Skip to content

පටුනට යන්න

මම ගත්තේ හරි තීරණයක්

මම ගත්තේ හරි තීරණයක්

මම ගත්තේ හරි තීරණයක්

පැවසුවේ සෝන්යා ආකූන්යා කෙවේදෝ විසින්

බැංකුවේ සේවය කරද්දී මට ඉහළ තනතුරක් වගේම ලොකු පඩියකුත් දෙන්න හැදුවා. ඒත් ඒ වෙනකොටත් මට දුර සභාවක පූර්ණ කාලීන පුරෝගාමී සේවය සඳහා ආරාධනාවක් ලැබිලයි තිබුණේ. තීරණයක් ගන්න සිද්ධ වුණා. මීට අවුරුදු 32කට කලින් එදා මම ගත්තේ හරි තීරණයක් කියලා මට ස්ථිරයි.

මගේ අම්මා කතෝලික කෙනෙක් හැටියට හැදී වැඩුණත් සමහර කතෝලික ඉගැන්වීම් ගැන සැක කළා. පිළිමවලට වන්දනාමාන කරන එක සුදුසුද කියා කල්පනා කළ ඇයට වුවමනා වුණේ හරි ධර්මය සොයාගන්නයි. ඒත් ඇගේ හිතට වද දුන්න ප්‍රශ්නවලට පිළිතුරු හොයමින් නොයෙකුත් පල්ලිවලට ගියත් වැඩක් වුණේ නැහැ.

අපි හිටියේ මෙක්සිකෝවේ ටුක්ස්ට්ලා නගරයෙයි. දවසක් අම්මා මිදුලේ ඉඳගෙන ඉන්නකොට යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් ආවා. අහපු හැම ප්‍රශ්නෙකටම ඔහු බයිබලයෙන්ම උත්තර දුන්න එක ගැන පුදුම හිතුණ නිසා ආපහු ඔහු එක්ක කතා කරන්න අම්මා කැමති වුණා. ඊළඟ සැරේ ඔහු එක්ක කතා කරන්න කතෝලික පූජකයෙකුත්, ඇඩ්වෙන්ටිස්ට් සහ රෙපරමාදු දේවගැතිවරුන් දෙන්නෙකුත් ලෑස්ති කරගෙනයි අම්මා හිටියේ. සබත් දවස ගැන ඇය අහපු ප්‍රශ්නෙට බයිබලයෙන් පිළිතුරක් දුන්නේ ඒ සාක්ෂිකරුවා විතරයි. ඇත්තෙන්ම ඔහුගේ අතේ විතරයි බයිබලයක් තිබුණේ! බයිබලය පාඩම් කරන්න පටන් අරන් මාස හයක් යද්දී ඇය යෙහෝවාගේ සාක්ෂිකාරියක් හැටියට බව්තීස්ම වුණා. ඒ 1956දී. එතකොට මට වයස අටයි.

තාත්තාගේ හිත වෙනස් වුණා

අම්මා බයිබලය ඉගෙනගන්නවාට නම් තාත්තා විරුද්ධ වුණේ නැහැ. ඒත් මගේ සහෝදරයන් දෙන්නටයි, අක්කටයි මටයි බයිබලය උගන්වන්නත්, අපිව රැස්වීම්වලට එක්කගෙන යන්නත් පටන්ගත්තාම තාත්තා අම්මාගේ පොත් පත් විනාශ කරලා දැම්මා. අපි මුළා වෙලා කියලා හැඟුණ නිසා ඔහු කතෝලික බයිබලයකින් ඔප්පු කරන්න හැදුවා යෙහෝවා කියන දෙවිගේ නම සාක්ෂිකරුවන් ඔවුන්ගේ බයිබලයට දාගෙන තියෙන්නේ මිනිස්සුන්ව මුළා කරන්න ඕන නිසයි කියලා. ඒත් තාත්තාගේ බයිබලයෙන්ම අම්මා තාත්තාට පෙන්නුවා ඒ නම. පුදුම වුණ තාත්තා සාක්ෂිකරුවන් ගැන දැරුව ආකල්පය වෙනස් කරගත්තා.—ගීතාවලිය 83:17.

සාමාන්‍යයෙන් මෙක්සිකෝවේ ගැහැනු ළමයෙකුගේ 15වන උපන් දිනය විශේෂ එකක්. ඒත් බයිබල් ඉගැන්වීම්වලට පටහැනි දෙයක් නිසා මම උපන් දින උත්සව පවත්වන එක නැවැත්තුවා. * තාත්තා හැදුවේ මං වෙනුවෙන් විශේෂ දෙයක් කරන්නයි. මං හොඳට කල්පනා කරලා මෙහෙම කිව්වා. “මට වෙන මුකුත් එපා. ඊළඟ පාර යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්රැස්වීම පවත්වද්දී ඔයා මාත් එක්ක ආවොත් විතරක් ඇති.” ඔහු ඒකට කැමති වුණා. ඊට පස්සේ බයිබලය ගැනත් වැඩි උනන්දුවක් දැක්වුවා.

දරුණු කුණාටුවක් හැමුව දවසක රාත්‍රියේ කඩා වැටුණු විදුලි රැහැණකින් තාත්තාට ලොකු අනතුරක් වෙලා බරපතළ සැත්කමක් කරන්න සිද්ධ වුණා. රෝහලේදී මුළු පැය 24 පුරාම මාරුවෙන් මාරුවට සාක්ෂිකරුවන් නැවතිලා ඔහුව හොඳින් බලාගත්තා. ඔවුන් එදා පෙන්නුවේ ඔහුට කවදාවත් අමතක නොවන ප්‍රේමයක්. ටික කාලෙකට පස්සේ ඔහු ප්‍රසිද්ධ දේශනා සේවයෙත් හවුල් වුණා. ඊට පස්සේ ඔහුගේ ජීවිතය යෙහෝවා දෙවිට කැප කළා. ඒත් බව්තීස්ම වෙන්න මාසෙකට කලින් 1975 සැප්තැම්බර් 30වෙනිදා ඔහු මිය ගිය එක ලොකු කනගාටුවක්. නැවත නැඟිටිද්දී ඔහුව වැලඳගන්න අපි බලා ඉන්නේ මොන තරම් ආශාවකින්ද!—ක්‍රියා 24:15.

දිරිගන්වන පවුල් පසුබිමක්

මගේ අක්කා කාමන් නිතරම පූර්ණ-කාලීන දේවසේවය අගය කළා. එයා 1967දී බව්තීස්ම වෙලා වැඩි කල් යන්න කලින් ස්ථාවර පුරෝගාමි සේවයට ඇතුල් වුණා. හැම මාසෙකම පැය 100ක් විතර දේවසේවයේ ගත කළා. ටික කාලෙකට පස්සේ අක්කා මධ්‍යම මෙක්සිකෝවේ ටොලූකා නගරයේ පදිංචියට ගියා. මට බැංකුවේ රැකියාවක් හම්බ වුණා. මම 1970 ජූලි 18වෙනිදා බව්තීස්ම වුණා.

කාමන් ටොලූකාවල පූර්ණ-කාලීන සේවයේ යෙදුණේ හරිම සතුටෙන්. මටත් උනන්දු කළා එහෙ එන්න කියලා. මේ ගැන මම නිතරම හිතුවා. යේසුස්ගේ අනුගාමිකයන් තම ඇදහිල්ල සහ සත්‍ය දැනුම දෙවිව මහිමවත් කිරීමට යොදාගන්න ආකාරය පැහැදිලි කළ කතාවකට සවන් දෙද්දිත් ‘මම කරන්නේ මේකද’ කියලා මට හිතුණා. (මතෙව් 25:14-30) ඒ වගේ නිතර හිතද්දී දෙවිට වැඩියෙන් සේවය කරන්න මට ආසාවක් ඇති වුණා.

තීරණයක් ගන්න වුණා

මම 1974දී වෙන ප්‍රදේශයකට ගිහින් පුරෝගාමි සේවයේ යෙදෙන්න ඉල්ලුම් පත්‍රයක් දැම්මා. දවසක් බැංකුවේ වැඩ කරද්දී ටොලූකාවල ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් මට දුරකථනයෙන් කතා කළා. “අපි ඔයා එනකම් බලාගෙන ඉන්නවා. ඇයි තාම ආවේ නැත්තේ” කියලා ඔහු ඇහැව්වා. ටොලූකාවල විශේෂ පුරෝගාමියෙක් හැටියට සේවය කරන්න මාව පත් කරලා ලියුමක් එවලා තිබුණත් ඒක තැපෑලේදී නැති වෙලා! (විශේෂ පුරෝගාමීන් යෙහෝවාගේ සංවිධානය තමන්ව යවන ඕනෑම තැනකට ගොස් පූර්ණ-කාලීනව සේවය කරන්න එකඟ වෙනවා.)

රැකියාවෙන් අස් වෙන්න තීරණය කළා කියලා මම බැංකුවට දැනුම් දුන්නා. “මේ බලන්න සෝන්යා. අපිට දැනුම් දීලා තියෙනවා සහකාර කළමනාකාරිණියන් හැටියට කාන්තාවන් හත්දෙනෙක් තෝරගන්න කියලා. ඔයත් එක්කෙනෙක්. අපේ සමාගම මීට කලින් කවදාවත් කාන්තාවන්ව මේ තනතුරට තෝරගෙන නැහැ. ඔයා මේ උසස් වීම භාරගන්නේ නැද්ද” කියා පත්වීමේ ලිපිය පෙන්වමින් මගේ ප්‍රධානියා ඇහැව්වා. මුලදී කිව්වා වගේ මේ උසස් වීම ගත්තොත් ලොකු පඩියක් සහ කීර්තියක් ලැබෙනවා. ඒත් මම මගේ ප්‍රධානියාට ස්තුති කරලා කිව්වා දෙවිට වැඩිපුර සේවය කරන්න තීරණය කරලා ඉවරයි කියලා. “එහෙනං මොනවා කරන්නද? කමක් නැහැ ආයි කවදාහරි රැකියාවක් ඕනෙ නම් අපේ බැංකුවේ දොර ඔයාට හැමදාමත් ඇරිලා” කියලා ඔහු කිව්වා. ඊට දවස් දෙකකට පස්සේ මම ටොලූකාවල!

මෙක්සිකෝවේ විශේෂ පුරෝගාමි සේවය

ඒ වෙද්දී කාමන් ටොලූකාවල අවුරුදු දෙකක් විශේෂ පුරෝගාමි සේවය කරලා තිබුණා. අපිට ආපහු එකට ඉන්න ලැබුණ එක මොන තරම් සතුටක්ද! ඒත් මාස තුනයි එකට ඉන්න හම්බ වුණේ. අම්මාට අනතුරක් වුණ නිසා කාට හරි එයා ළඟ ඉන්න සිද්ධ වුණා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයෙන් විමසුවායින් පස්සේ කාමනුයි මමයි තීරණයක් ගත්තා. කාමන් ආපහු ගෙදර ගිහින් අවුරුදු 17ක් පුරාම අම්මව බලාගත්තා. ඒ අතරතුරේ ස්ථාර පුරෝගාමි සේවයෙත් යෙදුණා. අම්මා ළඟ ඉන්න ඕන නිසා බයිබල් ශිෂ්‍යයන්ව ගෙදරට ගෙන්නගෙන ඉගැන්නුවා.

මාව ආපහු 1976දී ටේකාමාඛාල්කෝ නගරයේ සේවයට යැව්වා. ඒකේ එක පැත්තක ඉන්නේ දුප්පත් අය, අනිත් පැත්තේ ඉන්නේ ධනවත් අය. තනිකඩ වයසක කාන්තාවක් එක්ක මම බයිබල් පාඩමක් පටන්ගත්තා. ඇය ජීවත් වුණේ ඇගේ ධනවත් මල්ලි එක්කයි. ඇයට සාක්ෂිකාරියක් වෙන්න ඕන කියලා ඈ මල්ලිට කිව්වාම ඔහු ඇයව ගෙදරින් පන්නනවා කියලා ඇයට තර්ජනය කරලා. ඒත් මේ යටහත් පහත් තැනැත්තී බය නොවී බව්තීස්ම වුණා. මල්ලි ඇයව ගෙදරින් එළෙව්වා. ඇගේ වයස අවුරුදු 86ක් වුණත් ඈ යෙහෝවා දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසයක් තැබුවා. සභාවේ අය ඇයව බලාගත්තා. මිය යන තෙක්ම ඇය විශ්වාසවන්තව සිටියා.

ගිලියද් පාසැලට ඉන්පසු බොලිවියාවට

අවුරුදු පහක්ම මම ආශාවෙන් ටේකාමාඛාල්කෝවල සේවය කළා. ඊට පස්සේ මුල් වතාවට මෙක්සිකෝවල පවත්වන ගිලියද් අමතර පාසැලට එන්න කියලා මට ආරාධනාවක් ලැබුණා. මේක නිව් යෝක්වල සාමාන්‍යයෙන් පවත්වන ගිලියද් පාසැලේම කොටසක්. අම්මයි කාමනුයි දෙන්නම කිව්වා ඒකට යන්න කියලා. ඉතින් මම සති දහයක පාඨමාලාවක් හදාරන්න මෙක්සිකෝ නගරයේ ශාඛා කාර්යාලයට ගියා. දෙවිගේ නමස්කාරය සම්බන්ධයෙන් මං අද්දැක්ක වටිනාම වරප්‍රසාදය ඒකයි. අපේ පන්තිය 1981 පෙබරවාරි 1වෙනිදා අවසන් වෙද්දී මටයි එන්රිකේටා ආයාලාටයි බොලිවියාවේ ලා පාස්වලට පැවරුම ලැබුණා (දැන් ඇය ෆර්නැන්ඩස්).

අපි ලා පාස්වලට යද්දී අපිව මුණගැහෙන්න එන්න හිටිය සහෝදරයන් එතනට ඇවිත් හිටියේ නැහැ. “ඇයි අපි කාලේ නාස්ති කරන්නේ” කියලා කතා වුණා. අපි දෙන්නා ගුවන් තොටුපොළේ හිටිය මිනිසුන්ට සාක්ෂි දරන්න පටන්ගත්තා. පැය තුනක් ප්‍රීතියෙන් සේවය කළාට පස්සේ ශාඛා කාර්යාලයෙන් ආව සහෝදරයන්ව අපිට මුණගැසුණා. ප්‍රමාද වීම ගැන අපෙන් සමාව ඉල්ලන ගමන් ඔවුන් කිව්වා සැණකෙළිය නිසා පාර අවහිර වෙලා තිබුණා කියලා.

කඳුමුදුන්වල සාක්ෂි දරමින්

ලා පාස් තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 3,625ක් විතර උසකින්. උඩට යන්න යන්න ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙන නිසා ටික වෙලාවක් සේවය කරද්දී හති දාන්න පටන්ගන්නවා. කඳුකර ප්‍රදේශයට හුරු වෙන්න අවුරුද්දක් ගත වුණත් ගතට දැනුණ වෙහෙසට වඩා යෙහෝවාගෙන් ලැබුණ ආශීර්වාද අප්‍රමාණයි. උදාහණයක් කියන්නම්. වර්ෂ 1984 එක උදෑසනක මම කන්ද නැඟගෙන කඳු මුදුණේ තිබුණ නිවසකට ගියා. හති දාන ගමන්ම දොරට තට්ටු කළා. එළියට ආව කාන්තාව එක්ක හුඟක් වෙලා කතා කළාට පස්සේ තව දවස් කීපයකින් මම ආපහු එන්නම් කියලා ඇයට කිව්වා.

“මට නං ඒ ගැන සැකයි” ඇය කිව්වා. පොරොන්දු වුණ විදිහට එහෙ ගියාම, මගේ දුවටත් බයිබලය උගන්වන්නකෝ කියලා කාන්තාව මට කිව්වා. “ඒක දෙමාපියන්ගේ වගකීමක්. ඕන නම් මං ඒකට ඔයාට උපකාර කරන්නම්” කියලා මම කිව්වා. ඇය ඒකට එකඟ වෙලා ඇයත් බයිබලය පාඩම් කරන්න කැමති වුණා. ඇය අකුරු කියන්න ලියන්න දැනගෙන හිටියේ නැති නිසා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන කියවීම හා ලිවීම ඉගෙනගන්න යන පොත්පිංචයෙන් අපි පාඩම පටන්ගත්තා.—එම ප්‍රකාශනය Learn to Read and Write.

කාලයක් යද්දී ඔවුන්ට දරුවෝ අටදෙනෙක් හිටියා. ඔවුන්ගේ ගෙදරට යනකොට ඒ දරුවන් පඩි පෙළේ තැනින් තැන ඉඳලා කන්ද නඟින්න මට උපකාර කළා. අන්තිමේදී ඒ මුළු පවුලම යෙහෝවා දෙවිට සේවය කරනවා. දුවලා තුන්දෙනෙක් පුරෝගාමි සේවය කරනවා. එක පුතෙක් වැඩිමහල්ලෙක්. පියා 2000දී මිය යන තුරුම සභා සේවකයෙක් හැටියට සේවය කළා. මේ පවුල ගැනයි ඔවුන්ගේ ඇදහිලිවන්තකම ගැනයි හිතද්දී මට මොන තරම් සතුටක් දැනෙනවාද! ඔවුන්ට උපකාර කරන්න මට ඉඩ ලබා දුන්න එක ගැන දෙවිට මම ගොඩක් ස්තුති කරනවා.

යළි කාමන් සමඟ

අම්මා 1997දී මැරුණට පස්සේ කාමන්ට ආපහු පුරෝගාමි සේවයට ආරාධනාවක් ලැබුණා. වර්ෂ 1998දී බොලිවියාහි කොචබම්බාවලට ඇයට පැවරුමක් ලැබුණා. මමත් එහෙ සේවය කරමින් හිටියා. අවුරුදු 18කට පස්සෙයි කාමන්ටයි මටයි ආපහු එකට ඉන්න ලැබුණේ. කාමන්වත් සැලකුවේ මිශනාරි කෙනෙක් හැටියටයි. කොචබම්බාවල අපි ප්‍රීතියෙන් සේවය කළා. එහෙ තියෙන්නේ හොඳ දේශගුණයක්. ඒ නිසා මතයක් තියෙනවා වැහිලිහිණීන් ඒ ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය කරන්නේ නැහැ කියලා. දැන් අපි ඉන්නේ බොලිවියාහි සුක්රේවලයි. කඳු මිටියාවතක් වන මේ අලංකාර නගරයේ 2,20,000ක ජනගහනයක් ඉන්නවා. එක කාලෙකදී මේ නගරයේ කතෝලික පල්ලි හුඟක් තිබුණ නිසා පුංචි වතිකානුව කියලා හැඳින්නුවා. දැන් එහේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සභා පහක් තියෙනවා.

කාමනුයි මායි පුරෝගාමි සේවයේ යෙදුණ අවුරුදු ගාණ එකට එකතු කළොත් 60කටත් වඩා වැඩියි. අපි දෙන්නට තියෙන ලොකුම සතුට තමයි සියයකට වඩා සංඛ්‍යාවකට බව්තීස්ම වෙන්න උපකාර කිරීමේ වරප්‍රසාදය ලැබීම. යෙහෝවා දෙවිට මුළු ජීවිතයෙන්ම සේවය කරන්න ලැබීම තමයි උතුම්ම ආශීර්වාදය!—මාක් 12:30.

[පාදසටහන]

^ 8 ඡේ. බයිබලයේ සඳහන් වන්නේ උපන් දින උත්සව දෙකක් ගැන පමණයි. ඒවාට තිබුණේ මිථ්‍යාදෘෂ්ටික පසුබිමක් වන අතර එහිදී සිදු වුණෙත් හොඳ දේවල් නොවෙයි. (උත්පත්ති 40:20-22; මාක් 6:21-28) දේවවචනයෙහි දිරිගන්වන්නේ සමාජීය හෝ සම වයසේ මිතුරන්ගේ බලපෑම උඩ නොව සිතේ පෙලඹීමෙන් දීමටයි.—හිතෝපදේශ 11:25; ලූක් 6:38; ක්‍රියා 20:35; 2 කොරින්ති 9:7.

[15වන පිටුවේ පින්තූරය]

මේ පවුල එක්ක පාඩමක් කරන්න මම කඳු නැග්ගා

[15වන පිටුවේ පින්තූරය]

කාමන් අක්කා එක්ක දේවසේවයේ යද්දී (දකුණු පැත්තේ)