Skip to content

පටුනට යන්න

“සොබාදහමේ අසිරිය”

“සොබාදහමේ අසිරිය”

“සොබාදහමේ අසිරිය”

ජපානයේ පිබිදෙව්! ලේඛක විසින්

ජපානයේ අයිච් නම් නගරයේ රටවල් 121ක සහභාගිත්වයෙන් එක්ස්පෝ 2005 නමින් ප්‍රදර්ශනයක් පවත්වනු ලැබුවා. මෙයින් බලාපොරොත්තු වුණේ සොබාදහම ගැන යමක් උගන්වා, “පරිසරය දූෂණය නොකර ස්වාභාවික සම්පත් භාවිත කරමින් අර්ථිකය නඟා සිටුවීම” සඳහා නරඹන්නන්ව පෙලඹවීමයි. මේ ප්‍රදර්ශනයට කුඩා කැලෑ, පොකුණු හා මල් වර්ගත් ඇතුළත් වුණා. මෙහි තිබූ එක් විශ්මජනක වැඩක් වුණේ ප්‍රදර්ශන භූමියට ඉහළින් තැනූ ගමන් මාර්ගයයි. මීටර් 21ක් තරම් පළල, කිලෝමීටර් 2.6ක් පුරා දිවයන මේ මාර්ගයේ ගමන්ගන්නා කෙනෙක්ට එහි සිටම පහළ සිරි නැරඹීමට හැකියාව තිබුණා.

සොබාදහම තේරුම්ගනිමු

ජපානය නියෝජනය කළ ප්‍රදර්ශන කුටිය සම්පූර්ණයෙන්ම උණබටවලින් ආවරණය කර ස්වාභාවික පෙනුමක් දී තිබුණා. ඒ සඳහා භාවිත කළ උණබට සංඛ්‍යාව 23,000ක්. මීටර් 7ක් දිග බටවලින් මීටර් 19ක් උස, මීටර් 90ක් පළල, මීටර් 70ක් දිග ලෝකයේ තිබෙන විශාලම උණබට ගොඩනැඟිල්ල නිර්මාණය කර තිබුණා. මේක ඇතුළේ තිබුණ එක් විශේෂ දෙයක් වන්නේ අංශක 360ක ගෝලය. එහි විෂ්කම්භය මීටර් 12.8යි. මේ ගෝලයේ සම්පූර්ණ ඇතුල් පැත්ත හරියට සිනමා ශාලාවක දර්ශන තිරය වගෙයි. එම ගෝලය ඇතුළට ගිහින් දර්ශන නරඹන ඕනෑම අයෙක්ට හැඟෙන්නේ තමන් සොබාදහමේ අසිරියෙන් වටවෙලා කියලයි.

මලයාසියාව නියෝජනය කළ ප්‍රදර්ශන කුටිය පිරී තිබුණේ එම රටේ වැසි වනාන්තරවල හා කොරල් පරවල පින්තූර හා වීඩියෝ දර්ශනවලිනුයි. තායිලන්ත ප්‍රදර්ශන කුටියෙන් 2004 දෙසැම්බර් 26වනදා සිදු වූ සුනාමි ව්‍යසනය මතක් කර දුන්නා. එයින් පෙන්නුම් කරනු ලැබුවේ “සොබාදහමේ පාලකයා මිනිසා නොවන” බවයි. දකුණු අප්‍රිකාව නියෝජනය කළ කුටිය තුළ වන සතුන් වඳ වී යෑමට තිබෙන තර්ජනය ගැන කාවද්දනු ලැබුවා. සීබ්‍රා හා සමාන ක්ෂීරපායි සත්ව විශේෂයක් 19වන සියවසේදී සම්පූර්ණයෙන්ම වඳ වී ගොස් ඇත්තේ දඩයම් කිරීම හේතුවෙන් බවයි එහි පෙන්නුම් කරනු ලැබුවේ.

තවත් එක් ප්‍රදර්ශන කුටියක කොටසක් සම්පූර්ණයෙන්ම අධි ශීතකරණයක්. එහි 2002දී රුසියාවේ සයිබීරියාවෙන් සොයාගන්නා ලද මැමැතා නම් විශාල සත්වයාව ප්‍රදර්ශනය සඳහා තබා තිබුණා. එම සත්වයාව නම් කර ඇත්තේ යූකාගර් මැමැතා ලෙසයි. අලින්ගේ ගණයට අයත් වන මේ විශාල සත්වයාට දළ දෙකක් තිබුණ අතර උගේ ඇස් දෙකත් ටිකක් ඇරිලයි තිබුණේ. ඒ වගේම උගේ හමටවත් රෝමවලටවත් හානියක් වෙලා නැහැ. ඒත් දැන් මේ සතුන් වඳ වී ගිහින් නිසා පණ පිටින් දකින්න විදිහක් නැහැ.

තාක්ෂණයේ දියුණුව

පරිසර දූෂණයේ හා පෘථිවිය උණුසුම් වීමේ තර්ජනයට මුහුණ දීමට මිනිසාට හැක්කේ කෙසේද? එක් ආකාරයක විසඳුමක් ලෙස විශාල තාප්පයක හැඩයකට ශාක වගාවක් සකස් කර තිබුණා. මෙය මීටර් 150ක් දිග වූ අතර මීටර් 15ක් උසයි. එහි පැළ 2,00,000ක් තිබුණා. ඊට මල් පැළ ඇතුළුව විවිධ දේශගුණික තත්වයන්ට ඔරොත්තු දෙන ශාක විශේෂ 200ක් ඇතුළත් වුණා. මේ විශාල ශාක තාප්පය ක්‍රියා කරන්නේ හරියට “පෙණහැල්ලක්” වගෙයි. එය කාබන්ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් පිට කර වාතය පිරිසිදු කරනවා. එක් යෝජනාවක් වුණේ නගරවල මේ ආකාරයේ තාප්ප කීපයක් සකස් කරන්න පුළුවන් නම් ඒවායින් පරිසරයේ වායු දූෂණය වළක්වාගත හැකියි යන්නයි.

ප්‍රදර්ශනය නැරඹීමට එන අයව ප්‍රවාහණය කිරීම සඳහා සාමාන්‍යයෙන් ක්‍රියා කරනවාට වඩා වෙනස්ව විදුලි බලයෙන් ක්‍රියා කරන නවීනපන්නයේ බස් රථද තිබුණා. එම බස්වලින් විෂ වායු වෙනුවට පිට වන්නේ ජලයයි. දැනටමත් ජපානයේ භාවිත කරන කාන්දම් බලයෙන් දුවන ලිනිමො නම් දුම්රියද තාක්ෂණයේ තවත් ප්‍රාතිහාර්යයක්. කාන්දම් බලය හේතුවෙන් මේ දුම්රිය ධාවනය වන්නේ දුම්රිය මාර්ගයට අඟල් කාලක් ඉහළින්. එමනිසා කෝච්චිය ගමන් කරද්දී ගැස්සෙන්නේවත් බාධා ඇති වන්නේවත් නැහැ. ඒ වගේම බැටරි බලයෙන් ක්‍රියා කරන ට්‍රෑම් රථ, බයිසිකලයක් මෙන් පැදිය හැකි ත්‍රිරෝද රථ හා රියදුරෙක් ඇතුවත් නැතුවත් ධාවනය කරවන්න පුළුවන් බස් රථ වැනි වාහනද නිර්මාණය කර තිබුණා. මෙම බස් රථ ධාවනය වන්නේ ස්වාභාවික වායුවලිනුයි. මේවා ඉන්ධනවලට වඩා පිරිසිදුයි.

තාක්ෂණයේ තවත් දියුණුවක් වුණේ කැළි කසළවලිනුත් යම් ප්‍රයෝජනයක් ගැනීමයි. කැළි කසළ ඉවත නොදා ඒවා භාවිත කරමින් විදුලිය නිපදවිය හැකි තාපබලාගාරයක්ද තනා තිබුණා. මෙම තාපබලාගාරයේදී සිදු වන්නේ මෙයයි. මුලින්ම සියලුම කුණු කසළ එකතු කර පල් වෙන්න හරිනවා. මේ කැළි කසළ පල්වීමෙන් මීතෙන් වායුව නිපදවෙනවා. ඊට පස්සේ මීතෙන් වායුවෙන් හයිඩ්‍රජන් වායුව ලබාගෙන, ලබාගත් හයිඩ්‍රජන් වායුව රසායනික ප්‍රතික්‍රියාවකට ලක් කිරීමෙන් විදුලි බලය නිපදවනවා. අතුරුපල හැටියට ඉතිරි වන්නේ අපද්‍රව්‍ය නෙවෙයි පිරිසිදු ජලය හා පොහොරයි. මෙහි සමහර ප්‍රදර්ශන කුටිවලට විදුලිය ලබා දී තිබුණෙත් මේ නව බලාගාරයෙන්.

ඒ වගේම පර්යේෂකයන් මහත් උනන්දුවෙන් බලා සිටින්නේ රොබෝ තාක්ෂණය තවත් දියුණු කරන්නයි. ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ මිනිසෙක් වගේ ක්‍රියා කරන අත්උදව් කාරයෙක් විය හැකි රොබෝවරයෙක් බිහි කරන්නයි. එක් ප්‍රදර්ශන කුටියක තිබූ වේදිකාවට රොබෝවරුන් හත්දෙනෙක් ඇවිත් සංගීත භාණ්ඩ වාදනය කිරීමට පටන්ගත්තා. මේ රොබෝවරුන්ගෙන් සමහර අයට ඔවුන්ගේ “ඇඟිලි” භාවිත කරමින් නළා වාදනය කිරීමටත් තවත් සමහර අයට ඩ්‍රම්ස් වාදනය කිරීමටත් හැකි වුණා. “මේ රොබෝවරු පිළිවෙළට වාදනය කරද්දී හරියට මිනිසුන් වාදනය කරනවා වගේමයි” කියා එක් නරඹන්නෙක් පැවසුවා.

මෙහි ඉදිරිපත් කර තිබූ දස්කම් අතරින් තවත් එකක් වූයේ බඩඉරිඟු පිටි භාවිත කරමින් දිරනසුලු ප්ලාස්ටික් වර්ගයක් නිපදවා තිබීමයි. ඒ වගේම ජපානයේ පර්යේෂකයන් විසින් ඔක්සිජන්වලින් නැනෝබුබුලුද සාදා තිබුණා. මේ එක් බුබුලක් නැනෝමීටර් 200ක් තරම් කුඩායි. මිනිසාගේ කෙස් ගසක විෂ්කම්භය නැනෝමීටර 50,000ක් වෙනවා. සාමාන්‍යයෙන් මේ බුබුලු ඉක්මනින් නැති වෙලා යනවා. නමුත් පර්යේෂකයන් මේවා නිෂ්පාදනය කරන්නත් නැති නොවී තබාගන්නත් ක්‍රමයක් සොයාගෙන. මෙම නැනෝබුබුලු නිසා “මාළුන්ට හා කබොල්ල සහිත ජලජ ජීවීන්ටත් වෙනස් වෙන පාරිසරික තත්වයන්ට හොඳින් ඔරොත්තු දෙන්න හැකි” වෙනවා. මිරිදිය හා කරදිය මසුන් වර්ග කිහිපයක් එක් ටැංකියකට දමා ඒ ටැංකියට මේ නැනෝබුබුලු දැමූ විට දෙවර්ගයටම එකම වතුරේ සිටීමේ හැකියාව තිබුණා. ඉදිරියේදී මේ තාක්ෂණය මත්ස්‍ය වගාවටත්, කෘෂිකර්මාන්තයටත් ඒ වගේම වෙනත් අංශවලටත් භාවිත කිරීමට පර්යේෂකයන් බලාපොරොත්තු වෙනවා.

රැකගත යුතු දෙයක්!

මෙම ප්‍රදර්ශනයෙන් මිනිසුන්ට පෙන්නුම් කළේ “සොබාදහමේ අසිරිය” මොනතරම්ද කියායි. ඒ වගේම එය රැකගැනීමේ අවශ්‍යතාවත් කාවැද්දුවා. ඒත් මිනිසුන්ගේ අඥානකම, කෑදරකම මෙන්ම දූෂණය නිසා සොබාදහම රැකගැනීමට ඔවුන්ට කිසිම අවශ්‍යතාවක් නැති බවයි පෙනී යන්නේ. එහි ප්‍රතිඵලය නම් “රෝගී වූ පෘථිවියක්” ඇති වී තිබීමයි. සමහරු යම් දේවල් කරන්නේ හොඳ අදහසකින් වුණත් තමන්ගේ ගැටලු විසඳාගැනීමට හා පරිසරය ආරක්ෂා කරගැනීමට ඔවුන්ට හැකියාව ලැබී නැහැ. මෙයට හේතුවක් හැටියට බයිබලයේ පෙන්නුම් කරන්නේ මිනිස් දැනුම හා ප්‍රඥාව ඊට ප්‍රමාණවත් නොවන බවයි. (යෙරෙමියා 10:23) එසේනම් මේ තත්වයෙන් ගොඩ ඒමට මඟක් නැද්ද? ඇත්තෙන්ම තිබෙනවා.

අපේ නිර්මාතෘ ප්‍රඥාවේ උල්පත බවත් ඔහුගේ මේ විශිෂ්ට නිර්මාණයන් විනාශ කිරීමට ඔහු ඉඩ නොහරින බවත් බයිබලය අපට පවසයි. (එළිදරව් 4:11; 11:18) “තව ටික කලකින් දුෂ්ටයා නැත්තේය; . . . එහෙත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුම කරගන්නෝය; ඔවුහු මහත් සමාදානයෙන් ප්‍රීති වන්නෝය” කියා ගීතාවලිය 37:10, 11හි පවසනවා. එසේනම් අපි අපේ පරිසරය රැකගැනීමටත් ඉන් නිසි ප්‍රයෝජන ලබාගැනීමටත් අවශ්‍යයි. නමුත් ඊටත් වඩා එහි නිර්මාතෘගේ වචනය වන බයිබලය කියවීමත් එහි ඇති උපදෙස් අදාළ කරගැනීමත් අවශ්‍යයි. (2 තිමෝති 3:16) මෙලෙස දෙවි කියන ආකාරයට ක්‍රියා කරන ඕනෑම කෙනෙකුට හැකි වෙයි පෘථිවියේ ගැටලු සම්පූර්ණයෙන්ම නැති වෙනවා දකින්න සහ පාරාදීස පොළොවක ජීවත් වෙන්න.—ලූක් 23:43.

[24වන පිටුවේ පින්තූරය]

නැනෝබුබුලු සහිත මාළු ටැංකියක්

[24වන පිටුවේ පින්තූරය]

රියදුරන් නැති බස්

[24, 25වන පිටුවේ පින්තූරය]

අංශක 360කින් යුත් දර්ශන තිරය

[25වන පිටුවේ පින්තූරය]

ශාක විශේෂ 200ක් ඇතුළත් පැළ 2,00,000ක ශාක වගාව

[25වන පිටුවේ පින්තූරය]

නරඹන්නන්ව සංගීතයෙන් පිනවන රොබෝවරු