Skip to content

පටුනට යන්න

ඔබේ ජීවිතය තීරණය වන්නේ ඉරණම අනුවද?

ඔබේ ජීවිතය තීරණය වන්නේ ඉරණම අනුවද?

බයිබලයෙන් පිළිතුරක්

ඔබේ ජීවිතය තීරණය වන්නේ ඉරණම අනුවද?

දිනක් මිනිසුන් දෙදෙනෙක් රැකියා ස්ථානයට යමින් සිටිද්දී ඒ සඳහා තිබූ කෙටි මාර්ගයකින් ගමන් කිරීමට ඔවුන් තීරණය කළා. ටික දුරක් යද්දී ඔවුන් දැක්කා නිවසක ජනේලයකින් ගිනිදළු නඟිනවා. වාහනය නැවැත්වූ ඔවුන් තිබූ ඉනිමඟ පාවිච්චි කර මව හා දරුවන් පස්දෙනාව බේරා ගත්තා. පසුව මේ සිදුවීම ගැන එක් පුවත්පතක සඳහන් වුණේ “එය ඔවුන්ගේ ඉරණම” කියලයි.

බොහෝ අය සිතන්නේ ඔවුන්ට සිදු වන හොඳ හෝ නරක යන ඕනෑම දෙයක් තීරණය වන්නේ ඔවුන්ගේ ඉරණම හෝ දෛවය අනුව කියායි. ඒ ගැන 16වන සියවසේ ජොන් කැල්වින් මෙසේ ලිව්වා. “ඉරණම හෝ දෛවය අප සලකන්නේ දෙවි සැලසුම් කළ දෙයක් හැටියටයි. දෙවි මිනිසුන්ව මැව්වේ එක වගේ ඉන්න නෙවෙයි. සමහරුන්ට සදාකාල ජීවිතයද තවත් සමහරුන්ට සදාකාල වධ හිංසාද ඔහු කලින්ම තීරණය කර තිබෙනවා.”

නමුත් දෙවි ඇත්තටම එක් එක්කෙනාගේ ජීවන රටාව හා අනාගතය කලින්ම තීරණය කර තිබෙනවාද? බයිබලය මේ ගැන පවසන්නේ කුමක්ද?

ඉරණම පිළිබඳ “තර්කය”

ඉරණම විශ්වාස කරන සමහර අය මෙහෙම තර්ක කරනවා: දෙවි සියල්ල දන්නවා. අනාගතයේදී සිදු වෙන්න තියෙන දේවල් පවා ඔහු කලින්ම දන්නවා. ඒ වගේම එකිනෙකා තම ජීවිත කාලයේදී කරන්න යන දේවල් ගැනත් ඔවුන්ගේ මරණය සිදු වන මොහොත ගැනත් මරණය සිදු වන ආකාරය ගැනත් ඔහු නිශ්චිතවම දන්නවා. එමනිසා පුද්ගලයෙක් තීරණයක් ගන්න විට එය කලින් දෙවි තීරණය කළ දෙයකට වඩා වෙනස් වෙන්න බැහැ. එහෙම නොවෙනවා කියන්නේ දෙවි සියල්ල දන්නේ නැහැ කියන එකයි. මෙය ඔබට පිළිගත හැකි සාධාරණ තර්කයක්ද? අපි ඉරණම පිළිබඳ තර්කය සලකා බලමු.

මගේ ජීවිතය කලින්ම තීරණය කර තිබෙනවා නම් හා මට එය වෙනස් කරන්න බැරි නම්, මම දුම්පානය කරනවද නැද්ද යන තීරණයෙන් මගේ හෝ මගේ දරුවන්ගේ සෞඛ්‍යයට කිසිම බලපෑමක් වෙන්න බැහැ. ඒ වගේම මෝටර් රථයක යද්දී සීට් බෙල්ට් එක පැළඳගත්තත් නැතත් එය මගේ ආරක්ෂාවට බලපාන්නත් බැහැ. නමුත් මෙය වැරදි තර්කයක්. හේතුව නොසැලකිලිමත්ව කටයුතු කරන අයට වඩා ආරක්ෂා සහිතව කටයුතු කරන අය භයානක අනතුරුවලින් බේරී තිබෙන බව සාක්ෂිවලින් පෙන්වා දෙන නිසයි.

තවත් පැත්තක් ගැන අපි සලකා බලමු. දෙවි කලින්ම සියල්ල දන්නවා නම්, ඔහු ආදම් සහ ඒවව මවන්න කලින් ඔවුන් අකීකරු වන බව දැන සිටිය යුතුයි. නමුත් “යහපත හා නපුර දැනගැනීමේ ගහෙන්” කෑවොත් මැරෙන බව දෙවි ආදම්ට පවසද්දී ආදම් ඒ ගහෙන් කන බව දෙවි දැනගෙන සිටියාද? (උත්පත්ති 2:16, 17) ඒ වගේම පළමු යුවළට “සඵලව බෝ වෙමින් පොළොව පුරා පැතිර ඒක යටත් කරන්න. සමුද්‍රයෙහි මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයෙහි පක්ෂීන් කෙරෙහිද පොළොවෙහි යන එන ජීවමාන සියල්ලන් කෙරෙහිද ආණ්ඩු කරන්න” යයි දෙවි පැවසූ විට තමන්ට ලැබී තිබෙන පුදුමාකාර ආශීර්වාදය වන පාරාදීස පොළොව ඔවුන් නැති කරගන්න බව දෙවි දැන සිටියාද? ඇත්තෙන්ම නැහැ.—උත්පත්ති 1:28.

දෙවි සියල්ල කලින්ම දැන සිටිනවා නම්, සිදු වන යුද්ධ අපරාධ හා දුක් වේදනා ඇතුළු සියලුම දේවල්වලට ඔහු වග කිව යුතුයි. නමුත් එය සාධාරණද? බයිබලයේ දෙවිම එයට පැහැදිලි පිළිතුරක් දෙනවා.

“තේරීම ඔබ අතේ”

“දෙවි ප්‍රේමය” සහ “යුක්තියට ප්‍රිය වන්නේය” කියා බයිබලය පවසනවා. එමෙන්ම ඔහු අපෙන් ඉල්ලා සිටින්නේ “නපුරට ද්වේෂ කරන්න, යහපතට ප්‍රේම කරන්න” කියායි. (1 යොහන් 4:8; ගීතාවලිය 37:28; ආමොස් 5:15) දෙවි තම ඇදහිලිවන්ත සේවකයන්ගෙන් නිතර නිතර ඉල්ලා සිටින්නේ යහපත් ජීවිතයක් ගත කිරීමට තෝරාගන්නා ලෙසයි. උදාහරණයකට, ඊශ්‍රායෙල් ජාතියට යෙහෝවා දෙවි මෝසෙස් මාර්ගයෙන් පැවසුවේ: “මා විසින් ඔබ ඉදිරියෙහි ජීවිතය හා මරණයද ආශීර්වාදය හා ශාපයද තැබූ බවට අද ඔබට විරුද්ධව සාක්ෂි දෙන පිණිස ස්වර්ගයටත් භූමියටත් හඬගසමි. එබැවින් ඔබද ඔබේ වංශයද ජීවත්ව ඔබේ දෙවි වූ යෙහෝවාට ප්‍රේම කර දෙවිගේ හඬට කීකරුව දෙවිට ඇලුම්ව . . . දේශයෙහි වාසය කරන පිණිස ජීවිතය තෝරාගන්න” කියායි. (ද්විතීය කතාව 30:19, 20) දෙවි කලින්ම ඔවුන්ගේ ඉරණම තීරණය කර තිබුණාද? ඇත්තෙන්ම නැහැ.

යෝෂුවා එම ජාතියේ සිටි එක් නායකයෙක්. ඔහු ඔවුන්ගෙන් මෙසේ ඉල්ලා සිටියා. “ඔබ මෙහෙ කරන්ට කැමති කෙනෙකු අදම තෝරාගන්න. එහෙත් මමද මාගේ පවුලද යෙහෝවාට මෙහෙ කරමුයයි කීය.” (යෝෂුවා 24:15) දෙවිගේ අනාගතවක්තෘවරයෙකු වූ යෙරෙමියා උදක්ම ඉල්ලා සිටියේ: “ඔබට මා විසින් කියන යෙහෝවාගේ වචනයට කීකරු වන ලෙස ඔබගෙන් ඉල්ලමි. එයින් ඔබට ශුභසිද්ධ වී ඔබගේ ප්‍රාණය ජීවත් වන්නේය” කියායි. (යෙරෙමියා 38:20) මිනිසුන්ව මැවීමෙන් මිනිසුන්ට හානියක් සිදු වෙයි කියා දෙවි දන්නවා නම් ප්‍රේමණීය යුක්තිසහගත දෙවි කෙනෙක් හොඳ දේවල් කර යහපත් ප්‍රතිඵල ලබාගන්න කියා මිනිසුන්ට දිරිගන්වයිද? එසේ කළා නම් එය කුහක දෙයක් නෙවෙයිද?

එමනිසා ඔබගේ ජීවිතයේ ඔබ අද්දකින හොඳ හෝ නරක දේවල් සිදු වන්නේ එය වළක්වන්න බැරි නිසා නෙවෙයි. බොහෝවිට එවැනි දේවලට හේතුව, “කාලයත් හදිසි කාරණාත් සියල්ලන්ට සිද්ධවෙන” නිසයි. (දේශනාකාරයා 9:11) ඔබගේ අනාගතය ඉරණම මත හෝ දෛවය මත කලින්ම තීරණය කර නැහැ. ඔබ පෞද්ගලිකව ගන්නා තීරණ මතයි ඔබගේ අනාගතය රැඳී තිබෙන්නේ.

මේ ගැන ඔබ සිතුවාද?

ආදම් සහ ඒව පව් කරනවා කියා දෙවි කලින්ම තීරණය කළාද?—උත්පත්ති 1:28; 2:16, 17.

ඔබේ ජීවිතය ඉරණම මත තීරණය නොවන බව පැහැදිලි වෙන්නේ දෙවිගේ කිනම් ගුණාංග තුළින්ද?—ගීතාවලිය 37:28; 1 යොහන් 4:8.

ඔබට තිබෙන වගකීම කුමක්ද?—යෝෂුවා 24:15.

[13වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

තොරතුරු පෙන්වා දෙන්නේ ආරක්ෂා සහිතව දේවල් කරන අය බොහෝවිට භයානක අනතුරුවලින් බේරෙන බවයි