Skip to content

පටුනට යන්න

ජීවය ගෙන දෙන පරාග

ජීවය ගෙන දෙන පරාග

ජීවය ගෙන දෙන පරාග

වසන්ත සමය උදා වූ විට, මීමැස්සන්ගේ ගුමු ගුමු නාදෙන් පරිසරයම අවදි වෙයි. සිසිල් සුළඟ සමඟ පරාග හාත්පස පැතිරෙයි. ඒත් අසාත්මිකතාවලින් පෙළෙන අයට නම් මේ පරාග මහත් හිසරදයක්. නමුත් ඉන් විශේෂ කාර්යයක් ඉටු වන බව අපි මතක තබාගත යුතුයි. ඇත්තෙන්ම පරාග අපේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්.

“පරාග යනු මල් ගස්වල සහ බීජ රහිත ගෙඩි තිබෙන ගස්වල ඇති පිරිමි කොටසින් (පූමාංග) නිපදවෙන කුඩක් බඳු අංශු” බව ද වර්ල්ඩ් බුක් එන්සයික්ලෝපීඩියා විශ්වකෝෂයේ සඳහන් වෙයි. ශාක මේවා නිපදවන්නේ තම වර්ගයා බෝ කිරීම සඳහායි. එය හරියට දරුවෙකු පිළිසිඳගැනීම සඳහා ස්ත්‍රියකගේ ඩිම්භයක් පිරිමියෙකුගේ ශුක්‍රාණුවක් සමඟ එකතු වෙනවා වගෙයි. ඒ හා සමානව ගසකින් පල ලැබීමට නම් පරාගණය සිදු විය යුතුයි. ඒ කියන්නේ මලක ගැහැනු කොටසට (ජායාංග) මලක පිරිමි කොටසින් (පූමාංග) පරාග එකතු විය යුතුයි. *

පරාග අංශු ඇසට නොපෙනෙන තරම් කුඩා වුණත් අන්වීක්ෂයකින් නම් ඒවා පැහැදිලිව දැකගත හැකියි. එසේ බලන විට එක් එක් ශාකයට ආවේණික හැඩයක් සහ ප්‍රමාණයක් පරාගවලට තිබෙන බව දැකගත හැකි වෙයි. පරාග දිරන්නේ නැති නිසා විද්‍යාඥයන්ට හැකි වී තිබෙනවා ඔවුන් සොයාගෙන තිබෙන පරාග අධ්‍යයනය කිරීමෙන් ශතවර්ෂ ගණනාවකට කලින් තිබූ ශාක ගැන යම් අවබෝධයක් ලබාගැනීමට. එපමණක් නොව පරාගවලට තිබෙන මේ ආවේණික ලක්ෂණ නිසා මල්වලට හැකියි ඒ ඒ වර්ගයට අයත් පරාග හඳුනාගන්න.

පරාග පැතිරෙන ආකාරය

මලක් සුළඟට ලෙළ දෙන විට එහි තිබෙන පරාග සුළඟ සමඟ පාවී යයි. සමහර ජලජ ශාකවල පරාග පැතිරී යන්නේ ජලයේ පාවීමෙනුයි. සුළඟ මඟින් පරාගණය වන ශාක වර්ග පරාග විශාල ප්‍රමාණයක් නිපදවනවා. * පරාග ආශ්වාස කිරීමෙන් ඇති වන ශාරද පීනස නම් රෝගය තිබෙන අය නම් මේ කාලයේදී විශාල අපහසුතාවකට පත් වෙනවා.

සුළඟින් සිදු වන පරාගණය සාර්ථකව සිදු වුණත් හුදෙකලාවේ වැවෙන ශාකවල පරාගණය සිදු වෙන්නේ කොහොමද? ඒ කුරුල්ලන්, කෘමීන් හා වෙනත් සතුන් මාර්ගයෙනුයි! සතුන් ලවා මෙය ඉතා සාර්ථකව කරගැනීම සඳහා ශාක කරන්නේ කුමක්ද?

සතුන්ව ආකර්ෂණය කරගැනීම සඳහාත් උන්ට කරන ගෙවීමක් හැටියටත් මල් යොදාගන්න ක්‍රමය තමයි පැණි නිපදවීම. මෙසේ මල්පැණි බොන අමුත්තාගේ ඇඟ පුරාම ඒ මලේ පරාගත් ගෑවෙනවා. මල්පැණි සොයාගෙන තවත් මලකට යන ගමන් එම පරාගත් ඌ රැගෙන යයි. මේ ආකාරයට උන් පැණි ලබාගෙන පරාගණයත් සිදු කරයි.

සෞම්‍ය දේශගුණයක් ඇති රටවල පරාගණය වැඩියෙන්ම සිදු වෙන්නේ කෘමීන් මගිනුයි. * “මිනිසුන්ට හොඳ ශරීර සෞඛ්‍යයක් පවත්වාගෙන යෑමට පරාගණය අත්‍යවශ්‍ය දෙයක්. කෘමීන් මේ ක්‍රියාවලියට දායක වීමෙන් උන් නොදැනුවත්ව හෝ මිනිසාට කරන්නේ ලොකු උපකාරයක්” කියා විශාරද මේ බර්රෙන්බවුම් පැවසුවා. පලතුරු ගස්වලින් සාමාන්‍යයෙන් හොඳ අස්වැන්නක් ලබාගැනීමට නම් ඒ වර්ගයේම තවත් ගසකින් පරාග අවශ්‍යයි. පරාග පතුරුවාහැරීම අපට කොතරම් අත්‍යවශ්‍යද කියා දැන් ඔබට පැහැදිලි ඇති.

මල් යොදාගන්නා උපායන්

පරාගණය සිදු කරන සතුන්ව තමන් වෙතට ආකර්ෂණය කිරීමටත් උන්ව පෝෂණය කිරීමටත් මල්වලට සිදු වෙයි. මේ සඳහා මල් යොදාගන්නා උපායන් කිහිපයක් තිබෙනවා. මල්වලට ආකර්ෂණීය පෙනුමක් සහ සුවඳක් තිබෙනවා. ඒ වගේම මල්පැණි තිබෙන තැන පහසුවෙන්ම සොයාගැනීමට විවිධ මල් වර්ග මාර්ගෝපදේශද සපයනවා. ඒ සඳහා මල් යෝදාගන්නේ වර්ණවත් තිත් සහ ඉරියි. මල් පිපෙන්නේ හිරු එළියේ උණුසුම වැටෙන තැන්වල නිසා ඒ මල්වලට වහන සතුන්ට අව්ව තපින්නත් අවස්ථාවක් ලැබෙනවා.

මෙම උපායන්ද මලින් මලට වෙනස්. සමහර මල් මැස්සන්ව ආකර්ෂණය කරගැනීම සඳහා කුණු ගඳක් නිකුත් කරනවා. ආගන්තුකයාව රවටන මලුත් තිබෙනවා. සමහර උඩවැඩියා මල්වල හැඩය ඔබ දැක තිබෙනවාද? ඒවා මීමැස්සියන් වගෙයි. කාමාතුර වූ මීමැස්සන් තමා ළඟට ගෙන්වාගන්නේ මේ ආකාරයටයි. වෙනත් මල් කෘමීන්ව හසු කරගෙන උන්ව නිදහස් කරන්නේ පරාගණය නිසි ලෙස සිදු වුණායින් පසුවයි. ශාකවලට තම වර්ගයා බෝ කිරීම සඳහා පරාගණය සිදුවීම අත්‍යවශ්‍ය දෙයක්. “මෙය සිදු වන ආකාරය ඉතා සංකීර්ණයි වගේම මවිතකරයි” කියා උද්භිද විද්‍යාඥ මැල්කම් විල්කින්ස් ලිව්වා.

අපේ නිර්මාතෘ මෙවන් අද්විතීය සැලැස්මක් යෙදුවේ නැත්නම් මෙතරම් ශාක ප්‍රමාණයක් අපට දකින්න ලැබෙන්නේ නැති වෙයි. පරාගණය සඳහා මල් යොදාගන්න තවත් උපායක් තමයි අලංකාරය. ඒ අලංකාරය ගැන යේසුස් පැවසුවේ මෙයයි. “තණබිම්වල ලිලී මල් වැවෙන ආකාරයෙන් පාඩමක් ඉගෙනගන්න. ඒවා මහන්සි වී වැඩ කරන්නේවත් නූල් කටින්නේවත් නැත. නමුත් මම ඔබට කියමි: සලමොන් සිය සියලු තේජසින් යුක්තව සිටියදී පවා මේ මලකට සමානව පැළඳ සිටියේ නැත.”—මතෙව් 6:25, 28, 29.

පරාගණය නිසා ශාක බෝ වෙනවා. එමගින් අපට අවශ්‍ය ආහාරත් බහුලව ලැබෙනවා. සමහර අයට පරාග කරදරයක් වුණත්, හොඳ අස්වැන්නක් ලැබෙන්නේ පරාගණයේ ප්‍රතිඵලයක් හැටියටයි. ඒ නිසා අපි සියලුදෙනාම පරාගවලටත් ඒවා පතුරුවාහරින සියලු සතුන්ටත් බෙහෙවින් ස්තුතිවන්ත විය යුතුයි. මේ හැම දෙයක්ම අපේ ශ්‍රේෂ්ඨ නිර්මාතෘගේ මවිතකර හැකියාවන් ගැන අපිට සාක්ෂියක් සපයයි!

[පාදසටහන්වල]

^ 3 ඡේ. පරාගණය ආකාර දෙකකින් සිදු වෙයි. ඒ වෙනත් ශාකයකින් ලැබෙන පරාග මගින් හෝ එම ශාකයෙන්ම ලැබෙන පරාග මගින්. වෙනත් ශාකයකින් ලැබෙන පරාග මගින් පරාගණය සිදු වන විට විවිධත්වයක් ඇති වන අතර, වඩා ශක්තිමත් පැළෑටිද ඒ ගසින් ලබාගත හැකියි.

^ 6 ඡේ. ශීත ප්‍රදේශයක වැවෙන එක්තරා ගසක එක මලකින් පරාග අංශු මිලියන පහකටත් වඩා නිපදවනවා. ඒ වගේම එවැනි ගස්වල මල් දහස් ගණනක් පිපෙනවා.

^ 9 ඡේ. මීපැණි කිලෝග්‍රෑම් එකක් නිපදවීම සඳහා මීමැස්සෙකුට මල් සොයාගෙන වාර මිලියන දහයක් පමණ යන්න සිදු වෙයි.

[16, 17වන පිටුවේ කොටුව/පින්තූර]

පුංචි හපන්නු

මැස්සන් හා කුරුමිණියන්

පරාගණයෙන් වැඩිහරියක්ම සිදු කරන්නේ මේ කෘමීනුයි. ඔබ චොක්ලට් කන්න කැමති නම් ඔබ ස්තුති කළ යුත්තේ කොකෝ ගස්වල මල් පරාගණය කරන කුඩා මැස්සන්ටයි.

වවුලන් හා තවත් ක්ෂීරපායි සතෙක්

පුළුන් හා බැවොබැබ් වැනි සමහර විශාල ගස්වල පරාගණය සිදු වන්නේ වවුලන්ගෙනුයි. ඊට අමතරව සමහර වවුලන් ගෙඩි කා ඒවායේ බීජ ව්‍යාප්ත කරනවා. ඔස්ට්‍රේලියාවේ සිටින ඔපොසම් නමැති කුඩා ක්ෂීරපායි සතා මලෙන් මලට ගොස් පැණි බොන අතර පරාගණයටත් දායක වෙයි.

සමනළයන් හා සලඹයන්

මේ වයිවර්ණ කෘමීන්ගේ ප්‍රධාන ආහාරය මල්පැණි වන අතර උන් පරාගණයත් සිදු කරයි. සමහර උඩවැඩියා මල් වර්ග සම්පූර්ණයෙන්ම පරාගණය කරන්නේ මේ කෘමීන් විසිනුයි.

පැණි කුරුල්ලෝ

පාට පාටින් බැබළෙන මේ චූටි කුරුල්ලන් මල්වල පැණි උරන අතරේදී උන්ගේ නළලේ හා පපුවේ පිහාටුවල පරාග රැඳෙයි. මේ ආකාරයෙන් උනුත් පරාගණයට දායක වෙයි.

මීමැස්සන් හා බඹරුන්

මීමැස්සන් පරාගණයට කදිම කෘමියෙක්. එක් බඹරෙකුට තම ශරීරය මතින් මලින් මලට පරාග අංශු 15,000ක් පමණ ගෙයා හැකියි. දහනවවන සියවසේදී එංගලන්තයේ සිට නව සීලන්තයට බඹරුන්ව ගෙන ගියා. උන් සිදු කරන පරාගණය නිසා දැන් එම රටේ උඳුපියලිය සරුවට වැවෙනවා. මෙය එහි සත්ව පාලනයටද විශාල පිටුවහලක්.

පරාගණය සිදු කරන ජනප්‍රියම කෘමියා මීමැස්සයි. උන් කරන්නේ මීවදය අසල තිබෙන එක් මල් වර්ගයක් පරාගණය කිරීමයි. කෘමි විද්‍යාඥයෙක් වන ක්‍රිස්ටෝෆර් ඕ ටූල් පැවසුවේ මෙයයි. “මිනිසාගේ ආහාරවලින් සියයට 30ක්ම කෙළින්ම හෝ වක්‍රාකාරයෙන් ලැබෙන්නේ මීමැස්සන් කරන පරාගණය නිසයි.” ආමන්ඩ්, ඇපල්, චෙරීස්, ප්ලම්ස් වැනි පලතුරු පරාගණය කිරීමට මීමැස්සන්ව යොදාගන්නවා. මේ සේවය වෙනුවෙන් ගොවීන් විසින් මීමැසි පාලකයන්ට මුදල් ගෙවනවා.

[18වන පිටුවේ පින්තූරය]

මීමැස්සියන්ට සමාන උඩවැඩියා මල්