Skip to content

පටුනට යන්න

මෙයාව මට ගැළපෙනවාද?

මෙයාව මට ගැළපෙනවාද?

යෞවන අය අසති . . .

මෙයාව මට ගැළපෙනවාද?

මෙය සලකා බලන්න:

ඔබ විවාහ වෙන්න සිතනවා නම්, ඔබ සොයන්නේ මොන වගේ කෙනෙක්වද? වැදගත්මයි කියා ඔබ සිතන දේවල් හතරක් ඉදිරියේ ✔ ලකුණ යොදන්න.

․․․․․․․․ හොඳ පෙනුම

․․․․․․․․ ආගමට ලැදිවීම

․․․․․․․․ මිත්‍රශීලීවීම

․․․․․․․․ විශ්වාසවන්තකම

․․․․․․․․ ජනප්‍රියත්වය

․․․․․․․․ ගුණවත්කම

․․․․․․․․ විහිළුවට බරවීම

․․․․․․․․ ජීවිතයට අරමුණක් තිබීම

ඔබ බාල වයසේදී ගැහැණු /පිරිමි ළමයෙකුට කැමති වෙලා හිටියාද? ඒ කාලයේදී ඔබ ඔහු හෝ ඇය තුළ දුටු හොඳම ලක්ෂණය කුමක්ද? එම ලක්ෂණය ළඟින් ✘ ලකුණ යොදන්න.

හත සඳහන් කර තිබෙන සෑම ලක්ෂණයක්ම හොඳයි. එකක්වත් නරක නැහැ. නමුත් ඔබ අඩු වයසේදී ගැහැනු ළමයෙකුට හරි පිරිමි ළමයෙකුට හරි කැමති වෙනවා නම් ඔබ වැඩියෙන්ම බලන්නේ පෙනුම වැනි වම් පැත්තේ තියෙන ලක්ෂණ ගැන නෙවෙයිද කියා ටිකක් හිතලා බලන්න.

එහෙත් ඔබ වයසින් වැඩි වෙත්ම විශේෂයෙන්ම “යොවුන් වියේ ඇති වන හැඟීම්වල උච්චාවස්ථාව පසු කර සිටී නම්” ඔබ කෙනෙක් දෙස බලන්නේ ඊටත් වඩා වෙනස් විදිහටයි. මෙයාව මට ගැළපෙනවාද කියා සිතද්දී ඔබ දැන් වැඩියෙන්ම බලන්නේ දකුණ පැත්තේ තිබෙන ලක්ෂණයි. ඒ නිසා සමහරවිට ඔබ කලින් කැමති වුණ ගැහැනු ළමයා ගැන දැන් කල්පනා කරද්දී ඔබ හිතයි එයා ලස්සන වුණාට විශ්වාසවන්ත කෙනෙක් නෙවෙයිනේ කියලා. නැත්නම් කලින් කැමති වුණ පිරිමි ළමයා කඩවසම් වුණත් එයා එතරම් ගුණවත් කෙනෙක්ද කියලා ඔබ සිතයි.—1 කොරින්ති 7:36.

ඕනෑම කෙනෙක් මට ගැළපෙයිද?

යම් කලක් තිස්සේ ඔබ හුඟදෙනෙකුට කැමති වෙන්න ඇති. නමුත් ඔබ විවාහ වෙන්න තෝරාගන්න කෙනා ජීවිත කාලෙටම ඔබ සමඟ ඉන්න ඕනේ වගේම, ඔහු හෝ ඇය ඔබට ගැළපෙන්නත් ඕනේ. (මතෙව් 19:4-6) එමනිසා කෙනෙක් ඔබට ගැළපෙනවාද නැද්ද කියා බලන්න කලින්, ඔබ මොන වගේ කෙනෙක්ද කියා ඔබම හොඳින් සොයා බලන්න අවශ්‍යයි.—යාකොබ් 1:23-25.

ඔබ මොන වගේ කෙනෙක්ද කියා දැනගැනීමට මේ ප්‍රශ්නවලට උත්තර දී බලන්න:

මගේ හොඳ පැති මොනවාද?

.....

මගේ දුර්වලකම් මොනවාද?

.....

ආගමික හා හැඟීම් පැත්තෙන් මම කොයි වගේ කෙනෙක්ද?

.....

ඔබෙන්ම අසාගන්න තව ප්‍රශ්න හුඟක් තියෙනවා, නමුත් මුලින්ම මේවායින් පටන්ගන්න. * දෙන පිළිතුරුවලින් ඔබ මොන වගේ කෙනෙක්ද කියා ඔබටම තේරුම්ගන්න හැකි වන අතර ඔබේ දුර්වලකම් හදාගන්න පුළුවන් ඔබටම ගැළපෙන කෙනෙක්ව තෝරාගන්නත් ඔබට පහසු වෙයි. එහෙත් දැනටමත් ඔබ කෙනෙකුව සමඟ යහළු වෙලා නම් තත්වය මොන වගේද?

අපි දෙන්නා සාර්ථක වෙයිද?

ඔබ යහළු වෙලා ඉන්නේ මොන වගේ කෙනෙක් එක්කද? ඔහුගේ හෝ ඇයගේ ඔබ කැමති පැති දෙස විතරක් බලන්න එපා. ඇත්තටම ඔහු හෝ ඇය මොන වගේද කියාත් හොඳින් සිතා බලන්න.

බොහෝ අය යහළු වෙලා ඉන්න කාලේ එහෙම හිතන්නේ නැහැ. ඔවුන් හිතන්නේ ‘අපි දෙන්නම කැමති එකම සංගීතයට.’ ‘අපි විනෝදයට කරන දේවලුත් එක වගේ.’ ‘අපි අතර කිසිම දෙයක් ගැන භේදයක් නැහැ’ කියලයි. නමුත් ඇත්තටම ඔබ යොවුන් වියේ ඇති වන හැඟීම්වල උච්චාවස්ථාව පසු කර සිටිනවා නම්, ඔබ ඊටත් වඩා දේවල් ගැඹුරින් සිතා බලයි. ඒ කියන්නේ “සිතේ අභ්‍යන්තර පුද්ගලයා” මොන වගේද කියා ඔබ සොයයි.—1 පේතෘස් 3:4; එෆීස 3:16.

උදාහරණයකට මෙහෙම හිතන්න. ඔබ දෙදෙනා යම් දෙයකට එකඟ වෙන්නේ නැත්නම් මොනවාද වෙන්නේ? ඔබ යහළු වෙලා ඉන්න කෙනා තුළ “හදිසි කෝපය” සහ “කටින් පිට වන අසභ්‍ය කතා” නිසා තත්වය තවත් උග්‍ර වෙනවාද? (ගලාති 5:19, 20; කොලොස්සි 3:8) එහෙම නැත්නම් ඔහු හෝ ඇය ඔබේ අදහස වැරදි නැති බව තේරුම්ගෙන ඔබ දෙදෙනා අතර තිබෙන සාමය රැකගැනීමට තම මතය වෙනස් කරගන්න සූදානම්ද?—යාකොබ් 3:17.

ඒ වගේම ඔබ යහළු වෙලා ඉන්න කෙනාට ඔබ කරන ඕනෑම පොඩි දෙයක් ගැන වුණත් දැනගන්න ඕනෙද? ඔබව පාලනය කරන්න බලනවාද? නිකෝල් යන තරුණිය මෙසේ පැවසුවා. “ප්‍රමාණයට වඩා කෙනෙක්ව පාලනය කරන්න යන එක භයානකයි. සමහර අය යාළු වෙලා ඉන්න කාලේ, අනිත් කෙනා දවස පුරා නිතර නිතර කෝල් කරන්නේ නැත්නම් තරහ වෙනවා. එහෙමත් පුළුවන්ද? දෙදෙනාටම නිදහසක් තියෙන්න ඕනැ. නැත්නම ඒක හරි නැහැ.”

ඔබ යහළු වෙලා ඉන්න කෙනා ගැන අන් අය කියන්නේ මොනවාද? ක්‍රිස්තියානි සභාව තුළ ඔහුව හෝ ඇයව හොඳින් දන්නා අය සමඟ කතා කරන්න. ඔහු හෝ ඇය ගැන ඔවුන් “හොඳ සාක්ෂියක්” දෙයිද කියා බලන්න.—ක්‍රියා 16:1, 2. *

සම්බන්ධය නතර කරන්න වෙයිද?

ඔබ දැනටමත් යහළු වෙලා ඉන්න කෙනා ඔබට ගැළපෙන්නේ නැති බව ඔබට පැහැදිලි නම්, නැණවත්ම දේ වන්නේ සම්බන්ධය නතර කිරීමයි. ඒ ගැන බයිබලයේ පවසන්නේ “බුද්ධිමත් අය නපුර දැක සැඟ වෙයි; එහෙත් නුවණ නැත්තෝ ගොස් එයින් දුක් විඳිති” කියලයි.—හිතෝපදේශ 22:3. *

එහෙමවුණත් දුක් වෙන්න එපා. ඔබේ පෞද්ගලිකත්වය දියුණු කරගන්න උත්සාහ කරන්න. අද්දැකීම් ලබාගන්න. කවදා හරි ඔබටම ගැළපෙන කෙනෙක්ව ඔබට සොයාගන්න පුළුවන් වෙයි.

[පාදසටහන්වල]

^ 25 ඡේ. තවත් ප්‍රශ්න සඳහා, 2007 ජනවාරි පිබිදෙව්! සඟරාවේ 30 පිටුව බලන්න.

^ 31 ඡේ. පිටු 19-20 ඇති කොටුවල ප්‍රශ්න බලන්න

සිතා බලන්න

▪ ඔබ විවාහය ගැන සිතනවා නම්, එය සාර්ථක කරගැනීම සඳහා ඔබට තිබෙන්නේ මොන වගේ හොඳ පැතිද?

▪ ඔබේ විවාහක සහකරුගෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ මොන වගේ හොඳ ගුණාංගද?

▪ ඔබ දැනටමත් යළු වෙලා ඉන්න කෙනාගේ චරිතය හා හැසිරීම ගැන ඔබට දැනගත හැක්කේ කොහොමද?

[19වන පිටුවේ කොටුව]

ඔහු හොඳ ස්වාමිපුරුෂයෙක් වෙයිද?

මූලිකවම

❑ ඔහුගේ අධිකාරිය ඔහු පාවිච්චි කරන්නේ කෙසේද?—මතෙව් 20:25, 26.

❑ ඔහුගේ ඉලක්ක මොනවාද?—1 තිමෝති 4:15.

❑ ඒ ඉලක්ක අත් කරගන්න ඔහු වෑයම් කරනවාද?—1 කොරින්ති 9:26, 27.

❑ ඔහුගේ මිතුරන් මොන වගේ අයද?—හිතෝපදේශ 13:20.

❑ ඔහු මුදල් සලකන්නේ කෙසේද?—හෙබ්‍රෙව් 13:5, 6.

❑ ඔහු කැමති මොන වගේ විනෝදාස්වාදයන්ටද?—ගීතාවලිය 97:10.

❑ ඔහුගේ ඇඳුම් පැළඳුම්වලින් කුමක් කියා පායිද?—2 කොරින්ති 6:3.

❑ ඔහු යෙහෝවා දෙවිට ප්‍රේම කරන බව පෙන්නුම් කරනවාද?—1 යොහන් 5:3.

හොඳ ගතිගුණ

❑ ඔහු කඩිසර කෙනෙක්ද?—හිතෝපදේශ 6:9-11.

❑ ඔහුට මුදල් පාලනය කරන්න දන්නවාද?—ලූක් 14:28.

❑ ඔහු ගැන අන් අය කියන්නේ මොනවාද?—ක්‍රියා 16:1, 2.

❑ ඔහු තම දෙමාපියන්ට ගරු කරනවාද?—නික්මයාම 20:12.

❑ ඔහු අන් අය ගැන සැලකිලිමත්ද?—ෆිලිප්පි 2:4.

සැලකිලිමත් වන්න

❑ ඔහු ලෙහෙසියෙන්ම කුපිත වෙන කෙනෙක්ද?—හිතෝපදේශ 22:24.

❑ ඔහු සමඟ නුසුදුසු දේ කරන්න ඔහු ඔබව පොලඹවනවාද?—ගලාති 5:19.

❑ ඔහු වචනයෙන් හෝ ශාරීරිකව පහර දෙන කෙනෙක්ද?—එෆීස 4:31.

❑ ඔහුට මත්පැන් අත්‍යවශ්‍යද?—හිතෝපදේශ 20:1.

❑ ඔහු සිතන්නේ තමන් ගැන පමණක්ද?—1 කොරින්ති 13:4, 5.

[20වන පිටුවේ කොටුව]

ඇය හොඳ භාර්යාවක් වෙයිද?

මූලිකවම

❑ ඇය සභාවේ සැලසුම්වලට හා පවුලේ මූලිකත්වයට කැමැත්තෙන්ම යටත් වෙනවාද?—එෆීස 5:21, 22.

❑ ඇගේ ඇඳුම් පැළඳුම්වලින් කුමක් කියා පායිද?—1 පේතෘස් 3:3, 4.

❑ ඇගේ මිතුරන් මොන වගේ අයද?—හිතෝපදේශ 13:20.

❑ ඇය මුදල් සලකන්නේ කෙසේද?—1 යොහන් 2:15-17.

❑ ඇගේ ඉලක්ක මොනවාද?—1 තිමෝති 4:15.

❑ ඒ ඉලක්ක අත් කරගන්න ඇය වෑයම් කරනවාද?—1 කොරින්ති 9:26.

❑ ඇය කැමති මොන වගේ විනෝදාස්වාදයන්ටද?—ගීතාවලිය 97:10.

❑ ඇය යෙහෝවා දෙවිට ප්‍රේම කරන බව පෙන්නුම් කරනවාද?—1 යොහන් 5:3.

හොඳ ගතිගුණ

❑ ඇය කඩිසර කෙනෙක්ද?—හිතෝපදේශ 31:17, 19, 21, 22, 27.

❑ ඇයට මුදල් පාලනය කරන්න දන්නවාද?—හිතෝපදේශ 31:16, 18.

❑ ඇය ගැන අන් අය කියන්නේ මොනවාද?—රූත් 4:11.

❑ ඇය තම දෙමාපියන්ට ගරු කරනවාද?—නික්මයාම 20:12.

❑ ඇය අන් අය ගැන සැලකිලිමත්ද?—හිතෝපදේශ 31:20.

සැලකිලිමත් වන්න

❑ ඇය රණ්ඩුවට බර කෙනෙක්ද?—හිතෝපදේශ 21:19.

❑ ඇය සමඟ නුසුදුසු දේ කරන්න ඇය ඔබව පොලඹවනවාද?—ගලාති 5:19.

❑ ඇය වචනයෙන් හෝ ශාරීරිකව පහර දෙනවාද?—එෆීස 4:31.

❑ ඇයට මත්පැන් අත්‍යවශ්‍යද?—හිතෝපදේශ 20:1.

❑ ඇය සිතන්නේ තමන් ගැන පමණක්ද?—1 කොරින්ති 13:4, 5.