නොහොබිනා ආරාධනාවක් කළොත් කුමන බයිබල් ප්‍රතිපත්තිද ඔබ මතක තබාගත යුත්තේ?

වරදක් බව තේරුම්ගන්න

ලිංගික සම්බන්ධකම් විවාහ වූ දෙදෙනෙකුට පමණක් සීමා විය යුතු බව බයිබලයේ තරයේම කියා සිටිනවා. වේශ්‍යාකම් කිරීම කොතරම් බරපතළද කිවහොත් එහි යෙදෙන අයට “දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැති බව” සඳහන් වී තිබෙනවා. (1 කොරින්ති 6:9, 10) එසේනම් මෙවැනි ක්‍රියාවලින් වැළකී සිටීමට ඒ සම්බන්ධයෙන් ඔබ යෙහෝවා දෙවි දරන ආකල්පය දැරිය යුතුයි. එයින් වැළකී සිටීම ඔබේ පෞද්ගලික තීරණය විය යුතුයි.

“මම නම් හිතන්නේ යෙහෝවා දෙවි කියන දේ තමයි හොඳම දේ.”—කැනඩාවේ කැරන්.

“ස්වල්ප මොහොතකට යම් වින්දනයක් ලබාගන්න තියෙන ආසාව නිසා දෙවිගේ ප්‍රමිති කඩන එක විශාල පාඩුවක්.”—මෙක්සිකෝවේ විවියන්.

“ඔබේ අම්මා තාත්තා හිතමිතුරන් සහ සභාවේ අය අමතක කරන්න එපා. ඔබ වරදට පෙලඹුණොත් ඔවුන්ට කොතරම් දුකක් දැනේවිද!”—බ්‍රිතාන්‍යයේ පීටර්.

පාවුල් පැවසුවේ “ස්වාමීන්ට ප්‍රසන්න දේ කුමක්දැයි නිතරම තහවුරු කරගන්න” කියායි. (එෆීස 5:10) වේශ්‍යාකම හෙවත් අනාචාරයේ හැසිරීම ගැන යෙහෝවා දෙවි පවසන දේ හිතට ගන්නවා නම් ඔබ තුළ යම් ආශාවක් ඇති වුණත් ඔබට හැකි වෙයි “නපුරට වෛර කරන්න.”—ගීතාවලිය 97:10.

අමතර කියවීම සඳහා: උත්පත්ති 39:7-9. යෝසෙප් එඩිතරව වරදෙන් වැළකී සිටි ආකාරය ගැනත් ඔහුට උපකාරවත් වූයේ කුමක්ද කියාත් සලකා බලන්න.

ඔබේ ප්‍රතිපත්ති ගැන ලැජ්ජ වෙන්න එපා

සාමාන්‍යයෙන් තරුණ තරුණියන් යම් දෙයක් ගැන පැහැදී සිටිනවා නම් ඒ වෙනුවෙන් කිසිම ලැජ්ජාවක් බයක් නැතුව සටන් කරන්න වුණත් ඔවුන් සූදානම්. සැබෑ ක්‍රිස්තියානියෙක් ලෙස ඔබට විශේෂ වරප්‍රසාදයක් ලැබී තිබෙනවා. එය නම් ඔබේ ආදර්ශවත් හැසිරීම මගින් සැබෑ දෙවිට ගෞරවයක් ගෙන ඒම. ඒ නිසා විවාහයට පෙර ලිංගික සම්බන්ධකම් පැවැත්වීම ඔබ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව කීමට ලැජ්ජ වෙන්න එපා.

“ඔබට උසස් ප්‍රමිති තිබෙන බව ප්‍රමාද නොකර බය නැතුව කියන්න.”—ජර්මනියේ ඇලන්.

“ඔබේ විශ්වාසයන් ගැන ලැජ්ජ වෙන්න ඕන නැහැ.”—නයිජීරියාවේ එස්ටර්.

“‘අම්මයි තාත්තයි මේකට කැමති වෙන්නේ නැහැ’ කියල කියනවාට වඩා මම කැමති නැහැ කියල කිව්වොත් ඔවුන් ඔබට ගරු කරයි.”—දකුණු අප්‍රිකාවේ ජැනට්.

“මාත් එක්ක ඉස්කෝලේ හිටපු පිරිමි ළමයි නම් මගේ ස්ථාවරය ගැන හොඳටම දැනගෙන හිටියා. ඔවුන් දැනගෙන හිටියා මට යෝජනා කළාට කිසි පලක් වෙන්නේ නැහැ කියලා.”—එක්සත් ජනපදයේ විකී.

ඔබ මෙලෙස පැහැදිලි ස්ථාවරයක් ගන්නවා නම් එයින් අදහස් වෙන්නේ ක්‍රිස්තියානියෙකු හැටියට ඔබ දියුණු වන බවයි.—1 කොරින්ති 14:20.

අමතර කියවීම සඳහා: හිතෝපදේශ 27:11. අපට කරන්න පුළුවන් වැදගත්ම දේ වන්නේ යෙහෝවා දෙවිගේ නාමයට කැළලක් ඇති නොවන ආකාරයට හැසිරීමයි. ඔබේ ක්‍රියාවලින් එවැනි දෙයක් පෙන්වනවාද?

සැලෙන්න එපා!

සමහරුන් හිතන්නේ කෙනෙක් මෙවැනි යෝජනාවක් ප්‍රතික්ෂේප කරන්නේ බොරුවට කියලයි. එනිසා ඔබ ප්‍රතික්ෂේප කරන විට ඔබ “ඒ ගැන ස්ථිර විය යුතුයි.”

“ඔබ බැහැ කියල කිව්වොත් සමහරුන් එය සලකන්නේ අභියෝගයක් හැටියටයි. ඒ නිසා ඔවුන් හදන්නේ කොහොම හරි ඔබව කැමති කරවාගන්නයි.”—කැනඩාවේ ලෝරා.

“ඔබ කරන හැම දෙයකින්ම එනම් ඔබ අඳින පළඳින විදිහෙන්, කතා කරන විදිහෙන් හා අනුන් සමඟ හැසිරෙන ආකාරයෙන් ඔබේ අකමැත්ත පැහැදිලිව දකින්න අවශ්‍යයි.”—නයිජීරියාවේ ජෝයි.

“දැඩි ලෙස එය ප්‍රතික්ෂේප කරන්න!”—ඕස්ට්‍රේලියාවේ ඩැනියෙල්.

“සැලෙන්න එපා! එක තරුණයෙක් මට මෙහෙම යෝජනාවක් කරනකොට මම ඔහු දිහා රවලා බලලා තදින් කිව්වේ ‘මගේ ඇඟට අත තිබ්බොත් බලාගෙනයි!’ කියලයි.”—බ්‍රිතාන්‍යයේ එලන්.

“බය නැතුව කියන්න තියෙන දේ කෙළින්ම කියන්න. වැල්වටාරම්වලින් වැඩක් නැහැ.”—ස්කොට්ලන්තයේ ජීන්.

“කොච්චර එපා කිව්වත් එක පිරිමි ළමයෙක් මගේ පස්සෙන්ම ආවා. බැරිම තැන මම එයාට තදින්ම කිව්වා ඕක නවත්වන්න කියලා. එතකොටයි එයා අදහස අත්හැරියේ.”—මෙක්සිකෝවේ ෂ්වනීටා.

කොච්චර ඇහැව්වත් පලක් නැහැයි කියා ඔවුන්ට දැනෙන්න අවශ්‍යයි. අනිත් එක මේ වගේ පිරිමි ළමයින් දෙන තෑගි භාරගන්නත් එපා. ඔවුන් ඒක කරන්නේ යම් දෙයක් බලාපොරොත්තුවෙන්.”—බ්‍රිතාන්‍යයේ ලෝරා.

ඔබ යෙහෝවා දෙවිට පක්ෂපාතව සිටියොත් ඔබට ඔහුගේ උදව් උපකාර අනිවාර්යයෙන්ම ලැබෙනවා. ගීතිකාකරු දාවිත් මෙය අද්දැක්කා. ඔහු දෙවි ගැන පැවසුවේ මෙයයි. ‘පක්ෂපාත අයට ඔබ පක්ෂපාතකම දක්වන්නේය.’—ගීතාවලිය 18:25, න. අ.

අමතර කියවීම සඳහා: 2 ලේකම් 16:9. තමන් කෙරෙහි සම්පූර්ණ සිත් ඇති අයට උපකාර කරන්න යෙහෝවා දෙවි ඉතා කැමති බව මෙයින් පැහැදිලි වෙනවා.

දුරදිග බලා කටයුතු කරන්න

“අවදානම දුර තියා හඳුනාගෙන ඉන් පරෙස්සම් වන්නා බුද්ධිමතෙකි” කියා බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 22:3, නව ලොව පරිවර්තනය) ඒ උපදෙස ඔබට අනුගමනය කළ හැක්කේ දුරදිග බලා කටයුතු කිරීමෙනුයි.

“මේ වගේ දේවල් ගැන කතා කරන අයගෙන් පුළුවන් තරම් ඈත් වෙන්න.”—ජපානයේ නාඕමි.

“අවදානමක් ඇති විය හැකි අවස්ථාවල් තේරුම් අරගෙන ඒවායින් වැළකී සිටින්න. මම දන්න සමහර අය වරදට පෙලඹිලා තියෙන්නේ ඔවුන් බීමත්ව සිටි නිසයි.”—බ්‍රසීලයේ ඊෂා.

“ඔබේ ලිපිනය හෝ දුරකථන අංකය වැනි පෞද්ගලික තොරතුරු ලබා දෙන්න එපා.”—බ්‍රිතාන්‍යයේ ඩයනා.

“යාළුකමට වුණත් ඔබේ මිතුරන්ව අල්ලද්දී පරෙස්සම් වන්න.”—නයිජීරියාවේ එස්ටර්.

“ඔබ අඳින ඇඳුම් ගැන ගොඩක් පරෙස්සම් වෙන්න. හැඟීම් ඇවිස්සෙන විදිහට නම් කොහොමටවත් අඳින්න එපා.”—ජර්මනියේ හයිඩි.

“ඔබේ අම්මටයි තාත්තටයි කිට්ටු වී සිටින්න. මේ වගේ තත්වයක් ඇති වුණොත් ඔවුන් එක්ක නිදහසේ කතා කරන එක ලොකු ආරක්ෂාවක්.”—ජපානයේ ආකීකෝ.

ඔබ කතා කරන විදිහ, හැසිරෙන විදිහ, ඔබ ඇසුරු කරන අය ගැන සහ ඔබ නිතර යන එන තැන් ගැන හොඳින් හිතල බලන්න. දැන් ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘නොදැනුවත්ව හරි කරන දේවලින් මම අනිත් අයට මං ගැන වැරදි වැටහීමක් දෙනවාද?’

අමතර කියවීම සඳහා: උත්පත්ති 34:1, 2. දීනා නමැති යෞවනිය වැරදි තැනක හිටිය නිසා අමාරුවේ වැටුණු විදිහ ගැන කියවා බලන්න.

අද සමාජය මොනවා හිතුවත් යෙහෝවා දෙවි ලිංගික දුරාචාරය සලකන්නේ බරපතළ වරදක් ලෙසයි. ඔබත් ඒ ආකල්පයම දැරිය යුතුයි. බයිබලයේ කියන්නේ “වේශ්‍යාකම් කරන්නෙකුටවත්, අපවිත්‍ර කෙනෙකුටවත්, . . . ක්‍රිස්තුස්ගේ හා දෙවිගේ රාජ්‍යයෙහි කිසි උරුමයක් නොලැබෙන” බවයි. (එෆීස 5:5) ඔබ නොසැලී හරි දේ කරනවා නම් ඔබේ ආත්ම ගෞරවය රැකගන්නත් දෙවි ඉදිරියේ නිදොස්ව සිටින්නත් ඔබට හැකි වෙයි. කාලි නමැති තරුණිය ඇගේ වචනවලින් පැවසුවේ මේ විදිහටයි. “තව කෙනෙකුගේ ආශාවක් පිනවන්න ඔබ ‘මැදිහත් වෙන්නේ’ මොකටද? ඔබ මහන්සි වෙලා ඇති කරගත් හොඳ නම ඒ විදිහටම රැකගන්න!”

[පාදසටහන්වල]

^ 3 ඡේ. මෙහි සමහර නම් සැබෑ ඒවා නොවේ.

^ 7 ඡේ. ලිංගිකව එකතු වීමට අමතරව කාමුකව එකිනෙකාව ස්පර්ශ කිරීමත් රාගයෙන් සිපගැනීමත් මෙයට ඇතුළත් විය හැකියි.

^ 8 ඡේ. වේශ්‍යාකම කියද්දී එයට ලිංගික සම්බන්ධකම්, මුඛ සහ ගුද සංවාසය, සමලිංගික ක්‍රියා, වෙනත් කෙනෙකුගේ ලිංගේන්ද්‍රයන් අතින් පිරිමැද ලිංගික වින්දනයක් ලබා දීම සහ අවිවාහක දෙදෙනෙකු අතර ලිංගේන්ද්‍රයන් භාවිත කරමින් කරන ඕනෑම ක්‍රියාවක් ඇතුළත් වෙනවා.

සිතා බලන්න

▪ නුසුදුසු ලිංගික ක්‍රියාවල යෙදීම සඳහා ආශාවක් තිබුණත් එය වැරදි දෙයක් වන්නේ ඇයි?

▪ කවුරු හරි කෙනෙක් ඔබට නොහොබිනා ආරාධානාවක් කළොත් ඔබ මොනවාද කරන්නේ?

[27වන පිටුවේ කොටුව]

▪ බයිබලයේ පවසන ආකාරයට, වේශ්‍යාකම් කරන ඕනෑම කෙනෙක් “තමාගේම ශරීරයට විරුද්ධව පව් කරන්නේය.” (1 කොරින්ති 6:18) මෙය සැබෑවක් වන්නේ කොහොමද කියා ඔබේම වචනවලින් විස්තර කරන්න.

․․․․․․․

යෝජනාවක්: මේ සඳහා 2006 ජූනි 15 මුරටැඹ සඟරාවේ 28වන පිටුව හා 2002 ජූනි 15 මුරටැඹ සඟරාවේ 21වන පිටුව බලන්න. මේවා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයි.

[29වන පිටුවේ කොටුව]

දෙමාපියෙනි!

“පන්තියේ පිරිමි ළමයෙක් ‘අපි එකතු වෙමුද’ කියලා මගෙන් ඇහුවා. එයා මොනවද මේ කියන්නේ කියලා මට තේරුණේ නැහැ. මොකද ඒ වෙද්දී මගේ වයස අවුරුදු 11යි.”—ලෙයා.

අද සමාජයේ සිටින දරුවන්ට ඉතා බාල වයසේ පටන් ලිංගික කාරණා ගැන දැනගන්න ලැබෙනවා. නමුත් පුරාණයේදීම මේ කාලය ගැන පවසමින් බයිබලයේ කියා තිබෙන්නේ “අන්තිම දවස්වලදී කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක කාලවල් පැමිණෙන” බවයි. සමාජයේ සිටින ජනයාව විස්තර කළේ ‘ආත්ම දමනය නැති, දෙවිට ප්‍රේම කරනවාට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන අය’ හැටියටයි. (2 තිමෝති 3:1, 3, 4) විශේෂයෙන්ම යෞවනයන්ට වෙන් කරන ලද ඉහත ලිපිය කියවද්දී, මේ බයිබල් පදය සැබෑවක් බව ඔප්පු වෙයි.

නවීන සමාජය ඔබ හැදුණු වැඩුණු සමාජයට වඩා වෙනස් වුවත්, යෞවනයන් මුහුණ දෙන මූලික ගැටලු නම් වෙනස් වෙලා නැහැ. ඒ නිසා ඕනෑවට වඩා කලබලයට හෝ කනස්සල්ලට පත් වන්නේ නැතුව, මීට අවුරුදු 2,000කට පමණ පෙර බයිබල් ලේඛකයෙකු වූ පාවුල් ක්‍රිස්තියානීන්ට දිරිගන්වපු දේ කරන්න ඔබේ දරුවන්ටත් උදව් කරන්න. ඔහු පැවසුවේ, “යක්ෂයාගේ උපායවලට විරුද්ධව ස්ථිරව සිටින්න ඔබට පුළුවන් වන පිණිස, දෙවිගේ මුළු යුද්ධායුධ කට්ටලයම පැළඳගන්න” කියායි. (එෆීස 6:11) අද සිටින බොහෝ ක්‍රිස්තියානි යෞවන යෞවනියන් සමාජයෙන් තමන්ට මොන තරම් දරුණු බලපෑම් එල්ල වුණත් හරි දේ කරන්න දැඩි සටනක් කරනවා. එය ප්‍රශංසනීයයි. එසේ සිටීමට ඔබේ දරුවාට උදව් කරන්න ඔබට පුළුවන් වෙන්නේ කොහොමද?

ඔබට කරන්න පුළුවන් එක දෙයක් තමයි ඉහත සඳහන් ලිපියේ තොරතුරු පාවිච්චි කරලා ඔබේ පුතා හෝ දුව සමඟ මේ විෂය ගැන කතා කිරීම. “අමතර කියවීම සඳහා” යන කොටස්වල සිත අවදි කරන බයිබල් පදවලට යොමු දක්වා තිබෙනවා. සමහර බයිබල් අද්දැකීම්වලින් කාවද්දන්නේ හරි දේ කර ආශීර්වාද ලැබූ අය ගැනයි. තවත් සමහරක් ඒවා තිබෙන්නේ දෙවිගේ නීති නොසලකා හැරීමෙන් ලැබූ නරක විපාක ගැනයි. අනිත් බයිබල් පදවල සඳහන් වන්නේ ඉතා වටිනා ප්‍රතිපත්තියි. මේ සියලු බයිබල් පද කියවීමෙන් ඔබේ දරුවන්ටත්, ඔබටත් දෙවිගේ නීති හා ප්‍රතිපත්ති රැකීම ඉමහත් වරප්‍රසාදයක් බව තේරුම්ගන්න හැකි වෙයි. ඒ නිසා කල් නෑර මේ තොරතුරු ගැන ඔවුන් සමඟ කතා කරන්න.

දෙවිගේ ප්‍රමිති තිබෙන්නේ අපේම යහපත සඳහා නිසා, ඒවා අනුව ජීවත් වීමෙන් ප්‍රයෝජන ලැබෙන්නේ අපටමයි. (යෙසායා 48:17, 18) නමුත් ඒවා නොසලකා හැරීමෙන් දුක් විඳින්න සිදු වන්නෙත් අපටමයි. ඔබේ දරුවන්ගේ සිත්වල යෙහෝවා දෙවිගේ නීති හා ප්‍රතිපත්ති පැලපදියම් කිරීමේදී ඔබට බොහෝ ආශීර්වාද ලැබේවා යන්න පිබිදෙව්! ප්‍රකාශකයන්ගේ පැතුමයි.—ද්විතීය කතාව. 6:6, 7.

[28වන පිටුවේ පින්තූරය]

කොච්චර ඇහුවත් පලක් නැහැයි කියා ඔවුන්ට දැනෙන්න අවශ්‍යයි