Skip to content

පටුනට යන්න

මිහිරි සුවඳක් පුංචි පලතුරක්!

මිහිරි සුවඳක් පුංචි පලතුරක්!

මිහිරි සුවඳක් පුංචි පලතුරක්!

ඉතාලියේ පිබිදෙව්! ලේඛක විසින්

සුවඳ විලවුන්වලට තිබෙන්නේ දීර්ඝ ඉතිහාසයක්. අතීතයේදී නිවෙස්, රෙදිපිළි හා යහන් සුවඳවත් කිරීමට මෙන්ම සිරුරේ ගැල්වීමට මේවා භාවිත කළ බව බයිබලයේ සඳහන් වෙනවා. සුවඳ විලවුන් සෑදීම සඳහා කෝමාරිකා, සුවඳ ලාටු, කුරුඳු සහ වෙනත් සුගන්ධ ද්‍රව්‍ය භාවිත කර තිබෙනවා.—හිතෝපදේශ 7:17; සලමොන්ගේ ගීතිකාව 4:10, 14.

සුවඳ විලවුන් සෑදීමට යොදාගන්නා පලතුරු වර්ගයක් වගා කරන ප්‍රදේශයකට අපි ගියා. ඒ ඉතාලියේ දකුණු දෙසින් ඇති කැලේබ්‍රියා නම් ප්‍රදේශයයි. එම පලතුර හඳුන්වන්නේ බර්ගමොට් කියලයි. කාන්තාවන් සඳහා වූ සුවඳ විලවුන් වර්ගවලින් තුනෙන් එකක් සෑදීමටත් පිරිමින් සඳහා වූ සුවඳ විලවුන් වර්ගවලින් අඩක්ම සෑදීමටත් මෙම පලතුරෙන් ලබාගන්නා සාරය භාවිත කරනවා. දැන් අපි මේ බර්ගමොට් පලතුර ගැන ටිකක් සොයා බලමු.

බර්ගමොට් පලතුරු ඇඹුල් රසයකින් යුක්තයි. වසන්ත සමය පටන්ගන්නවාත් සමඟම මලින් බර වන මෙම ගස්, ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය අතරතුරේදී හොඳ පලදාවක් ලබා දෙනවා. සිහින් ලෙල්ලකින් සමන්විත කහ පැහැති මෙම පලතුර ප්‍රමාණයෙන් දොඩම් ගෙඩියක් විතර ඇති. බර්ගමොට් ශාකයේ මව් රට කොහෙද කියා කිසි කෙනෙක් හරියට දන්නේ නැහැ. ප්‍රවීණයන් පවසන්නේ මෙම ශාක ඇති වී තිබෙන්නේ ශාක වර්ග දෙකක එකතුවකින් කියායි. මෙම ශාක කිසිවිටකත් ඉබේ පැළ වෙන්නේ නැති අතර බීජවලින් පැළ කරගන්නත් බැහැ. එමනිසා මේවා වගා කරන්නන්ට සිදු වෙනවා ශාකයේ අංකුරයක් ගෙන තවත් එවැනි පැඟිරි වර්ගයේ ශාකයකට බද්ධ කිරීමට. මේ ආකාරයටයි වගා කරන්නන් අලුත් පැළ බෝ කරගන්නේ.

සුවඳ විලවුන් නිෂ්පාදකයන් පවසන ආකාරයට මෙම පලතුරෙන් ලබාගන්නා සාරය ඉතාමත් විශිෂ්ටයි. එක් පොතක එහි තිබෙන ශ්‍රේෂ්ඨ ගුණය ගැන මෙසේ කියනවා. “මේ සාරය සමඟ සුවඳ විලවුන් සෑදීමට යොදාගන්නා අනිකුත් ද්‍රව්‍යයන් එකට මිශ්‍ර කිරීමෙන් නැවුම් සුවඳකින් යුත් අලුත් සුවඳ විලවුන් වර්ගයක් සාදාගත හැකියි.” *

වගාවට සරිලන පරිසරය

කැලේබ්‍රියා ප්‍රදේශයේ මෙම ගස් වගා කෙරෙන්නේ 18වන සියවසේ සිටයි. ඒ වගේම මේ ප්‍රදේශයට එන යන සංචාරකයින්ටත් මේවා විකුණනු ලැබුවා. කෙසේවෙතත් 1704දී ජර්මනියේ ජීවත් වූ ඉතාලි ජාතිකයෙක් සුවඳ විලවුන් වර්ගයක් නිෂ්පාදනය කර එය ඕ ඩි කලෝන් ලෙස නම් කළා. (එසේ නම් කළේ එය ජර්මනියේ කලෝන් නම් නගරයේ සිට නිපදවූ නිසයි.) මෙයටත් ප්‍රධාන ද්‍රව්‍යයක් ලෙස භාවිත කර තිබුණේ බර්ගමොට් සාරයයි.

වර්ෂ 1750දී පමණ ඉතාලියේ දකුණු දෙසින් පිහිටා ඇති රෙගියෝ ඩි කැලේබ්‍රියා නම් ප්‍රදේශයේදී තමයි මුලින්ම මේ ශාක ව්‍යාපෘතියක් හැටියට වගා කිරීමට පටන්ගත්තේ. මේ පලතුරෙන් ලබාගන්නා සාරයට හොඳ ඉල්ලුමක් තිබුණ නිසා මෙම පැළ තව තවත් වගා කරනු ලැබුවා. මේවා හැම තැනකම වර්ධනය නොවන්නේ ඊට සරිලන දේශගුණයක් සෑම තැනකම නැති නිසයි. එමෙන්ම අධික උෂ්ණත්වය හා සුළඟත් මේවා වර්ධනය නොවීමට හේතුවක් වෙනවා. නමුත් සෞම්‍ය දේශගුණයක් ඇති තැනක මේවා සරුවට වැඩෙනවා. ඉතාලියේ දකුණු මුහුදු තීරයේ කුඩා ප්‍රදේශයක මේවා වැඩීමට සුදුසු පරිසරයක් තිබෙනවා. එමනිසා එහි කිලෝමීටර් 5ක් පළල, කිලෝමීටර් 150ක් දිග තීරයක මේවා වගා කරනු ලැබුවා. මෙම ශාකයට සරිලන තවත් තැනක් වන්නේ අප්‍රිකාවේ අයිවරි කෝස්ට් නම් ප්‍රදේශයයි. කෙසේවෙතත් බර්ගමොට් සාරය නිෂ්පාදනය කිරීමේ කීර්තිය උසුලන්නේ ඉතාලියයි.

මෙම සාරය ලබාගන්නේ ගෙඩියේ තිබෙන සිහින් ලෙල්ල මගින්. එහි පැහැය කොළ පාටට හුරු කහ පාටක්. අතීතයේ මෙම ගෙඩිවලින් සාරය ලබාගත්තේ සම්ප්‍රදායික ක්‍රමයකටයි. පළමුව කළේ ගෙඩි දෙකට කපා මද සූරා ඉවත් කරගැනීමයි. ඉන්පසු ලෙලි ටික මිරිකා බර්ගමොට් සාරය ලබාගත්තා. ඒත් ඒක ඒතරම් පහසු කාර්යයක් වුණේ නැහැ. සාමාන්‍යයෙන් බර්ගමොට් ලෙලි කිලෝ 90 කින් බර්ගමොට් සාරය ග්‍රෑම් 450ක් පමණ ප්‍රමාණයක් ලබාගත හැකි වුණා. එදා අතින් කළ සියලු වැඩ අද කරන්නේ යන්ත්‍ර සූත්‍රයි.

ප්‍රයෝජන බොහෝයි!

බොහෝදෙනෙක් මේ පලතුර ගැන අසා නැතත් විශාරදයන් පවසන්නේ මෙය ඉතා සුවිශේෂී යමක් ලෙසටයි. මෙම සාරය සුවඳ විලවුන් වර්ග, සබන්, දන්තාලේප හා සිරුරේ ආලේප කරන ක්‍රීම් වර්ග සෑදීම සඳහාත් ආහාර රස ගැන්වීම සඳහාත් යොදාගන්නවා. උදාහරණයක් හැටියට සමහර තේ වර්ග හා අයිස් ක්‍රීම් වර්ග රස ගැන්වීම සඳහා මෙය භාවිත කරනවා. සම දුඹුරු පැහැගන්වා ගැනීමට භාවිත කරන ආලේපන වර්ග සෑදීමටත් මේවා යොදාගන්නවා. තවදුරටත් මෙම සාරයෙන් නිපදවන විෂබීජ නාශක, ඇස්වල ඇති වන රෝග හා සමේ රෝග සඳහා කරන සැත්කම්වලදී භාවිත කරනවා. ඒ වගේම පාචනය හා ලේ ගැලීම අඩු කරන ඖෂධයක් හැටියටත් යොදාගන්නවා.

බර්ගමොට් නම් පලතුරෙන් ලබාගන්නා සාරයේ සංඝටක 350ක් තිබෙනවා. එයයි මේ මිහිරි සුවඳට හේතුව. වෙනත් පලතුරුවලට වඩා මෙය අද්විතීය වන්නෙත් එමනිසයි.

බයිබලය ලියූ ලේඛකයන් බර්ගමොට් පිළිබඳව දැනගෙන සිටියේ නැහැ. කෙසේවෙතත් ඉන් එක් ලේඛකයෙක් පැවසුවේ මෙසේයි. “පලතුරු ගස් . . . [යෙහෝවා දෙවිට] ප්‍රශංසා කරන්න.” (ගීතාවලිය 148:1, 9 නව ලොව පරිවර්තනය) බර්ගමොට් පලතුර ගැන අපි දැනගනිද්දී සියලු දේ නිර්මාණය කළ ප්‍රඥාවන්ත තැනැත්තාට ප්‍රශංසා කිරීමට අපිත් පෙලඹෙන්නේ නැද්ද!

[පාදසටහන]

^ 6 ඡේ. සමහර අයට පරාග හා මල් වර්ග නිසා අසාත්මිකතාවන් ඇති වෙනවා. තවත් අයට සුවඳ විලවුන් නිසාත් එවැනි තත්වයක් ඇති විය හැකියි. කෙසේවෙතත් ඔබ භාවිත කළ යුත්තේ කුමන වර්ගයද කියා පිබිදෙව්! නිර්දේශ කරන්නේ නැහැ.

[25වන පිටුවේ පින්තූරය]

යන්ත්‍රානුසාරයෙන් බර්ගමොට් ලෙලිවල සාරය ලබාගනී

[හිමිකම් විස්තර]

© Danilo Donadoni/Marka/age fotostock