Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

▪ නාගරීකරණය නිසා පසුගිය වසර දහය තුළ චීනයේ සිටින ගොවීන් මිලියන 40කට පමණ තම වගාබිම් අහිමි වී තිබෙනවා.—චීනයේ, CHINA DAILY.

▪ වර්ෂ 2005 ඇතුළත ලොව පුරා දරුණු යුද්ධ 28ක්ද වෙනත් ගැටුම් 11ක්ද සිදු වී තිබෙනවා.—VITAL SIGNS 2006-2007, WORLDWATCH ආයතනය.

▪ ටෝකියෝවේ කාර්මික විද්‍යාලයේ කණ්ඩායමක් විසින් සාමාන්‍යයෙන් නිවෙස්වල භාවිත කරන බැටරිවලින් ක්‍රියා කරන, කිලෝ 55කින් යුත් ගුවන් යානයක් නිර්මාණය කර තිබෙනවා. ගුවන් නියමුවාට, තත්පර 59කින් මෙම යානය මීටර් 391ක දුරකට පියාසර කරවන්න හැකි වුණා.—ජපානයේ, MAINICHI DAILY NEWS.

ඕලන්දයේ, කැමරාවක් සහිත පරිගණකවලින් අන්තර්ජාලයට පිවිසෙන වයස අවුරුදු 12ත් 20ත් අතර අයගෙන් “පිරිමි ළමයි සියයට 40ක් හා ගැහැනු ළමයි සියයට 57ක් පැවසුවේ, කැමරාව ඉදිරියේ නිර්වස්ත්‍රව, යම් අශික්ෂිත ක්‍රියාවක් කරන ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බවයි.”නෙදර්ලන්තයේ, RUTGERS NISSO GROEP.

වීඩියෝ ක්‍රීඩාවටත් ඇබ්බැහි විය හැකිද?

“නිතරම වීඩියෝ ක්‍රීඩාවේ නියැලෙන අයගේ හා මත්පැන් සහ ගන්ජා ගත් පුද්ගලයෙකුගේ මොළයේ සිදු වන රසායනික ප්‍රතික්‍රියාව එක සමානයි.” එසේ වාර්තා කළේ ජර්මනියේ ශීක්ෂණ රෝහලක, ඇබ්බැහිවීම් පිළිබඳ ගවේෂණ කණ්ඩායමක ප්‍රධානියෙකු වන මනෝවෛද්‍ය රැල්ෆ් ටාලේමාන් විසිනුයි. ක්‍රීඩාවේ අධික ලෙස නිරත වෙද්දී ඩොපමින් නමැති රසායනික ද්‍රව්‍ය වැඩියෙන් මොළයට ඇතුල් වෙනවා. එහි ප්‍රතිඵලය වන්නේ පුද්ගලයා මත් ගතියකින් සිටීමයි. දිගටම මෙසේ සිදුවීමෙන් පුද්ගලයා ඊට ඇබ්බැහි වෙයි. එක් සමීක්ෂණයකින් හෙළි වුණේ වීඩියෝ ක්‍රීඩාවෙහි නියැලෙන අයගෙන් සියයට දහයකටත් වඩා මේ තත්වයට වැටෙන්න ඉඩ තිබෙන බවයි.

ධනවත් වුණත් සතුටින් නෙවෙයි

“කෝටිපතියන් සිටින්නේ බියෙන් හා කනස්සල්ලෙන්” කියා බීජිංහි පුවත්පතක සඳහන් වුණා. නැඟෙනහිර හා දකුණු චීනයේ, යුවාන් බිලියන 2.2ක (රුපියල් මිලියන 27,500ක් පමණ) සම්පත් හිමි අයව සමීක්ෂණයකට ලක් කළා. මේ අය “ආගම, විවාහය, ජීවිතය, වෘත්තිය හා මුදල් ගැන දරන අදහස” සොයා බලද්දී පර්යේෂකයන්ට තේරුණු එක් දෙයක් තමයි “කෝටිපතීන්ගෙන් බොහෝදෙනෙක් මුදල්වලට කැමති වුණත්, ඔවුන්ට බයකුත් තියෙන” බව. ඔවුන්ගෙන් බොහෝදෙනෙක් පැවසුවේ මුදල් නිසා සමාජයේ ඉහළ තැනක් තිබුණත් “මුදල් මහ හිසරදයක්” කියායි.—එම පුවත්පත China Daily.

මානසික රෝගීන්ට සුවයක් ගෙන දෙන ගොවිපොළවල්

රටවල් 14කින් විශේෂඥයන් 100කට අධික පිරිසක් නෝර්වේට පැමිණියේ මානසික රෝගීන් සඳහා දියත් කළ ගොවිතැන, පුණරුත්ථාපනය හා සෞඛ්‍ය කටයුතු එකට කරගෙන යන අලුත්ම ව්‍යාපෘතිය ගැන දැනගන්නයි. වගා කිරීම “මනසටත් ශරීරයටත් හිතකර නිසා” වසර ගණනාවක් පුරා මානසික රෝගවලින් පෙළෙන අයව ගොවිතැනට යොමු කරනවා නම් මානසික රෝහලකට ඇතුල් කිරීම අවශ්‍ය වන්නේ නැහැ කියා NRK ගුවන්විදුලි සේවය පැවසුවා. නෝර්වේවල ගොවිපොළවල් 600කටත් වඩා වැඩියෙන් මේ ව්‍යාපෘතියට සම්බන්ධ කරගෙන තිබෙනවා. එයින් ඔවුන් වැඩි ආදායමක්ද ලබනවා.

පල්ලියේ කොතත් කුලියට දෙයි

“ඇමරිකාවේ සමහර පල්ලි ආදායමක් උපයාගැනීම සඳහා පල්ලියේ වහල මත නිමවා ඇති උස කොත ජංගම දුරකථන ආයතනවලට කුලියට දෙනවා” කියා නිව්ස්වීක් සඟරාවේ සඳහන් වුණා. තමන්ගේ නිවෙස් අසල ජංගම දුරකථන කුලුනු ඉදි කරනවාට බොහෝ අය අකමැති වගේම නිවෙස් අධික ප්‍රදේශවල මේවා ඉදි කිරීමත් තහනම් නිසා මෙම ආයතනවලට මේක හොඳ විකල්පයක්. පල්ලිය වෙනුවෙන් කටයුතු කරන ආයතනයක සභාපති පැවසුවේ මෙයයි. “මෙයට කැමති වුණ මුල් පල්ලිය දැන් ජංගම දුරකථන ආයතන තුනකට කොතේ කොටස් කුලියට දීලා. නිකන් තිබුණ කොතෙන් දැන් අවුරුද්දකට ඩොලර් 74,000ක් උපයනවා.”