Skip to content

පටුනට යන්න

පැන්සලේ සුල මුල

පැන්සලේ සුල මුල

පැන්සලේ සුල මුල

බ්‍රිතාන්‍යයේ පිබිදෙව්! ලේඛක විසින්

ලොව පුරා කොහේ බැලුවත් පැන්සලක් භාවිත නොකරන පුද්ගලයෙක් නැති තරම්. ඒත් ඇයි මේ තරම් පැන්සල ජනප්‍රිය? පැන්සල කියන්නේ පසුම්බියටත් පහසු, බරත් නැති, සාක්කුවේ වුණත් දාගෙන යන්න පුළුවන් දෙයක්. ඒකෙන් තීන්ත ගෑවෙන්නෙත් නැහැ, ලියූ දෙයක් මකන්නත් පුළුවන්. කුඩා දරුවන්ට සිප්සතර හදාරන්න, චිත්‍ර ශිල්පීන්ට සිත්තම් මවන්න මේ තෙලිතුඩ කරන්නේ ලොකු මෙහෙවරක්. එංගලන්තයෙන් බිහි වූ පැන්සලේ සුල මුල ගැන අපි දැන් කතා කරමු.

කලු පස් තට්ටුවක්

දහසයවන සියවසේදී උතුරු එංගලන්තයේ බරෝඩෙයිල් නම් කඳුකර ප්‍රදේශයෙන් මිනිසුන් පොළොව යට තිබුණ කලු පැහැති විශාල පස් තට්ටුවක් සොයාගත්තා. ඒවා ගල්අඟුරු මෙන් පෙනුණත් පිලිස්සූ විට පිලිස්සුණේ නැහැ. ඒවා ලිවීමට භාවිත කළ හැකි බවත් ඒවායින් ලියන දේවල් මකා දමන්න පුළුවන් බවත් ඔවුන් දැනගත්තා. ඔවුන් මේවා ලිවීම සඳහා භාවිත කරන විට එහි ඇති ලිස්සනසුලු ස්වභාවය නිසා බැටළු සම් කැබැල්ලක් හෝ කම්බි කැබැල්ලක් ඒ වටා ඔතාගත්තා. කෙසේවෙතත් පසු කාලෙකදී මේ ද්‍රව්‍යය ලී කූරක මැදට දමා භාවිත කළා. නමුත් මෙසේ කිරීමට සිතුවේ කවුද කියා කිසිවෙක් දන්නේ නැහැ. ඒ කොහොමවුණත් 1560 ගණන් වෙද්දී යුරෝපය පුරාම පැන්සල් භාවිතය ව්‍යාප්ත වී තිබුණා.

දාහත්වන සියවසේදී බොහෝ චිත්‍ර ශිල්පීන් ඔවුන්ගේ නිර්මාණයන් සඳහා මේවා භාවිත කරමින් සිටියා. මෙම ද්‍රව්‍යය එංගලන්තයේ සිට වෙනත් රටවලටත් අපනයනය කරන්න පටන්ගත්තා. කොහොමනමුත් මේ අතරතුරේදී සොරුන් මේවා මංකොල්ල කමින් කලුකඩ වෙළෙඳුන්ට විකුණනු ලැබුවා. මේ නිසා 1752දී බ්‍රිතාන්‍ය රජය විසින් මෙම ද්‍රව්‍යය මංකොල්ල කන්නන්ට විරුද්ධව දැඩි නීතියක් පැනවූ අතර එයට ලැබුණ දඬුවම වුණේ සිරභාරයට ගැනීමයි. මේ කාලයෙදීම වගේ පැන්සල් නිපදවන්නන් විසින් පැන්සල් නිපදවීම සඳහා දියුණු ක්‍රම සොයාගැනීමට උත්සාහ කළා.

වර්ෂ 1779දී කර්ල් ඩබ්ලිව් ෂයිල නමැති ස්වීඩන් ජාතික විද්‍යාඥයා මෙම කලු පැහැති ද්‍රව්‍යය සියුම් කාබන් වර්ගයක් බව හඳුනාගත්තා. ග්‍රීක භාෂාවෙන් “ලිවීම සඳහා” යන අර්ථය ඇති ග්‍රැෆයිට් ලෙස එය නම් කළා. ඒවා සිංහල භාෂාවෙන් හඳුන්වන්නේ මිනිරන් කියලයි.

දිනෙන් දින දියුණු වූ පැන්සල!

එංගලන්තයෙන් සොයාගත් මිනිරන්, පැන්සල් සෑදීමට වඩාත් යෝග්‍ය වුණා. යුරෝපයෙන් සොයාගත් මිනිරන් එතරම් උසස් තත්වයේ නොතිබුණ නිසා පැන්සල් සෑදීමට භාවිත කිරීම සඳහා ඒවා යොදාගත හැකි වෙනත් ක්‍රමයක් ඔවුන් සොයාගත්තා. මෙම ක්‍රමය සොයාගත් ප්‍රංශ ඉන්ජිනේරුවෙකු වූ නිකොලොස් ජැක් කොන්ටේ, මුලින්ම මිනිරන් කුඩු විශේෂ මැටි වර්ගයක් සමඟ මිශ්‍ර කළා. ඊළඟට මේ මිශ්‍රණයෙන් කූරු සාදා පෝරණුවක ආධාරයෙන් පුළුස්සාගත්තා. මේ ආකාරයට මිශ්‍රණය වෙනස් කරමින් පැන්සලේ මිනිරන් කූරේ වර්ණය, තද හා ලා පැහැයට වෙනස් කරගැනීමට ඔහුට හැකි වුණා. අදටත් මේ ක්‍රමය භාවිත වෙනවා. වර්ෂ 1795දී, ඔහු පැන්සල් සෑදීමේ මෙම ක්‍රමය නීතිමය ලෙස ලියාපදිංචි කළා.

දහනවවන සියවස වන විට පැන්සල් කර්මාන්තය තවත් දියුණු වුණා. ඒ වගේම සයිබීරියාව හා ජර්මනිය වැනි රටවලත් මිනිරන් නිධි සොයාගත්තා. එක්සත් ජනපදයේ සහ ජර්මනියේ පවා යන්ත්‍ර සූත්‍ර භාවිත කරමින් පැන්සල් නිපදවන කර්මාන්ත ශාලා බිහි වෙන්න පටන්ගත්තා. නිෂ්පාදන වේගය වැඩිවීමත් සමඟම පැන්සලේ මිලත් හුඟක් අඩු වුණා. විසිවන සියවසේදී පාසැල් ළමුන් පවා සිප්සතර හැදෑරීමට මේ පැන්සල් භාවිත කළා.

අලුත් මුහුණුවරක්

සෑම වසරකම බිලියන ගණනින් පැන්සල් නිපදවනවා. මෙය ලිවීමට හා ඇඳීමට භාවිත කරන කදිම මෙවලමක්. ලීයෙන් ආවරණය වූ සාමාන්‍ය ප්‍රමාණයේ පැන්සලකින් කිලෝමීටර් 56ක් දිග ඉරක් සහ වචන 45,000ක් පමණ ලිවිය හැකියි. ඒ වගේම විවිධ ආකාරයේ පැන්සල් වර්ගත් තිබෙනවා. සමහර පැන්සල් ආවරණය කිරීමට ප්ලාස්ටික් හෝ වෙනත් ලෝහ වර්ගත් යොදාගන්නවා. එමෙන්ම තුඩ මාරු කළ හැකි පැන්සල් වර්ගද අපට දැකගන්න පුළුවන්. මිනිරන් භාවිත නොකර පාට යොදාගනිමින් නිෂ්පාදනය කරන පාට පැන්සල්ද මේ අතරට එක් වෙනවා.

නිවසටත් කාර්යාලයටත් එක සේ ප්‍රයෝජනවත් මේ පුංචි පැන්සල නැති වී යන බවට ලකුණක් පෙනෙන තෙක් මානයේ නැහැ. ඒ නිසා තව වසර ගණනාවක් ගත වුණත් නිවසේදී හෝ කාර්යාලයේදී කෙනෙක් මෙසේ අසාවි “පැන්සලක් තියෙනවාද?”

[13වන පිටුවේ කොටුව]

පැන්සල් හදන්නේ මෙහෙමයි!

මුලින්ම කරන්නේ මිනිරන් කුඩු සහ විශේෂිත මැටි වර්ගයක් ජලය සමඟ මිශ්‍ර කරගැනීමයි. පසුව මෙම මිශ්‍රණය හීනි බට තුළින් යැවීමෙන් දිග මිනිරන් කූරු සාදාගන්නවා. සාදාගත් මෙම කූරු වියළා කොටස්වලට කපා උඳුනක ආධාරයෙන් පුළුස්සා, උණු තෙල් සහ ඉටිවල ගිල්වනවා. මිනිරන් කූරු ආවරණය කිරීමට සාමාන්‍යයෙන් භාවිත කරන්නේ දේවදාර ලීයයි. මෙම ලී භාවිත කරන්නේ ඒවා එතරම් ශක්තිමත් නැති, උල් කරගැනීමට පහසු ලී නිසයි. දිග කූරු හැඩයට කපාගන්නා මෙම ලී, දෙකට පලා ඒ මැද සිහින් දිග දාරයක් හාරාගන්නවා. ඉන්පසු ඒ මත මිනිරන් කූර තබා පසුව ලී පළු දෙක අලවාගන්නවා. මේවා පැන්සල් ආකාරයට කපාගන්න නිශ්චිත දිග ප්‍රමාණයක් තිබෙනවා. කපාගත් පැන්සල්වලට හැඩ වැඩ දමා අලංකාර කිරීමත්, නිශ්පාදිත ආයතනයේ ලාංඡනය දැමීමත් ඊළඟ පියවරයි. අවසානයේදී සමහර පැන්සල්වල අගට මකනයක්ද සවි කරනු ලබනවා.

[හිමිකම් විස්තර]

Faber-Castell AG

[14වන පිටුවේ කොටුව/පින්තූරය]

වෙනස හඳුනගන්නේ කොහොමද?

ඔබ දැක ඇති සමහර පැන්සල්වල ඉංග්‍රීසි අකුරු කිහිපයක් හා අංක කිහිපයක් සටහන් කර තිබෙනවා. මේ සංකේතවලින් පෙන්නුම් කරන්නේ ඒ පැන්සලෙන් ලියන අකුරු තද පාටද (මිනිරන් වැඩිද) ලා පාටද (මිනිරන් අඩුද) කියන එකයි.

පොදුවේ භාවිත වෙන්නේ HB යන සංකේතයෙන් යුත් පැන්සල් වර්ගයි.

අංකයකට පසු B අකුර යොදා ඇත්තේ එය නිපදවීමට මිනිරන් වැඩියෙන් භාවිත කර ඇති බව හා ඉන් තද පාටින් ලිවිය හැකි බව පෙන්වීමටයි. පැන්සලක් 2B ලෙස නම් කර ඇත්නම් එයින් තද පාටින් ලිවිය හැකි බවද, 6B ලෙස නම් කර ඇත්නම් එයින් ඊටත් වඩා තද පාටට ලිවිය හැකි බවද පෙන්නුම් කරනවා.

පැන්සලේ H යන සලකුණ දමා ඇත්තේ එයට මිනිරන් අඩුවෙන් යොදා ඇති බව පෙන්වීමටයි. ඉන් ලියැවෙන වර්ණය අලු පැහැයෙන් යුක්තයි. ඒ වගේම 2H, 4H, 6H ලෙසින් අගය වැඩි වෙන විට ඒවායෙහි වර්ණය අඩු වෙනවා.

පැන්සලේ තුඩ හීනි නම් එහි යොදා ඇත්තේ F ලකුණයි.