Skip to content

පටුනට යන්න

ලොව වටා යන ඊජිප්තුවේ අත්කම්

ලොව වටා යන ඊජිප්තුවේ අත්කම්

ලොව වටා යන ඊජිප්තුවේ අත්කම්

ඉතාලියේ පිබිදෙව්! ලේඛක විසින්

‘ඊජිප්තුවේ ඉපැරණි ශිෂ්ටාචාරයකට හිමිකම් කිව්වත් අද ලොව වටාම මේ ගල් කුලුනු දැකගත හැකියි.’ මෙවැනි අදහසක් පළ වුණේ ඉතාලියේ ආකෙඔ නමැති සඟරාවෙයි. අපි දැන් කතා කරන්නේ පුරාණ ඊජිප්තුවේ ස්මාරක ලෙස සෑදූ ගල් කුලුනු ගැනයි. ඒත් අද දින මේවා ඉස්තාන්බූල්, නිව් යෝක්, ලන්ඩන්ය, පැරීසිය හා රෝමය වැනි නගරවලත් දක්නට ලැබෙනවා.

මේ කුලුනු මොන වගේද? මේවායේ හැඩය හතරැස්. පහළ කොටස විශාලයි. ඉහළට යන විට ක්‍රමානුකූලව විශාලත්වය අඩු වී මුදුණ පිරමීඩයක හැඩය ගනියි. දැනට තිබෙන ස්මාරකවලින් පැරණිම එක අවුරුදු 4,000ක් පමණ පැරණි වන අතර නවීනතම එකත් අවුරුදු 2,000ක් පමණ පැරණියි.

ඊජිප්තුවරුන් මේ විශාල ස්මාරක කපනු ලැබුවේ රතු පැහැති ගල් වර්ගයකින්. පසුව ඔවුන් මේවා සවි කළේ මිනී වළවල්වල හා දේවාල ඉදිරිපිටයි. දැනට ඉතිරි වී ඇති විශාලම එක ටොන් 455ක පමණ බරකින් හා උස මීටර් 32කින් යුක්තයි. එය තිබෙන්නේ රෝමයේ. මෙවැනි බොහෝ ස්මාරකවල කැටයම් දක්නට ලැබෙනවා.

ඊජිප්තුවරුන් සූර්ය දෙවියා වන රාට නමස්කාර කළා. ඔහුගෙන් ආරක්ෂාවක් ලැබුණු විටත්, විවිධ ජයග්‍රහණයන්ට ස්තුති කිරීමක් හැටියටත්, ඔහුගෙන් යමක් ඉල්ලන අවස්ථාවේදීත් මෙවැනි ස්මාරක ඉදි කළේ ඔහුට ගෞරවයක් ලෙසයි. සමහරුන්ගේ අදහස මේ ස්මාරක පිරමීඩවල හැඩය අනුකරණය කර තනා ඇති බවයි. මේවායින් නියෝජනය වන්නේ මෙලොවට එළිය හා උණුසුම ලබා දෙන හිරුගේ කිරණයි.

ඊජිප්තුවේ පාලකයන්ව හැඳින්වූයේ පාරාවෝ ලෙසයි. සමහර ස්මාරක ඉදි කර තිබෙන්නේ ඔවුන්ව සිහි කිරීම පිණිසයි. ඒවායේ කැටයම්වලින් එක් පාලකයෙක්ව “රාගේ විශේෂ දරුවා” ලෙසත්, තවත් කෙනෙක්ව “ඉර බැස යෑමේ දෙවි වන ඒටම් තරම් ලස්සනයි” කියාත්, තවත් පාලකයෙකුගේ යුධ ජයග්‍රහණයන් “විදේශ රටවල් පාළු කරන, සතුරන්ව මරා දමන මොන්තු [යුද්ධයේ දෙවියා] වගෙයි” කියාත් විස්තර කර තිබෙනවා.

මුල් වතාවට ඊජිප්තුවේ මෙවැනි ස්මාරක ඉදි කළේ ජූනු නම් නගරයේයි. සමහරුන් කියා සිටින්නේ මේ නමේ අර්ථය “කුලුනු තිබෙන නගරය” කියායි. මේ නගරය ඊජිප්තුවේ හිරු නමස්කාරයේ මධ්‍යස්ථානයක් නිසා හෙලියෝපොලිස් හෙවත් “හිරුගේ නගරය” ලෙස ග්‍රීක්වරුන් එය හැඳින්නුවා. මේ ග්‍රීක් නමට සමාන හෙබ්‍රේව් නම වන්නේ “හිරුගේ නිවස” යන අරුත් ඇති බෙත්ෂෙමෙෂ් යන්නයි.

බයිබලයේ යෙරෙමියා පොතේ එක් අනාවැකියක පවසා තිබෙන්නේ “ඊජිප්තු දේශයේ බෙත්ෂෙමෙෂ්හි ටැම් බිඳ” දමන බවයි. පෙනෙන විදිහට මෙහි කතා කරන්නේ හෙලියෝපොලිස්වල තිබූ ස්මාරක ගැන විය හැකියි. මේ ස්මාරකවලින් නියෝජනය වූ මිථ්‍යා නමස්කාරය දෙවි සම්පූර්ණයෙන්ම හෙළා දැක්කා.—යෙරෙමියා 43:10-13.

සෑදීම හා ප්‍රවාහණය කිරීම

මුලින්ම කරන්නේ ස්මාරකයක් සාදාගැනීම සඳහා සුදුසු ගලක් සොයාගැනීමයි. පසුව තෝරාගත් ගලෙන් දිග අතට ස්මාරකය නෙළනවා. නෙළාගත් ස්මාරකය ගලෙන් වෙන් කරගැනීම සඳහා, එක් කෙළවරකින් කපා එතනට ලී කඳක් තබනවා. මේ ආකාරයට කපන ගමන්ම ලී කඳන් තබමින් සම්පූර්ණයෙන්ම ස්මාරකය ගලෙන් වෙන් කර ලී කඳන් මතට ගන්නවා. අවසානයේදී ලී කඳන් මතින්ම එම ස්මාරකය ඇදගෙන යන්නේ නයිල් ගඟ අසලටයි. එතැනදී මේ ස්මාරක පාරුවල පටවාගෙන අවශ්‍ය තැන්වලට රැගෙන යනවා. අපි මේ ක්‍රමය දැනගත්තේ, ඊජිප්තුවේ අස්වාන්හි මේ ආකාරයට නිර්මාණය කරමින් තිබූ විශාල ස්මාරකයක් අත්හැර ගොස් තිබූ නිසයි. මේ ස්මාරකය නිම කිරීමට ලැබුණා නම් එහි බර ටොන් 1,170ක් පමණ වෙයි. පුරාණ ඊජිප්තුවරුන් විසින් තනි ගලකින් කැපූ බරම ස්මාරකය මෙයයි.

මෙම ස්මාරකය සාදා අවසන් කළා නම් එහි උස මීටර් 42ක් හා අඩිය වර්ග මීටර් 4ක් වෙයි. කෙසේවෙතත් මෙහි වැඩ අත්හැරීමට හේතුව වූයේ ගල්වඩුවන් ගල පුපුරා තිබෙන බව දැනගත් නිසයි. මෙවැනි ස්මාරක කෙළින් කළේ කෙසේද යන්න අදටත් ප්‍රශ්නයක්.

ඊජිප්තුවේ සිට රෝමයට

ක්‍රිස්තු පූර්ව 30දී ඊජිප්තුව රෝමයට අයත් පළාතක් වුණා. රෝමයේ සිටි විවිධ පාලකයන් තම අගනුවර වටිනා ස්මාරකවලින් අලංකාර කිරීමට ආශාවක් දැක්වූ නිසා ඊජිප්තුවේ සෑදූ මෙවැනි විශාල ගල් කුලුනු 50ක් පමණ රෝමයට ගෙන්වාගත්තා. මේ සඳහා විශේෂ නැව් පවා නිර්මාණය කිරීම අවශ්‍ය වුණා. රෝමයට ගෙන ආ පසුවත් මේ ගල් කුලුනු දිගටම හිරු දෙවි නමස්කාරය සඳහා භාවිත කළා.

රෝම අධිරාජ්‍යය පැරදුණු අවස්ථාවේ මේ විශාල ස්මාරක බිමට පෙරළා දැම්මා. පසු කාලවලදී රෝමයෙන් සොයාගත් මේ ඓතිහාසික ස්මාරක නැවත පිහිටුවන්න විවිධ පාප්වරුන් උනන්දු වුණා. මෙම ස්මාරක “ඊජිප්තු පාලකයෙක් විසින් හිරු දෙවිට කැප කළ” බවත්, ඒවා “විවිධ දේවාල අලංකාර කිරීමට භාවිත කළ” බවත් රෝමානු කතෝලික පල්ලිය පිළිගන්නවා.

මුල් වතාවට ස්මාරකයක් නැවත පිහිටුවනු ලැබුවේ පස්වන සික්ස්ටස් පාප්වරයාගේ කාලයේදීයි (1585-1590). ඒ අවස්ථාවේදී ආසිරි පැන් ඉසීම හා සුවඳ දුම් ඇල්ලීම වැනි ආගමික වතාවන් කරමින් භූතයන්ව පළවාහැර ආශීර්වාද කළා. වතිකානුවේ මෙවැනි ස්මාරකයක් පිහිටුවන අවස්ථාවේදී බිෂොප්වරයෙක් ස්මාරකය දෙස බලා මෙසේ පැවසුවා. “ශුද්ධ වූ කුරුසයේ නාමයෙන් මම නුඹව සියලු අපවිත්‍රකම්වලින් පවිත්‍ර කර ශුද්ධ වස්තුවක් ලෙස භාරගනිමි.”

අද දින රෝමයේ තිබෙන මෙවැනි ස්මාරක දකින සංචාරකයෙකුට මේවා නිර්මාණය කළේ කෙසේද, ප්‍රවාහණය කළේ කෙසේද හා කෙළින් කර සිටෙව්වේ කෙසේද වැනි ප්‍රශ්න මතු විය හැකියි. ඊට අමතරව හිරු දෙවි නමස්කාරයට භාවිත කළ මෙවැනි ස්මාරක පාප්වරුන්ගේ නගරය අලංකාර කිරීමට යොදාගැනීම ගැන කෙනෙකු පුදුම වෙන්නත් ඉඩ තියෙනවා.

[15වන පිටුවේ පින්තූරය]

ඊජිප්තුවේ ලුක්සෝ

[15වන පිටුවේ පින්තූරය]

රෝමය

[15වන පිටුවේ පින්තූරය]

නිව් යෝක්

[15වන පිටුවේ පින්තූරය]

පැරීසිය