“යහපත් කෙනෙක්” වුණොත් ඇද්ද?
බයිබලයෙන් පිළිතුරක්
“යහපත් කෙනෙක්” වුණොත් ඇද්ද?
“පුළුවන් තරම් යහපත් විදිහට ජීවත් වෙන්නයි මම උත්සාහ කරන්නේ” කියා ඇලසන් නම් කාන්තාව පැවසුවා. ඇය මෙන් බොහෝදෙනෙක් හිතන්නේ යහපත් ජීවිතයක් ගත කිරීම පමණක් දෙවි මිනිසුන්ගෙන් බලාපොරොත්තු වන බවයි.
තවත් සමහර අය හිතන්නේ අපි යහපත් ජීවිතයක් ගත කරනවා නම්, අපි කරන ඕනෑම වරදක් දෙවි එතරම් සැලකිල්ලට ගන්නේ නැහැ කියලයි. ඒ වගේම දෙවි දඬුවම් කිරීමට නොව නිතරම සමාව දීමට සූදානමින් සිටිනවා කියාත් ඔවුන් විශ්වාස කරනවා.
“යහපත් කෙනෙක්” වීම ගැන පුද්ගලයාගෙන් පුද්ගලයාට තිබෙන අදහස් වෙනස්. ඒත් බයිබලයේ ඒ ගැන කියන්නේ කුමක්ද? දෙවිගේ අනුමැතිය දිනාගැනීමට අප කළ යුත්තේ කුමක්ද? දෙවි යහපත් පුද්ගලයෙක් කියා පිළිගන්නේ කොයි වගේ කෙනෙකුවද?
දෙවිගේ මඟ පෙන්වීම් පිළිපැදීම
අපගේ නිර්මාතෘ හැටියට, හරි වැරැද්ද පිළිබඳව මඟ පෙන්වීම් අපට ලබා දෙන්න යෙහෝවා දෙවිට පූර්ණ අයිතියක් තිබෙනවා. (එළිදරව් 4:11) අපේ හැසිරීමට හා අප ඔහුට කරන නමස්කාරයට උපකාර වන ප්‍රතිපත්ති ඔහු ලබා දෙන්නේ බයිබලය මාර්ගයෙනුයි. දෙවි තම සෙනඟට පවසන්නේ මෙයයි. “මා විසින් ඔබට අණ කරන සියල්ල හැටියට මාගේ හඬට කීකරුව ඒවා කරන්න. එවිට ඔබ මාගේ සෙනඟ වන්නහුය. මම ඔබගේ දෙවි වන්නෙමි.”—යෙරෙමියා 11:4, 5අ.
දෙවි “යහපත් කෙනෙක්” ලෙස සලකන්නේ, ඔහුගේ ප්‍රමිති ඉගෙනගෙන ඒ අනුව තමාගේ ජීවිතය හැඩගස්වා ගන්නා කෙනෙකුවයි. නිදසුනකට, ඔබට යම් කෙනෙකුගේ මිතුරෙක් වෙන්න ඕනෙ වුණා කියා සිතන්න. එවිට ඔබ කරන්නේ, එම පුද්ගලයාගේ කැමැත්ත හඳුනාගෙන ඒ අනුව ඔහුව හෝ ඇයව ප්‍රසන්න කිරීමයි. මේ ආකාරයට දෙවි සමඟ මිත්‍රත්වයක් ඇති කරගත් කෙනෙක් තමයි බයිබලයේ සඳහන් කරන ආබ්‍රහම් නමැති තැනැත්තා. ඔහු මෙන් අපිටත් දෙවිගේ මිතුරෙකු විය හැකි බව එනම් දෙවි ඉදිරියේ යහපත් කෙනෙක් විය හැකි බව බයිබලයේ සහතික කරනවා. (යාකොබ් 2:23) අනික් අතට දෙවිගේ ප්‍රමිති මිනිසුන්ගේ ප්‍රමිතිවලට වඩා උසස් නිසා අපි කැමති ආකාරයට ඔහුගේ ප්‍රමිති වෙනස් කරගන්න පුළුවන් කියා සිතීම වැරදියි.—යෙසායා 55:8, 9.
අත්‍යවශ්‍ය කීකරුකම
දෙවි දී ඇති සමහර “සුළු” ආඥා පිළිපැද්දේ නැත්නම් කෙනෙකුට දෙවිගේ අනුමැතිය නොලැබීයයිද? එවැනි ආඥා පැවැත්වීම එතරම්ම අවශ්‍ය නැහැයි කියා සමහරු සිතන්නත් පුළුවන්. කොහොමවුණත් දෙවිගේ කිසිම ආඥාවක් සුළුයි කියා පසෙක දමන්න බැහැ. බයිබලයේ 1 යොහන් 5:3හි ඒ ගැන මෙසේ පවසනවා. “දෙවිට ප්‍රේම කිරීම යනු, අප විසින් ඔහුගේ ආඥා පැවැත්වීමය.” දෙවි දී තිබෙන සෑම ආඥාවක්ම අපි උපරිමයෙන් පිළිපදිනවා නම් ඉන් කියාපාන්නේ ඔහු කෙරෙහි තිබෙන අපේ අවංක ප්‍රේමයයි.—මතෙව් 22:37.
අපේ අතින් කිසිවිටකත් වරදක් සිදු නොවෙයි කියා දෙවි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපේ අතින් වරදක් සිදු වුණත්, අවංකවම ඒ ගැන පසුතැවිලි වී නැවතත් ඒ වරද නොකිරීමට වගබලා ගන්නවා නම් දෙවි අපට සමාව දීමට සූදානම්. (ගීතාවලිය 103:12-14; ක්‍රියා 3:19) කෙනෙක් සෑම කාරණයකදීම දෙවිට කීකරු වන නිසා තමන් කැමති පරිදි දෙවිගේ සමහර නීති කඩ කළාට කමක් නැහැ කියා සිතීම හරිද? එසේ කළ නොහැකි බව පහත සඳහන් උදාහරණයෙන් මනාව පැහැදිලි වෙනවා.
ඊශ්‍රායෙලයේ සිටි රජ කෙනෙකු වූ සාවුල්, කීකරු වුණේ දෙවිගේ ආඥාවලින් තමන් තෝරාගත් සමහර ආඥාවලට පමණයි. අමලෙක්වරුන් සමඟ කළ සටනේදී දෙවි ඔහුට අණ කළේ එම ජාතියට අයත් සියලුදෙනාවම ‘මරා’ ඔවුන්ට අයිති කිසි දෙයක් ඉතිරි නොකර සියල්ල විනාශ කරන ලෙසයි. දෙවි දුන් සියලු ආඥාවලට කීකරු නොවූ සාවුල් හා ඔහුගේ සෙනඟ, ඔවුන් ආශා කළ ‘බැටළුවන්ගෙනුත් ගොනුන්ගෙනුත් ඉතා හොඳ සතුන්’ ඉතිරි කරගත්තා.—දෙවිගේ ආඥාවට අකීකරු වුණේ ඇයි කියා දෙවිගේ සේවකයෙකු වූ සාමුවෙල්, සාවුල් රජගෙන් ඇසූ විට ඔහු කියා සිටියේ තමා එවැනි දෙයක් නොකළ බවයි. ඉන්පසු තමා සහ සෙනඟ දෙවි වෙනුවෙන් කළ දේවල් ගැනත් පූජාවන් ගැනත් ඔහු කියන්න පටන්ගත්තා. එවිට සාමුවෙල් ඔහුට පැවසුවේ මෙයයි. “යෙහෝවාගේ හඬට කීකරු වීම පමණ දවන පූජා සහ යාග පූජාවලට යෙහෝවා ප්‍රසන්න වන්නේද? බලන්න, පූජාවලට වඩා කීකරු වීමද බැටළුවන්ගේ තෙලට වඩා ඇහුම්කන් දීමද උතුම්ය.” (1 සාමුවෙල් 15:17-22) මින් පැහැදිලි වන්නේ පූජා ඔප්පු කළ පමණින් හෝ යහපත් දේවල් කළ පමණින් කෙනෙකුට යම් අවස්ථාවලදී දෙවිට අකීකරු වීමට ඉඩ නොලැබෙන බවයි.
දෙවි ප්‍රමිති දෙන්නේ ඇයි?
දෙවිව සතුටු කිරීමට අපි කළ යුත්තේ කුමක්ද කියා යෙහෝවා දෙවි ප්‍රේමණීයව බයිබලය තුළින් අපට කියා දෙනවා. “මාර්ගය මේය. එහි හැසිරෙන්න.” (යෙසායා 30:21) දෙවිගේ මඟ පෙන්වීම් අපි පිළිපදින විට කිසිම දෙයකින් අප කනස්සල්ලට පත් වන්නේ නැහැ. දෙවි සෑමවිටම මඟ පෙන්වීම් සපයන්නේ අපේ යහපතට බව අපිට ස්ථිර විය හැකියි. බයිබලයේ පවසන්නේ ඔහුගේ ‘ඉගැන්වීම් අපේ ප්‍රයෝජනය පිණිස’ කියායි.—යෙසායා 48:17, 18.
යහපත කුමක්ද කියා අපිම තීරණය කරන්න ගියොත් කුමක් විය හැකිද? ආත්මාර්ථකාමි ලෙස කටයුතු කිරීමට අපිට නැඹුරුවාවක් තිබෙන නිසා අපේම හෘදයට පුළුවන් අපව රවටන්න. (යෙරෙමියා 17:9) දෙවි පවසා ඇති දෙයක් කිරීමට අමාරුයි කියා අපට සිතෙනවා නම් එම ප්‍රමිතිය එතරම් වැදගත් නැහැ කියා සිතීමටද අප පෙලඹෙයි.
උදාහරණයකට, අවිවාහක දෙදෙනෙක් කායික සම්බන්ධකම් පැවැත්වීමට තීරණය කරන්න පුළුවන්. එය දෙවි ඉදිරියේ වැරදි දෙයක් බව දැන සිටියදී පවා එය තමන්ගේ පෞද්ගලික කාරණයක් කියාත් ‘ඉන් කිසිවෙකුට හානියක් නොවෙන’ තාක් කල් එය වරදක් නොවේ කියාත් ඔවුන්ට සිතෙන්න පුළුවන්. ඔවුන්ගේ ආශාව, ඉන් ඇති විය හැකි නරක ප්‍රතිඵල නොපෙනෙන තරමටම ඔවුන්ව මුළා කර ඇති බවයි පෙනී යන්නේ. ඒ ගැන බයිබලයේ දෙන අනතුරු ඇඟවීම මෙයයි. “මනුෂ්‍යයෙකුට යුතුයයි පෙනෙන මාර්ගයක් ඇත. එහෙත් එහි කෙළවර මරණයෙහි මාර්ග වේ.”—හිතෝපදේශ 14:12.
යෙහෝවා දෙවිගේ ප්‍රමිති මගින් ඔහු අප කෙරෙහි දක්වන ප්‍රේමයත් නපුරු දෙයින් අපව ආරක්ෂා කරගැනීමට ඔහුට තිබෙන ආශාවත් පිළිඹිබු වෙනවා. සදාචාරමය කාරණා හෝ වෙනත් කාරණාවලදී දෙවිගේ මඟ පෙන්වීම් සැහැල්ලුවට ගැනීම සන්තෝෂයට හෝ සාර්ථක දිවියකට මඟ පාදන්නේ නැහැ. නමුත් දෙවිගේ ප්‍රමිති රැකීම අපව යහපත් පුද්ගලයෙක් බවට පත් කරන අතර සිදු විය හැකි අනතුරුදායක දේවලින් අපවත් අනිත් අයවත් ආරක්ෂා කරයි.—ගීතාවලිය 19:7-11.
දෙවි ඉදිරියේ යහපත් පුද්ගලයෙකු වීම ඔබේ ආශාව නම් ඔහු දෙන සෑම මඟ පෙන්වීමක්ම අදාළ කරගැනීමට වෙර දරන්න. එවිට ‘යෙහෝවා දෙවිගේ ආඥා බරක් නොවන’ බව ඔබ තේරුම්ගනියි.—1 යොහන් 5:3.
මේ ගැන සිතුවාද?
▪ අපේ නිර්මාතෘගේ මඟ පෙන්වීම් අප පිළිපැදිය යුත්තේ ඇයි?—එළිදරව් 4:11.
▪ දෙවිගේ සියලු ආඥාවලට අප කීකරු විය යුතුද?—1 යොහන් 5:3.
▪ යහපත් දේ කුමක්ද කියා අපිම තීරණය කිරීම ඥානවන්ත දෙයක් නොවන්නේ ඇයි?—හිතෝපදේශ 14:12; යෙරෙමියා 17:9.
[21වන පිටුවේ පින්තූරය]
දෙවිගේ සදාචාර ප්‍රමිති ඔබ පිළිපදිනවාද?