Skip to content

පටුනට යන්න

මුදලට වඩා වටිනා දෙයක් ඇද්ද?

මුදලට වඩා වටිනා දෙයක් ඇද්ද?

බයිබලයෙන් පිළිතුරක්

මුදලට වඩා වටිනා දෙයක් ඇද්ද?

කන්න බොන්න, අඳින්න පළඳින්න, ඉන්න හිටින්න යන සියලු දේවල් සඳහා මුදල් අවශ්‍යයි. ඒ නිසා බයිබලයේ “මුදල ආරක්ෂාවක්” කියා පවසා තිබෙනවා. (දේශනාකාරයා 7:12, නව ලොව පරිවර්තනය, NW) ඒ වගේම ඒ මගින් අපට අවශ්‍ය දේවල් මිල දී ගැනීමටද හැකියි. ‘මුදලින් සියලු අවශ්‍යතා පිරිමැසෙන’ බවත් බයිබලයේ පවසනවා.—දේශනාකාරයා 10:19, NW.

අපෙත් අපගේ පවුලේ අයගෙත් ඕනෑ එපාකම් වෙනුවෙන් වෙහෙස මහන්සි වී වැඩ කරන්න කියා අපිට බයිබලයේ දිරිගන්වා තිබෙනවා. (1 තිමෝති 5:8) අපි එලෙස වැඩ කිරීමෙන් තෘප්තියක්, ගෞරවයක් හා සුරක්ෂිතභාවයක් අපිට අද්දකින්න පුළුවන්.—දේශනාකාරයා 3:12, 13.

අපි වෙහෙස මහන්සි වී වැඩ කළොත් මුදලින් අපි ලබන දෙයින් අන් අය වෙනුවෙන් යම් පරිත්‍යාගයන් කිරීමටත් හැකි වෙයි. “ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ඇති වේ” කියා යේසුස් පැවසුවේ ඒ නිසයි. (ක්‍රියා 20:35) මෙවන් සන්තෝෂයක් අපි ලබන්නේ කොහොමද? ඒ අපේ මුදල් සතුටු සිතින්, අවශ්‍යතා ඇති අය වෙනුවෙන් විශේෂයෙන්ම අපේ ක්‍රිස්තියානි සහෝදරයන් වෙනුවෙන් යෙදවීමෙනුයි. එමෙන්ම අපි ආදරය කරන කෙනෙක් වෙනුවෙන් යම් ත්‍යාගයක් දීමෙනුත් එම ප්‍රීතිය අත් කරගත හැකියි.—2 කොරින්ති 9:7; 1 තිමෝති 6:17-19.

“දීමට පුරුදු වන්න” කියා යේසුස් තම අනුගාමිකයන්ට උනන්දු කළා. (ලූක් 6:38) ඉන් අදහස් කරන්නේ ඉඳ හිට දීම නෙවෙයි පුරුද්දක් ලෙස දීමයි. දේශනා කිරීමේ කාර්යය වෙනුවෙන් සම්මාදම් කිරීමද මෙයට ඇතුළත්. (හිතෝපදේශ 3:9) එමෙන්ම ත්‍යාගශීලී වීමෙන් වෙනත් අයට යෙහෝවා දෙවි සහ ඔහුගේ පුත්‍රයාගේ ‘මිත්‍රයන් වීමට’ උපකාර කරන්නත් අපිට පුළුවන්.—ලූක් 16:9.

‘මුදලට ප්‍රේම කිරීමෙන්’ පරෙස්සම් වන්න

ආත්මාර්ථකාමී මිනිසුන් දීමට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔවුන් යමක් දුන්නත් එසේ කරන්නේ දුන් දේට වඩා වැඩි යමක් නැවත බලාපොරොත්තුවෙන්. දීමට ඔවුන් මැළිකමක් දක්වන්නේ මුදලට තිබෙන තණ්හාව නිසයි. මුදල් රැස් කිරීමෙන් සතුටක් ලැබිය හැකියි කියා සිතුවත් ලැබෙන්නේ ඔවුන් බලාපොරොත්තු වූ දේට වඩා හාත්පසින්ම වෙනස් දෙයක්. ඒ ගැන බයිබලයේ 1 තිමෝති 6:10හි පවසන දේ බලන්න. “මුදලට ප්‍රේම කිරීම සියලු ආකාර හානිකර දේවල්වල මුලක්ය. සමහරුන් මේ ප්‍රේමය ලුහුබැඳීම නිසා, ඇදහිල්ලෙන් ඈත්ව ගොස්, බොහෝ වේදනාවලින් තමන්ටම ඇනගත්තෝය.” මුදලට ප්‍රේම කිරීම හානිකර මෙන්ම අසතුටට හේතු වන්නේ ඇයි?

එක් හේතුවක් වන්නේ මුදලට තණ්හාව ඇති කෙනෙක් කිසිදාක සෑහීමට පත් නොවීමයි. ඒ ගැන දේශනාකාරයා 5:10හි [NW] පවසන්නේ මෙසේයි. “රිදීවලට ඇලුම් වන්නා රිදී ලැබුණු පමණින් සෑහීමට පත් නොවෙයි.” කෙනෙක් මුදලට ප්‍රේම කිරීම හරියට ‘තමන්ටම ඇනගන්නවා’ වගේ දෙයක්. එනම් මුදලට ප්‍රේම කිරීමෙන් ඉතිරි වන්නේ කනස්සල්ල පමණයි. තවදුරටත් මුදලට ඇති තණ්හාව සබඳතා බිඳී යෑමටත්, පවුලේ සතුට උදුරා දැමීමටත්, අවිවේකි බවටත් හේතු වෙනවා. බයිබලය තුළ එය මෙසේ විස්තර කරයි. “සේවකයෙකුට ස්වල්පයක් කන්න තිබුණත් බොහෝමයක් කන්න තිබුණත් ඔහුගේ නින්ද මිහිරිය. නමුත් තමා සතු වස්තු සම්භාරය නිසා ධනවතාට නින්ද නොයයි.” (දේශනාකාරයා 5:12, NW) මේ හැම දෙයකටම වඩා එවන් කෙනෙකුට දෙවිගේ ප්‍රසාදය දිනාගන්න බැරි වෙනවා.—යෝබ් 31:24, 28.

මුදල් ලබාගැනීම සඳහා වැරදි ක්‍රියා කළ පුද්ගලයින් පිළිබඳව වාර්තාවන් අපිට ඉතිහාසයෙන් සොයාගත හැකියි. ඒ අතරට මුදල් නිසා සොරකම් කිරීම, යුක්තිය ඉටු නොකිරීම, වේශ්‍යාකම් කිරීම, මිනී මැරීම, පාවා දීම, බොරු කීම වැනි දේ ඇතුළත් වෙනවා. (යෝෂුවා 7:1, 20-26; මීකා 3:11; මාක් 14:10, 11; යොහන් 12:6) එක් අවස්ථාවකදී යේසුස්, “බොහෝ ධනවත්ව” සිටි තරුණයෙක්ට තමාගේ අනුගාමිකයෙක් වන්න කියා ආරාධනා කළා. නමුත් මේ තරුණයා තුළ මුදලට තිබූ අධිකතර ආශාවත් ධනය ඔහුට නැති වෙයි කියන බියත් නිසා ඔහු එම ආරාධනය ප්‍රතික්ෂේප කළා. එවිට යේසුස් ඔහුට මෙසේ පැවසුවා. “මුදල් ඇති අයට දෙවිගේ රාජ්‍යයට ඇතුල් වන්න මොන තරම් අමාරුද!”—ලූක් 18:23, 24.

මේ “අන්තිම දවස්වල” සිටින බොහෝ මිනිසුන් “මුදලට ප්‍රේම කරන” අය නිසා, ක්‍රිස්තියානීන් තමුන්ව එයින් ආරක්ෂා කරගැනීම ඉතාම වැදගත්. (2 තිමෝති 3:1, 2) සැබෑ ක්‍රිස්තියානීන් දෙවි සමඟ ඇති තම මිත්‍රත්වය පලුදු වීමට මෙවන් නැඹුරුවාවකට ඉඩ දෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් මුදල්වලින් මිල කළ නොහැකි දෙයක් අත් කරගැනීමට වෙර දරනවා.

මුදලට වඩා වටිනා දෙයක්

මුදල ආරක්ෂාවක් වන බව පැවසූ සලමොන් රජ “ප්‍රඥාවද ආරක්ෂාවකි” කියා පැවසුවා. ඔහු එසේ කිව්වේ ප්‍රඥාව ‘ඇති අයගේ ජීවිත රැකෙන’ නිසයි. (දේශනාකාරයා 7:12, NW) ඉන් අදහස් කරන්නේ කුමක්ද? සලමොන් කතා කරන මේ ප්‍රඥාව ලැබෙන්නේ බයිබලයේ නිවැරදි දැනුම තුළින් හා දෙවිට දක්වන ගරුබිය තුළිනුයි. මුදලට වඩා වටිනා දෙවිගෙන් ලැබෙන ප්‍රඥාව කෙනෙක්ව බොරු වළවල්වලින් ආරක්ෂා කරන අතර සන්තෝෂවත් ජීවිතයකටද මඟ පාදයි. ඒ වගේම මෙම ප්‍රඥාව ලබන අයට එය අලංකාරයක් හා ගෞරවයක්. (හිතෝපදේශ 2:10-22; 4:5-9) එමෙන්ම මෙම ප්‍රඥාව මගින් දෙවිගේ අනුමැතිය ලබාගැනීමට හැකි වන අතර එය ‘ජීවනදායක ගසක්’ කියාද හඳුන්වනවා.—හිතෝපදේශ 3:18.

දෙවි දෙන ප්‍රඥාව සොයන සහ එය ලබාගැනීමට උත්සාහ කරන අයට දෙවි එය ලබා දෙන බවට බයිබලයේ පොරොන්දු වී තිබෙනවා. “මාගේ පුත්‍රය, . . . තේරුම්ගැනීමට ඔබේ ශබ්දය නඟන්නෙහි නම් ඔබ ඇය රිදී මෙන් සොයා සැඟ වූ නිධානයක් මෙන් ඇය ගැන විමසන්නෙහි නම් එවිට ඔබ යෙහෝවා කෙරෙහි භයවීම තේරුම්ගෙන දෙවි ගැන දැනගැන්ම ලබන්නෙහිය. මක්නිසාද යෙහෝවා ප්‍රඥාව දෙන්නේය. ඔහුගේ මුඛයෙන් දැනගැන්මද තේරුම්ගැන්මද නික්මේ.”—හිතෝපදේශ 2:1-6.

මුදලට වඩා ප්‍රඥාව වටිනා දෙයක් ලෙස සලකන සත්‍ය ක්‍රිස්තියානීන් මුදලට ප්‍රේම කරන්නන් අත් කර නොගන්නා මනසේ සාමය, සුරක්ෂිතභාවය මෙන්ම සන්තෝෂය අද්දකිනවා. ඒ ගැන දෙවි බයිබලයේ හෙබ්‍රෙව් 13:5හි දෙන සහතිකය මෙයයි. “මුදලට ප්‍රේම නොකරමින් ජීවත් වන්න. ඔබට ඇති දෙයින් සතුටු වන්න. මන්ද, ‘මම කිසිසේත් ඔබෙන් අහක්ව නොයමි. කිසිසේත් ඔබව අත් නොහරිමි.’” මෙවන් සුරක්ෂිතභාවයක් කිසිවිටකත් මුදලින් ලබාගත නොහැකියි.

මේ ගැන ඔබ සිතුවාද?

▪ මුදල ආරක්ෂාවක් වන්නේ කෙසේද?දේශනාකාරයා 7:12.

▪ දෙවිගෙන් ලැබෙන ප්‍රඥාව මුදලට වඩා වටිනා දෙයක් වෙන්නේ ඇයි?හිතෝපදේශ 2:10-22; 3:13-18.

▪ මුදලට ප්‍රේම කිරීමෙන් අප වැළකිය යුත්තේ ඇයි?මාක් 10:23, 25; ලූක් 18:23, 24; 1 තිමෝති 6:9, 10.