Skip to content

පටුනට යන්න

යොවුන් පරපුරට අවශ්‍ය දේ ලබා දෙමු

යොවුන් පරපුරට අවශ්‍ය දේ ලබා දෙමු

යොවුන් පරපුරට අවශ්‍ය දේ ලබා දෙමු

යෞවනයන් කැමතියි තම පරමාර්ථයන්, අපේක්ෂාවන් හා ගැටලු ගැන නිදහසේ කතා කරන්න. ඔවුන්ට හොඳ මිත්‍රයනුත් අවශ්‍යයි. ටිකෙන් ටික වයසින් මෝරද්දී ඔවුන් කැමති තමන්ටම ආවේණික වූ අනන්‍යතාවක් ගොඩනඟාගැනීමටයි. මේ සඳහා දෙමාපියන් දරුවන්ට උදව් කරනවා නම් ඔවුන්ට හැකි වෙයි තම දරුවන්ව අන්තර්ජාලයේ නරක ආශ්‍රිතයන් ඇතුළු හානිකර සබඳතාවලින් රැකගන්න.

යෞවනයන් කැමතියි කතා බහ කිරීමට. තමන්ගේ හැඟීම් හෙළි කිරීමට අකමැති බවක් හෝ ගුප්ත බවක් නව යොවුන් වියේ පසුවන්නන්ගෙන් දිස් විය හැකියි. නමුත් ඇත්ත තත්වය මීට වෙනස්. බැරෑරුම් කාරණා වේවා සුළු දේවල් වේවා දෙමාපියන් වන ඔබ සමඟ කතා බහ කරන්නයි ඔවුන් ඇත්තටම කැමති. ඔබ ඔවුන්ට සවන් දෙන්න සූදානම්ද? ඒ වගේම කැමැත්තක් දක්වනවාද?—යාකොබ් 1:19.

කාර්යබහුල ජීවිතයක් ගත කරන බවත් කාලය සොයාගැනීම පහසු නැති බවත් ඇත්තයි. එහෙත් දරුවන්ට ඔබේ කාලය අවශ්‍ය බව මතක තබාගන්න. මෙය ගැටලුවක් නම් මෙම නැණවත් බයිබල් උපදෙස ගැන දෙවරක් සිතන්න. “වඩා වැදගත් දේවල් සහතික කරගන්න.” (ෆිලිප්පි 1:10) ඔබට වඩාත් වැදගත් වෙන්නේ ඔබේ දරුවන්ව නෙවෙයිද?

දරුවන් උපදෙස් පතා එන්නේ දෙමාපියන් ළඟට නොව සම වයසේ මිතුරන් ළඟට කියා තීරණය කිරීමට ඉක්මන් නොවන්න. වසර 7 සිට 13 දක්වා පන්තිවල ශිෂ්‍යයන් 17,000කට වැඩි පිරිසක් යොදාගෙන සමීක්ෂණයක් සිදු කළා. ඔවුන්ට හොඳ තීරණ ගැනීමට ඔවුන්ගේ දෙමාපියන්ගෙන්, මිතුරන්ගෙන්, ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන්, මාධ්‍යයෙන් හා ගුරුවරුන්ගෙන් කොපමණ බලපෑමක් සිදු වෙනවාද යන්න ගණන් බැලීමට 0 සිට 5 දක්වා අගයන් යොදාගත්තා. පිළිතුර “0” නම් කිසිම බලපෑමක් නොවන අතර “5” විශාල බලපෑමක් යනුවෙන් සටහන සකස් වුණා. අඩකටත් වඩා පිරිසක් තම දෙමාපියන්ට 5 අගය දී තිබුණා.

එයින් පැහැදිලි වන්නේ දෙමාපියෙකු වන ඔබට ඔබේ දරුවන්ට සාරධර්ම උගන්වමින් ඉලක්ක තබාගැනීම සඳහා උපකාර කිරීමට විශාල වගකීමක් තිබෙන බවයි. “ඔබ පවසන වචනයක් වචනයක් පාසා ඔවුන් ඔබට ළං වෙයි කියා ඉන් අදහස් කරන්නේ නැතත් ඔබ ඔවුන් සමඟ කතා බහ නොකළොත් ඔවුන් ඔබට කොහොමටවත් ළං වෙන එකක් නැහැ” කියා එක් මවක් පැවසුවා.

යෞවනයන්ට මිතුරු මිතුරියන් අවශ්‍යයි. “තම දරුවන් අන්තර්ජාලයෙන් ඇසුරු කරන්නේ කාවද කියලා හුඟක් වෙලාවට දෙමාපියන් දන්නේ නැහැ. සමහරුන්ට දැනගන්න වුවමනාවකුත් නැහැ” කියා 15-හැවිරිදි දැරියක් පැවසුවා. මෙවැනි කාලයකදී දෙමාපියන් එසේ සිටීම සුදුසු දෙයක් නොවෙයි. පාසැලේදී හෝ අන්තර්ජාලයට පිවිස හෝ තම දරුවන් කාලය ගත කරන්නේ කවරෙකු සමඟද කියා ඔබ දන්නවාද? බයිබලයේ පවසන්නේ “නරක ආශ්‍රයෙන් හොඳ චරිත වැනසේ” කියායි. (1 කොරින්ති 15:33, නව අනුවාදය) ඔබේ දරුවන්ගේ ආශ්‍රිතයන් ගැන ඔබ විමසිලිමත් විය යුතු බවට එය පැහැදිලි හේතුවක් නොවෙයිද?

දරුවන් ගැන සැලකිලිමත් වෙද්දී නරක ආශ්‍රිතයන්ගෙන් ඔවුන්ව රැකගන්නවාට වඩා වැඩි දෙයක් කළ යුතුයි. දරුවන් සුදුසු මිතුරන්ව සොයාගත යුතුයි. “ප්‍රඥාවන්තයන් සමඟ යන්නා ප්‍රඥාවන්ත වෙයි. නමුත් අඥානයන් ඇසුරු කරන්නා කරදරයේ වැටෙයි.” (හිතෝපදේශ 13:20) එමනිසා සුදුසු ආශ්‍රිතයන්ව එනම් තම නිර්මාතෘව මතකයේ තබාගෙන කදිම ආදර්ශයක් තබා තිබෙන වෙනත් යෞවනයන්ව තෝරාගැනීමට ඔබේ දරුවන්ට උපකාර කළ යුතු වෙයි.—දේශනාකාරයා 12:1.

තමා හා මිතුරු වීමට කැමති පුද්ගලයන්ට යෙහෝවා දෙවි ප්‍රමිති දී තිබෙනවා. අපත් උත්සාහ කළ යුත්තේ ඔහුව අනුකරණය කිරීමටයි. (ගීතාවලිය 5:1-5; එෆීස 5:1) දෙමාපියන්ට හැකි හොඳම දේ වන්නේ තම වචනයෙන් හා ආදර්ශයෙන් යහපත් ආශ්‍රිතයන්ව තෝරාගැනීමට තම දරුවන්ට ඉගැන්වීමයි.—2 තෙසලෝනික 3:6, 7.

යෞනයන්ට අවශ්‍ය වන්නේ තමන්ටම ආවේණික අනන්‍යතාවක් ගොඩ නාඟාගැනීමටයි. ටිකෙන් ටික ලොකු මහත් වෙද්දී දරුවන් කැමති අන් සෑම දරුවෙකුටම වඩා වෙනස් පුද්ගලයන් වීමටයි. “ළමයෙකුගේ ක්‍රියාවලින් ඔහුගේ චරිතය හෙළි වේ.” (හිතෝපදේශ 20:11, න. අ.) ඔබේ දරුවන්ගේ සිත් තුළ හරි ප්‍රතිපත්ති පැලපදියම් කිරීම ඔබ සතු වගකීමක්.—ද්විතීය කතාව 6:6, 7.

නිදසුනක් බලමු. සාමාන්‍යයෙන් දෙමාපියන් තම දරුවා කුඩා කාලයේදී නිසි ඇඳුම් අන්දවන්නේ අනාගතයේදී ඔහුට හෝ ඇයට සුදුසු ඇඳුම් තෝරාගැනීමට හැකි වෙයි යන බලාපොරොත්තුවෙනුයි. ඒත් වයස අවුරුදු 30ක පමණ සෞඛ්‍යසම්පන්න වැඩිහිටියෙකුටත් ඔහුගේ දෙමාපියන් ඇඳුම් අන්දයිද? කොහෙත්ම නැහැ! ඊට සමාන අදහසක් දෙමින් බයිබලයේ දිරිගන්වන්නේ “අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න” එනම් ක්‍රිස්තුස් බඳු පෞද්ගලිකත්වයක් ගොඩ නඟාගන්න කියායි. (කොලොස්සි 3:10) ආදරයෙන් හරි වැරැද්ද කියා දෙමින් ‘යෙහෝවා සිතන ආකාරයට සිතන්න ඉගැන්වීමෙන්’ ඔබට හැකියි ඔබේ දරුවන්ට අලුත් පෞද්ගලිකත්වයක් පැළඳගැනීමට උපකාර කරන්න. (එෆීස 6:4) එවිට ඔවුන් ලොකු මහත් වෙද්දී මෙන්ම වැඩි ස්වාධීනත්වයකින් කටයුතු කරද්දී ඔබින ලෙස ‘අලුත් පෞද්ගලිකත්වයෙන් සැරසී සිටීවි.’—ද්විතීය කතාව 30:19, 20.

ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘දෙවිගේ වචනයේ සඳහන් සාරධර්ම ගැන මගේ දරුවන්ට ඇත්තෙන්ම හැඟෙන්නේ කෙලෙසද? මම ඔවුන්ට ‘හොඳ සිහිකල්පනාවෙන්’ ඉන්න උපකාර කරන්නේ කොහොමද?’ (තීතස් 2:12) ඔබේ අරමුණ දරුවාව සුහච කීකරු දරුවෙකු කරගැනීම නොවෙයි. සමහර දරුවන් කරබාගෙන කියන කියන හැම දෙයක්ම කරන බව පෙනෙයි. නමුත් ඔබ කියන කියන හැම දෙයක්ම අද දින කරන දරුවා හෙට දින ලෝකයෙන් ඉදිරිපත් කරන හැම දේකටම අවනත වීමට ඉඩ තිබෙනවා. එමනිසා තම “කල්පනා ශක්තිය” වැඩි කරගැනීමට ඔබේ දරුවන්ව පුහුණු කරන්න. (රෝම 12:1) බයිබල් ප්‍රතිපත්ති යහපත් වන්නේ මන්ද කියාත් අප සියල්ලන්ට ඒවා ප්‍රයෝජනවත් වන්නේ කෙසේද කියාත් වටහාගැනීමට ඔවුන්ට උපකාර කරන්න.—යෙසායා 48:17, 18.

අද දින යොවුන් පරපුරට තම ගැටලු විසඳාගැනීමට උපකාර කිරීමට නම් වෑයමක් දැරිය යුතුයි. නමුත් දරන වෑයම මිල කළ නොහැකියි! ඔබේ දරුවන් දිවි ගෙවන්නේ ඔබ ඔවුන් තුළ පැලපදියම් කළ ප්‍රතිපත්ති මගින් නම් දරුවන් “යෙහෝවා දෙවිගෙන් ලැබෙන උරුමයක්” කියා මුළු හදින්ම පවසන්න ඔබට පුළුවන් වෙයි.—ගීතාවලිය 127:3.

[9වන පිටුවේ පින්තූර]

ඔබේ දරුවන්ට යහපත් ක්‍රිස්තියානි ආශ්‍රිතයන් තෝරාගැනීමට උපකාර කරන්න