Skip to content

පටුනට යන්න

වෙනස් ආකාරයේ පොහොසත්කමක්

වෙනස් ආකාරයේ පොහොසත්කමක්

වෙනස් ආකාරයේ පොහොසත්කමක්

ධන සම්පත් ලබාගැනීමට දැඩි වෙහෙසක් දැරීම හා කැපවීම අවශ්‍යයි. යේසුස් එක් අවස්ථාවක වෙනස් ආකාරයේ පොහොසත්කමක් ගැන කතා කළා. ඔහු මෙසේ පැවසුවා. “ස්වර්ගයෙහි ඔබට වස්තු රැස් කරගන්න.” (මතෙව් 6:20) කෙනෙකුට ස්වර්ගයේ වස්තු රැස් කිරීමටත් දැඩි වෙහෙසක් දැරීම මෙන්ම කැපවීම අවශ්‍යයි. සාමාන්‍යයෙන් කෙනෙක්ට බැංකු ගිණුමක් තිබූ පමණින් ඔහු ධනවතෙක් කියලා කියන්න බැහැ. ඒ හා සමානව කෙනෙක් ආගමක් ඇදහූ පමණින් ඔහු “ස්වර්ගයෙහි වස්තු” රැස් කරනවා කියලා කියන්නත් බැහැ. “ස්වර්ගයෙහි වස්තු” යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? යෙහෝවා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීම, දෙවි කැමති ආකාරයේ පෞද්ගලිකත්වයක් ගොඩනඟාගැනීම වගේම යේසුස්ට තිබුණා හා සමාන ගති ගුණ ඇතුව සිටීමත් මෙයට ඇතුළත්. මේ සඳහා දැඩි වෙහෙසක් දැරීම මෙන්ම කාලය, අධිෂ්ඨානය හා කැපවීමද අවශ්‍යයි.—හිතෝපදේශ 2:1-6.

දෙකම එකවිට කළ හැකිද?

කෙනෙකුට ස්වර්ගයේ හා පොළොවේ වස්තු රැස් කිරීම යන දෙකම කරන්න පුළුවන්ද? සමහරවිට පුළුවන් වෙයි. නමුත් සාර්ථක වෙන්නේ එකයි. ඒ ගැන යේසුස් කිව්වේ මෙයයි. “ඔබට මුදලටත් දෙවිටත් දාසයෙකු විය නොහැක.” (මතෙව් 6:24ආ) ඇයි යේසුස් එහෙම කිව්වේ? ඔබ මේ දෙකම කරන්න උත්සාහ කළොත් ඒ දෙක එකිනෙකට නොගැළපෙන නිසා එකක් අනෙකට බාධා ඇති කරනවා. ඒ නිසායි යේසුස් පැවසුවේ “මෙලොවෙහි ඔබට වස්තු රැස් කරගැනීම නතර කරන්න” කියලා.—මතෙව් 6:19.

කෙනෙක් යේසුස්ගේ අවවාදය නොතකා මේ දෙකම එකවිට කරන්න ගියොත් මොනවා වෙයිද? එයින් අත් වන ප්‍රතිඵලය යේසුස් මෙසේ විස්තර කළා. “ස්වාමිවරුන් දෙදෙනෙකුගේ දාසයෙකු වීමට කිසිවෙකුට නොහැක. මන්ද ඔහු එක් කෙනෙකුට වෛර වී අනික් තැනැත්තාට ප්‍රේම කරනවා ඇත. නැතහොත් ඔහු එක් කෙනෙකුට ඇලුම් වී අනික් තැනැත්තාව හෙළාදකිනවා ඇත.” (මතෙව් 6:24අ) එවැනි කෙනෙකුට ස්වර්ගයේ වස්තු රැස් කිරීම බරක් වෙන්න පුළුවන්. එවිට සිදු වන්නේ ජීවිතේ සෑම කාරණයකදීම දෙවි මත විශ්වාසය තබනවා වෙනුවට මුදල් මත විශ්වාසය තැබීමට උත්සාහ කිරීමයි. ඇත්තෙන්ම යේසුස් පැවසූ මේ වදන් කොතරම් සත්‍යයද! “ඔබේ වස්තුව කොතැනද, ඔබේ සිතත් එතැනම වන්නේය.”—මතෙව් 6:21.

සෑම ක්‍රිස්තියානියෙක්ම යේසුස් දුන් ඒ උපදෙසට හොඳ අවධානයක් දිය යුතුයි. එනිසා අපි හැමෝම අපෙන්ම මෙසේ අසාගනිමු. ‘මම මගේ කාලය වැය කරන්නෙත් ජීවිතේ මුල් තැන දෙන්නෙත් කුමකටද?’ අපි කොතරම් මුදලක් රැස් කළ යුතුද කියා දෙවි පවසා නැති බව ඇත්තයි. ඒත් මුදලට ගිජුකමක් ඇති කරගැනීමට එය හේතුවක් නොවෙයි. මුදලට ගිජුකමක් දැක්වීම දෙවි ඉදිරියෙහි වරදක්. (1 කොරින්ති 6:9, 10) බයිබලයේ සඳහන් ඒ උපදෙස නොසලකාහැර ධනය රැස් කිරීම අපේ අධිෂ්ඨානය කරගතහොත් විවිධ පැතිවලින් අපට දුක් විඳීමට සිදු වෙයි. උදාහරණයකට දෙවි සමඟ තියෙන අපේ සම්බන්ධයට එය බාධාවක් වෙන අතර ජීවිතේ සතුටද අහිමි වෙනවා. (ගලාති 6:7) නමුත් යේසුස් කිව්වේ අපේ ජීවිතේ මුල් තැන අපි යෙහෝවා දෙවිගේ නමස්කාරය වෙනුවෙන් දෙනවා නම් අපිට ඉන් බොහෝ ප්‍රීතියක් අත් කරගත හැකි බවයි. (ලූක් 6:20) අපේ සතුට හා යහපත වෙනුවෙන් අප කළ යුතු හොඳම දෙය කුමක්ද කියා හොඳින්ම දන්නේ අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවියි.—යෙසායා 48:17, 18.

ඔබේ තේරීම කුමක්ද?

ඔබට වටින්නේ මුදල්ද, නැත්නම් දෙවිගේ මිත්‍රත්වයද? ජීවිතය පවත්වාගෙන යෑමට යම් ප්‍රමාණයක මුදලක් අවශ්‍යයි. මේ ගැන පාවුල්, තිමෝතිට මෙසේ පැවසුවා. “යමෙකු තමාගේම අය, විශේෂයෙන්ම තමාගේ පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය දේ ලබා දෙන්නේ නැත්නම්, ඔහු ඇදහිල්ල නොසලකාහැර තිබේ. ඔහු නොඇදහිලිකරුවෙකුට වඩා නරකය.” ඔහු ක්‍රිස්තියානීන්ට පැවසුවේ මුදල් මත නොව දෙවි මත විශ්වාසය තබන්න කියලයි. එමෙන්ම ‘යහපත් ක්‍රියාවලින් පොහොසත්ව සිටින්න’ කියාද ඔහු දිරිගැන්වූවා. (1 තිමෝති 5:8; 6:17, 18) නමුත් අප අත් කරගැනීමට උත්සාහ කරන්නේ කුමක්ද? යේසුස් ඔහුගේ ගෝලයන්ට අණ කළ ශුභාරංචිය ප්‍රකාශ කිරීම හා මිනිසුන්ව ගෝලයන් කිරීම වෙතටයි පාවුල් අපගේ අවධානය යොමු කළේ. (මතෙව් 28:19, 20) ක්‍රිස්තියානීන් සරල ජීවිතයක් ගත කරමින් මෙම වටිනා කාර්යයෙහි වැඩි වැඩියෙන් හවුල් වීමෙන් ඔවුන් කරන්නේ ‘අනාගතය සඳහා හොඳ අත්තිවාරමක් දමාගැනීමයි.’ එමගින් දෙවි පොරොන්දු වී ඇති පාරාදීස පොළොවේ ජීවත් වීමට ඔවුන්ට හැකි වෙනවා. ඒ වගේම ඔවුන් දැනුත් ස්වර්ගයේ වස්තු රැස් කරගෙන තිබෙනවා. එය “රනට වඩා . . . කොපමණ යහපත්ද!”—1 තිමෝති 6:19; හිතෝපදේශ 16:16; ෆිලිප්පි 1:10.

එඩීගේ මේ අද්දැකීම සලකා බලන්න. ඔහු යෞවනයෙක්ව සිටි කාලයේදී තමයි ඔහුගේ මුළු පවුලම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බවට පත් වුණේ. එක් අවස්ථාවකදී ඔවුන්ට තිබූ සියල්ලම අහිමි වුණා. ගෙදරින් පවා යන්න සිදු වුණා. එඩී ඒ ගැන මෙසේ කියනවා. “කවදා හරි දවසක අපිට සතයක්වත් නැති තත්වයට පත් වෙන්න වුණොත් මොනවා වෙයිද කියලා මම නිතරම කල්පනා කරලා තිබුණා. හිතුවා වගේම වුණා. ඊට පස්සේ මොනවද වුණේ කියලා දන්නවද? මුකුත්ම වුණේ නැහැ! අපිට කන්න බොන්න අඳින්න ලැබුණා. යෙහෝවා දෙවි මේ හැම දෙයක්ම අපිට දුන්නා. කල් යද්දී අපි අවශ්‍ය දේවල් අරගත්තා. මගේ අද්දැකීමෙන් මම ඉගෙනගත්තේ මතෙව් 6:33හි යේසුස් කිව්වා වගේ දේවරාජ්‍යයට අපි පළමු තැන දෙනවා නම් අපේ අනිකුත් අවශ්‍යතාවන් ගැන කනස්සලු වෙන්න කිසිම වුවමනාවක් නැහැ කියන එකයි.” අද එඩී සංචාරක අවේක්ෂකයෙක් හැටියට ඔහුගේ බිරිඳ සමඟ පූර්ණ-කාලීන සේවයේ හවුල් වෙනවා. ඔවුන්ට ජීවත් වීමට අවශ්‍ය හැම දෙයක්ම තියෙනවා. ඊටත් වඩා ඔවුන් ස්වර්ගයේ වස්තුවලින් පොහොසත් වී සිටිනවා.

මිල කළ නොහැකි ආශීර්වාද

පොළොවේ රැස් කරන ධන සම්පත් සොරුන් සොරාගත්තත් ස්වර්ගයේ රැස් කරන සම්පත් කිසිවෙකුට සොරාගන්න බැහැ. (හිතෝපදේශ 23:4, 5; මතෙව් 6:20) කෙනෙක් කොතරම් ධනවත්ද කියා මුදලින් මනින්න පුළුවන්. ඒත් දෙවිට සේවය කිරීමෙන් පුද්ගලයෙක් ලබන ආශීර්වාද කිසිම මිම්මකින් මනින්න බැහැ. ස්වර්ගයේ වස්තු රැස් කිරීම වෙනුවෙන් තමන්ට තිබෙන සෑම දෙයක්ම අහිමි කරගත් ගෝලයන්ට ලැබෙන ආශීර්වාද ගැන යේසුස් පැවසුවේ මෙයයි. “සැබවින්ම මම ඔබට කියමි, මා නිසාත් ශුභාරංචිය නිසාත් ගේ දොර හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ මව හෝ පියා හෝ දරුවන් හෝ වතු පිටි හෝ අත්හැර තිබෙන කවරෙකු වුවත්, දැන් මේ කාල පරිච්ඡේදයේදී සිය ගුණයකින් ගෙවල්ද සහෝදරයන්ද සහෝදරියන්ද මව්වරුන්ද දරුවන්ද වතු පිටිද, ඒ සමඟ හිංසා පීඩාද, මතු පැමිණෙන කාලයේදී සදාකාල ජීවනයද ලබන්නේය.”—මාක් 10:29, 30.

ඔබේ ජීවිතයේ පළමු තැන දෙන්නේ දෙවිටද? නැත්නම් මුදල්වලටද?

[8, 9වන පිටුවේ පින්තූර]

ඔබ රැස් කරන්නේ මුදල්ද . . .

. . . නැත්නම් ස්වර්ගයේ වස්තුද?