Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

▪ “ඇමරිකාවේ මාරාන්තික රිය අනතුරුවලට එක් හේතුවක් වන්නේ බීමත්ව රිය පැදවීමයි” කියා ප්‍රවාහණ සංගමයක ලේකම්වරියක් පැවසුවා. වර්ෂ 2005දී ඇමරිකාවේ සිදු වූ හදිසි අනතුරුවලින් සියයට 39කටම හේතු වී තිබෙන්නේ බීමත්ව රිය පැදවීමයි.—එක්සත් ජනපදයේ ප්‍රවාහණ දෙපාර්තමේන්තුව.

▪ “ඉවත ලන ප්ලාස්ටික් නිසා සාගර අපවිත්‍ර වී ඇත. සෑම වර්ග කිලෝමීටරයකම ඉවත දමන ලද ප්ලාස්ටික් කැබලි 18,000කටත් වඩා පාවෙමින් තිබෙනවා.”—එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන.

▪ “වර්ෂයකට ඇමරිකානුවන් කාර්යාල වේලාවේදී පරිගණක ක්‍රීඩාවල යෙදීමට පැය මිලියන 500ක් වැය කරනවා. මේ හේතුවෙන් එම කාර්යාලවලට ඩොලර් බිලියන 10ක පාඩුවක් සිදු වෙනවා. පෞද්ගලික වැඩකටයුතු සඳහා වෙබ් අඩවි භාවිත කරන කාලය” මෙයට ඇතුළත් කර නැහැ.—MANAGEMENT-ISSUES WEB SITE.

සැහැසියාවට ගොදුරු වන දරුවන්

ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරන ආකාරයට “සෑම දිනකම සැහැසියාවට ලක්වීම බොහෝ දරුවන්ගේ ජීවිතවල කොටසක් වෙලා.” එක්සත් ජාතීන්ගේ මහ ලේකම් මෑතකදී පළ කළ වාර්තාවකට අනුව “වර්ෂ 2002දී ලොව පුරා ළමුන් 53,000ක් පමණ ඝාතනයට ලක් වී තිබෙනවා.” ඊට අමතරව මිලියන ගණන් ළමුන්ව ගණිකා වෘත්තිය හා කාමුක දේවල්වලට යොදාගන්නවා. මෙවන් කුරිරු ක්‍රියාවලින් දරුවන්ව ආරක්ෂා කරගන්නේ කොහොමද? එම වාර්තාවේ සඳහන් කරන්නේ “සැලකිලිමත් දෙමාපියන් සිටීමත්, දෙමාපියන් හා දරුවන් අතර ශක්තිමත් බැඳීමක් තිබීමත් මෙයට උපකාරයක් වන බවයි. එමෙන්ම දරුවන්ට හිංසා වන ආකාරයෙන් දඬුවම් නොකර ඔවුන්ව හික්මවීමත් වැදගත් වෙනවා.”

ආයු වැඩි කරන යාළුවන්

එක් වාර්තාවකට අනුව හොඳ යාළුවන් සිටීම ආයුෂ වැඩි කිරීමට උපකාරයක්. ඕස්ට්‍රේලියාවේ 70 විය ඉක්මවූ 1,500දෙනෙකුව පමණ අවුරුදු දහයකට වඩා වැඩි කාලයක් පුරා අධ්‍යයනයකට භාජන කළා. එහිදී පෙනී ගියේ කිට්ටු යාළුවන් හුඟක් සිටින අයගේ මරණ අනුපාතය යාළුවන් අඩුවෙන් සිටි අයට වඩා සියයට 22කින් අඩු බවයි. තවදුරටත් එහි පවසන්නේ ‘හොඳ යාළුවන් සිටින කෙනෙකුට මානසික පීඩනය අඩුයි. තමුන් ගැන ආත්ම විශ්වාසයක් ගොඩනඟා ගන්නත්, ජීවිතයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්නත් පුළුවන්’ බවයි.—එම වාර්තාව Journal of Epidemiology and Community Health.

බ්‍රිතාන්‍ය වැසියන් ණය බරින්

කෙනෙක් සාමාන්‍යයෙන් බැංකු ගිණුමේ තිබෙන මුදලට වඩා වැඩි මුදලක් ගන්නේ හදිසි අවස්ථාවකදීයි. නමුත් බ්‍රිතාන්‍ය වැසියන්ට නම් මෙය සාමාන්‍ය දෙයක් වී තිබෙන අතර ඔවුන්ගෙන් මිලියන 3.5කටම මෙය පුරුද්දක් වෙලා. එහි එක් පුවත්පතකට අනුව “එහි වැඩිහිටියන් තුනෙන් එකකට වැඩි පිරිසක් රඳා සිටින්නේ බැංකුවෙන් ගන්නා අමතර මුදල මතයි.” (එම පුවත්පත The Daily Telegraph) මුදල් ගැටලු ගැන ජනයාට උපදෙස් සපයන සරණ සේවා ආයතනයක ප්‍රධාන විධායක නිලධාරියා මෙසේ පැවසුවා. “අපි වැඩිදෙනෙක් හම්බ කරන මුදලට වඩා වැඩි මුදලක් වියදම් කරනවා. මේ විදිහට ජීවත් වෙන මිලියන ගණන්දෙනෙකුගේ අවසානය කුමක් වෙයිද කියලා අපිට හරියටම කියන්න බැහැ. ඥානවන්තව මුදල් පරිහරණය කිරීම ගැන අපිට හරි මඟ පෙන්වීම් ලැබිලා නැහැ.”

[22වන පිටුවේ කොටුව]

රාත්‍රි කාලයේ ගුවන් ගමන්

ජෙට් යානාවලින් පිට වන දුම් නිසා වායු ගෝලයේ උෂ්ණත්වය වෙනස් වන බව සයන්ටිෆික් ඇමරිකන් නම් සඟරාව පවසයි. දිවා කාලයේදී එම දුම් මත පතිත වන සූර්යාලෝකය යළි පරාවර්තනය වන නිසා දිවා කාලයේදී ඒ අවට වායු ගෝලය සිසිල් වෙයි. නමුත් රාත්‍රි කාලයේ ඇති වෙන භූ-විකිරණයට එම දුම් බාධකයක් වන නිසා, රාත්‍රි කාලයේදී වායු ගෝලය උණුසුම් වෙයි. “රාත්‍රි කාලයේ සිදු වන්නේ ගුවන් ගමන්වලින් සියයට 25ක් වුණත්, උණුසුම් දේශගුණයෙන් සියයට 60ත් 80ත් අතර ප්‍රමාණයකට හේතු වන්නේ, එම කාලය තුළ ජෙට් යානාවලින් පිට වන දුම් බව” එංගලන්තයේ පර්යේෂකයන් සොයාගෙන තිබෙනවා කියාත් එම සඟරාවේ සඳහන් වෙනවා.