Skip to content

පටුනට යන්න

නැඟෙනහිර ටිමෝරයේ වැසියන්ව හඳුනාගනිමු

නැඟෙනහිර ටිමෝරයේ වැසියන්ව හඳුනාගනිමු

නැඟෙනහිර ටිමෝරයේ වැසියන්ව හඳුනාගනිමු

ඕස්ට්‍රේලියාවේ පිබිදෙව්! ලේඛක විසින්

“ටිමෝරය” කියන වචනයේ තේරුම “නැඟෙනහිර” යන්නයි. එසේනම් නැඟෙනහිර ටිමෝරය යන්නෙන් අදහස් වෙන්නේ නැඟෙනහිර නැඟෙනහිර කියලයි. ඒත් පොදුවේ හැමෝම එයට කියන්නේ නැඟෙනහිර ටිමෝරය කියලයි. මෙම දූපත පිහිටා තිබෙන්නේ ඉන්දුනීසියාවට අයත් දූපත් සමූහයේ නැඟෙනහිර පැත්තට වෙන්නයි.

මෙහි විශාලත්වය වර්ග කිලෝමීටර් 14,800ක් පමණ වෙනවා. හරියට ලංකාවෙන් හතරෙන් එකක් වගේ. ඒ වගේම මෙය ආසියා හා ඕස්ට්‍රේලියා මහද්වීපය අතර පිහිටා තිබෙන නිසා ඒ මහද්වීප දෙකේම තිබෙන ගස් කොළන් මෙහි දක්නට ලැබෙනවා. මේ මහද්වීපවලට ආවේණික වූ සත්ව විශේෂත් මෙහි දැක බලාගන්න පුළුවන්. උදාහරණයක් හැටියට ඕස්ට්‍රේලියාවේ සිටින විවිධ සතුන් හා කුරුල්ලන්, ආසියාවේ සිටින වඳුරන් මෙන්ම කරදිය කිඹුලන් ආදි සතුනුත් මෙහි සිටිනවා. නැඟෙනහිර ටිමෝරයේ සිටින මිනිසුන් ගැන කියන්න පුළුවන් මොනවාද? ඔවුන්ව හඳුනාගන්න ඔබ කැමතිද?

රටේ ඉතිහාසය

මුලින්ම මේ ප්‍රදේශයට ආවේ පෘතුගීසීන්. ඒ 1514දී ව්‍යාපාරික කටයුතු සඳහායි. ඔවුන්ගේ පැමිණීමට මූලික හේතු දෙකක් තිබුණා. එකක් මෙහි සාරවත්ව සඳුන් ගස් හැදෙන නිසා. අනික මෙහි සිටින ආදිවාසීන්ව කතෝලික ආගමට හරවාගැනීමට. කෙසේ හෝ 1556දී මේ රට පෘතුගාලයට අයත් වුණා.

ඊට අවුරුදු 100කට පමණ පසු ලන්දේසීන් විසින් මේ දූපතේ බටහිර කොටස අල්ලාගෙන පාලනය කරන්න පටන්ගත්තා. ඒ නිසා පෘතුගීසීන් මෙහි නැඟෙනහිර ප්‍රදේශයට ගියා. අවුරුදු 400කට පමණ පසු එනම් 1975දී පෘතුගීසීන් සම්පූර්ණයෙන්ම මේ ප්‍රදේශය අතහැර ගියා.

මේ කාලයේදීම නැඟෙනහිර ටිමෝරයේ සිවිල් යුද්ධයක් ඇති වුණා. එතැන් සිට අවුරුදු 24ක් පුරා මේ යුද්ධය නිසා 2,00,000කට පමණ ජීවිත අහිමි වුණා. තත්වය තවත් උග්‍ර වුණේ 1999දීයි. මෙය රටේ ආර්ථිකයත් දේශපාලනයත් බිඳ වැටීමට හේතු වුණා. ඒ වගේම නිවාසවලින් සියයට 85ක් පමණ විනාශ වී ගිය අතර සිය දහස් ගණන් ජනයා කඳුවලට ගියේ පණ බේරාගැනීමටයි. අන්තිමේදී මේ ගැටලුව විසඳුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වෙලයි.

එතැන් සිට ටිමෝරයේ වැසියන් දේශය නඟා සිටුවීමට දැඩි උත්සාහයක් ගත්තා. වර්ෂ 2002 මැයි මාසයේදී නැඟෙනහිර ටිමෝරය ප්‍රජාතන්ත්‍රවාදී නව ජනරජයක් ලෙස පෙනී සිටියා.

මිශ්‍ර සංස්කෘතියක්

විවිධ ජාතීන්ගේ පැමිණීමත් සමඟම මෙහි සංස්කෘතියත් මිශ්‍ර වුණා. ඒ වගේම විවිධ භාෂාවනුත් කතා කරන්න පටන්ගත්තා. ව්‍යාපාරික හා රජයේ කටයුතු සඳහා භාවිත කළේ පෘතුගීසි භාෂාවයි. නමුත් සියයට 80ක් පමණ කතා කරන්නේ ටෙටුම් නම් පොදු භාෂාවයි. එම භාෂාවත් පෝෂණය වී තිබෙන්නේ පෘතුගීසි භාෂාවෙන්මයි. මෙසේ මිශ්‍රවීම නිසා මෙහි සිටින අයට අමතර භාෂා 22ක් පමණවත් කතා කරන්න පුළුවන්.

ගැමි පළාත්වල පාලනය සඳහා රජ කෙනෙක් ඉන්නවා. ඔහු තමයි ගමේ ඉඩ කඩම් බෙදා දෙන්නෙත්, උත්සව වැනි දේවල් ගැන බලාගන්නෙත්. ඊට අමතරව සාමාන්‍යය කටයුතු බලාගැනීමට ගම්මුලාදෑනියෙකුත් ඉන්නවා.

විදේශ රටවලින් ආ ඇදහිලි ක්‍රම නිසා මේ අයගේ ආගමත් මිශ්‍ර වෙලා. මුතුන්මිත්තන් නමස්කාරය, භූතවාදය හා නිමිති බැලීම් වැනි දේවල් පොදුවේ හැමෝම කරනවා. නිතිපතා කතෝලික පල්ලියට යන කෙනෙක් පවා මතුරන්නෙක් හෝ කට්ටඩියෙක් ළඟට යන එක මෙහෙ සාමාන්‍යය දෙයක්.

මිත්‍රශීලී මෙන්ම සත්කාරශීලීයි

නැඟෙනහිර ටිමෝරයේ ජනයා ගැන එහි ජනාධිපති කේ රාලා ෂානානෙ ගූස්මෝ පැවසුවේ “අපි අමුත්තෙක් එක්ක වුණත් කතා බහ කරන්න කැමතියි. ගොඩක් දේවල් ඉගෙනගන්නත් ආසයි” කියලයි.

සාමාන්‍යයෙන් අමුත්තෙකුව කෑමට ආරාධනා කළොත් බොහෝවිට ගෘහමූලිකයත් අමුත්තා සමඟ කෑම කනවා. අනිත් අය කන්නේ ඊට පස්සෙයි. පිඟානට කෑම ටිකක් බෙදාගෙන ඊට පස්සේ දෙවැනි වරටත් කෑම ටිකක් බෙදාගැනීම අමුත්තා විසින් ගෘහණියට කරන ගෞරවයක් හැටියටයි ඔවුන් සලකන්නේ.

ටිමෝරයේ වැසියන්ගේ ආහාරවලට බත්, බඩඉරිඟු හෝ මඤ්ඤොක්කා, පළා වර්ග හා එළවළු වර්ගත් අයත් වෙනවා. නමුත් මස් වර්ග නම් මිල අධිකයි. ඔවුන්ගේ විශේෂ ආහාරයක් තමයි සබෝකෝ. එය හදාගන්නේ සාඩින් මාළුයි, සියඹලයි, කුළු බඩුයි, එකට එකතු කරලා පාම් කොළයක ඔතලා පිසගැනීමෙනුයි.

ළමා ලෝකය

නැඟෙනහිර ටිමෝරයේ ජනගහනයෙන් අඩක්ම ළමුන්. සෑම පවුලකම වගේ දරුවෝ දහයක් දොළහක් විතර ඉන්නවා. ඒත් මුළු පවුලම ජීවත් වෙන්නේ එකට.

ළමුන් නිතරම ඉන්නේ සතුටින්. මේ පැංචො අත් අල්ලගෙන සිංදු කියමින් පාසැල් යන ගමන බලන්න ලස්සනයි. ඔවුන්ගේ පාසැල් අධ්‍යාපනය පොතට පමණක් සීමා නොවන අතර හොඳ පුරවැසියන් වෙන්නේ කොහොමද කියාත් ඉන් කියා දෙනවා.

මුළු ගමේම ඉන්න පැංචො ටික එකට එකතු වෙලයි සෙල්ලම් කරන්නෙත්. ඔවුන් ආසම සෙල්ලම තමයි දිග කෝට්ටකින් බයිසිකල් රිම් එකක් තල්ලු කරගෙන කෑමොර දිදී පාර දිගේ දුවන එක. ඔවුන් මේ සෙල්ලමට කියන්නේ ඩූඩූ කාරෙටා කියලයි.

සෙල්ලම් කිරීමට අමතරව මේ පැංචන්ට විවිධ වැඩත් පවරනවා. ඔවුන්ගෙන් සමහර ළමයි ලොකු යකඩ පොල්ලකින් බඩඉරිඟු ඇට තලනවා ඔබට දැකගන්න පුළුවන් වෙයි. දිලිඳුම රටවල් දහයෙන් එකක ජීවත් වුණත් හුඟක් මහන්සි වෙලා වැඩ කළත් ළමුන්ට නම් ඒවා ප්‍රශ්න නෙවෙයි. ඔවුන් නිතරම ඉන්නේ සිනා මුසු මුහුණින්.

කටුක ජීවිතයක්

රටේ අන්ත දුගීකම නිසා එහි ජන ජීවිතයත් ඉතා දුෂ්කරයි. ජනගහනයෙන් සියයට 40ක් පමණ දිනකට ලබන්නේ රුපියල් 150කටත් වඩා අඩු ආදායමක්. පවුලක් නඩත්තු කරන්න මේ ආදායම ප්‍රමාණවත් නැහැ. එහි රජයෙන් නිකුත් කළ වාර්තාවක සඳහන් වුණේ “සෑම හතරදෙනෙකුගෙන් තුන්දෙනෙකුටම විදුලියද, පස්දෙනෙකුගෙන් තුන්දෙනෙකුට මූලික සනීපාරක්ෂක පහසුකම්ද, ජනගහනයෙන් අඩකටම පානීය ජලයද නැහැ” කියායි.

මෙවැනි තත්වයන් සෞඛ්‍යය ගැටලුවලටත් තුඩු දෙනවා. මන්දපෝෂණය, මැලේරියාව, ක්ෂය රෝගය හා වෙනත් රෝග නිසා කෙනෙකුගේ ආයු කාලය අවුරුදු 50කට පමණ සීමා වෙනවා. දරුවන්ගෙන් සියයට දහයකට පමණ අවුරුදු පහ වෙනකන්වත් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. වර්ෂ 2004දී 8,00,000ක්වූ ජනගහනයට වෛද්‍යවරුන් 50ක්වත් සිටියේ නැහැ.

මෑතක සිට විවිධ රජයන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එකතු වී මෙම රට ගොඩනඟන්න එහි ජනතාවට උපකාර කරනවා. ඒ වගේම ටිමෝර් මුහුදෙන් ඛනිජ තෙල් හා ස්වාභාවික ගෑස් සොයාගැනීමත් ඉදිරියේදී මේ රටේ ආර්ථිකයට විශාල රුකුලක් වෙන්න පුළුවන්. කෙසේවෙතත් නැඟෙනහිර ටිමෝරයේ තිබෙන වටිනාම සම්පත තමයි එහි වෙසෙන අවංක නිහතමානී ජනතාව. එක් කාන්තාවක් පිබිදෙව්! සඟරාවට මෙසේ පැවසුවා. “අපි දුප්පත් වෙන්න පුළුවන් ඒත් ඉන්නේ සන්තෝසෙන්.”

“යහපත් දේ ගැන යහපත් ආරංචිය”

මෑත වර්ෂවල සිට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නැඟෙනහිර ටිමෝරයට ‘යහපත් දේ ගැන යහපත් ආරංචියක්’ ගෙන යමින් සිටිනවා. (යෙසායා 52:7; රෝම 10:14, 15) වර්ෂ 2005දී පැය 30,000ට ආසන්න කාලයක් මිඩංගු කරමින් සාක්ෂිකරුවන්ගේ එක් සභාවක සාමාජිකයන් විසින් බයිබලයේ පාරාදීස පොළොවක් ගැන දී ඇති පොරොන්දුව ගැන අන් අය සමඟ කතා කළා.—ගීතාවලිය 37:10, 11; 2 පේතෘස් 3:13.

බයිබලයෙන් සත්‍යය දැනගත් නිසා සමහර අය භූතවාදයෙන් නිදහස් වී තිබෙනවා. දරුවන් පස්දෙනෙක් සිටින ජේකබ් ඉන් එක්කෙනෙක්. මීට කලින් ඔහු මිය ගිය අයගේ ආත්මවලට නිතිපතා සතුන් පූජා කළා. සාමාන්‍යයෙන් කුකුලෙක්ව පූජා කරන්න දවසක වැටුපකට සමාන මුදලක්ද එළුවෙක් හෝ ඌරෙක් පූජා කරන්න සති කිහිපයක වැටුපකුත් අවශ්‍ය වුණා. ඒ නිසා මෙය ඔහුගේ පවුලේ ආර්ථිකයටත් දරුණු විදිහට බලපා තිබුණා.

ජේකබ්ගේ බිරිඳ වන ෆ්‍රැන්සිස්කා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. මළ අයට සිහි කල්පනාවක් නැති බවත් ජීවත්ව සිටින අයට කිසි කරදරයක් කරන්න මළවුන්ට බැරි බවත් ඇය ජේකබ්ට බයිබලයෙන්ම ඔප්පු කළා. (දේශනාකාරයා 9:5, 10; එසකියෙල් 18:4) මේ දේවල් පිළිගත් ඔවුන් ඊට පස්සේ සතුන්ව පූජා කිරීමත් අත්හැරියා. මේ නිසා නෑදෑයන් ඔවුන්ව නෑකමින් අයින් කළා විතරක් නෙවෙයි, භූතයන් ඔවුන්ව මරලා ඔවුන්ගෙන් පළිගනියි කියලත් කිව්වා. ඒත් ජේකබ් හා ෆ්‍රැන්සිස්කා භය වුණේ නැහැ. “යෙහෝවා දෙවි අපිව ආරක්ෂා කරයි” කියලා ඔවුන් කිව්වා.

ජේකබ් බයිබලය පාඩම් කරන්නත් පවුල සමඟ ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වෙන්නත් පටන්ගත්තට පස්සේ ඔහු තවත් වෙනස්කම් කරන්න උත්සාහ කළා. කලක් තිස්සේ අඩුම තරමින් දිනකට සිගරට් පැකට් එකක්වත් බීමට ඇබ්බැහි වී සිටි ඔහු එය අත්හැරියා. ඒ වගේම කියවන්නත් ලියන්නත් ඉගෙනගත්තා. ඒ අතරතුරේදී ෆ්‍රැන්සිස්කා ඇගේ බුලත්විට කෑම අත්හැරියා. වර්ෂ 2005දී ඔවුන් දෙදෙනාම බව්තීස්ම වුණා. දැන් මුදලුත් ඉතිරි වන නිසා ඒ මුදල් දරුවන්ගේ අධ්‍යාපනයටත් බේත් හේත්වලටත් යොදවනවා.

යේසුස් කී විදිහටම දෙවිගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය “පොළොවේ ඈත කෙළවරෙහි ඇති ස්ථානය දක්වා” ඒ කියන්නේ කුඩා නැඟෙනහිර ටිමෝරයේ වෙසෙන මිත්‍රශීලී මෙන්ම සත්කාරශීලී අයටත් ගොස් තිබෙනවා.—ක්‍රියා 1:8; මතෙව් 24:14.

[17වන පිටුවේ කොටුව/පින්තූරය]

“නූලකුයි දික් නූල්කූරකුයි ගෙනල්ලා”

ටිමෝරයේ කාන්තාවන් පාරම්පරිකව, අලංකාරවත් ටයිස් නම් රෙදි වර්ගය වියනවා. පවුලකට ගැහැනු දරුවෙකු ලැබුණ විට “නූලකුයි දික් නූල්කූරකුයි ගෙනල්ලා” කියලා ඔවුන් කියන්නේ මේ නිසායි. සාමාන්‍යයෙන් ආච්චිලා තරුණ ගැහැනු ළමයින්ට පුළුන් පැළ හිටවන්නත් ගෙඩි කඩන්නත් ඉන් නූල් හදලා පාට කරගෙන වයිවර්ණ මෝස්තර දමන්නත් කියා දෙනවා. මේ ටයිස් රෙදි භාවිත කරන්නේ විශේෂිත අවස්ථාවලට පමණයි. එහි මෝස්තරයට අනුව සමහර රෙදි වියා අවසන් කරන්න අවුරුද්දකට වඩා වැඩි කාලයක් ගත වෙන්න පුළුවන්. එක් එක් ප්‍රදේශයට ආවේණික මෝස්තර තිබෙන නිසා මේ ගැන දන්නා අයට එක් ටයිස් රෙද්දක් දැක්කොත් ඒක වියලා තියෙන්නේ කොහෙද කියලා කියන්න පුළුවන්.

[14වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

ඉන්දුනීසියාව

නැ. ටිමෝරය

ඕස්ට්‍රේලියාව

පැපුවා නිව්ගිනියාව

[15වන පිටුවේ පින්තූරය]

ගැමි ගෙයක්

[16වන පිටුවේ පින්තූරය]

පැංචන්ගේ ප්‍රියතම සෙල්ලම වන “ඩූඩූ කාරෙටා”

[16, 17වන පිටුවේ පින්තූරය]

ජේකබ් සහ පවුල