Skip to content

පටුනට යන්න

ඇයි මට නිතරම කලන්තේ හැදෙන්නේ?

ඇයි මට නිතරම කලන්තේ හැදෙන්නේ?

ඇයි මට නිතරම කලන්තේ හැදෙන්නේ?

වෛද්‍යවරයා කිව්වා මගේ ඇස් පරීක්ෂා කරන්න අවශ්‍යයි කියලා. සාමාන්‍යයෙන් ඒක කරන්නේ ඇහේ කළුඉංගිරියාවට උපකරණයක් තියලයි. මේ පරීක්ෂණය කරද්දී මට කලන්තේ හැදෙයි කියලා මම දැනගෙනයි හිටියේ. ඉන්ජෙක්ෂන් කටුව ළඟට ගේනකොටත් සිද්ධ වෙන්නේ ඒ දේමයි. සමහරවිට අනතුරු ගැන කතා කරද්දිත් ඒ ටිකමයි වෙන්නේ.

බ්‍රිතාන්‍යයේ එක් වාර්තාවකට අනුව කලින් කියූ තත්වයන්වලදී අපෙන් සියයට තුනකට පමණ නිතරම කලන්තේ හැදෙනවා. ඔබත් ඉන් එක්කෙනෙක් නම් මෙය නවත්වාගැනීමට නිෂ්ඵල වෙහෙසක් දරා ඇති. ප්‍රසිද්ධ තැනකදී කලන්තේ හැදීගෙන එද්දී සමහරවිට ඔබ නාන කාමරයක් වැනි සෙනඟ නැති තැනකට යන්නත් ඇති. ඒත් ඒක එච්චර හොඳ දෙයක් නෙවෙයි. ඒ යන අතරේ හදිස්සියේම කලන්තේ හැදී ඔබට අනතුරක් විය හැකියි. මම බොහෝවිට මේ දේ අද්දකින නිසා ඊට හේතුව සෙවීමට තීරණයක් ගත්තා.

වෛද්‍යවරයෙකුට කතා කිරීමෙන් හා පොත් කීපයක් කියවා බැලීමෙන් පසුව නිතර කලන්තේ දාන්නේ රුධිර වාහිනිවලට වාගුස් නම් ස්නායුවෙන් වැරදි පණිවිඩ ලැබීමෙන් බව සොයාගත්තා. * මෙය ඉඳගෙන ඉඳලා නැඟිටිද්දී වැනි යම් වෙනසක් වෙද්දී රුධිර සංසරණ පද්ධතියේ සිදු වන දෝෂයක් නිසා හටගන්නා දෙයක්.

එලෙසම රුධිරය දකිද්දී හෝ ඇස් පරීක්ෂා කරවාගැනීමේදී සමහර අයට ස්නායු පද්ධතියේ අක්‍රමිකතාවක් ඇති වෙයි. මුලින්ම සිදු වන්නේ දැනෙන බිය නිසා හෘද ස්පන්දනය වේගවත් වීමයි. ඉන්පසු නාඩි වැටීම ශීඝ්‍රයෙන් අඩු වෙන අතර ඔබේ පාදවල රුධිරවාහිනි නාලද පළල් වෙයි. ඔබ දිගා වී සිටින විට සිදු වන්නෙත් ඒ දේමයි. එවිට පාද කරා වැඩියෙන් රුධිරය ගලා එන අතර හිස කරා ගමන් කරන ප්‍රමාණය අඩු වෙයි. එමනිසා මොළයට නිසි ඔක්සිජන් ප්‍රමාණය නොලැබීම හේතුවෙන් ඔබට කලන්තේ හැදෙයි. මෙය වළක්වාගන්නේ කෙසේද?

ඔබෙන් ලේ ගන්නා විට ඉවත බලාගන්න. එහෙමත් නැත්නම් එවැනි අවස්ථාවකදී හාන්සි වී ඉන්න. කලන්තේ හැදීගෙන එන ලකුණු කලින්ම පහළ වෙන නිසා කලන්තේ දාන්න කලින් පියවරක් ගැනීමට වෙලාව තිබෙනවා. හාන්සි වී කකුල් දෙක ටිකක් උස්සලා තබාගන්න. එවිට රුධිරය කකුල්වලට ගලා ඒම අඩු වෙන නිසා කලන්තේ දැමීම වළක්වාගත හැකි වෙයි. විනාඩි කීපයකින් ඔබට යළි සුවයක් දැනේවි.

මට උපකාර වුණා වගේම ඔබටත් මේ තොරතුරු උපකාර වේ නම් ඊළඟ වතාවේ කලන්තේ හැදීගෙන එද්දී ඔබට කලින්ම පියවරක් ගෙන කලන්තේ හැදීම වලක්වාගත හැකි වෙයි.—සපයන ලද්දක්.

[පාදසටහන]

^ 4 ඡේ. මෙය සාරිකා ස්නායුව ලෙසත් හඳුන්වනවා.

[28වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දිගාවීම හොඳම ප්‍රතිකාරයයි