Skip to content

පටුනට යන්න

වැනීසියේ සුකුමල කලු හංසයා

වැනීසියේ සුකුමල කලු හංසයා

වැනීසියේ සුකුමල කලු හංසයා

ඉතාලියේ පිබිදෙව්! ලේඛක විසින්

ඈතින් දකිද්දි හරියට එය සිරියාවන්ත කලු හංසයෙක් වගෙයි. ඒත් ළඟට එද්දී නම් පේනවා මේ සැබෑ හංසයෙක් නෙවෙයි කියලා. මේ හංසයාගේ ශරීරය සාදා තිබෙන්නේ ලීවලින්. බෙල්ල කොටස සාදා තිබෙන්නේ යකඩවලින්. මේ තමයි සමහර අය ලෝකයේ තිබෙන ජනප්‍රියතම බෝට්ටුව ලෙස හඳුන්වන, වැනීසියේ ඇළ මාර්ගවල නිතර නිතර දකින්න ලැබෙන ගොන්ඩෝලාව නම් බෝට්ටුව. මේ බෝට්ටු මෙතරම් ජනප්‍රිය ඇයි? ඒ වගේම මේවා අනිකුත් බෝට්ටුවලට වඩා වෙනස් වෙන්නේ කොහොමද?

ගොන්ඩෝලාවේ ඉතිහාසය

සමහර අය කියන විදිහට නම් මුල් ගොන්ඩෝලාව සාදා තිබෙන්නේ 11වන සියවසේදීයි. ප්‍රථම වතාවට ඒවා චිත්‍රයට නඟා ඇත්තේ 15වන සියවසේ අගභාගයේදීයි. නමුත් යට පැතලි හා දිගු හැඩයකින් යුත් ගොන්ඩෝලාව ජනප්‍රිය වෙන්න පටන්ගෙන තිබෙන්නේ 17වන හා 18වන සියවස් අතරතුරේදීයි. ඒ හැඩය අද වෙන තුරුත් නොවෙනස්ව පවතියි.

“ගොන්ඩෝලාව” යන වචනයේ වගතුග සොයාගැනීමත් එතරම්ම ලෙහෙසි දෙයක් වුණේ නැහැ. සමහරුන්ගේ අදහස වන්නේ මෙය ලතින් වචනයක් කියායි. එහි අර්ථය වන්නේ කුඩා බෝට්ටුව යන්නයි. තවත් සමහරු කියන විදිහට ගොන්ඩෝලා යන වචනය ඇවිත් තිබෙන්නේ “සිප්පි කටුව” යන ලතින් වචනයෙනුයි.

වැනීසියේ උරුමයක්

ගොන්ඩෝලාව වැනීසියේ උරුමයක්. ඒ නිසා වැනීසිය කියූ පමණින් මතකයට නැගෙන්නේ ගොන්ඩෝලාවයි. වැනීසියේ පින්තූරවල ගොන්ඩෝලාවක් නැති එකක් දකින්න නැති තරම්.

වැනීසියේ ඇළ මාර්ග ඔස්සේ සංචාරකයින්ව ගොන්ඩෝලාවෙන් ගෙන යන රොබර්ටෝ මෙසේ පැවසුවා. “වැනීසියේ සිරි නරඹන්න යන්න ඕනේ ගොන්ඩෝලාවේයි. ඒක තමයි නියම සංචාරය. කොට්ටවලට හේත්තුවෙලා ඇළවල්වල පාවි පාවි යද්දී, දැනෙන සැහැල්ලුව නිසා හැම දෙයක්ම අමතක වෙලා යනවා.” ගොන්ඩෝලාවෙන් ගිය ගමනක් ගැන ප්‍රසිද්ධ ජර්මානු ලේඛකයෙක් වන යෝහන් වුල්ෆ්ගැං ෆොන් ගෝත්ට හැඟුණ ආකාරය ඔහු විස්තර කළේ මෙසේයි. “ගොන්ඩෝලාවේ පහසුවෙන් වාඩි වෙලා යද්දී මට දැනුණේ මම හරියට රජෙක් වගේ කියලයි.”

අමුතුම හැඩයක බෝට්ටුවක්

සාමාන්‍යයෙන් ගොන්ඩෝලාවක දකුණු පැත්තේ එක හබලක් සවි කර තිබෙන නිසා මේ බෝට්ටුව කෙලින් යන්නේ කොහොමද කියා ඔබ සිතනවා ඇති. ඉපැරණි බෝට්ටු සඳහා ප්‍රවීණයෙක් වන ජිල්බර්ටෝ පෙන්සෝ මෙහෙම කිව්වා. ‘අපි ගොන්ඩෝලාව මිනිසෙකුට සමාන කළොත්, ඒක හරියටම කුදු වෙච්ච කෙනෙක් වගෙයි.’ ගොන්ඩෝලාවක බඳ කොටසේ හැඩය දැනගැනීම සඳහා, ගොන්ඩෝලාවේ මැද සිට දෙපැත්තට මැන්නොත්, මැද සිට එක් පැත්තකට ඇති දුර ප්‍රමාණයට වඩා මැද සිට අනික් පැත්තට තිබෙන දුර ප්‍රමාණය අගල් නවයකින් වැඩියි. ප්‍රතිඵලය වන්නේ එක් පැත්තක් අනික් පැත්තට වඩා පහත්වීමයි. බෝට්ටු පදින්නා එක පැත්තකින් පමණක් හබල් ගැසුවත් බෝට්ටුව කෙළින් ගමන් කරන්නේ මේ ඇදය නිසයි.

ගොන්ඩෝලාවේ යකඩවලින් තැණූ S අකුරේ හැඩයට තිබෙන ඉදිරි කොටස පෙනෙන්නේ හරියට හංසයෙකුගේ බෙල්ල වගේයි. මෙහි ලස්සන ගැන එක් ලේඛකයෙක් වන ජියාන්ෆ්‍රාංකො මුනේරෝටෝ ලිව්වේ “කෙනෙක් මුල් වතාවට බෝට්ටුවේ මේ කොටස දැක්කම එය කවදාවත් ඔහුට අමතක වෙන්නේ නැහැ” කියායි. මෙහි තිබෙන ලස්සනට අමතරව පදින කෙනා බෝට්ටුවේ පිටුපස සිටින නිසා මේ යකඩ කොටසින් බෝට්ටුවට සමබරතාවයක්ද ලබා දෙනවා. සමහරුන්ගේ මතයට අනුව මෙම කොටසෙහි තිබෙන S හැඩයෙන් නියෝජනය කරන්නේ වැනීසියේ ප්‍රධාන ඇළ මාර්ගයයි. ඊට අමතරව ඉදිරියේ තිබෙන තල හයෙන් වැනීසියේ ප්‍රාන්ත හයත් පිටුපස තිබෙන තලයෙන් ජුඩෙකා දූපතත් නියෝජනය කරන බව මේ අය කියා සිටිනවා.

තවත් අමුතු දෙයක් තමයි මේ හංසයන්ගේ පාට. දකින දකින හැම ගොන්ඩෝලාවක්ම කලු පාටයි. ඊට හේතුව ගැනත් විවිධ අදහස් තිබෙනවා. එක මතයකට අනුව 16වන හා 17වන සියවස්වලදී ගොන්ඩෝලා අයිතිකරුවන් තම බෝට්ටු වයිවර්ණ හා විච්චූර්ණ විදිහට සරසලා තිබූ නිසා වැනීසියේ සෙනෙට් සභාවෙන් තීරණය කර තිබෙනවා විනීතකම රැකගැනීම සඳහා ඕනෑවට වඩා සරසලා තිබෙන බෝට්ටුවල අයිතිකරුවන්ට දඩ ගහන්න. නමුත් මෙය හිතපු තරම් සාර්ථක වෙලා නැහැ. අවසානයෙදී එක් ආණ්ඩුකාරයෙක් නියෝග කර තිබෙනවා සියලුම ගොන්ඩෝලාවලට කලු පාට ගාන්න කියලා. තවත් මතයක් වුණේ 1600 ගණන්වල සිදු වූ මහමාරිය නම් විපතින් මිය ගිය දහස් ගණන් අය වෙනුවෙන් හැම බෝට්ටුවටම කලු පාට ගාන්න කියලා කියූ බවයි. තවත් සමහර අය කියන්නේ මේ බෝට්ටුවල ගමන් කරන සුදුම සුදු නෝනලාව කැපී පේන්න තමයි මේවා කලු පාටට තියෙන්නේ කියලා. කොහොමනමුත් ඇත්ත දේ තමයි මුලදී මේ බෝට්ටු හදන විට වතුරට හොඳින් ඔරොත්තු දීම සඳහා ඒවායේ ගෑවේ කලු පාටින් යුත් තාර වර්ගයක් වීම.

ඔබ වැනීසියේ සිරි නරඹන්න ගොන්ඩෝලාවක ගමන් කර තිබෙනවා නම්, ඔබේ ගමනින් පසු ඒ ගොන්ඩෝලාව ඔබෙන් ටිකෙන් ටික ඇත් වන විට ඔබට අනිවාර්යෙන්ම පෙනෙන්නේ සුකුමල කලු හංසයෙක්වයි.

[24වන පිටුවේ පින්තූරය]

ගොන්ඩෝලාවේ දෙපැත්ත එක හා සමාන නැහැ

[24, 25වන පිටුවේ පින්තූරය]

කලු හංසයාගේ බෙල්ල

[25වන පිටුවේ පින්තූරය]

වැනීසියේ ගොන්ඩෝලා පදවන්නෙක්,වන රොබර්ටෝ

[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© Medioimages