Skip to content

පටුනට යන්න

ඇයි මාව කොන් කරන්නේ?

ඇයි මාව කොන් කරන්නේ?

යෞවන අය අසති . . .

ඇයි මාව කොන් කරන්නේ?

“සති අන්තයේදී හැමෝම එකතු වෙලා සතුටු වෙනවා. ඒත් මං තනියම.”—රෙනී.

“ළමයි හැමෝම එකට එකතු වෙලයි විනෝද වෙන්නේ. ඒත් මාව කවුරුත් ගණන් ගන්නේ නැහැ.”—ජෙරමි.

ඒක නිවාඩු දවසක්. හුඟදෙනෙක් සැලසුම් කරන්නේ විනෝද වෙන්නයි. ඔබේ යාළුවොත් එළියට ගිහින් විනෝද වෙනවා. ඒත් ඔබ තනි වෙලා. එතකොට ඔබට හැඟෙන්නේ ඔබ කොන් වෙලා කියලයි.

ඔබේ යාළුවන් සැලසුම් කළ දෙයකට ඔබට ආරාධනා නොකළොත් ඔබට හුඟක් දුක හිතෙයි. සමහරවිට ඔබ ඔබෙන්ම මෙසේ අසාගනියි. ‘ඇයි කවුරුත් මාත් එක්ක ආශ්‍රය කරන්නේ නැත්තේ? මගේ මොකක් හරි අඩුවක් තියෙනවාද දන්නේ නැහැ!’

එතරම් බලපාන්නේ ඇයි?

සෑම කෙනෙක්ම කැමතියි අන් අයගේ ආශ්‍රය භුක්ති විඳින්න. යෙහෝවා දෙවි පළමු ස්ත්‍රිය වූ ඒවව මැවීමට පෙර පළමු මිනිසා වූ ආදම්ට මෙසේ පැවසුවා. “මනුෂ්‍යයා තනියම සිටීම යහපත් නොවෙයි.” (උත්පත්ති 2:18) එයින් පැහැදිලි වන්නේ යෙහෝවා දෙවි අපිව නිර්මාණය කර තිබෙන්නේ අන් අය සමඟ ආශ්‍රය කිරීමේ අවශ්‍යතාව ඇතුව බවයි. කෙනෙක් කොන් වන විට එතරම් වේදනාවක් දැනෙන්නේ ඒ නිසයි.

නිතරම ඔබ අන් අය අතරේ කොන් වෙනවා නම් හෝ අන් අයගේ ඇසුරට ඔබ සුදුසු නැහැ කියා ඔවුන් ඔබට අඟවනවා නම් ඔබ අධෛර්යයට පත් වෙයි. මරියා නම් 22-හැවිරිදි තරුණිය මෙසේ පවසනවා. “සමහර යෞවනයන් කණ්ඩායමක් හැටියට එකතු වෙලා දක්ෂ ලෙස දේවල් ඉටු කරනවා. ඒත් ඔවුන් අතර කොන් වෙන කෙනෙකුට දැනෙන්නේ ඔවුන්ට ඔහුගෙන් පලක් නැහැ කියලයි.” අන් අය ඔබව ඔවුන්ගේ ඇසුරට හවුල් කර නොගන්නවා නම් ඔබට දුකක් මෙන්ම තනිකමක් දැනෙයි.

සමහරවිට ඔබ පිරිසක් අතර හිටියත් ඔබට තනිකම දැනෙන්න පුළුවන්. නිකොල් පවසන මේ දෙය බලන්න. “කට්ටියක් හොඳට විනෝද වෙන තැනකට මම ගියත් මට දැනෙන්නේ පුදුම තනිකමක්. ඒ මට කිට්ටු මිතුරෙක් නැති නිසා වෙන්න ඇති.” සමහර අයට ක්‍රිස්තියානි රැස්වීම්වලදී හෝ සමුළුවලදී පවා මේ වගේ හැඟීමක් ඇති වෙනවා. මේගන් නම් යෞවනිය ඒ ගැන පවසන්නේ “හැමෝටම අඳුනන අය ඉන්නවා. ඒත් මාව කවුරුත් අඳුනන්නේ නැහැ” කියලයි. මාරෙයි නම් යෞවනියගේ අදහසත් ඒ හා සමානයි. “මම මගේ යාළුවන් අතර හිටියත් මට දැනෙන්නේ මට කවුරුත් නැහැ කියලයි.”

කෙනෙක් දිහා බලද්දී අපිට හිතෙයි එයාට හුඟක් යාළුවෝ ඉන්න නිසා නිතරම එයා ඉන්නේ සන්තෝෂයෙන් කියලා. අපිට එසේ පෙනුණත් එවැනි අයට පවා තනිකමේ හැඟීමක් තියෙන්න පුළුවන්. බයිබලයේ ඒ ගැන කියන්නේ “යමෙකු සිනාසුණත් ඔහුගේ සිතේ වේදනාවක් තිබිය හැක” කියායි. (හිතෝපදේශ 14:13, නව ලොව පරිවර්තනය, NW) දිගින් දිගටම කෙනෙකුට එලෙස හැඟුණොත් එය ඔහුට අහිතකර ආකාරයකින් බලපාන්න පුළුවන්. “සිතේ වේදනාව නිසා යමෙකු බිඳ වැටෙයි” කියා බයිබලයේ පවසන්නේ ඒ නිසයි. (හිතෝපදේශ 15:13, NW) කවදා හෝ ඔබටත් මෙවැනි හැඟීමක් ඇති වෙලා තියෙනවාද? එසේනම් කුමක් කළ හැකිද?

තනිකමේ හැඟීමෙන් ජය ගන්න

තනිකමේ හැඟීමෙන් ජය ගැනීමට පහත සඳහන් යෝජනා අත්හදා බලන්න.

ඔබ ගැන අඩුවෙන් නොසිතන්න. (2 කොරින්ති 11:6) ඔබෙන්ම මෙසේ අසාගන්න. ‘මට තියෙන්නේ මොන වගේ හැකියාවන්ද? මොන වගේ හොඳ ගුණාංගද?’ එසේ කල්පනා කර ඒවා කිහිපයක් පහත සඳහන් කරන්න.

.....

ඔබ තනි වී ඇති බවක් ඔබට හැඟෙන විට ඉහත සඳහන් කළ දේවල් ගැන සිතා බලන්න. දියුණු විය යුතු තවත් පැති තිබිය හැකි වුණත් ඒවා ගැන ඕනෑවට වඩා කනස්සලු නොවී ඒවා වර්ධනය කරගන්න උත්සාහ කරන්න. කිසිවිටකත් ඔබ ගැන අඩුවෙන් නොසිතා ඔබ සතු යහපත් දේවල් ගැන සතුටු වන්න!

ආශ්‍රය පුළුල් කරන්න. (2 කොරින්ති 6:11-13) එය කිරීම එතරම් ලෙහෙසි දෙයක් නූණත්, ඒ සඳහා මුල් පියවර ඔබම ගන්න. ලීස් නම් 19-හැවිරිදි යෞවනිය පවසන්නේ “තනියම කණ්ඩායමක් ළඟට ගිහින් කතා කරන්න බයයි වගේ. ඒත් එතන ඉන්න එක්කෙනෙක් ළඟට ගිහින් ‘කොහොමද’ කියලා කතා කළාම ඉබේටම ඒ අයට එකතු වෙන්න පුළුවන්” කියායි. (“සාර්ථක සංවාදයකට” . . . යන කොටුව බලන්න.) ඔබ කිසිවිටකත් වයසක අයව කොන් නොකරන බවට වගබලා ගන්න. කොරී නම් යෞවනිය පවසන්නේ මෙයයි. “මට අවුරුදු දහයෙදි එකොළහේදි වගේ වයසක යාළුවෙක් හිටියා. අපේ යාළුකමට වයස බාධාවක් වුණේ නැහැ.”

ඔබේ සභාවේ සිටින, ඔබ කිට්ටුවෙන් ඇසුරු කරන්න කැමති වැඩිහිටියන් දෙදෙනෙක් ගැන සිතා බලන්න.

.....

ඊළඟ රැස්වීමේදී ඔබ සඳහන් කළ දෙදෙනාගෙන් එක්කෙනෙක් සමඟ කතා කිරීමට උත්සාහ කරන්න. ඔහු හෝ ඇය බයිබලය පාඩම් කරන්න පටන්ගත්තේ කොහොමද කියා අසන්න. මෙසේ ඔබ “මුළු සහෝදර සංගමය” සමඟ ආශ්‍රය පුළුල් කරන තරමටම ඔබ තනි වී සිටින බවේ හැඟීමත් ඔබෙන් තුරන් වෙයි.—1 පේතෘස් 2:17.

විවෘත කතා බහ. (හිතෝපදේශ 17:17) තමන් තනි වෙලා කියලා හැඟෙනවා නම් ඒ ගැන දෙමව්පියන් සමඟ හෝ වෙනත් වැඩිහිටියෙකු සමඟ කතා කිරීම ඔබට උපකාරයක් වෙයි. දහසය වියැති එක් යෞවනියකගේ අද්දැකීම මෙයයි. “මම තනි වෙලා කියලා මටත් හැඟුණ කාලයක් තිබුණා. එතකොට මම කළේ අම්මා එක්ක ඒ ගැන කතා කළ එකයි. මේ වගේ තත්වයන් එක්ක කටයුතු කරන්නේ කොහොමද කියලා අම්මා මට කියලා දුන්නා. ඒක මට ලොකු උපකාරයක් වුණා!”

තනිකමේ හැඟීම දිගින් දිගටම ඔබට තිබෙනවා නම් ඒ ගැන ඔබ කතා කරන්න කැමති කා සමඟද?

.....

අන් අය ගැනත් සිතන්න. (1 කොරින්ති 10:24) බයිබලයේ අපට පවසන්නේ “ඔබේම කාරණා ගැන පමණක් නොව, අනුන්ගේ කාරණා ගැනත් පෞද්ගලිකව සැලකිල්ලක් දක්වන්න” කියායි. (ෆිලිප්පි 2:4) තමන් කොන් වෙලා කියලා හැඟෙද්දී ඔබට දුකක් හෝ අධෛර්යය වීමක් ඇති වෙන බව සත්‍යයක්. නමුත් ඔබව යටපත් කිරීමට ඒ හැඟීමට ඉඩ දෙන්න එපා. කෙසේවෙතත් ඒ ගැන සිතසිතා සිටිනවා වෙනුවට උපකාරය අවශ්‍ය කෙනෙකුට උපකාර කරන්න ඉදිරිපත් නොවන්නේ ඇයි? එමගින් අලුත් මිත්‍රත්වයන් ගොඩනඟා ගැනීමට ඔබට හැකි වෙයි!

ඔබේ උපකාරය හෝ ආශ්‍රය අවශ්‍ය කෙනෙක් ඔබේ පවුලේ හෝ සභාවේ සිටිනවාද කියා සිතා බලන්න. එසේනම් ඔහුගේ හෝ ඇයගේ නම පහත සඳහන් කර, ඔහුට හෝ ඇයට උපකාර කළ හැකි පැති ගැනත් සටහන් කරගන්න.

.....

ඔබ ගැනම සිතමින් සිටිනවාට වඩා අන් අය වෙනුවෙන් කාලය වැය කරනවා නම් ඔබ තනි වෙලා කියා සිතීමට කාලයක් නැති වෙයි. ඔබ, ඔබ ගැනම ධනාත්මකව සිතන කෙනෙක් නම් අන් අය කැමති වෙයි ඔබේ මිත්‍රයෙක් වෙන්න. බයිබලයෙහි මෙවැන්නක් සඳහන් වී තිබෙනවා. “නොමසුරු ලෙස අනුන්ව පෝෂණය කරන්නාවද නොමසුරු ලෙස පෝෂණය කරනු ලැබේ.”—හිතෝපදේශ 11:25, NW.

තේරීමක් කරන්න. (හිතෝපදේශ 13:20) නරක මිතුරන් හුඟක් සිටිනවාට වඩා හොඳ මිතුරන් කිහිපදෙනෙක් සිටීම වටිනවා. (1 කොරින්ති 15:33) උදාහරණයක් හැටියට බයිබලයේ සඳහන් වන සාමුවෙල් ගැන සලකා බලන්න. යෙහෝවා දෙවිගේ මණ්ඩපයේ සේවය කළ ඔහුටත් තනිකමක් දැනෙන්න ඇති. ඔහු සමඟ එකට වැඩ කළ උත්තම පූජකයාගේ පුත්‍රයන් වන හොප්නී සහ පීනෙහාස් හුඟක් නරක දේවල් කළා. සාමුවෙල් ඔවුන් සමඟ එකතු වුණා නම් සමහරවිට ඔහුත් මේ නරක දේවලට හවුල් වෙන්නත් දෙවිගේ ආඥා කඩ කරන්නත් ඉඩ තිබුණා. නමුත් සාමුවෙල් ගැන බයිබලයේ පවසන්නේ මෙයයි. “සාමුවෙල් නම් දරුවා වැඩෙමින් යෙහෝවාගෙන්ද මනුෂ්‍යයන්ගෙන්ද කරුණාව ඇතුව සිටියේය.” (1 සාමුවෙල් 2:26) මෙම පදයෙහි සඳහන් මනුෂ්‍යයන් වන්නේ දෙවිගේ ප්‍රමිති අනුගමනය කළ මිනිසුන් මිස හොප්නී හෝ පීනෙහාස් නොවෙයි. යහපත් කෙනෙක් වූ සාමුවෙල් ඒ නරක ඇසුරට හවුල් වුණේ නැහැ. ඒ හා සමානව ඔබටත් අවශ්‍ය වන්නේ දෙවිගේ ප්‍රමිති තුළ ගමන් කරන මිතුරන් මිස හොප්නී හා පීනෙහාස් වැනි අය නොවෙයි!

ධනාත්මක වෙන්න. (හිතෝපදේශ 15:15) හැම කෙනෙක්ටම සමහර අවස්ථාවලදී තනිකමක් දැනෙන්න පුළුවන්. මෙවන් අවස්ථාවලදී නිෂේධාත්මක සිතුවිලිවලින් ඈත් වී ජීවිතය දෙස ධනාත්මකව බලන්න පුරුදු වෙන්න. මෙයත් මතක තබාගන්න. ඔබේ ජීවිත කාලයේදී ඔබ අද්දකින සියල්ලම ඔබට පාලනය කරන්න බැහැ. ඒත් ඒ කාරණා දෙස බලන ආකාරය වෙනස් කරන්න ඔබට පුළුවන්.

ඔබ තනි වී හෝ කොන් වී ඇති බවක් දැනෙයි නම් ඒ දෙස බලන ආකාරය වෙනස් කරගැනීමට අවශ්‍ය පියවර ගන්න. අපිව නිර්මාණය කර ඇති ආකාරය යෙහෝවා දෙවි දන්නා නිසා අපේ අවශ්‍යතාවන් හා ඒවා සපුරාලන්නේ කෙසේද කියා ඔහු හොඳින්ම දන්නා බව මතක තියාගන්න. තනිකමක් හෝ කොන් වී ඇති බවක් දැනෙන සෑම අවස්ථාවකදීම යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න. ඒ වගේම ‘ඔහු ඔබ උසුලන’ බවට ස්ථිර වන්න.—ගීතාවලිය 55:22.

සිතා බලන්න

▪ තනිකමක් හෝ කොන් වූ බවක් හැඟෙයි නම් මට කළ හැක්කේ කුමක්ද?

▪ එවැනි හැඟීම් ගැන නිෂේධාත්මකව නොසිතා සමබරව සිතීමට මට උපකාර වෙන්නේ කුමන බයිබල් පාඨයන්ද?

[12වන පිටුවේ කොටුව/පින්තූරය]

සාර්ථක සංවාදයකට . . .

සුහදව සිනාසෙන්න. ඔබගේ සුහද සිනහව සංවාදයකට ආරාධනාවකි.

ඔබව හඳුන්වා දෙන්න. ඔබේ නම, ගම ගැන විස්තර කියන්න.

ප්‍රශ්න අසන්න. ඕනෑවට වඩා පෞද්ගලික දේවල් නොවිමසා ඔහු හෝ ඇය පිළිබඳව අසන්න.

සවන් දෙන්න. ඊළඟට කියන්නේ කුමක්ද කියා නොසිතා හොඳින් සවන් දෙන්න. ඉන්පසු නිරන්තරයෙන්ම සාකච්ඡාවක් ඇති වෙයි.

බය නොවන්න. සංවාදයක් ඇරඹීම අලුත් මිත්‍රත්වයකට දොර විවර කිරීමක්. ඔබත් එහි රසය විඳගන්න!