Skip to content

පටුනට යන්න

ඔවුන් බේරුණේ නූලෙන්

ඔවුන් බේරුණේ නූලෙන්

ඔවුන් බේරුණේ නූලෙන්

ඉන්දියාවේ පිබිදෙව්! ලේඛක විසින්

මුම්බායි නගරයේ මිලියන 18කට වඩා ජනගහනයක් සිටින අතර දිනෙන් දින එම සංඛ්‍යාව වැඩි වෙයි. මෙහි වෙසෙන අය රැකියා ස්ථානවලට, පාසැල්වලට හෝ වෙනත් ස්ථානවලට දිනපතාම ගමන් ගන්නේ දුම්රියෙන්. සෙනඟ මඟ තොටේ වැඩියෙන් ගැවසෙන වෙලාවන්හිදී මඟීන් 1,710ක් පමණ ගෙන යා හැකි මැදිරි නවයක් සහිත දුම්රියක මඟීන් 5,000ක්වත් පිරෙනවා. මෙවැනි අවස්ථාවක තමයි 2006 ජූලි 11වෙනිදා මුම්බායිවල දුම්රියන් කිහිපයක් ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වුණේ. බටහිර මුම්බායි ප්‍රධාන දුම්රිය ස්ථානයේ දුම්රියන් කිහිපයක බෝම්බ හතක් පිපිරෙන්න විනාඩි 15ක්වත් ගත වුණේ නැහැ. මිය ගිය සංඛ්‍යාව 200කට වඩා වැඩි වූ අතර 800ක් තුවාල ලැබුවා.

මුම්බායි හා ඒ අවට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභා 22ක් තිබෙනවා. එදින ඔවුන්ගෙන් බොහෝදෙනෙකුත් මේ දුම්රියවල ගමන් කරමින් සිටියා. ඔවුන්ගෙන් කිසිවෙකු මිය ගියේ නැතත් සමහරුන් තුවාල ලැබුවා. අනීටා වැඩ ඇරී ගෙදර යමින් හිටියේ දුම්රියෙන්. සෙනඟ පිරිලා හිටිය නිසා පළමුවන පන්තියේ මැදිරියක දොර ළඟ ඇය හිටගත්තේ බැහැගන්න පහසු නිසයි. වේගයෙන් ධාවනය වෙමින් තිබියදී එකපාරටම විශාල පිපුරුම් හඬක් ඇහුණා. ඇය සිටි මැදිරිය දුමෙන් පිරී ගියා. දොරෙන් එබිලා දකුණු පැත්ත බලද්දී ඊළඟ මැදිරියේ කොටසක් ගැල වී එල්ලෙනවා ඇය දැක්කා. මිනිස්සු එළියට විසි වෙලා. සමහරු රේල් පාරටම වැටිලා. මේවා දුටු ඇයට මහත් කම්පනයක් ඇති වුණා. බොහෝ වෙලාවක් ගත වුණාක් මෙන් ඇයට දැනුණත් තත්පර කිහිපයකදී මේ සියල්ල සිදු වී හමාරයි. දුම්රිය නතර වුණා. අනිත් මඟීන් එක්කම ඇයත් බිමට පැනලා දුම්රියෙන් ඈතට දිව්වා. ඇගේ සැමියාව (ජෝන්) දුරකථනයෙන් අමතලා කතා කරන්න ඇයට ලැබීම භාග්‍යයක්. මොකද ඒත් එක්කම මුළු දුරකථන පද්ධතියම කාර්ය බහුල වුණා. සැමියාට අමතන තෙක් සන්සුන්ව හිටියත් ඔහුගේ කටහඬ ඇසුණ ගමන්ම අඬමින් සිද්ධිය විස්තර කළ ඇය, පුළුවන් ඉක්මනින් ඇවිත් මාව ගෙනි යන්න කියලා කිව්වා. ඔහු එන තෙක් බලා සිටියදී මහ වැස්සක් ඇද හැළුණා. පරීක්ෂකයන්ව අපහසුතාවට පත් කරමින් සිද්ධිය වූ ස්ථානයේ සලකුණු මැකී ගියා.

යෙහෝවා දෙවිගේ තවත් සාක්ෂිකරුවෙක් තමයි ක්ලෝඩියස් කියන්නේ. වෙනදාටත් වඩා ටිකක් කලින් කාර්යාලයෙන් පිට වුණ ඔහු චර්ච්ගේට් දුම්රියපොළෙන් පස්වරු 5:18 දුම්රියට ගොඩ වුණා. පළමු පන්තියේ මැදිරියකට ගොස් බයාන්ඩාර් දක්වා පැයක දුර ගමන සඳහා අසුනක් සොයද්දී ඔහු ජෝසෆ්ව දැකලා ගිහින් ඔහු ළඟ ඉඳගත්තා. ජෝසෆ්, යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. දෙන්නා කතා බහට වැටුණා. ටික වෙලාවකට පස්සේ, දවස පුරාම වැඩ කරලා මහන්සියට ජෝසෆ්ට නින්ද ගියා. දුම්රියේ සෙනඟ පිරිලා හිටිය නිසා ක්ලෝඩියස්, තමා බහින දුම්රිය ස්ථානයට කලින් දුම්රිය ස්ථානයේදීම නැඟිටගත්තේ මැදිරියේ දොරටුව ළඟට යන්නයි. ඒ වෙලාවේ ජෝසෆ්ට ඇහැරිලා ආසනයේ පිටුපසට හේත්තු වුණේ ක්ලෝඩියස්ට සමු දෙන්නයි. ක්ලෝඩියස්ද ආසනයේ ඇන්දට බර වුණේ ඔහු එක්ක කතා කරන්නයි. ක්ලෝඩියස්ගේ දිවි ගැලවුණේ ඒ නිසාම විය හැකියි. එකපාරටම මහ හඬක් ඇසුණා. මුළු මැදිරියම වේගයෙන් හෙළවෙන්න පටන්ගත්තා. දුමෙන් වැසී මුළු මැදිරියම අඳුරු වුණා. ක්ලෝඩියස් ආසන අතරට වැටුණා. එකපාරටම ඔහුගේ කන් ඇහෙන්නේ නැති වුණා. ඔහු කලින් හිටගෙන හිටිය තැන විශාල සිදුරක් ඇති වෙලා තිබුණා. එතන හිටිය අනිත් අය එක්කෝ රේල් පාරට වැටෙන්න ඇති එහෙමත් නැත්නම් ඇතුළෙම මැරිලා වැටෙන්න ඇති. එම අඟහරුවාදා දින මුළු දුම්රිය ධාවන පද්ධතියම සොලොවමින් පුපුරා ගිය බෝම්බ හතෙන්, පස්වෙනි බෝම්බයෙනුයි ඔහුගේ ජීවිතේ බේරුණේ.

ක්ලෝඩියස්ව රෝහලට ගෙන යද්දී ඔහුගේ ඇඳුම්වල ලේ තැවරී තිබුණා. ඒත් මේ ලේ ඒ අවට සිටි අභාග්‍යවන්ත මඟීන්ගෙයි. ඔහුට අනතුරු වුණේ සුළුවෙන්. ඔහුගේ කන්බෙරය සිදුරු වෙලා. ඒ වගේම එක අතක තැනින් තැන පිළිස්සී තිබුණා. කොණ්ඩෙත් තැනින් තැන ටිකක් පිළිස්සී තිබුණා. රෝහලේදී ඔහුට ජෝසෆ්වත් ජෝසෆ්ගේ බිරිඳ වූ ඇන්ජලාවත් හමු වුණා. ඇය සිටියේ ඔවුන් සිටි මැදිරියත් එක්කම තිබුණු කාන්තා මැදිරියෙයි. ඇයට කිසි හානියක් සිදු වුණේ නැහැ. ඒත් ජෝසෆ්ගේ දකුණු ඇහැ ළඟ සීරි කන් ඇහීම නැති වී තිබුණා. තවමත් ජීවතුන් අතරේ ඉන්න ලැබීම ගැන මේ සාක්ෂිකරුවන් තුන්දෙනා දෙවිට තුති පිදුවා. ක්ලෝඩියස්ට සිහිය ආ විට දැනුණු දේ ගැන ඔහු විස්තර කළේ මෙහෙමයි. ‘මේ දුෂ්ට සමාජ ක්‍රමයේ කෙනෙක් කොතැනකදී කොයි මොහොතේ මිය යයිද කියන්න බැහැ. එහෙම එකේ මුදල් පස්සේ, සැපසම්පත් පස්සේ යන එක මොන තරම් මෝඩ වැඩක්ද?’ තමන්ගේ ජීවිතයේ වඩාත්ම වැදගත් දේ හැටියට යෙහෝවා දෙවි හා බැඳීමක් ඇති කරගෙන තිබීම ඔහුට මොන තරම් සතුටක්ද!

මුම්බායි නගරය දරුණු ගංවතුර, කෝලාහල හා බෝම්බ පිපිරීම්වලට ගොදුරු වී තිබෙන්නේ ඉතා කෙටි කාලයක් තුළදීයි. කෙසේවෙතත් එහි වෙසෙන සාක්ෂිකරුවන් 1,700කට වඩා වැඩි පිරිස උද්‍යෝගයෙන් දෙවිගේ නමස්කාරයේ යෙදෙනවා. ප්‍රචණ්ඩත්වයේ සේයාවක්වත් ඉතිරි නොවන පාරාදීස පොළොවක ජීවත් වීමට ලැබෙනවා යන ප්‍රීතිමත් බලාපොරොත්තුව තම අසල්වාසීන්ට දීමට ඔවුන් නිතිපතා හවුල් වෙනවා.—එළිදරව් 21:1-4.

[23වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ඔහු කලින් හිටගෙන හිටිය තැන විශාල සිදුරක් ඇති වී තිබුණා

[23වන පිටුවේ පින්තූරය]

අනීටා

[23වන පිටුවේ පින්තූරය]

ක්ලෝඩියස්

[23වන පිටුවේ පින්තූරය]

ජෝසෆ් සහ ඇන්ජලා

[22වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Sebastian D’Souza/​AFP/​Getty Images