Skip to content

පටුනට යන්න

දිලිඳු අයට සහනයක් ඇද්ද?

දිලිඳු අයට සහනයක් ඇද්ද?

දිලිඳු අයට සහනයක් ඇද්ද?

වෙහෙස මහන්සි වී වැඩ කරමින් වැටුපක් ලබාගෙන ජීවත් වීමේ කිසි වරදක් නැහැ. මේ සම්බන්ධයෙන් බයිබලයේ පවසන දේ බලන්න. ‘සතුටු වීමට . . . වඩා අන් කිසිවක් මිනිසෙකුට බලාපොරොත්තු විය නොහැකි බව මම තේරුම්ගත්තෙමි. තවද වෙහෙස මහන්සි වී වැඩ කරන මිනිසෙක් කා බී හොඳ ප්‍රතිඵල ලැබිය යුතුය. එය දෙවිගෙන් ලැබෙන දීමනාවකි.’—දේශනාකාරයා 3:12, 13, නව ලොව පරිවර්තනය.

ඒත් අද වෙහෙස මහන්සි වී වැඩ කරන බොහෝදෙනෙකුට ඔවුන්ගේ වෙහෙසට සරිලන වැටුපක් නොලැබෙන බව සත්‍යයක්. මේ නිසා ඔවුන්ගේ දිලිඳුකමේ වෙනසක් වෙන්නේ නැහැ. ඒත් මොවුනුත් කැමතියි සන්තෝෂයෙන් ජීවිත් වෙන්න. ලෝකයේ තිබෙන ධනය දිනෙන් දින වැඩි වෙමින් පැවතියත් ලෝකයෙන් අඩකටම එම ධනයෙන් කිසි සහනයක් ලැබෙන්නේ නැහැ.

දුප්පතුන්ට සැලකිල්ල දක්වන කෙනෙක්

මනුෂ්‍ය වර්ගයාගේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි මේ වගේ තත්වයක් ගැන සතුටු වෙන්නේ නැහැ. ඒ නිසා ඔහු දුප්පත් අයට දයානුකම්පාව දක්වනවා. මේ ගැන අපිට බයිබලයෙන් කියවීමට ඇත්තේ මෙසේයි. “දිලිඳාගේ මොරගැසීම මතක නැති නොකරන්නේය.” (ගීතාවලිය 9:12) ඇත්තෙන්ම යෙහෝවා දෙවි දුප්පතුන් ගැන සැලකිලිමත් වන දෙවි කෙනක්.

අසරණ එක් එක් පුද්ගලයා කෙරෙහි දෙවි සැලකිල්ල දක්වන ආකාරය ගැන බයිබලයේ මෙසේ පවසනවා. * “අසරණයෝ ඔබට භාර වෙති. ඔබ පියා නැත්තාගේ උපකාරකයා වූවේය.” (ගීතාවලිය 10:14) ඇත්තටම අපි සියලුදෙනාවම දෙවිට ඉතා වටිනවා. ඒ නිසා දෙවි ගැන ඉගෙනගෙන ඔහු සමඟ මිත්‍රත්වයක් ඇති කරගන්න කියලා දෙවි අපිට ආරාධනා කරනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තමන්ගේ සෙසු නමස්කාරකයන්ව සලකන්නේ තමන්ගේම පවුලේ අය හැටියටයි. ඒ නිසා ඔවුන් එකිනෙකාට දයානුකම්පාව පෙන්වමින් එකිනෙකාව අගය කරන අතර සැබෑ ප්‍රේමයක්ද පෙන්වනවා. එක් අවස්ථාවකදී යේසුස් ඔහුගේ අනුගාමිකයින්ට පැවසුවේ “ඔබ සියල්ලෝම සහෝදරයෝය” කියායි. (මතෙව් 23:8) සැබෑ නමස්කාරකයන් තුළ සහෝදරත්වයක් ඇති වී තිබෙන්නේ කෙනෙකුට තිබෙන වත්පොහොසත්කම් අනුව නෙවෙයි. ඔවුන් අවංකවම එකිනෙකාට සැලකිල්ලක් දක්වන අතර කරදරයකදීද උදව් කිරීමට පසුබට වෙන්නෙත් නැහැ.

බයිබලයේ ඇති ඉගැන්වීම් පිළිපැදීමෙන් දිලිඳුකමින් යම් දුරකට මිදෙන්න පුළුවන්. ශරීරය අපවිත්‍ර කරන දුම්පානය හා බීමත්කම දෙවි හෙළාදකින බව බයිබලයේ සඳහන් වෙනවා. (හිතෝපදේශ 20:1; 2 කොරින්ති 7:1) කෙනෙක් මෙම ප්‍රතිපත්ති පිළිපැදීමෙන් මුදල් නාස්තිය වළක්වාගන්නා අතර ඇති වන ලෙඩ රෝග සුව කරගැනීමට වැය වෙන මුදල්ද ඉතිරි කරගන්නවා. ඒ වගේම ධනයේ මුළා කරවන බලපෑමෙන් හා ගිජුකමෙන් අහක් වෙන්න කියාත් බයිබලයේ පවසා තිබෙනවා. (මාක් 4:19; එෆීස 5:3) දෙවිගේ වචනයට ගරු කිරීම තුළින් කෙනෙකුට හැකියි සූදුව වැනි දේවල් සඳහා යන අනවශ්‍ය වියදම් මඟහරින්න.

බයිබලයේ ඇති උපදෙස් ඕනෑම කෙනෙකුගේ එදිනෙදා ජීවිතයට අදාළ කරගැනීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. පහත සඳහන් අද්දැකීම සලකා බලන්න.

රැකියාවක් සොයාගැනීමට අමාරු රටක එක් සේවිකාවක් ක්‍රිස්තියානී රැස්වීම්වලට යන්න අවසර ඉල්ලීමට රැකියා ස්ථානයේ ප්‍රධානියා ළඟට ගියා. එය අවදානම් සහිත දෙයක්. හේතුව, ඕනෙනම් ඒ මොහොතේදීම ඇයව අස් කරන්න ප්‍රධානියාට හැකියාව තිබුණා. නමුත් එසේ නොකර ඇයට නිවාඩු දුන්නා. ඒ වගේම ඔහු කියූ දෙයින් ඇයත් සෙසු සේවකයොත් පුදුම වුණා. ඔහු පැවසුවේ ඔබ මේ ආයතනයේ “ආදර්ශවත් සේවිකාවක්” නිසා දිගටම මෙහෙ වැඩ කරන්න කියලයි. මෙහෙම වුණේ ඇයි?

මේ සේවිකාව බයිබල් ප්‍රමිතිවලට එකඟව ජීවත් වන යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක්. ඇය ‘සියල්ලේදී අවංක ලෙස හැසිරෙමින්’ සිටි නිසා ඇය බොරු කිව්වේවත් හොරකම් කළේවත් නැහැ. (හෙබ්‍රෙව් 13:18) කොලොස්සි 3:22, 23හි සඳහන් දෙයට කීකරු වෙමින් ඇය “අවංක සිතින්” තම සේවා ස්ථානයේ වැඩ කළා. ඉන් අදහස් කරන්නේ ප්‍රධානීන්ට කීකරු වෙමින් දිනකට ලැබුණ වැටුපට සරිලන සේවයක් ඇය පිරිනැමුව බවයි.

අද අප ජීවත් වන්නේ හැමවිටම තමන් ගැන පමණක් හිතන තමන්ගේ වාසියට වැඩ කරන සමාජයකයි. ඒ නිසා බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නා කෙනෙකුට තමන්ගේ එදිනෙදා අවශ්‍යතාවන් සපුරාගැනීම සඳහා යම් වෙහෙසක් දරන්න වෙනවා. නමුත් එවැනි අයට “බලාපොරොත්තුව දෙන දෙවි” වන යෙහෝවා පොරොන්දු කර තිබෙන සන්තෝෂවත් කාලය එනතෙක් බලා සිටින්න පුළුවන්.—රෝම 15:13.

දුප්පත්කමට ස්ථිර විසඳුමක්

බයිබලයේ පෙන්නුම් කරන්නේ යෙහෝවා දෙවි අනුන්ට අසාධාරණකම් කරන අයට අකමැති බවයි. දෙවි මෙසේ පවසනවා. “අන් අයට නපුරක් වන ආකාරයට නියෝග පනවන්නන්ටද අසාධාරණ නීති පනවන්නන්ටද දුක් වෙන්න සිදු වෙයි. ඔවුන් දුප්පතුන්ට සහ . . . පීඩිතව සිටින අයට යුක්තිය ඉටු කර නොදෙයි. වැන්දඹුවන් සහ පියා නැත්තා සතු දේ පවා පැහැරගනියි.” (යෙසායා 10:1, 2) ධනය හා බලය තිබෙන අය දුගී දුප්පත් අයව තව තවත් අසරණ කළත් සර්වබලධාරී දෙවි මේ වගේ අසරණ වූ අයට නිසි තැන ලබා දෙන්න යනවා.

එවැනි හිංසා කරන අයගෙන් අනාගතවක්තෘ යෙසායා අහන්නේ මේ වගේ ප්‍රශ්නයක්. “එහෙත් ගණන් දෙන්න සිදු වන දවසේදී ඔබ කරන්නේ කුමක්ද?” (යෙසායා 10:3) ඉදිරියේදී යෙහෝවා දෙවි ඔවුන්ගේ දුෂ්ට සමාජයත් නැති කර දමනවා.

හිංසා කරන්නන්ව විනාශ කරනවාට අමතරව දෙවිගේ අරමුණට තවත් දේවල් ඇතුළත් වෙනවා. එනම් දෙවිගේ පාලනය තුළින් සියලුම මිනිසුන්ට තෘප්තිමත්, සන්තෝෂවත් හා දුගීකමෙන් තොර ජීවිතයක් ලැබෙන්න යනවා. දෙවි මෙය කරන්න යන්නේ මුදල් හෝ රැකියාවන් දීලා නෙවෙයි. නැතහොත් ව්‍යාපාරික ලෝකයේ ප්‍රවීණයන්ව සම්බන්ධ කරගෙන නෙවෙයි. එහෙමනම් දෙවිගේ අරමුණ ඉෂ්ට වෙයි කියා අපිට ස්ථිර වෙන්න පුළුවන් කොහොමද?

යෙහෝවා දෙවි විසින් පත් කරන ලද පාලකයා වන යේසුස් ක්‍රිස්තුස් මිනිසාව යහපත් අනාගතයකට ගෙන යන්නේ ‘නැවත-මැවීමක්’ තුළින්. (මතෙව් 19:28) මෙම වදන්වලින් අදහස් කරන්නේ මිනිසාට නව ආරම්භයක් ලබා දෙනවා කියන එකයි. ‘නැවත-මැවීම’ කියා යේසුස් පැවසීමෙන් අවධාරණය කර සිටින්නේ අපගේ ප්‍රේමණීය නිර්මාතෘ වන යෙහෝවා දෙවි ධර්මිෂ්ඨ මිනිසුන්ට දෙන ජීවිතයයි. ඒ කාලයේදී ඔහු මිනිස් වර්ගයාට බොහෝ දේ ලබා දෙන්න යන අතර දිලිඳුකම හා ආර්ථික පීඩන තවදුරටත් තිබෙන්න යන්නේ නැහැ.

බයිබලයේ අනාවැකිමය ලෙස යේසුස්ගේ පාලන ගැන මෙසේ විස්තර කරයි. “මක්නිසාද ඔහු මොරගසන දිලිඳාද උපකාරකාරයෙක් නැති දුප්පතාද මුදාහරින්නේය. ඔහු දුප්පතුන් සහ දිලිඳුන් කෙරෙහි අනුකම්පා කරන්නේය, දිලිඳුන්ගේ ප්‍රාණයන් ගළවන්නේය. ඔහු ඔවුන්ගේ ප්‍රාණය පීඩාවෙන්ද බලාත්කාරයෙන්ද මුදන්නේය; ඔවුන්ගේ ලේ ඔහුගේ ඇස් හමුයෙහි අනර්ඝ වන්නේය.”—ගීතාවලිය 72:12-14.

මේ ප්‍රීතිමත් අනාගතය විවෘත වී තිබෙන්නේ ඔබටයි. නමුත් ඒ අනාගතය ලබාගැනීමට සැබෑ දෙවි ගැන ඉගෙනගැනීමත් ඔහුගේ කැමැත්ත කිරීමත් අවශ්‍ය වෙනවා. දෙවි මේ අනාගතය සියලුදෙනාම ලබාගන්නවාට කැමතියි. ඒ නිසා ඔබ කනගාටු විය යුතු නැහැ. හේතුව “දුප්පතා නිතරම මතක නැති නොවන්නේය, දිලිඳුන්ගේ බලාපොරොත්තුව සදාකාලේටම විනාශ නොවන්නේය” කියා බයිබලයේ සඳහන් වන නිසයි.—ගීතාවලිය 9:18.

[පාදසටහන]

^ 6 ඡේ. ගීතාවලිය 35:10 සහ ගීතාවලිය 113:7හිද දෙවි අසරණ අය ගැන සැලකිල්ල දක්වන බව පෙන්නුම් කරනවා.

[9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ප්‍රීතිමත් අනාගතයක් ඔබටත් විවෘතයි

[10වන පිටුවේ කොටුව/පින්තූරය]

පිට රටකට යන්න වෙයිද?

කෙනෙක් ජීවත් වෙන්න හා වැඩ කරන්න ඕනෙ කොතනද කියලා බයිබලයේ කියන්නේ නැහැ. නමුත් ආර්ථික හේතු නිසා වෙන රටකට යෑම සම්බන්ධයෙන් නිවැරදි තීරණයක් ගැනීමට උපකාර කිරීමට බයිබලයට හැකියි. පහත සඳහන් ප්‍රශ්න සහ ඒ සඳහා බයිබලයේ සපයා ඇති ප්‍රතිපත්ති සලකා බලන්න.

1. ඒ රටවල් ගැන කියන හැම දෙයක්ම මම විශ්වාස කරනවාද? හිතෝපදේශ 14:15හි පවසන්නේ මෙයයි. “නුවණ නැත්තා හැම වචනම විශ්වාස කරයි. එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ පියවර හොඳට බලාගනියි.” නැඟෙනහිර යුරෝපයේ සිට ධනවත් රටකට ගිය පුද්ගලයෙක් මෙසේ කියා සිටියා. “මම අහලා තිබුණේ මෙහේ සල්ලි හරියට ගස්වලින් කඩනවා වගේ කියලා. ඒත් තවමත් මට ඒ වගේ ගහක් හම්බ වුණේ නැහැ.”

2. මගේ පවුලේ අවශ්‍යතාවන් ගැන මට සමබර ආකල්පයක් තිබෙනවාද? අපි ආශා කරන සියලුම දේවල් අපට අත්‍යවශ්‍යද? පවුලේ මූලිකයා තම පවුලට අවශ්‍ය දේවල් ලබා දීමට බැඳී සිටිනවා. (1 තිමෝති 5:8) නමුත් දරුවන්ට දෙවි ගැනත් හොඳ ප්‍රතිපත්ති ගැනත් ඉගැන්වීමේ වගකීම තිබෙන්නේ පියාටයි. (ද්විතීය කතාව 6:6, 7; එෆීස 6:4) සමහරවිට ඈත ප්‍රදේශයකට ගිහින් වැඩිපුර මුදල් හම්බ කරන්න පුළුවන් වෙයි. ඒත් පියා සති, මාස හෝ අවුරුදු කිහිපයකට දරුවන්ගෙන් ඈත් වී සිටිනවා නම් ඔවුන්ට දෙවි ගැනත් හොඳ ප්‍රතිපත්ති ගැනත් උගන්වන්නේ කොහොමද?

3. දීර්ඝ කාලයක් බිරිඳගේ කායික අවශ්‍යතාවන් සපුරාලන්න බැරිවීම නිසා අපි දෙදෙනාම වැරදි මාර්ගවල යෑමට ඉඩ තිබෙන බවක් මට වැටහෙනවාද? විවාහකයන්ට බයිබලයේ පවසන්නේ එකිනෙකාගේ කායික අවශ්‍යතා ගැන සැලකිල්ලක් දක්වන්න කියායි.—1 කොරින්ති 7:5.

4. නීති විරෝධී ලෙස රටකට ඇතුල් වීමෙන් එම රටේ නීතියට අනුව භයානක ප්‍රතිඵල ලබන්න සිදු වන බව මම දන්නවද? රටක පවතින නීතිවලට කීකරු වීම සැබෑ ක්‍රිස්තියානීන් කළ යුතු දෙයක්.—රෝම 13:1-7.

[8, 9වන පිටුවේ කොටුව/පින්තූර]

දුප්පත් හෝ පොහොසත් වුණත් බයිබලයේ ඇති ප්‍රතිපත්ති අපට ප්‍රයෝජනවත්

[7වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Top: © Trygve Bolstad/​Panos Pictures