Skip to content

පටුනට යන්න

දෙවිගේ මඟ පෙන්වීම් ‘සැබෑ ජීවිතයට’

දෙවිගේ මඟ පෙන්වීම් ‘සැබෑ ජීවිතයට’

දෙවිගේ මඟ පෙන්වීම් ‘සැබෑ ජීවිතයට’

මඟ පෙන්වන්නෙකුගෙන් අප බලාපොරොත්තු වන්නේ විශ්වාසවන්තභාවයයි. බයිබලයේ කර්තෘ වන යෙහෝවා දෙවි “බොරු කීමට නොහැකි” දෙවි කෙනෙක්. එමනිසා ඔහු ගැන දන්නා අයට ඔහුගේ විශ්වාසවන්තභාවය ගැන කිසිම සැකයක් නැහැ. (තීතස් 1:2; 2 තිමෝති 3:16) දෙවි පොරොන්දු වූ දේශයට ඊශ්‍රායෙල්වරුන්ව රැගෙන ගිය දෙවිගේ සේවකයෙකු වූ යෝෂුවා පෞද්ගලිකව දෙවිගේ විශ්වාසවන්තභාවය අද්දුටුවා. ඔහු එය විස්තර කළේ මෙසේයි. “මම මුළු පොළොවේ සියල්ලන් යන මාර්ගයේ අද යමි. ඔබගේ දෙවි වූ යෙහෝවා ඔබ ගැන කී සියලු යහපත් දේවලින් එක් දෙයක්වත් නිෂ්ඵල නොවූ බව ඔබ සියල්ලෝ මුළු හෘදයෙන්ද ආත්මයෙන්ද දන්නහුය. ඒ සියල්ල ඔබට සිද්ධ විය. එයින් එකක්වත් නිෂ්ඵල නොවීය.”—යෝෂුවා 23:14.

යෝෂුවාගේ කාලයේ පටන් බයිබලයේ සඳහන් බොහෝ අනාවැකි ඉටු වෙමින් පවතිනවා. ඒ පිළිබඳ වාර්තා, අනාගතයේදී ඉටුවීමට ඇති වෙනත් අනාවැකි කෙරෙහි ස්ථිර විශ්වාසයක් තැබීමට පදනමක් සපයනවා. පොළොව සහ කීකරු මිනිස් වර්ගයා වෙනුවෙන් දෙවි කිරීමට අරමුණු කර තිබෙන දේවල් මෙම අනාවැකිවලට ඇතුළත්.

ඉන් ලැබෙන ආශීර්වාද!

ප්‍රේමය පෙන්වීමේ උතුම්ම ආදර්ශකයා වන යෙහෝවා දෙවි කැමති අපි දැනුත් සදහටමත් සන්තෝෂයෙන් ජීවත් වෙනවා දැකීමටයි. (යොහන් 17:3; 1 යොහන් 4:8) ඒ වගේම අපි “සැබෑ ජීවිතය” එනම් සදාකාල ජීවනය අත් කරගන්නවා දැකීමත් ඔහුගේ ආශාවයි. (1 තිමෝති 6:12, 19) මේ නිසා අද දින සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මිලියන හයකට වඩා වැඩි සංඛ්‍යාවක් ඔහුගේ අණට කීකරු වීමක් හැටියට සතුටින් ‘රාජ්‍යයේ ශුභාරංචිය’ සියලු ජනයා සමඟ බෙදාගන්නවා. (මතෙව් 24:14) මේ වෙද්දී ඔවුන් ලොව වටා රටවල් 235ක පමණ මේ කාර්යයෙහි කඩිසරව නියැලෙනවා!

දෙවිගේ රාජ්‍යය තිබෙන්නේ ස්වර්ගයේයි. එහි රජ වන්නේ යේසුස් ක්‍රිස්තුස්. (දානියෙල් 7:13, 14; එළිදරව් 11:15) දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව ජීවත් නොවන අයව මෙම රාජ්‍යය මගින් විනාශ කරන්න යනවා. (ගීතාවලිය 37:10; 92:7) ඉන්පසු “ජලයෙන් මුහුද පිරී තිබෙන්නාක් මෙන් යෙහෝවා ගැන දැනගැන්මෙන් පොළොව පිරෙන්නේය” කියා බයිබලය අපට සහතික කරනවා.—යෙසායා 11:9.

දෙවිගේ ප්‍රේමණීය මඟ පෙන්වීම් හා ධර්මිෂ්ඨ ප්‍රමිති පිළිපදිමින් “ආත්මයෙන්ද සත්‍යතාවෙන්ද” දෙවිට නමස්කාර කරන්නන්ගෙන් මේ පොළොව පිරී යන විට මොන තරම් සාමයක් හා සමඟියක් තිබෙනු ඇද්දැයි සිතා බලන්න. (යොහන් 4:24) අන්තිමේදී මිනිසුන් භුක්ති විඳින්න යන්නේ දෙවි පොරොන්දු වූ ඒ ‘සැබෑ ජීවිතයයි!’

දෙවිගේ මඟ පෙන්වීම්වලට එකඟව ජීවත් වී ඔහු පොරොන්දු කර ඇති සැබෑ ජීවිතය අත් කරගන්නේ සුළු පිරිසක් බවයි බයිබලයේ පවසන්නේ. (මතෙව් 7:13, 14) ඔබත් ඒ පිරිසට එක්වීමට කැමතිද? එසේනම් බයිබලයේ සඳහන් සත්‍යය ඉගෙනගන්න කියා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔබටත් ඇරයුම් කරනවා. දෙවිගේ මඟ පෙන්වීම් අනුගමනය කිරීමෙන් යෙහෝවා දෙවි කොතරම් යහපත් කෙනෙක්ද කියා “රස බලා” දැනගැනීමට ඔබට හැකි වෙයි. (ගීතාවලිය 34:8) කුරුල්ලන්ගේ සහජ හැකියාව උන්ගේ ගමනාන්තය දක්වා උන්ව ගෙන ගියත් යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් අනුගමනය කරන අයගේ ගමනාන්තය වන්නේ පාරාදීස පොළොවයි.—ලූක් 23:43.

[8, 9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“මෘදු ගුණැති අය සන්තෝෂවත්ය. මන්ද ඔවුන්ට පොළොව උරුම වන්නේය.”—මතෙව් 5:5

“මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුම කරගන්නෝය. ඔවුහු මහත් සමාදානයෙන් ප්‍රීති වන්නෝය.”—ගීතාවලිය 37:11

“දෙවිගේ කූඩාරම මිනිසා සමඟය. . . . ඔහු ඔවුන්ගේ ඇස්වලින් සෑම කඳුළක්ම පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය.”—එළිදරව් 21:3, 4

“ඇද නැති අය දේශයේ වසන්නෝය. ගුණයෙන් සම්පූර්ණ අයද එහි නැවතී සිටින්නෝය. එහෙත් දුෂ්ටයෝ දේශයෙන් සිඳ දමනු ලබන්නෝය. ද්‍රෝහි ලෙස ක්‍රියා කරන්නෝද උදුරනු ලබන්නෝය.”—හිතෝපදේශ 2:21, 22