Skip to content

පටුනට යන්න

කලාවට වඩා වටිනා දෙයක්

කලාවට වඩා වටිනා දෙයක්

කලාවට වඩා වටිනා දෙයක්

පැවසුවේ රේඛල් කොයිවිස්තො විසින්

දෙවන ලෝක මහ යුද්ධයෙන් මිය ගිය අයව සිහි කිරීම සඳහා ස්මාරකයක් සෑදීම සඳහා තිබූ තරඟයෙන් ජය ගත්තේ මමයි. ඒ 1950දීයි. ඊට අවුරුද්දකට විතර පස්සේ ෆින්ලන්තයේ ටූසූලා නගරයේ කලුගලින් සෑදූ එම ස්මාරකය විවෘත කිරීමේ උත්සවයට මට ආරාධනා කළත් මම ඒකට සහභාගි වුණේ නැහැ. ඊට හේතුව මම දැන් කියන්නම්.

මම ඉපදුණේ 1917දී ෆින්ලන්තයේ ගම්බද ප්‍රදේශයකයි. දරුවන් අටදෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා මමයි. අපි දුප්පත් වුණත් හිටියේ සන්තෝෂයෙන්. දේවභක්තියක් තිබුණු අපේ අම්මයි තාත්තයි අපිට දෙවි ගැන ඉගැන්වුවා. තාත්තා සල්ලිවලට අරං තිබුණු බයිබලය අපි සැලකුවේ අපේ ගෙදර තියෙන වටිනා වස්තුවක් ලෙසයි.

මම පොඩි කාලේ ලීවලින් පුංචි ප්‍රතිමා හැදුවා. මම දක්ෂයි, ඒ නිසා ඒ කලාව හොඳට ඉගෙනගන්න කියලා නෑයෝ මට කිව්වා. පස්සේ කාලේක මම මේ ගැන තවත් ඉගෙනගන්න හෙල්සිංකි නගරයේ කලාව සඳහා පිහිටුවා තිබෙන ප්‍රසිද්ධ විශ්ව විද්‍යායලකට ඇතුල් වුණා. ගමේ හැදුණු වැඩුණු මට මේ වගේ පරිසරයක ඉගෙනගන්න ලැබුණු එක ගැන මම හුඟාක් සතුටු වුණා. මම 1947දී උපාධිය ලබාගත්තාම මම හිතුවේ මගේ කලාවෙන් මට මේ ලෝකයේ කල්පවතින යමක් කරන්න පුළුවන් කියලයි.

ජීවිතයේ වෙනසක්

එක දවසක් මගේ අක්කා ඉහවහ ගිය සතුටකින් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පොතක් පෙන්නලා මට කිව්වා (Let God Be True) “මේක තමයි සත්‍යය” කියලා. දවස් දෙක තුනකට පස්සේ මම දැක්කා, විශ්ව විද්‍යාලයේ ළමයෙක් ළඟත් ඒ පොතම තියෙනවා. ඒ ගැන මම එයාට විහිළු කරද්දී, “ඔහොම කියන්න එපා! මේක කියෙව්වොත් ඔයත් දැනගනියි බයිබලයේ තියෙන්නේ මොනවද කියලා” ඇය තරහෙන් වගේ කිව්වා. පස්සේ මම ඒ පොත අරන් එක හුස්මට කියෙව්වා. මං තේරුම්ගත්තා සත්‍යය තියෙන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ළඟයි කියලා. කලා වැඩවලින් ලබාගන්න බැරි මහඟු දායාදයක් වන සදාකාල ජීවනය යෙහෝවා දෙවි ලබා දෙනවා කියලත් මම තේරුම්ගත්තා.

මම සාක්ෂිකරුවන් එක්ක ඇසුරු කරන්න පටන්ගත් මුල් කාලයේදී මට එයාලාගේ රැස්වීම්වලට එන්න කියලා ආරාධනා කළේ නැති නිසා මං හිතුවේ ඒ රැස්වීම් තියන්නේ එයාලාගේ සාමාජිකයන්ට පමණයි කියලයි. ඒත් මටත් රැස්වීම්වලට එන්න පුළුවන්ද කියලා මම ඇහැව්වා. ක්‍රිස්තියානි රැස්වීම්වලට ඕන කෙනෙක්ට එන්න පුළුවන් කියලා දැනගත්තාම මට ලොකු සතුටක් ඇති වුණා. ඒ රැස්වීම් නිසා මගේ ඇදහිල්ල ශක්තිමත් වුණා. ඒ වගේම යෙහෝවා දෙවිට මගේ ජීවිතය කැප කරන්නත් මම තීරණය කළා. ඊට පස්සේ 1950 නොවැම්බර් 19වෙනිදා මමත් අක්කත් බව්තීස්ම වුණා. කාලයක් යද්දී මගේ අනිත් අක්කලා හතරදෙනත් අම්මායි තාත්තයිත් බව්තීස්ම වුණා.

අලුත් වෘත්තියක්

මම සාක්ෂිකරුවන් සමඟ පාඩම් කරනගමන්ම මූර්ති ශිල්පයත් හැදෑරුවා. මම උපාධිය ලබාගත්තාට පස්සේ ඒ කලාවේ මහචාර්යවරයෙකුගේ සහයිකාව හැටියට වැඩ කළා. මුලදී සඳහන් කළ විදිහට දෙවන ලෝක මහ යුද්ධයෙන් මිය ගිය අයව සිහි කිරීම සඳහා ස්මාරකයක් හදන අදහස මට ආවේ ඒ කාලයේදීයි. එහි තේමා පාඨය හැටියට මම යෝජනා කළේ “යළි නොඑන ගමන් ගිය මිනිසුන්” කියායි. මෙයට මම බයිබලයෙන් දැනගත් දේවල්ද හේතු වුණා. (යෙසායා 2:4; මතෙව් 26:52) මීටර් 5කටත් වඩා උස ඒ ස්මාරකය විවෘත කරන උත්සවයට මම සහභාගි නූණේ එය දේශානුරාගී ස්වභාවයක් ගත් නිසයි.

මූර්ති ශිල්පිණියක් හැටියට මගේ ප්‍රසිද්ධිය වැඩි වෙන්න පටන්ගත්තා. මට හොඳ රැකියාවල් ලැබුණා. ඒත් මම මුල් තැන දෙන්න ඕනෙ මොකකටද කියලා හොඳට හිතලා බැලුවා. මම කලාවට හුඟාක් ආස කළත් දෙවි ගැන මිනිසුන්ට කියා දෙන්න තියෙන ආසාව ඊටත් වඩා වැඩියි. ඒ නිසා මම 1953දී යෙහෝවාගේ සාක්ෂිකරුවන් පුරෝගාමී සේවය කියා හඳුන්වන පූර්ණ කාලීන දේවසේවය කරන්න පටන්ගත්තා.

මගේ හැකියාවෙන් මම ප්‍රයෝජන ගන්නේ නැහැ කියලා සමහරු මට කිව්වා. ඒත් මූර්ති ශිල්පිණියක් හැටියට මම ලබාගන්න ඕනෑම දෙයක් තාවකාලික බවත් ගලින් හදන ප්‍රතිමා වුණත් කැඩිලා බිඳිලා යන බවත් මම තේරුම්ගත්තා. නමුත් පුරෝගාමියෙක් හැටියට මගේ කාලය අනිත් අය වෙනුවෙන් පාවිච්චි කිරීමෙන් ඔවුන්ට සදාකාල ජීවනයට යන මාර්ගය දැනගන්න පුළුවන්. (යොහන් 17:3) මම මූර්ති කලාව අමතක කළේ නම් නැහැ. මගේ වියදම් පිරිමහගන්නත් විනෝදය සඳහාත් මම ඉඳලා හිටලා පොඩි පොඩි පිළිම හැදුවා.

නගරයෙන් ගමට

හෙල්සිංකි නගරයේ අවුරුදු හතරක් පුරෝගාමි සේවය කළාට පස්සේ 1957දී මට ආරාධනාවක් ලැබුණා, දකුණු ඔස්ට්‍රොබොත්නියාහි පිහිටි යාලාස්යාර්වි නම් ගම්බද ප්‍රදේශයක සේවය කිරීමට. එහිදී මට සේවය කරන්න වෙන්නේ මම අඳුරන්නෙත් නැති, මට වඩා අවුරුදු 17ක් බාල සහෝදරියක් වන ආන්යා කේටෝ එක්කයි කියාත් දැනුම් දුන්නා. ඒත් මම ඒ පැවරුම සතුටින් භාරගත්තා. ඒ මුළු ගමේම සාක්ෂිකරුවන් හැටියට හිටියේ අපි දෙන්නා විතරයි. ඒ හින්දා හැම තිස්සේම වගේ සේවය කළේ එකටයි. වැඩි කලක් යන්න කලින් අපි දෙන්නා කල්‍යාණ මිතුරියන් වුණා.

නගරයේ අවුරුදු 20ක් විතර ජීවත්වෙලා ආපහු සරල, ගැමි ජීවිතයකට හුරු වෙන්න සිදු වුණා. ඒත් යාලාස්යාර්විවල ජීවත් වෙද්දී මට මතක් වුණේ මගේ පුංචි කාලේ ගමේ ගත කළ ඒ ජීවිතයයි. සීත කාලය ඉතා දුෂ්කර එකක් වුණා. සමහර දවස්වලදී ඉණ ගාවට වෙනකම් හිම තිබුණා. අපි හිටියේ පහසුකම් අඩු කුඩා නිවසකයි. අපි වතුර ගත්තේ ළඟ තිබුණු දිය කඩිත්තකින්. සමහර දවස්වල අපි ගෙනාපු වතුර උදේ බලද්දී අයිස් වෙලා. ඒත් අපිට අත්‍යවශ්‍යය දේවල් ටික නම් තිබුණා. (1 තිමෝති 6:8) ඒ දවස් කාර්ය බහුල වුණත් අපි හිටියේ සතුටින්.

පලදායි කාර්යක

ගමේ අය මුලදී අපිට වැඩි කැමැත්තක් පෙන්නුවේ නැති නිසා අපේ සේවය එතරම් පලදායි වුණේ නැහැ. ඒ අයට අපි කරන සේවය ගැන දැනුමක් ලබා දෙන්න අපි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් නිකුත් කර තිබෙන සමහර චිත්‍ර දර්ශන පෙන්නුවා. (The New World Society in Action; The Happiness of the New World Society) මේවා නැරඹීමෙන් ගමේ අය අපි ගැනත් ලෝක ව්‍යාප්තව යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කරන සේවය ගැනත් සංවිධානය ගැනත් හොඳ හැඟීමක් ඇති කරගත්තා. මේ චිත්‍ර දර්ශන පෙන්වන දවස්වලට හුඟදෙනෙක් ඒවා බලන්නත් ආවා.

දවසක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සංචාරක අවේක්ෂයෙක් වන ඉරෝ මූරයිනන් මෙහේ ඇවිත් ප්‍රජා ශාලාවක චිත්‍ර දර්ශනයක් පෙන්නුවා. (The New World Society in Action) ඒ ශාලාව කොච්චර පිරිලා තිබුණද කියනවා නම් මට හිටගන්නවත් තැනක් තිබුණේ නැහැ. මම බිත්තියට හේත්තු වෙලා තනි කකුළෙන් හිටගෙනයි හිටියේ. අනිත් කකුළ තියන්නවත් ඉඩ නැහැ. ඒ තරමටම සෙනඟ. ඒ චිත්‍ර දර්ශනය බැලුවාට පස්සේ බොහෝදෙනෙක් අපිට කිව්වා ඒගොල්ලන්ව හමුවෙන්න ගෙදරට එන්න කියලා.

අපි ගොවිපොළවල ඉන්න අයට ඇහුම්කන් දෙන්න බයිබලය මත පදනම් කතා පටිගත කරපු කැසට් පටි අරං ගියා. මේවා අහන්න ලොකු කැසට් යන්ත්‍රයක් අරගෙන යන්නත් සිදු වුණා. එක දවසක් අපි ගෙදරක ඒ වගේ කතාවක් අහන්න සලස්වනවා කියලා රෑ 7.00ට ගමේ හැමෝටම එන්න කියලා කිව්වා. එදා උදේ අපි කිලෝමීටර් 25ක් ඈතින් තිබුණු වෙනත් ගමක දේශනා කරන්න බයිසිකල්වලින් ගියා. අපි හිතුවේ හැන්දෑ වෙන්න කලින් එන්න පුළුවන් වෙයි කියලයි. ඒත් අපි ගියාට පස්සේ හොඳටම වැහැලා පාර මඩ වගුරක් වෙලා තිබුණා.

බයිසිකල්වල කොච්චර මඩ තැවිරිලා තිබුණාද කියනවා නම් පදින්නවත් බැරි වුණා. අපිට යන්න වුණේ බයිසිකල් කරේ තියාගෙනයි. මේ හින්දා අපි පොරොන්දු වුණු වේලාවට යන්න බැරි වුණා. අපි බැරි බැරි ගාතේ අපේ කැසට් එකත් උස්සගෙන ඒ ගෙදරට යනකොට රෑ 10.00 විතර වුණා. අපි නම් හිතුවේ ආපු ඔක්කොම ආපහු හැරිලා ගෙවල්වලට ගිහින් ඇති කියලයි. ඒත් හරි පුදුමයි, ඒ සෙනඟ අපි එනකම් බලාගෙන හිටියා. කතාවට ඇහුම්කන් දුන්නාට පස්සේ හොඳ සාකච්ඡාවක් තිබුණා. අපි ආපහු ගෙදර ආවේ පාන්දරයි. එදා දවසේ හෙම්බත් වෙලා හිටියත් අපිට දැනුණේ ලොකු සතුටක්!

ගම්වලට යන්න එන්න ලොකු දුරක් තිබුණු නිසා ඒ ප්‍රදේශයේ සිටි සාක්ෂිකරුවන් එකතු වෙලා අපිට කාර් එකක් අරන් දුන්නා. ඒක පරණ වුණත් අපේ සේවය පහසුවෙන් කරගෙන යන්න ගොඩාක් ප්‍රයෝජනවත් වුණා. ඒ වගේම ඒක ගොඩාක් ප්‍රසිද්ධත් වුණා. ඒ බව අපි දැනගත්තේ, නිල් කාර් එකේ එන කාන්තාවන් දෙන්නාව ගෙවල්වලට ගන්න එපා කියලා ඒ ප්‍රදේශය භාර බිෂෝප්වරයා කියලා තිබුණ නිසයි. ඒත් ගමේ මිනිසුන්ට මේ කාන්තාවන් දෙන්නා කවුද කියලත් එයාලා එතරම් භයානක ඇයි කියලත් දැනගන්න ඕනෙ වුණා. අපිට බයිබල් පාඩම් කිහිපයක් ආරම්භ කිරීමට ඔවුන්ගේ මේ කුතුහලය මඟ පෑදුවා. යෙසායා පැවසූ මේ වචන කොතරම් සත්‍යයද කියලා අපට හැඟුණා. “ඔබට විරුද්ධව සෑදූ කිසි ආයුධයක් සඵල නොවන්නේය.”—යෙසායා 54:17.

ටිකෙන් ටික අපේ සේවය පල දැරුවා. ඊට පස්සේ උනන්දුව දැක් වූ කිහිපදෙනෙක් සමඟ සතිපතා රැස්වීම් පවත්වන්න පටන්ගත්තා. මේ කණ්ඩායම 1962 වෙද්දී සාක්ෂිකරුවන් 18දෙනෙක්ගෙන් යුත් සභාවක් බවට පත් වුණා. වැඩියෙන්ම හිටියේ කාන්තාවන්. අවුරුදු දෙකකට පස්සේ අපි දෙන්නාව ඒ අවට තිබූ යුයිලිස්ටාරෝ නම් ගමට මාරු කළා.

ප්‍රීතියෙන් සේවය කළ ප්‍රදේශයක්

අලුත් ගමට අපි හුඟාක් ආස කළේ ඒ ලස්සන හා සන්සුන් පරිසරයට වගේම එහි සිටි ජනයා නිසයි. ඔවුන් මිත්‍රශීලී, ආගන්තුක සත්කාරයට ලැදි අයයි. ගොඩාක් අය තමන්ගේ ආගමට හා ජාතියට ලොකු ඇලුම්කමක් දක්වන නිසා සමහර අවස්ථාවලදී අපට බැණ වැදුණා. ඒත් සමහර අය බයිබලයට ලොකු ගෞරවයක් දැක්වූවා. බොහෝවිට අපි බයිබලය එළියට ගත්තුගමන් ගැහැනු අය ඒ අයගේ වැඩ නවත්තලා අහගෙන හිටියා. සාමාන්‍යයෙන් පිරිමි අය තොප්පිය ලෙහෙසියෙන් ගලවන්නේ නැහැ. ඒත් බයිබලයෙන් යමක් පෙන්නද්දී තොප්පිය ගලවලා අහගෙන හිටියා. සමහර අවස්ථාවලදී අපි පාඩම කරනකොට පවුලේ අය විතරක් නෙවෙයි අහල පහළ අයත් ඒකට සහභාගි වෙනවා.

මට නිවාඩු තියෙද්දී මැටිවලින් දේවල් ඇඹුවා. වැඩිහරියක්ම මිනිස් රූප තමයි. සේවයේදී හමු වූ අවංක මිනිසුන් දිහා බලලා දකින දේ මගේ මූර්ති කලාවටත් යොදාගත්තා. බොහෝවිට ගැහැනු අය තමන්ගේ එදිනෙදා වැඩවල යෙදෙන ආකාරය දක්වන ප්‍රතිමා මං හැදුවා. මම හදන පිළිම ගැන එක් සඟරාවක මෙහෙම කියලා තිබුණා. ‘මේ රූප දකින කෙනෙකුට සතුටක් හා සාමකාමී හැඟීමක් ඇති වෙනවා විතරක් නෙවෙයි හිනාත් යනවා. මේ රූපවලින් දකින්න තිබෙන්නේ කලාකරුවාගේ නිර්මාණශීලීත්වය වගේම ඇය තුළ මිනිසුන්ට තිබෙන ආදරයයි.’ කොහොමවුණත් මම කලාව පැත්තටම බර වුණේ නැහැ. යෙහෝවා දෙවිට පූර්ණ කාලීනව සේවය කිරීමේ ඉලක්කයට බාධා වෙන්න කිසිම දෙයකට ඉඩ දුන්නේ නැහැ.

මට 1973දී අත්හරින්නම බැරි වැඩක් ලැබුණා. ඒ තමයි ෆින්ලන්තයේ තියෙන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයේ එක් තැනක මැටිවලින් දර්ශනයක් ඇඹීම. මේකට තේමා පාඨය හැටියට තෝරගෙන තිබුණේ ගීතාවලිය 96:11-13යි. මගේ හැකියාවන්වලින් දෙවිට ප්‍රශංසා කිරීමට ලැබුණු ඒ සතුට කියා නිම කරන්න බැහැ.

මම පුරෝගාමී සේවය කරනකොට ප්‍රතිමා හැදුවේ මගේ තෘප්තිය සඳහායි. ඒත් 1970 අගභාගයේදී කලාකරුවන්ට දෙන විශ්‍රාම වැටුපක් මටත් දෙනවා කිව්වාම මම පුදුම වුණත් ඒ උපකාරය මම අගය කළා. ඒත් මම මෙහෙම හිතුවා.‘මගේ මුළු ජීවිත කාලය කලාවට යොමු කළා නම් මේකද මට අන්තිමට ලැබෙන්නේ? විශ්‍රාම යනකොට වෙන්නේ සල්ලි ටිකක් අතට ලැබෙන එක විතරද?’ දෙවි දෙන සදාකාල ජීවනය එක්ක බලද්දී එය මොන තරම් සුළු දෙයක්ද!—1 තිමෝති 6:12.

නැවතත් නගරයට

වර්ෂ 1974දී තවත් ලොකු වෙනසක් වුණා. අපිව නැවතත් ලොකු නගරයකට මාරු කළා. නගරයේ අලුත් ගොඩනැඟිලි ඉදි වී තිබුණා. පිටින් හුඟාක් දෙනෙක් නගරයට පදිංචියට ඇවිත් තිබුණු නිසා දේශනා කිරීමට වැඩියෙන් කට්ටිය අවශ්‍යය වුණා. මුලින් අපි මේ පැවරුම ගැන එතරම් සතුටු වුණේ නැහැ. මොකද නගරයේ අයට දේශනා කරන එක ලේසි නැති නිසා. ඒ අය ටිකක් දරුණුයි. ඒත් කාලයක් යද්දී අපි ඒ පරිසරයට හුරු වුණා. ඒ වගේම බයිබල් සත්‍යයන් අගය කළ බොහෝදෙනෙක්ව හමු වුණා.

ගෙවී ගිය කාලය ඇතුළත අන්යායි මමයි 40දෙනෙකුටත් වඩා පිරිසකට යෙහෝවා දෙවිට තම ජීවිත කැප කරන්න උපකාර කර තියෙනවා. සත්‍යය තුළ දරුවන් මෙන් ඇති දැඩි වුණු මේ අයව දැකීම මොන තරම් සතුටක්ද! (3 යොහන් 4) මෑතක ඉඳන් මගේ සෞඛ්‍යය තත්වය දුර්වල වෙලා. ඒත් දෙවිගේ උපකාරයත් සභාවේ අයගේ ප්‍රේමයත් මං ළඟ හැමදාම හිටපු “ශක්තිය සපයන උපකාරකයක්” වන අන්යාගේ ආදරයත් නොඅඩුව මට ලැබෙනවා. (කොලොස්සි 4:11; ගීතාවලිය 55:22) මීට අවුරුදු 50කට විතර කලින් අපි දෙන්නා හමු වූ වේලාවේ අපි දෙන්නට මෙච්චර කාලයක් එකට පුරෝගාමී සේවය කරන්න පුළුවන් වෙයි කියලා මං හිතුවේ නැහැ.

“ජීවිතය අදටයි. කලාව සදහටයි” කියා කියමනක් තියෙනවා. ඒ වුණත් මම නම් කියන්නේ එහෙම නෙවෙයි. මම එකඟ වෙන්නේ පාවුල් කියපු මේ වචනවලටයි. “පෙනෙන දේවල් තාවකාලිකය. නමුත් නොපෙනෙන දේවල් සදාකාලිකය.” (2 කොරින්ති 4:18) මූර්ති ශිල්පිණියක් හැටියට මම ලැබූ සන්තෝෂය තාවකාලිකයි. දකින දේවල්වලින් ලැබෙන ප්‍රීතිය යෙහෝවා දෙවිට කරන සේවයෙන් ලැබෙන ප්‍රීතියට සමාන කරන්න බැහැ. ඒ වගේම ඒවා සදාකාල ජීවනයට මඟ පාදන්නෙත් නැහැ. මගේ ජීවිතය “නොපෙනෙන දේවල්” වෙනුවෙන් යෙදවීම ගැන මම සතුටු වෙන්නේ ඒවා කලාවට වඩා වටිනා දේවල් නිසයි.

[19වන පිටුවේ පින්තූරය]

මම යෝජනා කළ ප්‍රතිමාව

[21වන පිටුවේ පින්තූරය]

1957දී අන්යා (වමේ) සමඟ

[22වන පිටුවේ පින්තූරය]

අද අන්යා (දකුණ) සමඟ