Skip to content

පටුනට යන්න

ගමන කොහෙන් කෙළවර වෙයිද?

ගමන කොහෙන් කෙළවර වෙයිද?

ගමන කොහෙන් කෙළවර වෙයිද?

අද දින ගුණධර්ම පිරිහෙන බව බයිබලයේ පවසා තිබුණේ මීට වසර ගණනාවකට පෙරයි. එහි මෙසේ සඳහන් වෙනවා. “අන්තිම දවස්වලදී කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක කාලවල් පැමිණෙන බව දැනගන්න. මන්ද, මිනිස්සු තමුන්ටම ප්‍රේම කරන, මුදලට ප්‍රේම කරන, . . . දෙමාපියන්ට අකීකරු වන, ස්තුතිවන්ත නොවන, පක්ෂපාතිත්වයක් නැති අය වන්නෝය. එමෙන්ම ඔවුහු ජන්ම ස්නේහය නැති, . . . දරුණු, යහපතට ප්‍රේම නොකරන, අනුන්ව පාවා දෙන, හිතුවක්කාර, අහංකාර, දෙවිට ප්‍රේම කරනවාට වඩා සැප සෙල්ලමට ප්‍රේම කරන අය වන්නෝය. තවද ඔවුහු යම් ආකාරයක දේවභක්තියක් තිබෙන බව පෙන්නුවත් එහි බලයට එකඟව ජීවත් නොවන්නෝය. ඔවුන්ගෙන් අහක් වෙන්න.”—2 තිමෝති 3:1-5.

එම බයිබල් අනාවැකියේ ඉටුවීම නේද අද දකින්න තිබෙන්නේ? ඒත් එය ලියනු ලැබුවේ මීට වසර 2000කට පමණ පෙරයි! මේ අනාවැකිය ආරම්භ වන්නේ “අන්තිම දවස්වලදී” කියායි. ඉන් අදහස් වන්නේ කුමක්ද?

කුමක ‘අන්තිම දවස්ද?’

අද “අන්තිම දවස්” ගැන කතා කිරීම නිතර ඇහෙන දෙයක්. ඊට හේතුව එම වචන ඉංග්‍රීසි පොත් ගණනාවකම තේමාව වී තිබීමයි. උදාහරණයකට ඇමරිකානු පොතක තේමාවට “අන්තිම දවස්” යන අදහසත් ඇතුළත් කර තිබුණා. (එම පොත The Last Days of Innocence—America at War, 1917-1918) එහි පෙරවදනේ සඳහන් “අන්තිම දවස්” යන්නෙන් සදාචාරය බහුල ලෙස පිරිහෙන වකවානුවක් විස්තර කෙරෙනවා.

“ඉතිහාසයේ වෙන කවරදාටත් වඩා 1914දී එක්සත් ජනපදයෙහි පෙරළියක් සිදු වුණා” කියා එහි පෙරවදනේ සඳහන් වෙනවා. ඇත්තෙන්ම පෙර නොවූ විරූ අන්දමින් මුළු ලෝකයම එකම යුධ පිටියක් බවට පත් වුණේ 1914දීයි. එම පොතේ මෙසේ පවසා තිබෙනවා. “මෙය හමුදා දෙකක් අතර සිදු වූ කුඩා සටනක් නොව රට රටවල් අතර සිදු වූ යුද්ධයක්.” බයිබලයේ පවසනාකාරයට මේ යුද්ධය “අන්තිම දවස්වල” ආරම්භයයි.

ලෝකාන්තිමයට පෙර වකවානුව “අන්තිම දවස්” බව බයිබලයේ පවසනවා. ඒ වගේම කලින් තිබූ ලෝකයක් පහ වූ හෝ අවසන් වූ ආකාරය ගැනත් එහි පවසන්නේ මෙලෙසයි. ‘එකල තිබුණු ලෝකය ජලගැල්මට යට වී විනාශ වී ගියා.’ එකල කියන්නේ කොයි කාලයටද? විනාශ වූ ලෝකය මොකක්ද? එය නෝවා යන තැනැත්තා ජීවත් වූ කාලයේදී තිබුණු ‘අභක්තිකයන්ගෙන් යුත් ලෝකයයි.’ අද පවතින ලෝකයටත් සිදු වන්නේ ඒ දේමයි. නමුත් එදා නෝවා සහ සිය පවුල බේරුණා හා සමානව අද දින දෙවිට සේවය කරමින් සිටින අයත් බේරෙනවා.—2 පේතෘස් 2:5; 3:6; උත්පත්ති 7:21-24; 1 යොහන් 2:17.

අවසානය ගැන යේසුස් පැවසූ දේ

යේසුස් ක්‍රිස්තුස් පවා “නෝවාගේ දවස්” ගැනත්, ‘ජලගැල්ම ඇවිත් ඔවුන් සියල්ලන්වම ගසාගෙන ගිය’ බවත් පැවසුවා. ඔහු ජලගැල්මට පෙර තිබූ ලෝක තත්වයන් ගැන විස්තර කරමින් කීවේ එය “සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය” කියායි. (මතෙව් 24:3, 37-39) සමහර බයිබල් පරිවර්තනවල “ලෝකාන්තිමය” හෝ “කල්පාන්තය” යන වචනය යොදා තිබෙනවා.—පරණ අනුවාදය හා නව අනුවාදය.

දැන් පවතින ලෝකය කෙළවර වීමට පෙර මේ සමාජයේ තත්වය ගැනත් යේසුස් පුරෝකථනය කළා. යුද්ධය සම්බන්ධයෙන් පැවසුවේ මෙයයි. “ජාතියක් ජාතියකට විරුද්ධවද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවද නැඟී සිටිනු ඇත.” ඉතිහාසඥයන් පිළිගන්නවා එය 1914දී ඉටු වූ බව. ඒ නිසයි කලින් සඳහන් කළ පොතේ පෙරවදනෙත් 1914 “හමුදා දෙකක් අතර සිදු වූ කුඩා සටනක් නොව රට රටවල් අතර සිදු වූ යුද්ධයක්” සනිටුහන් කරන බව පැවසුවේ.

යේසුස් තම අනාවැකියට මෙයද එකතු කළා. “එක් තැනක් පාසා තවත් තැනක ආහාර හිඟකම්ද භූමිකම්පාද සිදු වනවා ඇත. මේ සියල්ල විපත්ති නිසා ඇති වන වේදනාවල පටන්ගැන්මකි.” ඊට අමතරව “නීති විරෝධී ක්‍රියා වැඩි වෙන” බවත් ඔහු පැවසුවා. (මතෙව් 24:7-14) අද මෙය පැහැදිලිව පේන්න තිබෙන දෙයක්. සදාචාරය අන්තයටම පිරිහීම බයිබල් අනාවැකියක ඉටුවීමක්!

මේ පිරිහුණු ලෝකයේ අප දිවි ගෙවිය යුත්තේ කෙලෙසද? ගුණධර්ම පිරිහීම පිළිබඳව පාවුල් රෝමයේ සිටි ක්‍රිස්තියානීන්ට යමක් සඳහන් කළා. ජනයාගේ “නින්දිත ලිංගික තෘෂ්ණා” ගැන හුවා දැක්වුවේ මෙලෙසයි. “ඔවුන්ගේ ස්ත්‍රීහුද ඔවුන්ගේ ස්වාභාවික ක්‍රියාවලිය අස්වාභාවික ක්‍රියාවලියකට මාරු කළෝය. එසේම පුරුෂයන්ද ස්වාභාවික ස්ත්‍රී සේවනය අත්හැර, එකිනෙකා කෙරෙහි අධික කාම තෘෂ්ණාවෙන් දැවී, පුරුෂයෝ පුරුෂයන් සමඟ අශික්ෂිත දේ කරමින්” සිටිනවා.—රෝම 1:26, 27.

මුළු මිනිස් සමාජයේම සදාචාරය පිරිහෙද්දී “සමහර ක්‍රිස්තියානි කණ්ඩායම් තම ශ්‍රද්ධාවන්තකම සහ විනීතකම රැකගත්තා” කියා ඉතිහාසඥයන් පවසනවා. දැන් අපි මොහොතක් නැවතී මෙසේ අසාගනිමු. “මං කොයි වගේද? ඇසුරු කරන්නේ කාවද? අනිත් අය නොහොබිනා ලෙස හැසිරෙද්දී මම ගුණධර්ම රැකගෙන යහපත් ජීවිතයක් ගත කරනවාද?—1 පේතෘස් 4:3, 4.

අපේ සටනත් පහසු නෑ

අප වටා දුරාචාර දේවල් සිදු වුණත් බයිබලයේ අපට උගන්වන්නේ “වංක, නොමඟ ගිය පරම්පරාවක් අතරේ ඔබ නිර්දෝෂව සහ අවංකව සිටිමින් දෙවිගේ නිකැළැල් දරුවන්” විය යුතුයි කියායි. මේ සඳහා අපි “ජීවනයේ වචනය තදින් අල්ලාගෙන” සිටිය යුතුයි. (ෆිලිප්පි 2:15, 16) ක්‍රිස්තියානීන්ට සාරධර්ම රැකගෙන ජීවත් විය හැකි ප්‍රධාන ක්‍රමයක් ගැන බයිබලයේ පෙන්වා තිබෙනවා. ඔවුන් කළ යුත්තේ දේවවචනයේ දී ඇති සදාචාර ප්‍රමිති යහපත් ජීවිතයකට අඩිතාලම බව පිළිගෙන ඒවා පිළිපැදීමයි.

“මේ සමාජ ක්‍රමයේ දෙවි” වන සාතන් නමැති යක්ෂයා වෙර දරන්නේ මිනිසාගේ හදවත දිනාගැනීමටයි. (2 කොරින්ති 4:4) ඔහු “ආලෝකයේ දූතයෙකු මෙන් පෙනී සිටින” බව බයිබලයේ සඳහන් වෙනවා. ඔහුගේ මෙහෙකරුවන් ක්‍රියා කරන්නෙත් ඔහු වගේමයි. (2 කොරින්ති 11:14, 15) බයිබලයේ පවසන අන්දමට ඔවුන් “තමන්ම දූෂ්‍යකමට වහල්ව සිටියදී” නිදහස හා ප්‍රීතිය අත් කර දෙන බවටයි පොරොන්දු වන්නේ.—2 පේතෘස් 2:19.

රැවටෙන්න එපා. දෙවි දී තිබෙන සදාචාර ප්‍රමිති නොසලකාහරින අයට ප්‍රතිවිපාක විඳින්න සිදු වෙනවා. බයිබලයේ ගීතිකාකරු ලිව්වේ මෙයයි. “ගැලවීම දුෂ්ටයන්ගෙන් ඉතා ඈත්ව තිබේ. මන්ද ඔවුන්ට [දෙවිගේ] නියෝග ගැන කිසි උනන්දුවක් නැත.” (ගීතාවලිය 119:155; හිතෝපදේශ 5:22, 23) මෙය අපට ස්ථිරද? එසේනම් අපි ලිහිල් මත හා ප්‍රතිපත්තිවලට හසු නොවී අපේ මනස හා සිත ආරක්ෂා කරගනිමු.

කොහොමවුණත් බොහෝදෙනෙක් දරන්නේ ‘මං කරන දේ රටේ නීතියට පටහැනි නැත්නම් ඒකෙ වරදක් නැහැ’ යන මතයයි. නමුත් එසේ සිතීම වැරදියි. දෙවි ඔබට ආදරෙයි. ඔහු සාරධර්ම පිහිටුවා තිබෙන්නේ ඔබ වටා වැට කඩොලු බැඳ ඔබේ ජීවිතය නීරස කිරීමට නොව ඔබව ආරක්ෂා කිරීමටයි. ඔහු “ඔබේම ප්‍රයෝජනය සඳහා ඔබට උගන්වන්නේ” විපත්තිවලින් ඔබව වළක්වා ප්‍රීතිමත් ජීවිතයක් ගත කරනවා දැකීමට කැමති නිසයි. ඇත්තෙන්ම බයිබලයේ පවසන පරිදි, දෙවිට සේවය කරන්නන්ට දී තිබෙන්නේ “දැන් තිබෙන ජීවිතය ගැනත් මතු පැමිණෙන ජීවිතය ගැනත් පොරොන්දුවයි.” එය ඔහු පොරොන්දු වූ පාරාදීස පොළොවේදී ලැබෙන “සැබෑ ජීවිතය” එනම් සදාකාල ජීවනයයි.—යෙසායා 48:17, 18; 1 තිමෝති 4:8; 6:19.

එසේනම් බයිබල් ඉගැන්වීම් පිළිපැදීමෙන් ලැබෙන ප්‍රයෝජන හා නොපිළිපැදීමෙන් ලැබෙන වේදනාව සසඳා බලන්න. දෙවිට සවන් දෙමින් ඔහුගේ අනුමැතිය දිනාගැනීමයි හොඳම ජීවිත ක්‍රමය! “මට ඇහුම්කන් දෙන කවුරු නමුත් සුරක්ෂිතව නපුරට භය නොවී නිශ්චලව සිටින්නේය” කියා දෙවි පොරොන්දු වෙයි.—හිතෝපදේශ 1:33.

අවංක ධර්මිෂ්ඨ සමාජයක්

බයිබලයේ පෙන්නුම් කරන ආකාරයට පවතින සමාජ ක්‍රමය පහව යන්නේ “දුෂ්ටයා නැති වී” යෑමෙනුයි. තවදුරටත් එහි පවසන්නේ “ප්‍රතිපත්තිගරුකව කටයුතු කරන අය පොළොවේ ජීවත් වන්නෝය. නිර්දෝෂ අය එහි ඉතිරි වන්නෝය” කියායි. (ගීතාවලිය 37:10, 11, නව ලොව පරිවර්තනය; හිතෝපදේශ 2:20-22) අපේ නිර්මාතෘගේ යහපත් ඉගැන්වීම් පිළිපැදීමට අකමැති සියලුදෙනා ඇතුළු නොමනා හැසිරීම්වල යෙදෙන සැමදෙනාවම මේ පොළොවෙන් ඉවත් කර එය පවිත්‍ර පොළොවක් කිරීමට නියමිතයි. පසුව දෙවි මුල් මිනිස් යුවළට දුන් පාරාදීස නිවහන මෙන් මේ මුළු ලෝකයම ක්‍රම ක්‍රමයෙන් පාරාදීසයක් කිරීමට දෙවිට ප්‍රේම කරන්නන් තම ශ්‍රමය වැය කරයි.—උත්පත්ති 2:7-9.

පාරාදීසයක වෙසෙන ජනයා සමඟ ජීවත් වීමට ලැබීම මොන තරම් ප්‍රීතියක් වේවිද? මිය ගිය බිලියන ගණන් සෙනඟකටත් නැවත නැඟිටීමට හා පාරාදීසය දැකගැනීමට වරප්‍රසාදය ලැබෙන ඒ කාලයේදී දෙවිගේ පොරොන්දු කීපයක්ම මෙලෙස ඉටු වෙයි. “ධර්මිෂ්ඨයෝ පොළොව උරුම කරගන්නෝය. ඔවුහු එහි සදාකාලයටම ජීවත් වන්නෝය.” “[දෙවි] ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය; මරණයද තවත් නොවන්නේය; වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. පළමු දේවල් පහව ගියේය.”—ගීතාවලිය 37:29; එළිදරව් 21:3, 4.

[9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ලෝකය විනාශ වූ අවස්ථාවේ දෙවිට කීකරු වූ අය ගැලවුණා

[10වන පිටුවේ පින්තූරය]

පවිත්‍ර කළ ලෝකය පාරාදීසයක් වෙයි