Skip to content

පටුනට යන්න

ධනවත් ලෝකයක දිලිඳු වැසියන් මේ ඇයි?

ධනවත් ලෝකයක දිලිඳු වැසියන් මේ ඇයි?

ධනවත් ලෝකයක දිලිඳු වැසියන් මේ ඇයි?

“දිලින්දෝ ඔබ සමඟ සැමදාම සිටිති” කියා පළමුවන සියවසේදී යේසුස් පැවසුවා. (මතෙව් 26:11) එදා සිට අද වන තෙක්ම එය සත්‍යයක් වී තිබෙනවා. ඒත් මෙතරම් ධනවත් ලෝකයක දිලිඳු අය සිටින්නේ ඇයි?

සමහර අය කියා සිටින්නේ කෙනෙක් දිලිඳු තත්වයකට පත් වෙන්නේ ඔවුන් ගන්නා වැරදි තීරණ නිසා කියලයි. මත්ද්‍රව්‍යට හා සූදුවට ඇබ්බැහි වී සිටින අය මෙන්ම බේබද්දන් සම්බන්ධයෙන් එය සත්‍යයක් වුණත් හැම දිලිඳු කෙනෙක් සම්බන්ධයෙන්ම එය සත්‍යයක් නෙවෙයි.

සමහර අයට ආර්ථිකය වෙනස් වූ විට තම රැකියා අහිමි වී තිබෙනවා. තවත් සමහර අයට ජීවන වියදම හා වෛද්‍ය පහසුකම් සඳහා යන වියදම නිසා ඔවුන්ගේ අතේ කීයක්වත් ඉතිරි වෙන්නේ නැහැ. ඒ වගේම සංවර්ධනය වෙමින් පවතින රටවල මිලියන ගණන් අය ගත කරන්නේ ඉතා කටුක ජීවිතයක්. මෙවැනි අය දිලිඳු වී තිබෙන්නේ ඔවුන්ගේම වැරදි තීරණ නිසා නෙවෙයි, නමුත් පාලනය කළ නොහැකි තත්වයන්ට මුහුණ දීමට ඔවුන්ට සිදු වන නිසයි.

ඉතිහාසයෙන් පාඩමක්

ලොව පුරාම විශාල ලෙස ආර්ථික බිඳ වැටීමක් සිදු වුණේ 1930 ගණන්වල මුල්භාගයේදීයි. එක් රටක මිලියන ගණන් අයට රැකියා අහිමි වූ අතර සියදහස් ගණන් අයට තම නිවෙස්ද අහිමි වී ගියා. මෙවැනි තත්වයක් තිබියදී පවා රජයේ අනුමැතිය ඇතුව ගොවීන් මිලියන ගණන් සතුන්ව විනාශ කර දැමූ අතර කිරි පවා පරිභෝජනයට නොදී ඉවත් කළා.

බඩගින්නේ සිටින දිලිඳු අය මෙතරම් සංඛ්‍යාවක් සිටියදීත් මෙවැනි නාස්තියක් කළේ ඇයි? ඊට හේතුව, දිලිඳු අයට මේවා කොතරම් වටිනා දේවල් වුණත් ගොවීන්ට තම නිෂ්පාදනවලින් ලාභයක් ලැබෙන්නේ නැත්නම් ඔවුන්ට ඒවායින් කිසි ප්‍රයෝජනයක් නැති නිසයි.

මෙහි ප්‍රතිඵලයක් හැටියට බොහෝ නගරවල කෝලහල ඇති වුණා. මුදල් දීලවත් ආහාර ගැනීමට බැරි වූ නිසා සමහර අය තුවක්කු පෙන්වා බලහත්කාරයෙන් ආහාර ලබාගත්තා. තවත් සමහර අය මිය ගියේ කුසට ආහාරයක් නොමැති නිසයි. එක්සත් ජනපදයේ මේ වගේ දේවල් සිදු වුණේ එහි ශක්තිමත් ආර්ථිකයක් තිබුණත් අඩු වැටුපක් ලබන අයට එම වැටුපෙන් ඔවුන්ට අවශ්‍ය දේවල් ගැනීමට නොහැකි වූ නිසයි. ආහාර, ඉඳුම් හිටුම් වැනි සියලුදෙනාටම ලැබිය යුතු මූලික අවශ්‍යතාවන් පසෙක දමා ලාභයක් උපයාගැනීමයි නායකයන්ගේ අරමුණ වුණේ.

වත්මන් තත්වය

ලෝක ආර්ථිකය නැවතත් හොඳ තත්වයකට පත් වුණා. බැලූ බැල්මට වෙන කවරදාකටත් වඩා බොහෝ අය දැන් පොහොසත් වෙලයි ඉන්නේ. ඒත් මේ අතරතුරේදී දිලිඳුකමින් මිරිකී සිටින අයත් සිටිනවා. එම තත්වයෙන් ගොඩ ඒමට ඔවුන් කොතෙක් උත්සාහ කළත් එය ඔවුන්ට අසීරු කාර්යයක්. සංවර්ධනය වෙමින් පවතින රටවල තත්වයත් දරුණුයි. එක් පැත්තකින් යුද්ධය නිසා සරණාගතයින් බඩගින්නෙන් පෙළෙනවා. අනිත් පැත්තෙන් ගබඩාවල තිබෙන ආහාර නාස්තිවෙමින් පවතිනවා. ඒ වගේම බඩු මිල ඉහළ යෑම බොහෝ දුප්පත් අයට දරාගන්නත් අමාරුයි. ලෝකය ධනවත් වී තිබුණත් ශක්තිමත් ආර්ථිකයන් තිබුණත් මේ වගේ දිලිඳු අය අසරණ වෙලයි සිටින්නේ. කොහේ බැලුවත් තත්වය මෙයයි.

මේ තත්වය වෙනස් කර මිනිසාගේ සියලුම අවශ්‍යතාවන් සපුරාලන්න තවමත් මිනිසාට බැරි වී තිබෙනවා. මීට වසර 3,000කට පමණ පෙර එක් නැණවත් පුද්ගලයෙක් මෙසේ පැවසුවා. “නැවත මම හැරී ඉර යට කෙරෙන සියලුම පීඩා දුටිමි. එවිට පීඩා ලබන්නන්ගේ කඳුළු දුටිමි, ඔවුන් සනසන්නෙක්ද නොවීය. ඔවුන්ට පීඩා කරන්නන්ගේ පක්ෂයට බලය තිබුණේය. නුමුත් සනසන්නෙක් නොසිටියේය.” (දේශනාකාරයා 4:1) ලොව පුරා ධනය වැඩි වෙමින් තිබුණත් තවමත් බොහෝ අයට තම හිස ඔසවාගැනීමට හැකියාවක් නැහැ.

මිලියන ගණන් ජනයා මෙවැනි දුක්ඛිත තත්වයන් අද්දැක්කත් ඔවුන්ගෙන් බොහෝදෙනෙක් මේ ගැටලුවට සාර්ථකව මුහුණ දීමට ඉගෙනගෙන තිබෙනවා. ඒ ඔවුන්ට යහපත් අනාගතයක් ගැන බලාපොරොත්තුවකුත් දී තිබෙන නිසයි.

[5වන පිටුවේ කොටුව]

ජීවිතය සටනක්

එක් පොතක මෙරිකාවේ සිටින දුප්පත් අය ජීවත් වීමට කරන සටන ගැන විස්තර කරන්නේ මෙසේයි. “දරුවාගේ ඇදුම රෝගයට හේතුව ඔවුන්ගේ ගරා වැටුණු ගෙයයි. දරුවා වෙනුවෙන් ගිලන් රථයක් ගෙන්වාගන්න ඕනෙ වුණත් මේ සියල්ල වෙනුවෙන් එන බිල ගෙවාගන්න අමාරුයි. වාහනයක් ගන්න ගියත් බැංකුවෙන් ණයක් දෙන්න අදිමදි කරනවා. ඒ නිසා ගන්න වෙන්නේ පරණ වාහනයක්. ඒ වාහනය හරියට දුවන්නේ නැති නිසා අම්මා හැමදාම වැඩට යන්නේ පරක්කු වෙලා. හැමදාම පරක්කු වෙලා වැඩට යන නිසා රැකියාවේ උසස් වීමක් ලැබෙනේවත් වැටුප වැඩි වෙන්නේවත් නැහැ. මුදල් නැති නිසා හැමදාම ඉන්න වන්නේ මේ ගරා වැටෙන ගෙදරමයි.” ලොවේ තිබෙන ධනවත්ම රටක ජීවත් වුණත් මේ අම්මයි දරුවයි සිටින්නේ අන්ත දුගීකමේ ප්‍රපාතයට වැටෙන්න ඔන්න මෙන්න කියලයි.—ඩේවිඩ් කේ. ෂිප්ලර් විසින් රචිත The Working Poor—Invisible in America නමැති පොත.

[6වන පිටුවේ කොටුව]

කීමට වඩා අවශ්‍ය වන්නේ කිරීමයි

වර්ෂ 1993 නොවැම්බර් මාසයේදී වොෂින්ටන්හි නිවෙස් තැනීම හා නගර සංවර්ධනය කිරීම සඳහා තිබෙන රජයේ ආයතනයක කණ්ඩායමක් එක්රැස් වී සිටියේ, ඔවුන් සතුව ඇති ඩොලර් මිලියන ගණනක මුදල් තම රටේ නිවෙස් නැති අය වෙනුවෙන් භාවිත කරන්නේ කෙසේද කියා සාකච්ඡා කිරීමටයි. ඔවුන් සාකච්ඡා කරමින් සිටින අතරතුරේදී එම ගොඩනැගිල්ල ඉදිරිපිට තිබූ බස් නැවතුම්පොළට පොලිසියෙන් හා ගිලන් රථ සේවකයන් ආවේ නිවෙසක් නැතිව පාරේ මැරී සිටි කාන්තාවගේ මළ සිරුර ගෙන යෑමටයි.

නිව් යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තාකරුවෙක් කලින් මේ සිදුවීම ගැන, පෙර කිවූ ආයතනයේ සේවකයෙකු සමඟ කතා කරද්දී ඔහු පැවසුවේ මළ සිරුර ගෙන යෑමට ආ සේවකයන් හා වාහන තොගය දැක ඔහු පුදුම වුණ බවයි. “මේ වගේ කෙනෙක් මැරුණට පස්සේ රජයෙන් හැම දෙයක්ම ලබා දෙනවා. ඒත් ඔවුන් ජීවතුන් අතර ඉද්දී නම් ඔවුන්ට රජයෙන් කිසි සෙතක් සලසන්නේ නැහැ.”

[4, 5වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1930 ගණන්වල මහා ආර්ථික බිඳ වැටීමේ කාලයේදී ජීවත් වූ මවක් හා දරුවන් තිදෙනෙක්

[හිමිකම් විස්තර]

Dorothea Lange, FSA Collection, Library of Congress

[6, 7වන පිටුවේ පින්තූරය]

මේ වගේ වැඩපොළවල්වල සේවකයන්ට සතියකට පැය 70ක් පමණ වැඩ කිරීමට බල කළත් ඔවුන්ගේ මාසික වැටුප රුපියල් 140ක් පමණයි

[හිමිකම් විස්තර]

© Fernando Moleres/Panos Pictures