Skip to content

පටුනට යන්න

රජ බොජුනක්

රජ බොජුනක්

රජ බොජුනක්

සැම්බියාවේ පිබිදෙව්! ලේඛක විසින්

ප්‍රෝටීන්වලින් අනූන, කටු රහිත, ප්‍රණීත ආහාරයක්. ඒත් ඒ පණුවෙක් නම්, ඔබට හැඟෙන්නේ කොහොමද! අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල මොපේන් නම් පණු වර්ගය, සලකන්නේ ඉතා වටිනා පෝෂ්‍ය ගුණයෙන් සපිරි ආහාරයක් හැටියටයි. බොහෝ ගම්වාසීන්ට මේ පණුවන්ව අල්ලන කාලය එනකන් ඉවසීමක් නැහැ. ඔවුන්ට “ප්‍රෝටීන් වැඩි හරියක් ලැබෙන්නේ පණුවන්ගෙනුයි” කියා අප්‍රිකාවේ කලහාරී සංරක්ෂිත ආයතනයේ කීත් ලෙගෙට් පැවසුවා. ඊට අමතරව ඉතා දුෂ්කර වගේම විශාල ගස් රහිත තණබිම්වලට මේ පණුවන්ගෙන් වටිනා මෙහෙවරක්ද සිදු වෙයි.

දකුණු අප්‍රිකාවේ නොවැම්බර් මාසයේ වැසි ආරම්භයත් සමඟම පොළොව යට තිබෙන මිලියන ගණන් කෝෂවලින් සලඹයන් මිලියන ගණනක් මෙලොව එළිය දකිනවා. මේ සලඹයන් දමන බිත්තරවලින් පණුවන් ඇවිත් සති කිහිපයක් ඇතුළතදී ආහාරයට ගත හැකි ප්‍රමාණයට ලොකු වෙනවා.

මේ පණුවන් තුළ සියයට 60කටත් වඩා තිබෙන්නේ ප්‍රෝටීන්. අපිට පණුවන් ප්‍රිය නූණත්, හොඳ ප්‍රෝටීන් අඩංගු ආහාර නැති, මඤ්ඤොක්කා හා බඩඉරිඟු වැනි පිෂ්ඨය අඩංගු ආහාර නිතර ගන්නා අයට මේ පණු ව්‍යාංජනය රසවත් මෙන්ම ගුණවත් ආහාරයක් වෙන අතර ආහාර වේලටත් වෙනසක් එක් කරනවා. වැඩිහිටියෙකුට දිනකට අවශ්‍ය ප්‍රෝටීන්, විටමින් හා ඛණිජ ලවණවලින් සියයට 75ක්ම උන්ගෙන් ලබාගන්න පුළුවන්. හරියට අපි මස් මාළු කනවා වගේ. එසේනම් ඇත්තටම උන් පෝෂ්‍යදායි ආහාරයක් නොවෙයිද!

වෙනත් රටවල අය මේ වගේ පෝෂ්‍යදායි ආහාරයකට කෘමිනාශක ගහලා මරා දාන්නේ ඇයි කියන එක පණුවන්ව ආහාරයට ගන්නා අයට හිතාගන්නවත් බැරි දෙයක්. මේ පණුවන්ගෙන් පොළොවටත් වාසියක් ලැබෙනවා. ඒ උන් විෂ සහිත කොළ වර්ග පවා ආහාරයට ගෙන කිසිම ප්‍රශ්නයකින් හා අය කිරීමකින් තොරව ඒවායින් ස්වාභාවික පොහොර නිපදවන නිසයි. කොයි පැත්තෙන් බැලුවත් මේ පණුවාගෙන් ලැබෙන්නේ ප්‍රයෝජනයක්.

පණුවෙක් ලෙස සති හයක් පුරා ජීවත් වන මේ කුඩා සතුන් කොයි තරම් පොහොර ප්‍රමාණයක් නිපදවයිද? එම ප්‍රදේශයේ සිටින අලින් සමඟ සන්සන්දනය කර බලද්දී මේ කුඩා පණුවන් අලින්ට වඩා හතර ගුණයකින් පොහොර නිපදවයි. එය කිරීමට අලින් මෙන් දහ ගුණයකින් උන් කොළ වර්ග ආහාරයට ගනියි. එම සති හය ඇතුළත මේ පුංචි කෑදරයාගේ ශරීරයේ ප්‍රමාණය 4,000 ගුණයකින් වැඩි වෙනවා. පරිසරයට නොමද සහයක් ලබා දෙන මේ පණුවන්ව පාලනයකින් තොරව ආහාරයට ගන්න යනවා නම් එය දේශයේ සශ්‍රිකත්වයට බෙහෙවින් බලපාන්න පුළුවන්.

මෙම පණුවන්ව පරිභෝජනය සඳහා අල්ලාගන්නේ කොහොමද? සෑම වසරකටම දෙවතාවක් වැසි කාලයේදී ගැමි කාන්තාවන් එකට එකතු වී කඩිසරව පණුවන් ඇල්ලීමේ කාර්යයෙහි නිරත වෙනවා. සති කිහිපයක් පුරා එකතු කරගත් පණුවන්ව සුද්ද කරලා, තම්බලා වියළෙන්න දානවා. මේ ආකාරයට පණු වර්ග කිහිපයක්ම ආහාර සඳහා භාවිත කරනවා. කෙසේවෙතත් පණුවන්ව සුද්ද කරද්දී කල්පනාකාරී විය යුතු පැතිත් තිබෙනවා. සමහර පණුවන්ගේ තිබෙන විෂ සහිත බූව ඉවත් කරන්න සිදු වන අතර තවත් සමහර පණුවන් ආහාරයට ගන්නා කොළ ජාති මිනිසුන්ට විෂ වන නිසා උන්ව සුද්ද කිරීමේදී පරිස්සම් විය යුතුයි. වියළා ගත් පණුවන්ව නැවත ආහාරය සඳහා පිළියෙල කරගන්නේ කොහොමද? සමහරුන් මේ වියළා ගත් පණුවන්ව කිසිම පිළියෙල කිරීමකින් තොරව මුරුක්කු කනවා වගේ කනවා. ඒත් බොහෝ අය කරන්නේ එක්කෝ උන්ව තම්බලා ව්‍යාංජනයක් ආකාරයට පිසගන්නවා. එහෙම නැත්නම් තක්කාලියි ලූනුයි දාලා කටට රහට පණු බැදුමක් හදාගන්නවා.

කොහොම කිව්වත් ඔබට නම් පණුවෙක් කන්න තවම ප්‍රියක් නැතුව ඇති. තවත් සමහරුන් මේ රජ බොජුනේ රස බලන්න ආසාවෙන් ඉන්නවත් ඇති. එහෙත් මතක තියාගන්න අප්‍රිකාවේ සිටින බොහෝ පවුල්වලට මෙය ඉතා ප්‍රණීත ආහාරයක් වන අතර ඔවුන්ට අමතර ආදායමක් ලබාගත හැකි මාර්ගයක්ද වෙනවා.

[26වන පිටුවේ පින්තූරය]

වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් තිබෙන නිසා මොපේන් පණුවා වටිනා ආහාරයක් වෙයි

[27වන පිටුවේ පින්තූරය]

සති හයකින් මොපේන් පණුවාගේ ශරීරයේ ප්‍රමාණය 4,000 ගුණයකින් වැඩි වෙනවා