Skip to content

පටුනට යන්න

මාව නිතරම අන් අය සමඟ සසඳන්නේ ඇයි?

මාව නිතරම අන් අය සමඟ සසඳන්නේ ඇයි?

යෞවන අය අසති . . .

මාව නිතරම අන් අය සමඟ සසඳන්නේ ඇයි?

“ගෙදර අය හරි ගුරුවරු හරි මාව අනිත් අයත් එක්ක සන්සන්දනය කරද්දී මට කේන්ති යනවා.”—මිආ. *

“මමත් ඒ අය වගේ වෙන්න උත්සාහ කරද්දී වෙන කෙනෙක් මාව ඒ අය සමඟම සන්සන්දනය කරන එක මට මහ ලැජ්ජාවක්.”—ඒප්‍රිල්.

පාසැලේදී ගුරුතුමිය ඔබට කිව්වොත් ඔයා එයා හෝ මෙයා තරම් ගණිතයට දක්ෂ නැහැ කියලා. නැත්නම් නිවසේදී අම්මා හරි තාත්තා හරි කිව්වොත් ඔයා නංගි වගේ පිළිවෙළකට වැඩ කරන්නේ නැහැ කියලා. එහෙමත් නැත්නම් “අම්මා ඔයාගේ වයසේදී කොච්චර ලස්සනට හිටියද” කියා ඔබට කවුරු හරි කිව්වොත් ඔබ හිතයි ඒ කියන්නේ මම කැතයි කියලනේ කියලා. “ඇයි මාව හැම තිස්සෙම වෙන කෙනෙක් එක්ක සන්සන්දනය කරන්නේ” කියලත් ඔබට හිතෙයි.

සන්සන්දනය කිරීමකදී මෙතරම් සිත් වේදනාවක් ඇති වෙන්නේ ඇයි? එයින් කුමක් හෝ යහපතක් වෙයිද? මම මෙවැනි දෙයක් දරාගන්නේ කොහොමද?

සිත් වේදනා ඇති කරයි

උදාහරණයකට බෙකී කියන දේ බලන්න. “දක්ෂ, කාගෙත් සිත්ගත් ළමයි දකිද්දී මටත් ඒ වගේ වෙන්න ඇත්නම් කියලා හිතෙනවා. එතකොට මටත් කට්ටිය කැමති වෙයිනේ.” සමහරවිට ඔබටත් එසේ හැඟෙන්න පුළුවන්.

මේ කාලයේදී ඔබගේ ශරීරයේ විවිධ වෙනස්කම් සිදු වෙනවා ඇති. ඒ වගේම ඔබ විටින් විට දෙමාපියන් සමඟ ගැටුම් ඇති කරගන්නවාත් ඇති. විරුද්ධ ලිංගයේ අය ගැනත් ඔබේ ආකල්පය වෙනස් වෙලා ඇති. ඒ නිසා ඔබ හිතන්න පුළුවන් ‘මේ දේවල් සාමාන්‍යද, මගේ මොකක් හරි අඩු පාඩුවක් තියෙනවද’ කියලා.

ඒ අතරතුරේදී ඔබට හැඟෙයි ඔබේ සෙසු මිත්‍රයන්ට මේ වගේ කිසිම ප්‍රශ්නයක් නැහැනෙ කියලා. ඒ නිසා එවැනි කෙනෙක් සමඟ ඔබවම සන්සන්දනය කරගන්න ඔබ පටන්ගනියි. ඔබ මෙවැනි තත්වයක සිටිද්දී වැඩිහිටියෙක් ඔබට කිව්වොත් ‘ඇයි ඔයාට මෙයා වගේ නැත්නම් අරයා වගේ වෙන්න බැරි’ කියලා ඒක ඔබට මොන තරම් සිත් වේදනාවක් ඇති කරයිද!

සැසඳීමෙන් ඇති වන වෙනත් ගැටලුවක් ගැන කලින් සඳහන් කළ ඒප්‍රිල් නම් තරුණිය මෙසේ පැවසුවා. “කිට්ටු නෑයෙක් හෝ කිට්ටු මිත්‍රයෙක් සමඟ ඔබව සැසඳුවොත් ඔබට ඊර්ෂ්‍යාවක් හා කේන්තියක් ඇති වෙයි.” මිආ නම් දැරියටත් ඒක හොඳින් තේරෙනවා. ඇගේ දෙමාපියන් හා ගුරුවරුන් ඇයව නිතර නිතර ඇගේ අක්කා සමඟ සැසඳුවා. “ඒගොල්ලන් මට කියනවා මගේ අක්කා මේ වයසේදී හැම දෙයක්ම පිළිවෙළකට කරගත්තා කියලා. මේ විදිහට මාව අක්කත් එක්ක සන්සන්දනය කරද්දී මගේ ජීවිතය නිකම්ම අක්කා එක්ක තරඟයක්ද කියලා මට හිතුණා. මට අක්කා එක්ක ඇති වුණේ වෛරයක්.”

සන්සන්දනය කිරීමෙන් නරක පල අත් වෙන්න පුළුවන්. යේසුස්ගේ ගෝලයන් අතර වූ දෙය සලකා බලන්න. යේසුස්ගේ මරණයට පෙර දා රාත්‍රියේදී ගෝලයන් කිහිපදෙනෙක් අතර “උණුසුම් විවාදයක්” ඇති වුණා. ඒ ඇයි? “ඔවුන් අතරින් උතුම්ම තැනැත්තා ලෙස සලකනු ලබන්නේ කාවද” කියා ඔවුනොවුන් අතරම සැසඳීමක් කරගත්තා. (ලූක් 22:24) යම් ආකාරයේ සැසඳීම් දරුණු විදිහට බලපාන බවට නම් සැකයක් නැහැ. ඒත් සියලු ආකාර සැසඳීම් වැරදිද?

සැසඳීමෙන් ඇති වන යහපත

බයිබලයේ වාර්තා වී ඇති යෞවන දානියෙල් හා ඔහුගේ හෙබ්‍රේව් මිත්‍රයන් තිදෙනා ගැන සලකා බලන්න. මේ යෞවනයන් බැබිලෝනියේ රජ විසින් ඉදිරිපත් කළ ප්‍රණීත ආහාර ප්‍රතික්ෂේප කළේ ඒවා දෙවිගේ නීතියට පටහැනි නිසයි. (ලෙවී කතාව 11:4-8) ඒ නිසා දානියෙල් ඔවුන්ව බලාගැනීමට සිටි පුද්ගලයාට මෙසේ යෝජනා කළා. දෙවිගේ නීතියට අනුව ගත හැකි ආහාර දවස් දහයක් පුරා කෑවට පස්සේ අපිව අනිත් යෞවනයන් සමඟ සන්සන්දනය කර බලන්න. ලැබුණ ප්‍රතිඵලය කුමක්ද?

බයිබලයේ මෙසේ විස්තර කරනවා. “දස දවසකට පසු රාජ භෝජනයෙන් කෑවාවූ සැම තරුණයන්ට වඩා ඔවුහු මුහුණෙන් ශෝභනව මාංසයෙන් තරව පෙනුණෝය.” (දානියෙල් 1:6-16) දානියෙල් හා ඔහුගේ මිතුරන් තිදෙනාට මේ යහපත් ප්‍රතිඵලය ඇති වුණේ ඔවුන් අනිත් යෞවනයන්ට වඩා දක්ෂ හා බලවත් වූ නිසා නෙවෙයි. ඔවුන් දෙවි දී තිබූ නීතියට කීකරු වූ නිසයි.

ඔබටත් මේ හෙබ්‍රේව් යෞවනයන් වගේ කරන්න පුළුවන් කොහොමද? දෙවිගේ සදාචාර ප්‍රමිති අනුව ඔබ ජීවත් වෙනවා නම් ඔබවත් අනිත් යෞවනයන්ට වඩා වෙනස්ව පෙනෙයි. ඔබ යහපත් ලෙස හැසිරෙන්න උත්සාහ කරන විට සමහර අය ඔබ ගැන “නිග්‍රහාත්මක ලෙස කතා” කරයි. (1 පේතෘස් 4:3, 4) නමුත් තවත් සමහර අය ඔබේ යහපත් හැසිරීම දකින විට යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න පෙලඹෙන්නත් පුළුවන්. (1 පේතෘස් 2:12) මෙවැනි අවස්ථාවකදී මේ ආකාරයේ සන්සන්දනයක් කිරීමෙන් යහපත් ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්.

සැසඳීමෙන් හොඳ ප්‍රතිඵල ලැබෙන තවත් පැත්තක් සලකා බලමු. උදාහරණයකට ඔබට හිතෙන්න පුළුවන් ඔබ ඔබේ සහෝදර සහෝදරියන්ට වඩා ගෙදර වැඩට හවුල් වෙනවා කියලා. ඒත් ඔබේ දෙමාපියන්ට එවැනි දෙයක් පෙනෙන්න නැත්නම්, ඔබ සිතන විදිහ වෙනස් කරගැනීම සඳහා ඔවුන් ඔබට කියයි බයිබල් ආදර්ශයන් සමඟ ඔබව සසඳා බලන්න කියලා.

යේසුස් අපගේ ස්වාමියා හා ගුරුවරයා වුණත් ඔහු ගෝලයන්ගේ පාද පවා සේදුවා කියලා සමහර අවස්ථාවලදී ඔවුන් ඔබට පෙන්වා දෙන්න ඉඩ තිබෙනවා. (යොහන් 13:12-15) ඒ නිසා යේසුස්ගේ නිහතමානි ආකල්පයන් අනුකරණය කිරීමටයි ඔබටත් දිරිගන්වන්නේ. බයිබලය තුළ බාල මහලු අප සියලුදෙනාටම දිරිගන්වා ඇත්තේ නිතර අපව යේසුස් සමඟ සසඳමින් “ඔහුගේ අඩිපාර කිට්ටුවෙන් අනුගමනය කරන” ලෙසයි. (1 පේතෘස් 2:21) මේ ආකාරයේ සැසඳීමකින් අපගේ නිහතමානිකම වර්ධනය වන අතර යෙහෝවා දෙවි සතුටු වන ආකාරයේ පෞද්ගලිකත්වයක් ඇති කරගැනීමටද එය උපකාරයක් වෙනවා.

වෙන කෙනෙක් සමඟ සසඳන විට

ඔබව නිතර නිතර වෙන කෙනෙක් සමඟ සසඳන විට ඔබට කේන්තියක් වගේම අධෛර්යය වීමක් ඇතිවීමද සාධාරණයි. නමුත් එවැනි තත්වයකට මුහුණ දීම ගැන නැණවත් සලමොන් රජ පැවසුවේ “මනුෂ්‍යයෙකුගේ සිහිකල්පනාව නිසා ඔහු තරහ වීමට පමා වේ” කියායි. (හිතෝපදේශ 19:11) සිහිකල්පනාව කෙනෙක්ට උපකාරයක් වන්නේ කොහොමද? ඔබ නොදන්නවා වුණත් ඔබේ දෙමාපියන් හා ගුරුවරුන් ඔබව සසඳන්නේ ඔවුන් ඔබ ගැන සැලකිල්ලක් දක්වන නිසයි. ඒ සම්බන්ධයෙන් කැතී මෙසේ පැවසුවා. “කවුරු හරි මාව වෙන කෙනෙක් එක්ක සැසඳුවොත් මම හිතන්නේ ‘මේ අය මට කොහොමද උදව් කරන්න හදන්නේ’ කියලයි.” සැසඳීමෙන් තමන්ට ලැබෙන යහපත ගැන කැතී සිතූ නිසා ඇය කා දිහාවත් වැරදි විදිහට බැලුවේ නැහැ.

දෙමාපියන් නිතර ඔබව ඔබේ පවුලේ කෙනෙක් සමඟ සසඳා ඔබේ අඩු පාඩු පෙන්වනවා කියා ඔබට සිතෙනවාද? එසේනම් ඔබට කළ හැක්කේ කුමක්ද? එවැනි අවස්ථාවකදී දෙමාපියන් සමඟ ගෞරවාන්විත ලෙස කතා කර සැසඳීම ඔබට බලපාන්නේ කොහොමද කියා පහදා දෙන්න. මොකද ඔබේ දෙමාපියන් මෙහෙම කරන්නේ ඔබේ හිත රිද්දන්න නෙවෙයි. බොහෝවිට ඔවුන් නොදන්නවා ඇති සැසඳීම ඔබට කොතරම් බලපානවද කියලා.

‘නිශ්ශබ්දව සිටින්ට කාලයක් සහ කතා කරන්ට කාලයක්’ තිබෙන බව මතක තියාගන්න. (දේශනාකාරයා 3:7) ඒ නිසා ඔබව සසඳන අවස්ථාවකදී ඔබට කේන්ති ගියොත්, කේන්තිය ටිකක් අඩු වෙනකම් ඉඳලා මේ ගැන ඔබේ දෙමාපියන් සමඟ කතා කරන්න. එවිට ඔබ කියන දේ හුඟක් බලපෑමෙන් යුක්ත වෙයි.—හිතෝපදේශ 16:23.

ඔබේ හැකියාවන් ගැන ඔබ හොඳ අවබෝධයකින් සිටිනවා නම් ඔබව සන්සන්දනය කරද්දී ඔබට එතරම් සිත් තැවුල් ඇති නොවෙයි. තිමෝතිගේ අද්දැකීම බලන්න. ඔහුව ක්‍රිස්තියානි සභාවේ අවේක්ෂකයෙකු ලෙස පත් කරද්දී ඔහු සිටියේ යෞවන වයසෙයි. ඒ නිසා සමහරුන් ඔහුව වයසින් වැඩි අද්දැකීම් ලත් වෙනත් අවේක්ෂකයන් සමඟ සසඳන්න ඇති. නමුත් තිමෝති පාවුල් සමඟ සංචාරය කිරීමෙන් බොහෝ අද්දැකීම් ලබාගත්තා. ඒ විතරක් නෙවෙයි දේවවචනය හොඳින් හසුරුවන්නත් ඔහු දැන සිටි අතර ඔහු සෙසු සහෝදර සහෝදරියන්ටත් අවංක ලෙස ප්‍රේම කළා. පාවුල් තිමෝති ගැන මේ දේ දැන සිටිය නිසා ඔහු තිමෝතිට මතක් කර දුන්නා තම හැකියාවන් ගැන අවබෝධයෙන් සිටීමේ වැදගත්කම. ඔහු පැවසුවේ “ඔබේ තරුණකම සුළු කොට සැලකීමට කිසිවෙකුට ඉඩ නොදී” සිටින්න කියායි.—1 තිමෝති 4:12; 1 කොරින්ති 4:17; ෆිලිප්පි 2:19, 20.

ඒ නිසා කවුරු හරි කෙනෙක් ඔබව තව කෙනෙක් එක්ක සැසඳුවොත් ඔබට පුළුවන් ‘මේක ඇත්තක්ද, සාධාරණ දෙයක්ද’ කියලා ඔබෙන්ම අසාගන්න. සැබෑවක් නම් එය හදාගන්න උත්සාහ කරන්න. කරන සැසඳීම එතරම් සාධාරණ නූණත් කෝප වෙන්න එපා. පැවසූ දෙයින් යමක් ඉගෙනගත හැකිද කියා බලන්න. ඒ වගේම මගේ යහපතටනේ මෙහෙම කියන්නේ කියලත් හිතාගන්න.

කෙසේවෙතත් මේ දෙය මතක තියාගන්න. යෙහෝවා දෙවි කිසිවිටකත් ඔබව වෙන කෙනෙක් සමඟ සසඳන්නේ නැහැ. (ගලාති 6:4) ඔබ කොයි වගේ කෙනෙක්ද කියලා දෙවි හොඳින් තේරුම්ගෙනයි සිටින්නේ. ඔබට එය ඔහුගෙන් සඟවන්න බැහැ. (1 සාමුවෙල් 16:7) ඒ විතරක් නෙවෙයි ඔබ යහපත් දේ කරන්න උත්සාහ කරනවා නම් යෙහෝවා දෙවිට එයත් පේනවා. (හෙබ්‍රෙව් 4:12, 13) දෙවි අපේ දුර්වලකම් මොනවාද කියා දැන සිටියත් ඔහු නිතර බලන්නේ අපේ යහපත් දෙයයි. (ගීතාවලිය 130:3, 4) මේ සත්‍යය දැන සිටීම ඔබට උපකාරයක් වෙයි වෙන කෙනෙක් සමඟ ඔබව සසඳද්දී ඊට සාර්ථකව මුහුණ දීමට.

[පාදසටහන]

^ 3 ඡේ. මේ ලිපියේ සමහර නම් වෙනස් කර ඇත.

සිතා බලන්න

▪ ඔබව කුපිත කරන්නේ මොන වගේ සැසඳීම්ද?

▪ ඔබේ දෙමාපියන් නිතර ඔබව වෙන කෙනෙක් සමඟ සසඳනවා නම් ඔබට කළ හැක්කේ කුමක්ද?

[12වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“මට යමක් කියද්දී කාගේ හරි නමක් සඳහන් කරලා ‘ඇයි ඔයාට එයා වගේ වෙන්න බැරි’ කියලා කියනවට මං ආස නැහැ. නමුත් මුලින්ම මාව අගේ කරලා ඊට පස්සේ මට දියුණු වෙන්න තියෙන පැති පෙන්වලා දෙනවා නම් මං ඒකට ආසයි.”—නැටලි

[13වන පිටුවේ පින්තූරය]

සැසඳීම ගැන ඔබට හැඟෙන්නේ කොහොමද කියලා කාරුණිකව පැහැදිලි කරන්න