Skip to content

පටුනට යන්න

දන්ත වෛද්‍යවරයාව හමු විය යුතුද?

දන්ත වෛද්‍යවරයාව හමු විය යුතුද?

දන්ත වෛද්‍යවරයාව හමු විය යුතුද?

නවීන දන්ත වෛද්‍ය ශාස්ත්‍රය සොයාගැනීමට පෙර සිටි ජනයාගේ දත් දිරා යෑම සහ වැටී යෑම බොහෝවිට සිදු වුණේ ඔවුන්ගේ තරුණ වියේදීමයි. දුර්වර්ණ, අවලස්සන දත් නිසා මෙන්ම දත් වැටී යෑම නිසා ඔවුන්ගේ පෙනුමට හානියක් වුණා පමණක් නොව නිසි ලෙස ආහාර ගැනීමට නොහැකි වූ නිසා කලින්ම මරණයත් අද්දැක්කා. තාක්ෂණයේ දියුණුව හේතුවෙන් අද දින දත් කැක්කුමෙන් මිදෙන්නත්, දිවි ඇති තුරා තම දත් දෙපළ රැකගනිමින් සුන්දර සිනාවක් පෑමටත් වැඩිදෙනෙකුට හැකිකම තිබෙනවා. ඒ කෙසේද?

තම දත් රැකගැනීමටත්, දත් පිළිබඳව දැනුවත් වීමටත්, නිතිපතා දත් පරීක්ෂා කරවාගැනීමටත් බොහෝ දන්ත වෛද්‍යවරුන් ජනයාට උපකාර කරනවා. දත් කැක්කුම හා දත් වැටී යෑම වළක්වාගැනීමට මේ දේවල් ඉතා වැදගත්. යේසුස් මෙවැන්නක් පැවසුවා. “රෝගීන්ට මිස නිරෝගීන්ට වෛද්‍යවරයෙකුගෙන් වැඩක් නැත.” (ලූක් 5:31) මුඛ සෞඛ්‍යය පිළිබඳ දැනුම ක්‍රියාවේ යෙදවීමෙන් දත්වලට ප්‍රතිකාර ලබාගන්න සමහරුන්ට සිදු වන්නේ කලාතුරකින්. * නමුත් වැඩිදෙනෙක් දන්ත වෛද්‍යවරයෙකුව හමුවීමට යන්නෙම නැහැ. සමහරු කම්මැළිකම නිසා දත් ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. තවත් සමහරු වියදම නිසා අදිමදි කරනවා. වෙනත් අය වෛද්‍යවරයෙක් කරා යෑමට බිය වෙනවා. ඔබ ගැන කිව හැක්කේ කුමක්ද? ඔබෙන්ම මෙසේ අසාගන්න. මං දන්ත වෛද්‍යවරයෙක් ළඟට යන්නම ඕනෙද? ගියොත් මොන වගේ ප්‍රයෝජනයක් ලැබෙයිද? දත් රැකගැනීමට නම් දන්ත වෛද්‍යවරුන් අපව යම් දේවලින් වැළැක්වීමට උත්සාහ කරන්නේ ඇයි යන කාරණය අපි හොඳින් තේරුම්ගත යුතුයි.

දත් දිරා යෑමට හේතු

දත් කැක්කුම හා දත් වැටී යෑම වළක්වාගන්න අපට උපකාර කිරීමට දන්ත වෛද්‍යවරුන්ට හැකියි. සාමාන්‍යයෙන් දත්වල මැළියම් බැඳෙන්නේ දත් අතරේ රැඳෙන ආහාර කැබලි නිසයි. මේවා මත ක්ෂුද්‍ර ජීවීන් ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. මොවුන් ආහාර කැබලිවල සීනි, අම්ල බවට හරවන අතර ඒවායින් දත්වල එනැමලයට හානි සිදු වී දත් දිරා යෑමට පටන්ගත හැකියි. මෙලෙස මැළියම් බැඳීම හඳුන්වන්නේ දත් වටා මෘදු පථ ඇතිවීම ලෙසයි. එයින් ඔබට එතරම් අපහසුවක් නොදැනුණත් දතේ කල්ක කුහරය තෙක් දිරා යෑම සිදු වුවහොත් ඔබට දැඩි වේදනාවක් ඇති වෙයි.

මෘදු පථ හදන ක්ෂුද්‍ර ජීවියාගෙන් ඔබට තවත් හානියක් සිදු වෙයි. බුරුසුවෙන් නිසි ලෙස දත් මැද්දේ නැත්නම් ඒවා මත කැල්සියම් තැන්පත් වීමෙන් කැල්කියුලස් හෝ ටාටා නම් ගනකම් පථ බවට ඒවා පත් විය හැකියි. එවිට විදුරුමස් ඉදිමී දත්වලින් ඈත් වී දත් සහ විදුරුමස් අතර හිඩැසක් ඇති වෙයි. එහි ආහාර රැඳෙන ප්‍රමාණය වැඩි වන බැවින් එය ක්ෂුද්‍ර ජීවීන්ට කදිම නිවහනක්. ඔබේ වෛද්‍යවරයාට හැකියි මේ තත්වයෙන් මිදීමට ඔබට උපකාර කරන්න. ඒත් ඔබ එය නොසලකා හැරියොත් දත් වටා ඇති පටලයට හානි වී දත් වැටී යන්න පුළුවන්. වෙන කිසි හේතුවක් නිසා නොව බොහෝවිට දත් වැටී යන්නේ ඒ හේතුව නිසයි.

ක්ෂුද්‍ර ජීවීන්ගෙන් සිදු වන මෙම ද්විත්ව ප්‍රහාරයෙන් ඔබව සෑහෙන දුරකට සුරකින්නේ ඔබේ ඛේටයයි. පැණි රස කෑම ගොඩක් කෑවත්, ටිකක් කෑවත් දත්වල රැඳෙන ආහාර කැබලි ඛේටය මගින් ඉවත් වීමට විනාඩි 15ත්, 45ත් අතර කාලයක් අවශ්‍යයි. සීනි හෝ ආහාර කැබලි දත්වල තදින් ඇලී තිබෙනවා නම් විනාඩි 45ක කාලයක්වත් ගත වෙනවා. දත්වලට හානි සිදු වන්නේ බොහෝවිට ඒ කාලය අතරතුරේදීයි. එමනිසා ඔබ ගන්නා සීනි හෝ ආහාර ප්‍රමාණය නොව නිතර නිතර ඒවා කොතරම් වාර ප්‍රමාණයක් ගන්නවාද යන්න අනුවයි හානිය බරපතළ වන්නේ. නිදා සිටින විට ඛේටය ශ්‍රාවය වන්නේ අඩුවෙන්. එමනිසා පැණි රස කෑමක් හෝ බීමක් ගෙන දත් නොමැද නින්දට ගියොත් ඔබේ දත්වලට විශාල හානියක් සිදු විය හැකියි. නමුත් ආහාර ගැනීමෙන් පසු සීනි රහිත චුවිංගම් හැපීමෙන් ඛේටය ශ්‍රාවය වීම වැඩි වන අතර එය දත් සුරැකීමට උපකාරයක් වන බව පැවසේ.

වළක්වාගැනීම

වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ ඔබේ දත්වල තත්වය අනුව වසරකට වරක් හෝ දෙවරක් දත් පරීක්ෂා කරවාගැනීමටයි. සමහරවිට දතේ දිරාගිය තැන් සෝදිසි කිරීමට X-කිරණ පවා ගැනීමට ඉඩ තිබෙනවා. එමෙන්ම හිරිවැට්ටවීමක් මගින් වේදනාවක් නොදැනෙන පරිදි එවැනි තැන් පිරවීමටද හැකියි. නමුත් යම් බියක් දක්වන අයට ලේසර් කිරණ හෝ ජෙල් වර්ග භාවිත කර ප්‍රතිකාර කිරීමටත් ඔවුන්ට හැකියි. සමහර දරුවන්ගේ හක්කේ දත්වල වැඩියෙන් ආහාර රැඳෙන සේ ඇතුළට දත් එබී තිබෙන බැවින් දරුවන්ට ඒවා නිසි ලෙස පිරිසිදු කරගැනීමට අපහසුයි. කෙසේවෙතත් දන්ත වෛද්‍යවරයාට හැකියි ඒවා පුරවා සාමාන්‍ය දත් සේ සකසන්න.

වැඩිහිටියන්ගේ නම් විදුරුමසේ රෝග වැළැක්වීමට දන්ත වෛද්‍යවරුන් විශේෂ සැලකිල්ලක් දක්වනවා. එමනිසා ගනකම් පථ ලෙස බැඳී තිබෙන මැළියම් දුටුවොත් ඔවුන් වහාම ඒවා සූරා දමයි. හුඟදෙනෙක් දත්වල සමහර කොටස් හරියට මදින්නේ නැති නිසා හරි විදිහට දත් මදින ආකාරයත් ඔවුන් පෙන්වා දෙනවා. එසේ නැතහොත් දත් මැදීම සම්බන්ධයෙන් පුහුණුව ලබා දෙන තැනකට ඔබව යොමු කරයි.

නව පෙනුමක් ලබා දීම

දත් ඇද වී, පලුදු වී හෝ ගැලවී තිබේ නම් ඔබේ මුළු ජීවිතයටම එය බලපාන්න ඉඩ තිබෙනවා. නමුත් තාක්ෂණයේ දියුණුව නිසා සුන්දර දත් දෙපෙළක් ලබා දීමේ හැකියාව වෛද්‍යවරයා සතු නිසා බිය නොවන්න. නමුත් යන වියදම නම් ටිකක් සැරයි. ඒ වුණත් වැය වන මුදලේ වටිනාකම මිල කළ නොහැකි බවයි බොහෝදෙනෙකුගේ අදහස. මන්ද ඉන් මතුවට ඔවුන්ගේ පෙනුම ගැන ඔවුන්ට නිතර සිතසිතා සිටීමට සිදු නොවන නිසයි.

කැඩුණු හෝ අවපාට වූ දත් ස්වාභාවික පෙනුමකට ගෙන ඒමට දන්ත වෛද්‍යවරයාට පුළුවන්. විනිවිද පෙනෙන පෝසිලේන් වර්ගයක් යොදා කැඩුණු දතට නව හැඩයක් හා පෙනුමක් ලබා දෙනවා. හුඟක් හානි වූ දතක් නම් රත්රන් හෝ එවැනි ස්වාභාවික දතක පෙනුම දෙන යම් අමුද්‍රව්‍යයකින් කොපුවක් සාදා එම දත තිබුණු තැනට සවි කරනවා. මෙය ක්‍රවුන් ප්‍රතිකාර ක්‍රමය ලෙස හැඳින්වේ.

දත් වැටී ඇත්නම්? කෘත්‍රිම දත් කුට්ටමක් ලබා දෙන්න හෝ බ්‍රිජ් නමැති ක්‍රමය මගින් යාබද දත් දෙකට මැද කෘත්‍රිම දතක් ස්ථිරව සවි කරන්න වෛද්‍යවරයාට හැකියි. ජනප්‍රිය වෙමින් පවතින තවත් ක්‍රමයක් වන්නේ දත් සිටුවීමයි. දත තිබූ ස්ථානයේ හනු ඇටයට ටයිටේනියම් ලෝහයෙන් සම්බන්ධකයක් සවි කරයි. හනු ඇටය හා විදුරුමස යළි වර්ධනය වෙද්දී දන්ත වෛද්‍යවරයා එම සම්බන්ධකයට කෘත්‍රිම දතක් සවි කරයි. ඉන්පසු එය ස්වාභාවික දතක් තිබෙනවා වගෙයි දැනෙන්නේ.

ඇද වුණු දත්වලින් අපහසුවක් දැනිය හැකි අතර පිරිසිදු කිරීමටත් අමාරු නිසා ඒවා රෝගී තත්වයකට පත් විය හැකියි. උඩු ඇන්දේ සහ යටි ඇන්දේ දත් පෙළ එකිනෙක මත නිසි සේ පිහිටන්නේ නැත්නම් වේදනාවක් ඇති විය හැකි අතර ආහාර සැපීමද අමාරු කාර්යයක් වෙයි. නමුත් වෛද්‍යවරයාට හැකියි කම්බි දැමීම මගින් මෙයද නිවැරදි කිරීමට. මෑතකදී ලැබූ දියුණුවත් සමඟ පිටතට නොපෙනෙන හා නිතර නිතර සකස් කිරීමට අවශ්‍යතාවකුත් නැති ඒවා දමාගත හැකියි.

කෙනෙකුගේ මුඛයෙන් දුගඳක් පිටවීම සම්බන්ධයෙන්ද සමහර වෛද්‍යවරුන් විශේෂ සැලකිල්ලක් දක්වනවා. මුඛයෙන් දුගඳක් හටගන්වන්නාවූ හේතුකාරකයන් කීපයක් තිබෙන බව වෛද්‍යවරුන් දන්නා කරුණක්. බොහෝවිට මෙයට හේතු වන්නේ දිවේ මුල ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය වීමයි. දිව හොඳින් මැදීමෙන් හා සූරා දැමීමෙන් මෙන්ම සීනි රහිත චුවිංගම් වර්ගයක් සැපීමත් උපකාරයක් වේවි. කිරි ආහාර හා මාංස ආහාර ගැනීමෙන් පසු ඔබේ මුඛය පිරිසිදු කිරීම ඉතා වැදගත්.

භය නම් . . .

වෛද්‍යවරයා වෙත යෑමට තිබෙන භය ඉවත් කරගැනීමට ඔබට උපකාර කරන්න වෛද්‍යවරයාට පුළුවන්. එමනිසා ඔබට හැඟෙන දේ ඔහුට පවසන්න. ප්‍රතිකාරය අතරතුර වේදනාවක් හෝ භයක් දැනෙන විට අතින් සංඥාවක් කළ හැකිදැයි ඔහුගෙන් අසන්න. බොහෝදෙනෙකුට භය ඉවත් කරගැනීමට එයින් හැකි වී තිබෙනවා.

ඔබේ දත් ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න තිබුණා කියා ඔහු ඔබට බනියි කියලා ඔබ භය වෙන්න පුළුවන්. ඔහු එසේ කිරීම ඔහුගේ වෘත්තියට පාඩුවක් වන බැවින් ඔබ භයක් ඇති කරගැනීම තේරුමක් නැති දෙයක්. බොහෝ දන්ත වෛද්‍යවරු තමන් වෙත එන අයට කරුණාවන්තව කතා කරන්නයි උනන්දු වෙන්නේ.

තවත් හුඟදෙනෙක් වියදම ගැන හිතලා භය වෙනවා. නමුත් ඔබ කල් ඇතුව ඔබේ දත් පරීක්ෂා කරවාගන්නවා නම් පසු කලෙක ඇති විය හැකි ගැටලු සහ අධික වියදම සහිත ප්‍රතිකාර වළක්වාගත හැකියි. එක් එක්කෙනාගේ වත්කමේ හැටියට ප්‍රතිකාර ලබාගත හැකි බොහෝ ස්ථාන තිබෙනවා. මූලික ලෙස X-කිරණ යන්ත්‍ර සහ දත් පිරවීමේ උපකරණ බොහෝවිට ඒවා සතුව තිබෙනවා. එමෙන්ම වැඩි වේදනාවක් ඇති නොවන සේ ප්‍රතිකාර කළ හැකි උපකරණද ඔවුන් සතුයි. සීමිත වත්කමක් ඇති අයට පවා අඩු වියදමකින් හිරිවැට්ටවීම වැනි ප්‍රතිකාරයක් ලබාගන්න පුළුවන්.

වේදනාවෙන් මුදවන්න හෝ වේදනාවක් ඇති නොකරන්න දන්ත වෛද්‍යවරුන් ඇප කැප වී සිටිනවා. ඔබේ ආච්චිලා සීයලාගේ කාලයේ මෙන් දැන් එය වේදනාකාරී අද්දැකීමක් නොවෙයි. නිරෝගී දත් දෙපෙළක් ඔබේ සෞඛ්‍යය රැකගැනීමට දායක වන අතර ඔබේ ජීවිතයේ ප්‍රීතියද වැඩි කරන නිසා ඔබ ඇයි දන්ත වෛද්‍යවරයෙකු වෙත නොයන්නේ? ඔබ ඔහු වෙත යනවා නම් එය ප්‍රසන්න අද්දැකීමක් වේවි.

[පාදසටහන]

^ 3 ඡේ. මේ ලිපියේ කතා කරන්නේ රෝගියෙකුට දන්ත වෛද්‍යවරයෙකුගෙන් ලැබිය හැකි උපකාර ගැනයි. ඔබේ දත් රැකගැනීම පිළිබඳ තොරතුරු සඳහා 2005 නොවැම්බර් 8 පිබිදෙව්! සඟරාවේ “මුතු කැට වන් දත් මවයි සුන්දර සිනහ” යන ලිපිය බලන්න.

[29වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

නිරෝගී දතක ව්‍යුහය

දත

එනැමලය

දන්තීනය

ස්නායු හා රුධිර නාළ සහිත කල්ක කුහරය

මූලය

විදුරුමස

අස්ථිය

[29වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

දිරා ගිය දතත්

කුහරයක්

දිරා යෑම වළක්වන පිරවුමක්

[29වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

රෝගී වූ විදුරුමසක්

මැදීමෙන් ඉවත් කළ යුතු මෘදු පථ

ගනකම් පථ ඉවත් කරන්න අමාරු වන අතර විදුරුමසට හානි කරයි

රෝගී වූ විදුරුමසක්

[30වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

නව පෙනුමක්

දතක් මතුපිට අලවාගන්න ආවරණය

කොපුවක්

සිටුවීම

යාබද දත් දෙක අතර දතක් සවි කිරීමේ බ්‍රිජ් ක්‍රමය