Skip to content

පටුනට යන්න

තේජාන්විත පර්වතයක්

තේජාන්විත පර්වතයක්

තේජාන්විත පර්වතයක්

කැනඩාවේ පිබිදෙව්! ලේඛක විසින්

මේ පර්වතය වර්ණනා කළ කවි රාශියක් මෙන්ම චිත්‍ර රාශියක්ද තිබෙනවා. ඒ වගේම විවිධ පොත පතේත් ඒ ගැන සඳහන් වෙනවා. ඉතිහාසය පුරාම ධීවරයින්ටත් නැවියන්ටත් මෙය මාර්ග සලකුණක් වුණා. අපි මේ කතා කරන්නේ පර්සේ පර්වතය ගැනයි. මෙය පිහිටා තිබෙන්නේ ශාන්ත ලෝරන්ස් බොක්කේ ගැස්පේ අර්ධද්වීපයේ ඊසානදිග පැත්තෙයි. එය මීටර් 433ක් පමණ දිගයි; මීටර් 90ක් පමණ පළලයි; මීටර් 88කටත් වඩා උසයි. මේ මහා පර්වතය නිල් දිය මත නැඟී සිටින්නේ රජෙකුගේ විලාසයෙන්.

කාලයක් තිස්සේ ප්‍රදේශවාසීන් මෙතැනට ආවේ පර්වතය මුදුණේ තිබෙන කුරුලු බිත්තර සොයාගෙනයි. ඒ නිසා පර්වතය හා පක්ෂීන්ව ආරක්ෂා කිරීමට, කැනඩාවට අයිති ක්වෙබෙක් ආණ්ඩුව විසින් 1985දී පර්සේ පර්වතය මෙන්ම ඒ අසල තිබෙන බෝනාවෙන්ච දූපත කුරුල්ලන් සඳහා වෙන් කළ සංරක්ෂිත කලාපයක් කළා. බෝනාවෙන්ච දූපත සුලාවි කුලයට අයත් කුරුලු විශේෂයකගේ බෝවීමේ ප්‍රදේශයක් හැටියටත් ප්‍රසිද්ධයි.

සමහර අයගේ මතයක් වුණේ ඈත අතීතයේදී මේ පර්වතය ගොඩබිමේම කොටසක් වී එහි ආරුක්කු හතරක් තිබුණ බවයි. නමුත් අද එහි ඇත්තේ එක් ආරුක්කුවක් පමණයි. මුහුද පැත්තට වෙන්න පිහිටි මේ ආරුක්කුවේ පළල මීටර් 30කටත් වඩා වැඩි වෙනවා. අමුත්තා නිර්භීතයෙකු නම් ජල මට්ටම අඩු වන බාදිය වෙලාවේදී ගොඩබිමේ සිට පර්වතය ළඟටම ඇවිදගෙන යා හැකියි. පර්වතය අයින දිගේ කල්පනාවෙන් ඇවිදගෙන යනවා නම් විනාඩි 15කින් ආරුක්කුව ළඟටත් යන්න පුළුවන්. නමුත් බාදිය පැය හතරකින් වෙනස් වන බවද මතක තියාගත යුතුයි.

මේ පර්වතයේ සිරි නරඹන්න යනවා නම් පරිස්සම් විය යුතු පැත්තකුත් තිබෙන බව ආරුක්කුව බලන්න ඇවිදගෙන ගිය එක් සංචාරකයෙක් පැවසුවා. “හැම තිස්සෙම මේක උඩ තියෙන ගල් පහළට වැටෙනවා. බයත් හිතෙනවා. වැටෙන සමහර ගල් තවත් ගල්වල වදින්නේ හරියට රතිඤ්ඤා පත්තු කරනවා වගෙයි.”

බොහෝදෙනා කියා ඇත්තේ මේ පර්වතය ඉතා අලංකාර හා සිත් ඇදගන්නාසුලු එකක් බවයි. අපේ පෘථිවියේ මෙවැනි අලංකාර තැන් කොතෙකුත් නම් ඇද්ද! ඒවා දකින විට ඔබත් යෝබ් මෙන් මෙසේ පැවසීමට පෙලඹෙනවා නොඅනුමානයි. “මේ අසා නිශ්චලව සිට දෙවිගේ පුදුම ක්‍රියා ගැන කල්පනා කරන්න.”—යෝබ් 37:14.

[23වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Mike Grandmaison Photography