Skip to content

පටුනට යන්න

සදාචාරය බිඳ වැටුණු ලෝකයක්!

සදාචාරය බිඳ වැටුණු ලෝකයක්!

සදාචාරය බිඳ වැටුණු ලෝකයක්!

“බොරුව වංචාව නැති තැනක් නැහැ” කියා ඩේවිඩ් කැලහන් පැවසුවේ එක්සත් ජනපදයේ සංස්කෘතිය අළලා ඔහු විසින් මෑතකදී ලියූ කෘතියකයි. එහි සිදු වන වංචාසහගත දේවල් අතරට ඔහු මේවාත් එක් කළා. “උසස් පෙළ හදාරන සිසුන්” සංගීත තැටි හා කැසට් පට මෙන්ම චිත්‍රපට “අනවසරයෙන් පිටපත් කිරීම,” “රැකියා ස්ථානවල කාලය හා භාණ්ඩ සොරාගැනීම,” “සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මහා පරිමාණයෙන් වංචාවන් සිදුවීම” හා ක්‍රීඩකයන් තහනම් උක්තේජක භාවිතය. “මේ සියල්ලෙන් පේන්නේ ගුණධර්ම පිරිහිලා, යුක්තිය පෙරළිලා සදාචාරය වළපල්ලට ගිහින් තිබෙන බවයි” කියා ඔහු තම කෘතිය ලියා අවසන් කළා.—එම කෘතිය The Cheating Culture.

ද නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතෙත් එක්සත් ජනපදයේ තත්වය ගැන යමක් පැවසුවා. වර්ෂ 2005 අගභාගයේදී කැට්රිනා සැඩ කුණාටුව හැමීමත් සමඟම “මෙතෙක් අහන්න නොලැබුණු විශාල ප්‍රෝඩාවක් හා වංචාවක් සිදු වුණා. එමෙන්ම වගකිව යුතු නිලධාරීන් පවා අයුතු ලෙස ප්‍රයෝජන ගත්තා.” එහි සෙනෙට් සභාවේ මන්ත්‍රීවරියක් මෙසේ වාර්තා කළා. “මෙතරම් ප්‍රෝඩාවක්, මෙතරම් නාස්තියක් කොහොමද වෙන්නේ කියා හිතාගන්නවත් බැහැ.”

මානව දයාව පෙන්වන අය කොහොමටවත් අද නැහැයි කියා කියන්නත් බැහැ. (ක්‍රියා 27:3; 28:2) ඒ වුණත් මම, මට, මාගේ යන ආකල්පය රජයන අද දින වැඩිදෙනෙක් අසන්නේ “ඒකෙන් මට මොනවද ලැබෙන්නේ” කියායි.

අතීතයේදී රෝම අධිරාජ්‍යයන් වැනි ඇතැම් අධිරාජ්‍යයන්වල පිරිහීමට හේතු වුණේ එහි වැසියන් ආත්මාර්ථකාමීව බියක් සැකක් නැතුව නොහොබිනා ලෙස හැසුරුණු නිසයි. අද අපි දකින දේ ඊටත් වඩා දරුණු තත්වයකට අත වැනීමක් නොවන්නේද? ලොව පුරාම “නීති විරෝධී ක්‍රියා වැඩි” වෙලා. මින් අදහස් වන්නේ බයිබලයේ පුරෝකථනය කළ සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදයේ අපි සිටින බව නොවෙයිද?—මතෙව් 24:3-8, 12-14; 2 තිමෝති 3:1-5.

මුළු ලෝකෙම පිරිහිලා

වර්ෂ 2006 ජූනි 22 ඇෆ්‍රිකා නිව්ස් පුවත්පතේ උගන්ඩාවේ එක් ප්‍රදේශයක මුඩුක්කුවල සිදු වන “ලිංගික අතවර හා කාමුක ක්‍රියා” ගැන වාර්තා කරමින් පැවසුවේ, “මේ ප්‍රදේශයේ ගණිකා වෘත්තිය සහ මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වී තිබෙන්නේ දෙමාපියන්ගේ නොසැලකිල්ල නිසා” කියායි. එහි මෙසේද සඳහන් වුණා. “කාවෙම්පෙ ගම්මානයේ පොලිස් ස්ථානයේ ළමා හා පවුල් සුරැකීමේ ඒකකයේ නිලධාරියෙකු වූ ඩාබාන්ජී සාලෝන්ගෝ මහතා කිව්වේ ළමා අතවර හා ගෘහස්ත හිංසනය හිතන්නවත් බැරි තරමට වැඩි වෙලා කියලයි.”

ඉන්දියාවෙත් වෛද්‍යවරයෙක් මෙසේ පැවසුවා. “කලක් සංස්කෘතිය මිනිසාගේ ආරක්ෂාවට හේතුවක් වී තිබුණත් අද එහෙම නැහැ.” එහි චිත්‍රපට අධ්‍යක්ෂකවරියකගේ අදහස මෙයයි. “මත්ද්‍රව්‍ය භාවිතය හා ලිංගික දුරාචාරය වැඩිවීමෙන් පෙනී යන්නේ ඉන්දියාවත් ‘බටහිර පන්නයට’ හැඩගැසෙන බවයි.”

චීනයේ බීජිංහි පිහිටුවා ඇති, මිනිසාගේ ලිංගික හැසිරීම පිළිබඳ අධ්‍යයනය කරන සමාගමක මහලේකම්වරයා වන හූ පේචං පැවසුවේ මෙයයි. “මීට කලින් අපේ සමාජයේ හරි වැරැද්ද කියලා දෙකක් තිබුණා. ඒත් දැන් එහෙම නැහැ. තමන් කැමති ඕනෑම දෙයක් කරන්න පුළුවන්.” චයිනා ටුඩේ සඟරාවෙත් සඳහන් වුණේ “විවාහයෙන් පිට සබඳතා ඇති කරගැනීම සෙල්ලමක් වෙලා” කියායි.

“අද දින වෙළඳ දැන්වීම්වල නිරුවත් දර්ශන දැකීම අමුතු දෙයක් නෙවෙයි. දැන් මිනිස්සු මුදල් හම්බ කරන්නේ එහෙමයි. මීට අවුරුදු 50කට කලින් මේ වගේ දේවල් දැකීම කෝපය ඇවිස්සීමට හේතුවක් වුණා. ඒත් අද අපි කොහේ හිටියත් වැඩියෙන් දකින්න ලැබෙන්නේ කාමුක දර්ශනයි. . . . අද සමාජයේ මෙය සාමාන්‍ය දෙයක්. වැඩිහිටියන්ට පමණයි කියා වෙන් කෙරුණු දේ අද පවුල් පිටින් නරඹනවා. ඊට විරුද්ධත්වය පළ කරන අය කියන්නේ විශේෂයෙන්ම දරුවන්ව ගොදුරු කරගැනීමේ අරමුණ ඇතුවයි මේවා සාදන්නේ කියලා.” මේ විස්තරය සඳහන් වුණේ එංගලන්තයේ පුවත්පතක.—එය Yorkshire Post.

“[සමහර නහඹරයන් තමන්ගේ නොහොබිනා හැසිරීම්] ගැන රස කර කර විස්තර කරන්නේ අහගෙන ඉන්න අයට දර්ශනයක් පෙන්නනවා වගෙයි” කියා ද නිව් යෝර්ක් ටයිම්ස් යන සඟරාවේ සඳහන් වෙනවා. එමෙන්ම “වයස අවුරුදු 8-12 දක්වා දරුවන් සිටින දෙමාපියන්ට” ලියැවුණු ට්වීන්ස් නිව්ස් සඟරාවේ කියන්නේ මෙයයි. “දැරියකගේ අත් අකුරෙන් ලියා තිබුණේ මෙවැනි ශෝචනීය කතාවක්. ‘කොල්ලෝ එක්ක යාළු වෙලා නොහොබිනා විදිහට හැසිරෙන්න කියලා මගේ අම්මා මට බල කරනවා. මම තාම අවුරුදු 12ක ළමයෙක් . . . අනේ මට පිහිට වෙන්න!’

මොන තරම් පුදුම පෙරළියක්ද! කැනඩාවේ ටොරොන්ටො ස්ටා පුවත්පතේ පැවසුවේ “මීට ටික කලකට පෙර පුරුෂයන් හෝ ස්ත්‍රීන් සමලිංගික සේවනයේ යෙදුණා නම් ඔවුන්ව සමාජයෙන් කොන් කළා” කියායි. ඒත් “අද සමාජය පවසන්නේ ‘අපි මොනව කළත් අනිත් අයට මොකද? අපේ වැඩවලට ඇඟිලි නොගහ තමන්ගේ වැඩක් බලාගන්නවා නම් හොඳයි කියලයි” කියා ඔටාවාහි කාල්ටන් විශ්ව විද්‍යාලයේ සමාජ ඉතිහාසය පිළිබඳ ගුරුවරියක් වන බාබ්‍රා ෆ්‍රීමන් පැවසුවා.

ගත වූ දශක කීපය තුළදී ලොව පුරා බොහෝ තැන්වල සදාචාරය අන්තයටම පිරිහී තිබෙන බව පැහැදිලියි. මෙවැනි පෙරළියක් සිදුවීමට හේතුව කුමක්ද? ඔබට ඒ ගැන හැඟෙන්නේ කොහොමද? මෙයින් අනාගතය ගැන කුමක් කියාපායිද?