Skip to content

පටුනට යන්න

බේබදුකමේ යදම් බිඳ දමයි

බේබදුකමේ යදම් බිඳ දමයි

බේබදුකමේ යදම් බිඳ දමයි

මත්පැන් ටිකක් පාවිච්චි කිරීමෙන් සතුටක් ලබාගන්න පුළුවන්. ඒත් සමහර අයට නම් මත්පැන් ගැනීම ගැටලු කන්දරාවකට පිවිසෙන දොරටුවක්. බේබදුකමෙන් නිදහස ලැබූ කෙනෙකුගේ හද දනවන කතාව කියවා බලන්න.

අපේ ගෙදර තිබුණ ඒ කටුක තත්වය මට අදටත් මතකයි. මගේ අම්මයි තාත්තයි දෙන්නම බීමට ඇබ්බැහි වෙලයි හිටියේ. තාත්තා බීලා ඇවිත් අම්මට ගුටි බැට දුන්නා. මටත් වදින අවස්ථා තිබුණා. පස්සේ ඒගොල්ලන් තීරණය කළා වෙන් වෙන්න. මට මතකයි අම්මා මාව එක්කගෙන ගිහින් ආච්චිට බාර දුන්නා. එතකොට මට වයස අවුරුදු හතරයි.

මට අවුරුදු හතක් වෙද්දී මම හොර රහසේ ගෙදර හදපු වයින් බොන්න පුරුදු වුණා. ඒකෙන් මගේ දුක නැති කරගන්න පුළුවන් වෙයි කියලයි මම හිතුවේ. වයස අවුරුදු 12දී දවසක් මං නිසා ආච්චියි අම්මයි අතර ලොකු රණ්ඩුවක් ඇති වුණා. අම්මට හොඳටම කේන්ති ගිහින් මට යකඩ ආයුධයක් විසි කරලා ගැහුවා. ඒකෙන් මම බේරුණේ අනූනවයෙන්! මගේ ජීවිතේ මේ වගේ අනතුරු වෙන්න ගිය පළවෙනි වතාව මේක නෙවෙයි. මට ඒ දේවලින් ශාරීරිකව තුවාල ඇති වුණත් වැඩියෙන්ම තුවාල වුණේ මගේ හිතයි.

මට 14ක් වෙද්දී මම නිතරම බොන්න පටන්ගත්තා. අවසානයේදී වයස 17 වෙද්දී මම ගෙදරින් පැනලා ගියා. අරක්කු තමයි මට නිදහස්කමේ හැඟීමක් ගෙනත් දුන්නේ. ඒ වගේම මම හුඟක් දරුණු විදිහට හැසුරුණ නිසා තැබෑරුම්වලදී පවා රණ්ඩුවලට පැටලුණා. මගේ ජීවිතයට බෝතලෙන් හැරෙන්න වෙන කිසිම දෙයකින් සතුටක් ලැබුණේ නැහැ. සාමාන්‍යයෙන් මම දවසකට වයින් ලීටර් පහක්, බියර් බෝතල් කීපයක් වගේම සැර අරක්කුත් බිව්වා.

විවාහ වුණාට පස්සේ මගේ බේබදුකම, පවුලේ සන්තෝෂයත් සොරාගත්තා. මම පුංචි කාලේ අද්දැක්ක දේවල් නිසාම මම නිතරම බිරිඳටත් දරුවන්ටත් පහර දුන්නා. හම්බ කරන සේසතම වියදම් කළේ තැබෑරුමට. අපේ ගෙදර බඩු මුට්ටු තිබුණෙත් නැහැ. අපි නිදාගත්තේ බිම. මගේ ජීවිතයට අරමුණක්වත් මේ තත්වයෙන් ගොඩ එන්න කිසි උවමනාවක්වත් තිබ්බේ නැහැ.

මෙහෙම කාලය ගෙවෙද්දී මට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් එක්ක කතා කරන්න අවස්ථාවක් ලැබුණා. ඔහුගෙන් මම ඇහුවා මේ තරම් දුක් වේදනා පවතින්නේ ඇයි කියලා. ඊට පස්සේ ඔහු මට බයිබලයෙන්ම පෙන්නුවා ප්‍රශ්න ගැටලු නැති කාලයක් ගැන දෙවි දී තිබෙන පොරොන්දුව. මගේ ඊළඟ පියවර වුණේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගැනීමයි. මම බයිබලයෙන් ඉගෙනගත් දේවල් අදාළ කරගන්නත් කෙමෙන් කෙමෙන් බීමත්කමෙන් ඈත් වෙන්නත් උත්සාහ කළා. උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට අපේ පවුලේ සන්තෝෂය වැඩි වුණා. යෙහෝවා දෙවි කැමති විදිහට ඔහුට සේවය කරන්න මට ඕනෙ නම් බෝතලේට ආයුබෝවන් කියන්න වෙන බව මට වැටහුණා. මේ සඳහා මට ලොකු පොරබැදීමක් කරන්න සිදු වුණා. මාස තුනක් තිස්සේ කළ පොරබැදීමෙන් සාර්ථක ලෙස මම ජය ගත්තා. මාස හයකට පස්සේ මගේ ජීවිතය දෙවිට කැප කර මම බව්තීස්ම වුණා.

බීමත්කමෙන් මිදුණ නිසා මට ලැබෙන සල්ලිවලින් ණය ගෙවා දමන්න පුළුවන් වුණා. සල්ලි නාස්ති වෙන්නේ නැති නිසා ඒ සල්ලිවලින් ගෙයකුත් කාර් එකකුත් ගන්න පුළුවන් වුණා. අපි ඒකෙන් තමයි දේශනා සේවයටත් ක්‍රිස්තියානි රැස්වීම්වලටත් යන්නේ. මට සිදු වුණ තවත් යහපතක් තමයි ලැබුණ ආත්ම-ගෞරවය.

සමහර උත්සව අවස්ථාවලදී මට බොන්න කියලා ආරාධනා කරන වෙලාවල් තියෙනවා. හුඟක් අය දන්නේ නැහැ මම කොච්චර අමාරුවෙන්ද මේ තත්වයට ඇවිත් ඉන්නේ කියලා. එක සැරයක් හරි බිව්වොත් ආයි පරණ තත්වයටම වැටෙන්න පුළුවන්. ගිනිපෙණෙල්ලෙන් බැට කාපු මිනිහා කණාමැදිරි එළියටත් බයයි කියලා කියමනක් තියෙනවානේ. නැවත නොබී ඉන්න මම අරන් තිබෙන තීරණයට එකඟව වැඩ කරන්න ශක්තිය දෙන්න කියලා මම දෙවිට යාච්ඤා කරනවා. මට තිබහක් ආවොත් වෙන දෙයක් බොනවා ඇරෙන්න අරක්කු නම් බොන්නේ නැහැ. අවුරුදු දහයක් තිස්සේ මම අරක්කු බිංදුවක්වත් කටේ තියලා නැහැ.

මිනිසුන්ට කරන්න බැරි දේ යෙහෝවා දෙවිට කරන්න පුළුවන්. මගේ පරණ ජීවිතයෙන් ගොඩ එන්න දෙවි උපකාර කරලා තියෙන විදිහ මට හිතාගන්නවත් බැහැ! කොහොමවුණත් මගේ ළමා කාලය ගැනත් ඒ නරක අතීතය ගැනත් මතක් වෙද්දී මම දැනටත් දුක් වෙනවා. මට දැන් දෙවි සමඟ හොඳ මිත්‍රත්වයකුත් සභාව තුළ සැබෑ මිතුරනුත් යෙහෝවා දෙවිටම නමස්කාර කරන පවුලකුත් ලැබීම ඇත්තෙන්ම ලොකු සතුටක්! මේ ගමන යන්න මට මගේ බිරිඳත් දරුවනුත් හුඟක් උදව් කරනවා. මගේ බිරිඳ කියන දේ බලන්න. “ඉස්සර මම හිටියේ රත්වෙච්ච යකඩයක් උඩ. ඒත් යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වෙන්න මම දැන් මහත්තයා එක්කත් දරුවෝ දෙන්නා එක්කත් සතුටින් ඉන්නවා.”—සපයන ලද්දක්.

[21වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

මම නිතරම බොන්න පටන්ගත්තේ 14දීයි

[22වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

මිනිසාට කළ නොහැකි දේ දෙවිට කළ හැකියි

[22වන පිටුවේ කොටුව/පින්තූර]

බයිබලය හා මත්පැන්

▪ බයිබලයේ මත්පැන් ගැනීම හෙළා දැක නැහැ. එහි පෙන්නුම් කරන්නේ “මනුෂ්‍යයාගේ සිත සතුටු කරන මිදි යුෂ” දෙවිගෙන් ලැබුණ තෑග්ගක් හැටියටයි. (ගීතාවලිය 104:14, 15) බයිබලයේ මිදි යුෂවලින් සංකේතවත් කළේ සමෘද්ධිය හා ආරක්ෂාවයි. (මීකා 4:4) යේසුස්ගේ පළමු ප්‍රාතිහාර්යය වුණෙත් විවාහ උත්සවයකදී වතුර වයින් බවට හැරවීමයි. (යොහන් 2:7-9) පාවුල් තිමෝතිට “නිතර ඇති වන ඔබේ අසනීප නිසාත් වයින් ටිකක් භාවිත කරන්න” කියා පැවසුවා.—1 තිමෝති 5:23.

▪ බයිබලයේ හෙළා දකින්නේ අධික ලෙස මත්පැන් ගැනීමයි:

“බේබද්දන්ට . . . දෙවිගේ රාජ්‍යය උරුම වන්නේ නැත.”—1 කොරින්ති 6:9-11.

“වයින්වලින් වෙරි වීමෙන් අශිෂ්ට ක්‍රියා හටගන්නා නිසා වෙරි නොවී සිටින්න.”—එෆීස 5:18.

“දුක ඇත්තේ කාටද? අසහනය ඇත්තේ කාටද? අඩ දබර කරන්නේ කවුද? ගැටළු ඇත්තේ කාටද? නිකරුණේ තුවාල ලැබුවේ කවුද? රතු වී ඇත්තේ කාගේ ඇස්ද? මේ සියල්ල සිදු වන්නේ බොහෝ වේලා වයින් බොන්නන්ටය. සැර වැඩි කර ඇති වයින් සොයා යන්නන්ටය. වයින්වල රතු පැහැය දිස්වන කලද, එය කුසලානේ දිලිසෙන කලද, ඉතා සුමුදු ලෙස බසින කලද ඒ දෙස නොබලන්න. අවසානයේදී එය සර්පයෙකු මෙන් දෂ්ට කරයි. පොළඟෙකු මෙන් විෂ පිට කරයි. ඔබේ ඇස් අමුතු දේවල් දකින්නේය. ඔබේ සිත විකෘති දේ පවසන්නේය.”—හිතෝපදේශ 23:29-33, නව ලොව පරිවර්තනය.

ඉහත ලිපියේ පෙන්නුම් කර ඇත්තේ බීමත්කමට ඇබ්බැහි වී සිටි කෙනෙක් ඉන් සම්පූර්ණයෙන්ම ඉවත් වීමට ගත් තීරණය ගැනයි.—මතෙව් 5:29.