Skip to content

පටුනට යන්න

ක්‍රිස්තියානිවරයෙක් වෙනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

ක්‍රිස්තියානිවරයෙක් වෙනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

බයිබලයෙන් පිළිතුරක්

ක්‍රිස්තියානිවරයෙක් වෙනවා කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?

“අපේ රටේ හැටියට ක්‍රිස්තියානියෙක් කියන්නේ සතිපතා පල්ලි යන කෙනෙක්ට.” එසේ පැවසුවේ අප්‍රිකාවට අයත් එක් රටක වෙසෙන කිංස්ලි. මැද පෙරදිග වෙසෙන රාද් කියන්නේ මෙසේයි. “ක්‍රිස්තියානීන් මේ සමාජයට වඩා ගොඩක් වෙනස්. ඔවුන් අඳින්නෙත්, උත්සව සමරන්නෙත්, ස්ත්‍රීන්ව සලකන්නෙත් බටහිර ක්‍රමයටයි.”

නමුත් කෙනෙක් සතිපතා පල්ලි ගියා කියලා, එහෙමත් නැත්නම් නිශ්චිත සම්ප්‍රදායන් රැක්කා කියලා ඔහු ක්‍රිස්තියානියෙක් වෙයිද? “ක්‍රිස්තියානි” යන වචනයෙන් අදහස් කරන්නේ යේසුස් ක්‍රිස්තුස් ඉගැන්වූ දේවල් පිළිගැනීම හා ඔහුගේ ජීවන රටාව ආදර්ශයට අරන් එය අනුකරණය කිරීමයි. * මුල් ක්‍රිස්තියානීන් ක්‍රියා කළේ කෙසේද?

ජීවන රටාවක්

“මා ඔබට අණ කරන දේ ඔබ කරනවා නම් ඔබ මාගේ මිත්‍රයෝ වන්නහුය” කියා යේසුස් ඔහුගේ අනුගාමිකයින්ට පැවසුවා. (යොහන් 15:14) යෙසුස්ගේ ඉගැන්වීම් තම ජීවිතවල හැම පැත්තකටම අදාළ කරගත් නිසා, එම ධර්මය ඔවුන් ඔවුන්ගේ “මාර්ගය” කරගත්තා. (ක්‍රියා 9:2) පසුව ‘දිව්‍ය මඟ පෙන්වීමට අනුව [ඔවුන්ව] ක්‍රිස්තියානීන් ලෙස’ හඳුන්වනු ලැබුවා. (ක්‍රියා 11:26) මේ අලුත් නාමයෙන් අදහස් කළේ, යේසුස් දෙවිගේ පුත්‍රයා බවත්, දෙවිගේ කැමැත්ත කිරීමට ඔහු මනුෂ්‍යයෙක් ලෙස පොළොවට පැමිණි බවත් ඔවුන් විශ්වාස කරන බවයි. ඒ නිසා එවකට තිබූ ලෝකයෙන් වෙන් වී සිටීමට ඔවුන් උත්සාහ කළා.

ක්‍රිස්තුස්ගේ ඉගැන්වීම්වලට අනුව ඔහුගේ අනුගාමිකයින් වැළකී සිටිය යුතු දේවල් තිබුණා. ඒවා නම් “වේශ්‍යාකම, අපවිත්‍රකම, නින්දිත හැසිරීම, රූප වන්දනාව, භූතවාදයේ නියැලීම, සතුරුකම්, අඬ දබර, ඊර්ෂ්‍යාව, හදිසි කෝපය, විවාද, . . . බේබදුකම්, ඝෝෂාකාරී උත්සව යනාදි දේවල්ය.” (ගලාති 5:19-21; එෆීස 4:17-24) පාවුල් කොරින්තියේ සිටි ක්‍රිස්තියානීන්ට මතක් කර දුන්නේ සමහරෙක් කලක් මේ ආකාරයෙන් සිටියත්, දැන් “ඔබව සෝදා පවිත්‍ර කර ඇත. ඔබව විශුද්ධ කර ඇත. අපේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස්ගේ නාමයෙන් . . . ධර්මිෂ්ඨයයි ප්‍රකාශ කර ඇත” කියායි.—1 කොරින්ති 6:9-11.

ඊ. ඩබ්ලිව්. බාන්ස් ඔහු විසින් රචිත පොතේ මුල් ක්‍රිස්තියානීන් ගැන සඳහන් කළේ මෙසේයි. “තිබෙන තොරතුරුවලට අනුව කණ්ඩායමක් හැටියට ඔවුන් සදාචාරසම්පන්න, නීතිගරුක අයව සිට තිබෙනවා. ඒ වගේම යහපත් පුරවැසියන් වෙලා විතරක් නෙවෙයි එවකට තිබූ අසත්‍යය උගන්වන ආගම්වලට හවුල් වෙලත් නැහැ. එක් එක් සාමාජිකයින් සාමකාමී අසල්වැසියන් මෙන්ම විශ්වාසවන්ත යහළුවන් වීමටත් උත්සාහ කර තිබෙනවා. ඔවුන්ට උගන්වා තිබුණේ නිතරම සන්සුන්ව සිට පවිත්‍ර ජීවිතයක් ගත කරන ලෙසයි. එවකට තිබූ සමාජය දූෂිත එකක් වුණත්, ඒ ඉගැන්වීම් නිසා ඔවුන් අවංක අය වීමට වෙහෙසක් දරා තිබෙනවා. ඔවුන් තම පවුල් බැඳීම හා සදාචාර ප්‍රමිති සලකා තිබෙන්නෙත් ඉතා උසස් මෙන්ම පවිත්‍ර දේවල් ලෙසයි.”—එම පොත The Rise of Christianity.

“ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න” කියා යේසුස් අණ කළ නිසා මුල් ක්‍රිස්තියානීන්ගේ කැපී පෙනුණු තවත් ලක්ෂණයක් වුණේ ඔවුන් උනන්දුවෙන් කරගෙන ගිය එවැන්ජලිස්ත සේවයයි. (මතෙව් 28:19, 20) මේ සම්බන්ධයෙන් ප්‍රංශයේ, සොබොන් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ෂොන් බර්නාඩී පැවසුවේ මෙයයි. “[ක්‍රිස්තියානීන්] ඔවුන්ව පිළිගත්තත් නැතත් සෑම තැනකම දේශනා කළා. ගමේ, නගරයේ, ජනාකීර්ණ තැන්වල හා නිවෙස්වලත්. ඒ වගේම ඔවුන් දුප්පත් පොහොසත් භේද බැලුවෙත් නැහැ. කොහොමහරි පොළොවේ කෙළවර දක්වාම දේශනා කරන්නයි ඔවුන් උත්සාහ කළේ.”

අද දින සිටින සැබෑ ක්‍රිස්තියානීන්

එදා මෙන් අදත් සැබෑ ක්‍රිස්තියානීන්, මේ සමාජයට වඩා වෙනස් ජීවිතයක් ගත කරන්නයි උත්සාහ කරන්නේ. ඒ අනුව යෙහෝවාගේ සාක්ෂිකරුවනුත් වෑයම් කරන්නේ මුල් ක්‍රිස්තියානීන් ස්ථාපිත කළ ඒ ඉගැන්වීම් පිළිපදින්නයි. ඒ වගේම බයිබල් ඉගැන්වීම්වලට අනුව තම ජීවිත හැඩගස්වාගැනීමටත් වෙර දරනවා. මෙය අන් අයටත් පැහැදිලිව දැකගත හැකි වෙයි.

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව “ලෝකයේ ඉතාම හොඳින් හැසිරෙන කණ්ඩායම්වලින් එකක්” කියා නිව් කැතලික් එන්සයික්ලෝපීඩියා යන විශ්වකෝෂයේ සඳහන් වුණා. ඒ වගේම එක්සත් ජනපදයේ යූටාවල එක් පුවත්පතක යෙහෝවාගේ සාක්ෂිකරුවන් ගැන සඳහන් කළේ මෙසේයි. “ඔවුන්ගේ පවුල් තුළ ශක්තිමත් බැඳීමක් තිබෙන අතර අවංක පුරවැසියන් වීමටත් ඔවුන් උත්සාහ කරනවා. ඒ වගේම ඔවුන්ට උසස් සදාචාර ප්‍රමිති තිබෙනවා. දුම්පානය, මත්පැන් හා මත්ද්‍රව්‍ය අනිසි භාවිතය, සූදුව හා සියලු ආකාරයේ දුරාචාරයද ඔවුන්ගේ විශ්වාසයන්ට පටහැනියි. අවංක වීම හා වෙහෙස මහන්සි වී වැඩ කිරීම ඔවුන් වටිනා දේවල් ලෙස සලකනවා.”—එම පුවත්පත Deseret News.

ජ්වලිතව දේවසේවයේ හවුල් වීම යෙහෝවාගේ සාක්ෂිකරුවන් වගකීමක් ලෙස සලකනවා. කලින් සඳහන් කළ විශ්වකෝෂයේ තවදුරටත් පවසා ඇත්තේ මෙයයි. “සැබෑ සාක්ෂිකරුවෙක් වීමට නම් කෙසේ හෝ එවැන්ජලිස්ත සේවයේ යෙදී යෙහෝවා දෙවි ගැනත් ඔහුගේ මතු පැමිණෙන රාජ්‍යය ගැනත් සාක්ෂි දැරීම අත්‍යවශ්‍යයි. මෙය එක් එක් සාමාජිකයාට ඇති මූලික වගකීමක්.”

එසේනම් සැබෑ ක්‍රිස්තියානියෙක් වීමට පල්ලියක සාමාජිකත්වයක් තිබීමට වඩා වැඩි දෙයක් ඇතුළත් වෙනවා. යේසුස් පවා බොරු ක්‍රිස්තියානීන් ගැන අනතුරු ඇඟෙව්වා. (මතෙව් 7:21, 23) යේසුස්ගේ ඉගැන්වීම් දැනගන්නත් ඒවා පිළිපදින්නත් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔබට ආරාධනා කරනවා. ක්‍රිස්තියානියෙක් වීම ගැන යේසුස් ක්‍රිස්තුස් කිව්වේ මෙයයි. “ඔබ මේ දේවල් දන්නේ නම්, ඒවා පවත්වනවා නම් ඔබ සන්තෝෂවත්ය.”—යොහන් 13:17.

[පාදසටහන]

^ 4 ඡේ. එක් ශබ්දකෝෂයක ක්‍රිස්තියානියෙක්ව විස්තර කරන්නේ, යේසුස්ව ක්‍රිස්තුස් කියා විශ්වාස කරන, ඔහුගේ ජීවන මාර්ගය අනුගමනය කරන හා ඔහුගේ ඉගැන්වීම් පිළිගන්නා කෙනෙක් හැටියටයි.

මේ ගැන ඔබ සිතුවාද?

▪ යේසුස් මිතුරන් ලෙස සැලකුවේ කාවද?—යොහන් 15:14.

▪ සැබෑ ක්‍රිස්තියානීන් හෙළා දකින්නේ මොන වගේ ක්‍රියාද?—ගලාති 5:19-21.

▪ ක්‍රිස්තියානීන් හවුල් විය යුත්තේ කුමන වැඩයෙහිද?—මතෙව් 28:19, 20.

[26වන පිටුවේ පින්තූර]

එදා මෙන් අදත් සැබෑ ක්‍රිස්තියානීන් ජ්වලිතයෙන් එවැන්ජලිස්ත සේවයේ යෙදෙයි