Skip to content

පටුනට යන්න

ඔබ වර්ණ-අන්ධතාවයෙන් පෙළෙන්නෙක්ද?

ඔබ වර්ණ-අන්ධතාවයෙන් පෙළෙන්නෙක්ද?

ඔබ වර්ණ-අන්ධතාවයෙන් පෙළෙන්නෙක්ද?

රොඩ්නිට පෙනීමේ දුර්වලතාවක් තිබෙනවා. ඔහු මෙසේ පවසනවා. “මම අඳින ඇඳුම්, ගැළපෙන විදිහට අඳිනවද කියලා මගේ බිරිඳ බලනවා. උදේ කෑම වෙලාවේදී මට පලතුරු කෑල්ලක් තෝරලා දෙන්නෙත් එයාමයි. මොකද මට පේන්නේ නැහැ ඒවා හොඳට ඉදිලද නැද්ද කියලා. පරිගණකයේ විවිධ වර්ණ ඇතුළත් කරලා තියෙන නිසා කාර්යාලයේදී පරිගණකයෙන් වැඩ කරන එකත් පහසු නැහැ. රිය පදවාගෙන යනකොට රතු සහ කොළ විදුලි සංඥා දෙකම මට පේන්නේ එක පාටකින්. ඒ නිසා දැල් වෙන්නේ ඉහළ විදුලි සංඥාවද පහළ සංඥාවද කියලා මම බලනවා.”

රොඩ්නිට තිබෙන්නේ වර්ණ-අන්ධතාවයයි. ඔහුගේ දෘෂ්ටිවිතානයේ, එනම් ඇසේ තිබෙන ආලෝකයට සංවේදී වන පටලයේ ආබාධයක් ඇති වී තිබුණේ උපතේදීමයි. ඔහුට තිබෙන මෙම පෙනීමේ දෝෂය සෑම යුරෝපීය ජාතික පුරුෂයන් 12දෙනෙකුගෙන් එක්කෙනෙකුට පමණවත් ස්ත්‍රීන් 200දෙනෙකුගෙන් එක්කෙනෙකුට පමණවත් තිබෙනවා. * මෙයින් පෙළෙන වැඩිදෙනෙකුට මෙන් රොඩ්නිටත් පෙනෙන්නේ කලු සහ සුදු පමණක්ම නොවෙයි. නමුත් සාමාන්‍ය පෙනුමක් තිබෙන අයට පෙනෙන හැම වර්ණයක්ම ඔහුට පෙනෙන්නේ නැහැ.

මිනිස් ඇසක නම් දෘෂ්ටිවිතානයේ වර්ණවලට සංවේදී කේතු හැඩයේ දෘෂ්ටි සෛල වර්ග තුනක් තිබෙනවා. ඒ හැම සෛලයකටම නිල්, කොළ හෝ රතු වැනි ප්‍රධාන වර්ග වෙන් කොට හඳුනාගැනීමේ හැකියාව තිබෙනවා. ඉන්පසු සිදු වන්නේ හඳුනාගත් බව මොළයට දැනුම් දීමක්. එමනිසයි වර්ණය කුමක්ද කියා හඳුනාගන්න අපිට හැකි වෙන්නේ. * මේ රෝගී තත්වය ඇති අයගේ එම කේතු හැඩයේ සෛල, එක වර්ණයකට හෝ වර්ණ කීපයකට සංවේදී නොවන නිසා සමහර වර්ණයන් හඳුනාගැනීමට මෙම සෛලවලට නොහැකියි. එමෙන්ම කහ, කොළ, තැඹිලි, රතු සහ දුඹුරු වර්ණ අතර වෙනස හඳුනාගැනීමටත් නොහැකියි. උදාහරණයකට මේ දුර්වලතාව නිසා කෙනෙකුට පාන්වල බැඳී තිබෙන කොළ පාට පුස් දැකගන්නත්, කෙනෙකුගේ ඇස්වල හෝ හිසකෙස්වල වර්ණය දැකගන්නත් බැහැ. රතු වර්ණය හඳුනාගන්නා දෘෂ්ටි සෛලය දුර්වල වී ඇත්නම් රතු රෝස මලක් පේන්නේ කලු පාටටයි. එමෙන්ම නිල් පැහැය නොපෙනෙන්නේ කීපදෙනෙකුට පමණයි.

වර්ණ-අන්ධතාවයෙන් පෙළෙන දරුවෝ

වර්ණ පෙනීමේ දුර්වලතාව බොහෝවිට දරුවන්ට ඇති වන්නේ උපතේදීම නිසා ඔවුන් එදා පටන් ඒ තත්වයට අනුව හැඩගැහෙනවා. උදාහරණයක් බලමු. සමහර වර්ණ අතර වෙනස දකින්න ඔවුන්ට නොහැකි වන අවස්ථාවේදී වුණත්, ඒවායේ දීප්තියේ අඩු වැඩිවීම අනුව හා ඒවා එකිනෙක සැසඳීමෙන් වර්ණයන් අතර වෙනස හඳුනාගන්න ඔවුන් පුරුදු වෙනවා. ඒ වගේම යම් දේවල් සෑදී තිබෙන ආකාරය හා ඒවා මතුපිට වැටී ඇති මෝස්තර මගින් ඒවා හඳුනාගැනීමටත් ඔවුන් ඉගෙනගන්නවා. මේ ක්‍රමයට හුරුවන නිසා බොහෝ දරුවන්ගේ ළමා කාලයේදී ඔවුන්ට මෙවැනි දුර්වලතාවක් තිබෙනවාද කියා නිශ්චය කළ නොහැකියි.

බොහෝවිට පෙර පාසැල්වල දරුවන්ට උගන්වන්නේ නොයෙක් වර්ණයන්වලින් තිබෙන භාණ්ඩ යොදාගෙනයි. මෙවැනි දරුවන්ට ඒවා හොඳින් හඳුනගන්න බැරි නිසා දෙමාපියන් හා ගුරුවරුන් සිතන්නේ ඔවුන්ට ඉගෙනගැනීමේ දුර්වලකමක් තිබෙනවා කියායි. එක් අවස්ථාවකදී පස්-හැවිරිදි දරුවෙක් පින්තූරයක් ඇඳ තිබුණේ ගස්වල කොළ දුඹුරු පාටින්, වලාකුළු රෝස පාටින් සහ මිනිස්සු කොළ පාටිනුයි. මෙය දුටු ගුරුතුමිය එම දරුවාට දඬුවම් කළා. වර්ණ-අන්ධතාවයෙන් පෙළෙන දරුවෙකුට වර්ණ ගැළපීමට නොහැකි වීම සාමාන්‍ය දෙයක්. එමනිසා දරුවන්ගේ කුඩා අවදියේදීම වර්ණ දෘෂ්ටි පරීක්ෂාවකට ලක් කිරීම සුදුසු බව සමහර ප්‍රවීණයන් කියා සිටින්නේ හොඳ හේතු ඇතුවයි.

මෙම රෝගී තත්වය සම්පූර්ණයෙන්ම සුව කළ නොහැකි වුණත්, වයසින් වැඩි වෙද්දී එය නරක අතට හැරෙන්නේවත්, වෙනත් දෘශ්‍යාබාධයකට මඟ පාදන්නේවත් නැහැ. * කෙසේවෙතත් මෙම රෝගී තත්වය කනස්සල්ලට හේතු විය හැකියි. ඉදිරියේදී, දේවභක්තික මිනිසුන්ට දේවරාජ්‍යයේ පාලකයා ලෙස යේසුස් සම්පූර්ණ සුවයක් ලබා දෙනවා. ඕනෑම ආකාරයක දෘෂ්‍යාබාධයකින් පෙළෙන අයට යෙහෝවා දෙවිගේ මැවිල්ලේ අසිරිය දකින්න එදාට පුළුවන් වේවි!—යෙසායා 35:5; මතෙව් 15:30, 31; එළිදරව් 21:3, 4.

[පාදසටහන්වල]

^ 3 ඡේ. සියලුම ජාතීන් අතරේ වර්ණ-අන්ධතාවයෙන් පෙළෙන්නන් සිටියත් මෙය බහුලව පවතින්නේ සුදු ජාතිකයන් අතරයි.

^ 4 ඡේ. වර්ණ හඳුනාගැනීමට බොහෝ සතුන්ට හැකියාව තිබුණත් එය මිනිසුන්ගේ පෙනීමේ හැකියාවට වඩා වෙනස්. උදාහරණයකට, බල්ලෙකුට දෘෂ්ටි සෛල දෙකක් තිබෙන අතර ඉන් එකකට නිල් වර්ණයත් අනිකට රතු හා කොළ වර්ණය අතර පැහැයනුත් හඳුනාගැනීමට හැකියි. සමහර කුරුල්ලන්ට මෙම කේතු හැඩයේ දෘෂ්ටි සෛල වර්ග හතරක් තිබෙනවා. එමනිසා මිනිසුන්ට දැකිය නොහැකි පාරජම්බුල කිරණ පවා දැකීමට උන්ට හැකියි.

^ 8 ඡේ. සමහරවිට යම් රෝගයක් නිසාත් වර්ණ-අන්ධතාවය ඇති විය හැකියි. යම් දිනක ඔබටත් වර්ණ පෙනීමේ වෙනසක් තිබෙන බව දැනුණොත් අක්ෂි වෛද්‍යවරයෙකුව හමු වන්න.

[18වන පිටුවේ කොටුව]

වර්ණ-අන්ධතාවය නිර්ණය කරන පරීක්ෂණයන්

කෙනෙකු කොතරම් දුරකට හා කුමන වර්ගයේ වර්ණ-අන්ධතාවයකින් පෙළෙනවාද කියා සොයාගැනීමට විවිධ තිත් රටා සහ විවිධ පැහැයන් යොදාගැනෙනවා. බහුලව සිදු කරන එක් පරීක්ෂණයක් (Ishihara පරීක්ෂණය) සඳහා විවිධ රටා 38ක් යොදාගැනෙනවා. උදාහරණයකට, සාමාන්‍යයෙන් හොඳ පෙනීමක් තිබෙන කෙනෙකුට දිවා කාලයේදී අංක 42ත් අංක 74ත් (වම් පස) පෙනිය යුතුයි. නමුත් බහුලව පවතින රතු-කොළ වර්ණ-අන්ධතාවය නිසා එවැනි කෙනෙකුට ඉහළ අංකය නොපෙනෙන අතර පහළ අංකය පෙනෙන්නේ 21 හැටියටයි. *

පරීක්ෂණයෙන් පසු අක්ෂි වෛද්‍යවරයෙක්, දුර්වලකමක් තිබේ නම් මෙය උපතින්මද නැත්නම් වෙනත් හේතු නිසාද කියා දැනගැනීම සඳහා තව පරීක්ෂණ කරගන්නයයි නිර්දේශ කිරීමට ඉඩ තිබෙනවා.

[පාදසටහන]

^ 15 ඡේ. මෙම රූප සටහන් දී තිබෙන්නේ නිදර්ශනයක් වශයෙන් පමණයි. රෝග නිර්ණ පරීක්ෂණය සඳහා යා යුත්තේ පළපුරුදු වෛද්‍යවරයෙකු වෙතටයි.

[හිමිකම් විස්තර]

Color test plates on page 18: Reproduced with permission from the Pseudoisochromatic Plate Ishihara Compatible (PIPIC) Color Vision Test 24 Plate Edition by Dr. Terrace L. Waggoner/www.colorvisiontesting.com

[19වන පිටුවේ කොටුව]

පිරිමින් වැඩියෙන් ගොදුරු වන්නේ ඇයි?

උපතේදීම සිදු වන වර්ණ-අන්ධතාවයට හේතුව වන්නේ X වර්ණදේහයයි. ස්ත්‍රීන්ගේ සෛල සැකැස්ම තුළ X නමැති වර්ණදේහයන් දෙකක් අඩංගුයි. නමුත් පිරිමින්ට X වර්ණදේහයක්ද Y නමැති වර්ණදේහය බැගින්ද තිබෙනවා. මේ අනුව ස්ත්‍රීයකගේ එක X වර්ණදේහයක ඇස් පෙනීමේ දුර්වලතාවක් ඇති වුණොත් අනික් X වර්ණදේහයේ දුබලතාවක් නැති නිසා එයින් අනික් වර්ණදේහයේ දුබලතාව යටපත් කරනවා. ප්‍රතිඵලයක් ලෙස ඇගේ ඇස් පෙනීමේ දුර්වලතාවක් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් පිරිමි කෙනෙකුට ඇත්තේ එක් X වර්ණදේහයක් නිසා එහි යම් දුර්වලතාවක් ඇති වුණොත් ඔහු මෙම රෝගී තත්වයට ගොදුරු වෙනවා.

[18වන පිටුවේ රූප සටහන/පින්තූර]

(මුද්‍රිත පිටපත බලන්න)

අපට වර්ණ පෙනෙන අන්දම

යම් දේවලින් නිකුත් වන ආලෝක කදම්බ සුදු ඉංගිරියාව හා කාච හරහා ගමන් කර දෘෂ්ටිවිතානයේ පතිත වෙනවා

සුදු ඉංගිරියාව

කාච

දෘෂ්ටිවිතානය

රූපය නාභිගත වන්නේ යටිකුරුවයි. නමුත් මොළය මගින් පෙන්නුම් කරන්නේ හරි රූපයයි.

දෘෂ්ටි ස්නායුව මොළය කරා ස්නායු ආවේගයන් ගෙන යනවා

දෘෂ්ටිවිතානය මෙහි කේතු හැඩයේ සෛල සහ යෂ්ටි සෛල අඩංගුයි. සම්පූර්ණ පෙනීම ලැබෙන්නේ ඒවා එක්ව ක්‍රියා කිරීමෙනුයි.

ෂ්ටි

කේතු

කේතු හැඩැති සෛල මෙය රතු, කොළ හෝ නිල් ආලෝකයට සංවේදීයි

රතු

කොළ

නිල්

[පින්තූර]

හොඳ පෙනීමක්

වර්ණ-අන්ධතාවයක් ඇතුව