කුරුලු පිහාටු විශිෂ්ට නිර්මාණයක්
කුරුලු පිහාටු විශිෂ්ට නිර්මාණයක්
සුළඟේ පාවෙමින් අහස්කුස දෙසට පියාසර කරන දක්ෂ මුහුදුළිහිණියෙකුව සිතෙන් මවාගන්න. විටෙක ආයාසයකින් තොරව ගුවනේ පාවෙන ඌ මොහොතින් මොහොත කරනම් ගසමින් ඉහළට ඇදෙන්නේ පාවෙන පුළුන් රොදක් විලසිනි. ඌට මෙතරම් දස්කම් පාන්න උපකාර වුණේ මොනවද? ඒ උගේ පිහාටුයි!
කුරුල්ලන්ටම ආවේණික දෙයක් වූ පිහාටුවලත් විවිධ වර්ග තිබෙනවා. මින් ප්‍රධාන වර්ගය හඳුන්වන්නේ සමෝච්ඡ පිහාටු කියලයි. පියාසර පිහාටු හා වලිග පිහාටුත් මේ වර්ගයට අයත් වෙනවා. කුරුල්ලෙකුට ලස්සන හැඩයක් වගේම ඉගිල්ලෙන්න හැකියාව ලබා දෙන්නෙත් මේ පිහාටුයි. සාමාන්‍යයෙන් ගුමන කුරුල්ලෙකුට සමෝච්ඡ පිහාටු 1,000කට වඩා වැඩියෙන් තිබෙනවා. ඒත් හංසයෙකු වැනි ලොකු කුරුල්ලෙකුට නම් මෙම පිහාටු 25,000කටත් වඩා වැඩියෙන් තිබෙනවා.
පිහාටුවල තිබෙන්නේ අමුතුම රටාවක්. පිහාටුවක් මූලික කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඉන් එකක් වන්නේ පිහාටුවක මුල සිට අග දක්වා දිවෙන බටයක් වැනි කොටසයි. එය හඳුන්වන්නේ නාරටිය කියලයි. මෙය ඕනෑම අතකට නමන්න පුළුවන් වුණත් ලෙහෙසියෙන් කඩන්න බැහැ. පිහාටුවක නාරටියේ සිට දෙපැත්තට විහිදී ඇති කුඩා කොටස් හඳුන්වන්නේ පිච්ඡිකා කියලයි. පිච්ඡිකාවල සිට තවත් කුඩා කොටස් අතු හැටියට බෙදී යනවා. ඒවා හඳුන්වන්නේ පිච්ඡිකාංග ලෙසයි. මෙම පිච්ඡිකාංග එකිනෙකට සම්බන්ධ වෙලයි තිබෙන්නේ. කෙසේ හෝ මේ සම්බන්ධ වී තිබෙන තැන්වලින් ඒවා එකිනෙක ඈත් වුණොත් කුරුල්ලා කරන්නේ හොටෙන් පිරිමැද නැවත ඒවා නිසි සේ සකසාගැනීමයි. වැටී තිබෙන පිහාටුවක් ඔබ අතට ගත්තොත් සමහරවිට ඔබට පෙනෙයි පිහාටුවේ පිච්ඡිකා සහ පිච්ඡිකාංගවල අනුපිළිවෙළ ටිකක් වෙනස් වෙලා තියෙනවා කියලා. නමුත් ඔබ එය ඇඟිලි තුඩුවලින් ඉදිරියට පිරිමැද්දොත් නැවතත් එම පිහාටුව නිසි ලෙස සම්බන්ධ වී නියම ස්වරූපයට පැමිණෙනවා.
පිහාටුවක නාරටියේ සිට දෙපැත්තට තිබෙන කොටස් දෙක හැඩයෙන් සහ ප්‍රමාණයෙන් එකිනෙකට වෙනස්. මෙම වෙනස තමයි කුරුල්ලෙකුට පියාසර කිරීමට උපකාර කරන්නේ. ඔබ පිහාටුවක් අරන් බැලුවොත් නාරටියේ යටි පැත්තේ මුල සිට අග දක්වා ඇතුළට නැවුණු දාරයක් තිබෙනවා ඔබට පෙනෙයි. මෙයාකාරයට නාරටිය පිහිටා තිබෙන නිසයි එය ශක්තිමත්ව පවතින්නේ.
විවිධ පිහාටු වර්ග
කුරුල්ලන්ගේ සමෝච්ඡ පිහාටු අතර විශේෂිත වූ පිහාටු වර්ග දෙකක් තිබෙනවා. ඉන් එකක් හඳුන්වන්නේ කෙඳි පිහාටු කියලයි.
හුඟාක් කුරුල්ලන්ගේ මෙම පිහාටු හීනියි, දිගයි. මේ පිහාටුවල හුඟක් ස්නායු තිබෙනවා. මේවා ඉතාමත් සංවේදියි. අනික් පිහාටුවල යම් සකස් කිරීමක් කිරීමට අවශ්‍ය වේ නම් ඒ බව දැනුම් දෙන්නේ මෙම පිහාටුයි. අනික් පිහාටු වර්ගය හඳුන්වන්නේ පුළුන් පිහාටු කියලයි. මේ පිහාටු නම් කාලෙන් කාලෙට හැළෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒවා සිහින් කුඩක් බවට පත් වී අනික් පිහාටුවල මතුපිට තැවරෙනවා. මේ කුඩ නිසා කුරුල්ලන්ගේ පිහාටුවල වතුර රැඳෙන්නේ නැහැ.පිහාටුවලින් කුරුල්ලන්ට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. අධික රස්නෙන්, සීතලෙන් හා අහිතකර කිරණවලින් උන්ව ආරක්ෂා කරන්නේ පිහාටුයි. අධික සීතල ප්‍රදේශයක වුණත් කුරුල්ලන් හොඳින් ජීවත් වෙනවා. ඒ කොහොමද? සමෝච්ඡ පිහාටුවලට යටින් තූල පිහාටු ලෙස හඳුන්වන සිනිඳු පිහාටු තට්ටුවක් තිබීමයි එයට හේතුව. මෙම තූල පිහාටු, මිනිසුන් සීතලට ඔරොත්තු දීම සඳහා සාදන ඕනෑම ඇඳුමකට වඩා ගුණයෙන් ඉහළයි.
කාලෙන් කාලෙට බොහෝ කුරුල්ලන්ගේ තටුවල ඇති පිහාටු හා වලිග පිහාටු ශරීරයෙන් ඉවත් වී අලුත් ඒවා වැඩෙනවා. මේ ක්‍රියාවලිය සිදු වෙන්නේ උන්ට ඉගිලීමට කිසිම බාධාවක් ඇති නොවෙන විදිහට ක්‍රමානුකූලවයි.
‘අංග සම්පූර්ණ සැකැස්මක්’
ගුවන් යානයක් ආරක්ෂිතව පියාසර කරන්න පුළුවන් වෙන්නේ එය ඉංජිනේරුවෙකු විසින් දක්ෂ ලෙස නිමවා තිබෙන නිසයි. නමුත් කුරුල්ලන්ට පියාඹන්න පුළුවන් විදිහට උන්ගේ පිහාටු නිර්මාණය වුණේ කොහොමද? ඒ ගැන පරිණාමවාදීන් අතර ලොකු විවාදයක් ඇති වු බව එක් සඟරාවක සඳහන් වුණා. පිහාටුවල ආරම්භය කෙසේ සිදු වුණාද කියා ඔප්පු කිරීමට ප්‍රමාණවත් ෆොසිල වාර්තා ඔවුන්ට තිබුණේ නැහැ. කෙසේවෙතත් පිහාටු ඇතිවීම පිළිබඳව සාකච්ඡා කිරීමට එක් ජීව විද්‍යාඥයෙක් රැස්වීමක් සූදානම් කළා. ඒ සාකච්ඡාව අතරතුරේදී ඇති වූ උණුසුම් වාතාවරණය ගැන ඔහු විස්තර කළේ මෙසේයි. “විද්‍යාව හා සම්බන්ධ කිසිම විෂයක් මේ වගේ පහත් හැසිරීමකට තුඩු දෙයි කියලා නම් මම කවදාවත් හිතුවේ නැහැ.” ඇත්තටම පිහාටු ඇතිවීම ගැන ඔවුන්ට පැහැදිලි සාක්ෂි තිබුණා නම් මේ ගැන මේ විදිහට වාද කරන්න කිසිම අවශ්‍යතාවක් නැහැ.—එම සඟරාව Science News.
කුරුල්ලන් පිළිබඳව සඳහන් එක් පොතක පවසන්නේ “පිහාටුවක සැකැස්ම අංග සම්පූර්ණයි” කියායි. නමුත් පරිණාමවාදීන් තර්ක කරන්නේ, සතෙකුගේ සම ටිකෙන් ටික වෙනස්කම්වලට භාජන වී එහි අවසාන ප්‍රතිඵලය ලෙස පිහාටු ඇති වුණා කියලයි. නමුත් ලැබී තිබෙන පැරණිම පිහාටු ෆොසිලය හා අද තිබෙන පිහාටු අතර කිසිම වෙනසක් * ‘සමක් පිහාටුවක් දක්වා වෙනස් වූ ආකාරය දක්වන අතරමැදි අවස්ථා පෙන්නුම් කරන සාක්ෂිද නැහැ.’—එම පොත Manual of Ornithology—Avian Structure and Function.
නැහැ.පරිණාමවාදයේ සිද්ධාන්තවලට අනුව නම් පිහාටුවක් ඇති වී තිබෙන්නේ සතෙකුගේ සම ටිකෙන් ටික වෙනස්කම්වලට භාජන වීමෙනුයි. එසේනම් මෙම වෙනස්කම්වලට භාජන වූ අතරමැදි අවස්ථාවන් පෙන්නුම් කරන පිහාටු තිබිය යුතුයි. ඒත් ඒවා අංග සම්පූර්ණ පිහාටු විය නොහැකියි. එමනිසා බොහෝ පරිණාමවාදීන්ට ප්‍රශ්නයක් වී තිබෙන්නේ මෙතරම් සංකීර්ණ පිහාටුවක් ඇති වුණේ කොහොමද කියලයි.
පෙර සඳහන් කළ ආකාරයට සමක් පිහාටුවක් දක්වා පරිණාමය වීම ගැන දක්වන ෆොසිල සාක්ෂි තිබෙනවාද? නැහැ. ඒ වෙනුවට තිබෙන එකම සාක්ෂිය වන්නේ අංග සම්පූර්ණ පිහාටුවයි. කලින් සඳහන් කළ පොතේ පෙන්නුම් කරන්නේ මෙසේයි. ‘පිහාටුවක සැකැස්ම හරිම සංකීර්ණයි. එමනිසා එය කිසිවිටෙකත් අහඹු සිදුවීමකින් ඇති වුණා කියා පැවසිය නොහැකියි.’
පියාසර කරන්න උදව් කරන්නේ පිහාටු විතරද?
කුරුල්ලන්ගේ ශරීරයේ සියලුම කොටස් සැකසී තිබෙන්නේ පියාසර කිරීමට හැකි වෙන ආකාරයටයි. උදාහරණයකට උන්ගේ අස්ථි සැහැල්ලුවට සැකසී තිබෙන අතර ශ්වසන පද්ධතියත් කදිමෙට සැකසී තිබෙනවා. එමෙන්ම උන්ගේ තටු හා පිහාටු නිසියාකාරයෙන් හැසිරවීමට උපකාර වෙන විශේෂ මාංස පේශීන් තිබෙන අතර එක් පිහාටුවක් ක්‍රියාත්මක කිරීමට බොහෝ මාංස පේශීන් ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. සෑම මාංස පේශියකම තිබෙන ස්නායු කුරුල්ලාගේ මොළයට සම්බන්ධ වී තිබෙනවා. මේ සෑම අංගයක්ම උගේ පිහාටුවල සැකැස්මට පමණක් නොව පියාසර කිරීමටත් ඌට උපකාර වෙනවා.
සෑම කුරුල්ලෙකුගේම බිහිවීම ආරම්භ වන්නේ ඉතාම කුඩා සෛලයකින්. ඒ සෛලය තුළ උගේ වර්ධනය සිදු විය යුතු ආකාරය ගැනත් ඉගිලෙන ආකාරය ගැනත් සියලුම තොරතුරු අන්තර්ගතයි. ඒත් පරිණාමවාදීන් පෙන්නුම් කරන විදිහට මේ සියල්ලම අහඹු සිදුවීමක ප්‍රතිඵලයක් කියා පැවසිය හැකිද? එසේත් නැත්නම් කුරුල්ලන් හා උන්ගේ පිහාටුවලින් අපට කියාපාන්නේ මේවා නිර්මාණය කිරීමට ප්‍රඥාවන්ත නිර්මාණකරුවෙක් සිටි බවද?—රෝම 1:20.
[පාදසටහන]
^ 12 ඡේ. මෙම ෆොසිලය ඈත අතීතයේ ජීවත් වූ පක්ෂියෙකුගේ පිහාටුවක්. (archaeopteryx) සමහරු පවසන්නේ මේ පක්ෂියා බිහි වුණේ උරග ගනයේ සත්වයෙකු පරිණාමය වෙලා කියායි. කෙසේනමුත් ප්‍රවීණයන් වැඩිදෙනෙකුගේ අදහස වන්නේ එම පක්ෂියා අද සැරිසරන පක්ෂීන්ගෙන් පැවතෙන්නෙකු නොවන බවයි.
[24වන පිටුවේ කොටුව/පින්තූරය]
අසත්‍ය “සාක්ෂියක්”
කුරුල්ලන් බිහි වුණේ උරග ගනයේ සතෙක් පරිණාමය වෙලා කියන මතය සනාථ කිරීමට සොයාගෙන තිබූ ෆොසිල “සාක්ෂිය” ව්‍යාජ එකක් බව ඔප්පු වුණා. වර්ෂ 1999 එක් සඟරාවක පෙන්නුම් කළේ එම ෆොසිලය, පිහාටු හා වලිගයක් තිබෙන ඩයිනෝසරයෙකු වැනි සතෙකුගේ කියලයි. (එම සඟරාව National Geographic) එහි පෙන්නුම් කරන්නේ “එය ඩයිනෝසරයෙක් කුරුල්ලෙක් දක්වා පරිණාමය වීමේ අතරමැදි පුරුකක්” බවයි. කොහොමනමුත් එම ෆොසිලය සත්වයන් දෙදෙනකුගේ ෆොසිල එක්කොට නිර්මාණය කරන ලද ව්‍යාජ ෆොසිලයක් බව අනාවරණය වුණා. ඇත්තෙන්ම සතෙකුගෙන් පරිණාමය වී ඇති බව සනාථ කිරීමට උපකාර කරන “අතරමැදි පුරුක්” කිසිවක් අද වන තුරු සොයාගෙන නැහැ.
[හිමිකම් විස්තර]
O. Louis Mazzatenta/National Geographic Image Collection
[25වන පිටුවේ කොටුව]
කිරණ දකින පුදුම ඇස්
වෛවර්ණ පිහාටු මිනිස් නෙත් වසඟ කරන බව නොකිවමනාය. නමුත් කුරුලු ඇසට මෙම පිහාටු ඉටු කරන්නේ වෙනත් විශේෂ කාර්යයක්. සමහර කුරුල්ලන්ගේ ඇස්වල වර්ණ හඳුනාගැනීම සඳහා කේතු හැඩයේ සෛල හතරක් තිබෙනවා. නමුත් මිනිසුන්ගේ ඇස්වල තිබෙන්නේ එවැනි සෛල තුනක් පමණයි. එම අමතර සෛලය මගින් මිනිසුන්ට දැකිය නොහැකි පාරජම්බුල කිරණ කුරුල්ලන්ට දැකගත හැකියි. මෙම කිරණ කිරිල්ලිගේ හා කුරුල්ලාගේ වෛවර්ණ පිහාටුවලින් පරාවර්තනය වන්නේ වෙනස් ආකාරවලිනුයි. එම වෙනස නිසා කුරුල්ලන්ට තවත් කුරුල්ලෙක් දුටු විට ඒ කිරිල්ලියෙක්ද කුරුල්ලෙක්ද කියා පැහැදිලිව හඳුනාගන්න පුළුවන්.
[23වන පිටුවේ රූප සටහන]
(මුද්‍රිත පිටපත බලන්න)
පිච්ඡිකා
පිච්ඡිකාංග
නාරටිය
[24වන පිටුවේ පින්තූරය]
සමෝච්ඡ පිහාටු
[24වන පිටුවේ පින්තූරය]
කෙඳි පිහාටු
[25වන පිටුවේ පින්තූරය]
පුළුන් පිහාටු
[25වන පිටුවේ පින්තූරය]
තූල පිහාටු
[25වන පිටුවේ පින්තූරය]
ලොකු මුහුදුළිහිණියා