Skip to content

පටුනට යන්න

‘යෙහෝවා දෙවියෙනි, ඔබට සේවය කරන්න මට ඉඩ දෙන්න’

‘යෙහෝවා දෙවියෙනි, ඔබට සේවය කරන්න මට ඉඩ දෙන්න’

‘යෙහෝවා දෙවියෙනි, ඔබට සේවය කරන්න මට ඉඩ දෙන්න’

පැවසුවේ ඩැනියෙල් හෝල් විසින්

මම පුංචි කාලේදී මගේ ආච්චි හිටියේ අල්ලපු ගෙදර. මං එයාට හුඟක් ආදරේ කළ නිසා නිතරම එයා ළඟට ගියා. සාමාන්‍යයෙන් එයා දවල්ට ටිකක් හාන්සි වෙනවා. ඒ වෙලාවට මම ගියොත් මාව ඇඳේ ඉන්දවගෙන ඇය මට බයිබලෙන් කතන්දර කියලා දෙනවා. ඒ වගේම ආච්චි මට නිතරම මෙහෙම කියනවා. “යෙහෝවා දෙවි ඔයාට ගොඩක් ආදරේ බව කවදාවත් අමතක කරන්න එපා. ඔයා දෙවිට ආදරේ නම් දෙවි හැම තිස්සෙම ඔයාව බලාගනියි.” ඇගේ ඒ වදන් මගේ හිතේ කෙටිලා තිබුණා.

ආච්චි 1977දී මිය ගියා. මට එතකොට වයස අවුරුදු හතරයි. අපි ඒ දවස්වල හිටියේ ඕස්ට්‍රේලියාවේ මෝඊ නගරයෙයි. ආච්චියි, තාත්තගේ නෑදෑයොයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වුණත් මගේ අම්මයි තාත්තයි සාක්ෂිකරුවන් නෙවෙයි. ඒත් තාත්තාට සාක්ෂිකරුවන් ගැන හොඳ හැඟීමක් තිබුණා. ඊට පස්සේ අපි නිව් සවුත් වේල්ස් කිට්ටුව තිබුණ ටින්ටන්බා නම් කුඩා නගරයේ පදිංචියට ගියා. එහෙදී මමයි, මගේ අයියා ජේමියි ඉඳලා හිටලා තාත්තත් එක්ක සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට ගියා.

මට වයස අටක් වෙද්දී අම්මයි තාත්තයි වෙන් වුණා. තාත්තා ආපහු මොඊවලට ගියා. අයියයි, මමයි අම්මා එක්ක හිටියා. අම්මා බයිබලය ගැන උනන්දුවක් දැක්වුවේ නැහැ. අපිට සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන්න දුන්නෙත් නැහැ. මම හිටියේ හරිම දුකෙන්. ආච්චි කිව්ව දේ සැරෙන් සැරේට මතක් වුණා. ඒ වෙද්දී මගේ හිතේ යෙහෝවා දෙවිට ලොකු ආදරයක් ඇති වෙලා තිබුණා. මට ඕන වුණේ ඔහුට සේවය කරන්නයි. ඒ නිසා මම යාච්ඤා කරලා දෙවිට කිව්වා මටත් සාක්ෂිකාරියක් වෙන්න ඕන කියලා. අයියාට හිතිලා තියෙන්නෙත් ඒ දේමයි.

පාසැලේදී පීඩා

ඊට ටික දවසකට පස්සේ අපේ පන්තියේ ළමයින්ට ගුරුවරයෙක් කිව්වා, නාම ලේඛනයේ සටහන් කරගන්න ඕන නිසා තම තමන්ගේ ආගම මොකක්ද කියලා හයියෙන් කියන්න කියලා. අයියාගේ නම කතා කළාම එයා හැමෝටම ඇහෙන්න මම “යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්” කියලා කිව්වා. ගුරුවරයා මොහොතක් නිහඬ වෙලා ආයිත් කියන්න කිව්වහම අයියා ඒ විදිහටම කිව්වා. එතකොට ගුරුවරයා කිව්වා, “හිතාගන්නත් අමාරුයි. හරි මම ආයි ඔයා එක්ක කතා කරන්නම්” කියලා. මගේ වාරය ආවහම මමත් හයියෙන් කිව්වා මම “යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක්” කියලා. ගුරුවරයාගේ මූණ වෙනස් වුණා. අපිව විදුහල්පති ළඟට අරගෙන ගියා.

විදුහල්පති සැරෙන් මෙහෙම කිව්වා. “ඕගොල්ලන්ගේ ඇතුල් වීමේ ලියවිලි මා ළඟ තියෙනවා. ඒවාවල තියෙන්නේ සාක්ෂිකාරයන් කියලා නෙවෙයිනේ.” අපි දෙන්නා ගෞරවයෙන් “අපේ ආගම ඒක තමයි” කියලා පැහැදිලි කළාට පස්සේ අපේ ගුරුවරයාවත්, විදුහල්පතිවත් ආයි කවදාවත් අපේ ආගම ගැන ප්‍රශ්න කළේ නැහැ.

මං බයිබලයෙන් ඉගෙනගත්ත දේවල් දන්න තරමින් පන්තියේ ළමයින්ට කිව්වා. මගේ බයිබල් කතන්දර පොත ගෙනිහින් දෙවිව විශ්වාස කළ එක ගෑනු ළමයෙකුට ඒකේ තියෙන කතන්දර ඉඳලා හිටලා කියෙව්වා. * ක්‍රිස්තියානි ප්‍රමිති අනුව ජීවත් වෙන්න මම උත්සාහ කළ නිසා කවුරුත් මාව ගණන්ගත්තේ නැහැ. සමහර අවස්ථාවලදී මට තනිකමකුත් දැනුණා.

මං නිතරම උනන්දුවෙන් යෙහෝවා දෙවිට යාච්ඤා කළ නිසා ඔහු මගේ හොඳම යාළුවා වුණා. හැමදාම පාසැල ඇරිලා ආවහම මගේ ඇඳේ ඉඳගෙන ඒ දවසේ සිද්ධ වුණ හැම දෙයක්ම මම දෙවිට කිව්වා. කඳුළු කැට කඩා වැටෙද්දී “අනේ යෙහෝවා දෙවියෙනි, ඔබේ සෙනඟ එක්ක සේවය කරන්න මට ඉඩ සලස්වා දෙන්න” කියලා ඔහුගෙන් ඉල්ලුවා. යාච්ඤා කළාහම මට දැනුණේ පුදුම සහනයක්.

දිරිගන්වන ලිපියක්

ජේමි ආපහු මෝඊවලට ගියා තාත්තා එක්ක නවතින්න. එතකොට මට වයස දහයයි. ආගම ගැන කතා කරන්න හිටපු එකම එක්කෙනාත් නැති වුණා. මං හොඳටම තනි වුණා. එක දවසක් මම අසල්වැසි ගෙදරකට ගිය වෙලාවේ සාක්ෂිකරුවන්ගේ සඟරා වගයක් එහේ තිබුණා. ඒවාවල ඔවුන්ගේ ශාඛා කාර්යාලයේ ලිපිනය තිබුණා. ඒක කටපාඩම් කරගෙන ගෙදර ගිහින් ඉක්මනින්ම ලියාගත්තා. මගේ තත්වය පැහැදිලි කරලා දෙවිට ළං වෙන්න උපකාර ඉල්ලලා මගේ හිතේ තියෙන දේ ලියලා ශාඛා කාර්යාලයට ලිපියක් යැව්වා. මාව සනසවමින් ඔවුන් මට පිටු දෙකක පිළිතුරු ලිපියක් එව්වා. මගේ ඇස්වල සතුටු කඳුළු පිරුණා. යෙහෝවා දෙවිට මාව වටින බව ඒකෙන් සහතික වුණා.

ඒකෙ ලියලා තිබුණේ ඊශ්‍රායෙල් දැරියගේ ඇදහිල්ල වගේ ඇදහිල්ලක් ඇති කරගන්න කියලයි. ඒ දැරිය බයිබලයේ සඳහන් කර ඇති සිරියානු හමුදාපතිව හිටිය නාමන්ගේ සේවිකාවක්. ඇගේ දේශයෙන් හුඟක් ඈතක වහලියක් හැටියට හිටියත් තමන් නමස්කාර කළ යෙහෝවා දෙවිට ඇය ළං වෙලා හිටියා. ඇගේ ඇදහිල්ල ගැන කතා කරන්න ඇය භය වුණේ නැහැ. ඇය දෙවිගේ සැබෑ සාක්ෂිකාරියක් බව ඔප්පු කරලා පෙන්නුවා.—2 රාජාවලිය 5:1-4.

ඒ ලිපියේ මෙහෙමත් ලියලා තිබුණා. “කුඩා දැරියක් හැටියට ඔයා යෙහෝවා දෙවිට සේවය කරද්දී, දෙමාපියන්ට කීකරු වීමත්, පාසැලේදී හොඳින් ඉගෙනගැනීමත් අවශ්‍යයි. ඒ වගේම යාච්ඤා කිරීමෙන් හා දෙවි ගැන ඉගෙනගැනීමෙන් දෙවිට ළං වී ඉන්නත් අවශ්‍යයි.” ලිපිය අවසන් කරලා තිබුණේ මෙහෙමයි. “ඩැනියෙල්, අපි කොහේ හිටියත් යෙහෝවා දෙවි සැමවිටම අපි ළඟම ඉන්නවා. ඔයා ඒක විශ්වාස කරන බව අපි දන්නවා.” (රෝම 8:35-39) දැන් ඒ ලිපිය හුඟක් පරණයි. මගේ බයිබලේ ඇතුළෙමයි ඒක තියෙන්නේ. කොච්චර නම් සැරයක් මම ඒක කියවලා ඇද්ද! ඒ හැම වෙලාවෙම මගේ ඇස්වල කඳුළු පිරුණා.

ඒ ලිපිය ලැබිලා ටික දවසකට පස්සේ තවත් ලිපියක් ලැබුණා. ඒකේ තිබුණේ මට මුරටැඹ සහ පිබිදෙව්! සඟරා තැපෑලෙන් එවන්න මගේ තාත්තා සැලසුම් කරලා තිබෙනවා කියලයි. මට ඒ වෙලාවේ දැනුණේ පුදුම සතුටක්! ටික දවසක් ගියහම මට ඒ සඟරා ලැබෙන්න පටන්ගත්තා. හැම කලාපයක්ම මුල ඉඳලා අගටම කියෙව්වා. මට මුලින්ම ලැබුණ ඒ අගනා සඟරා කීපයක් තාමත් මා ළඟ තියෙනවා. ඒ අතරතුර අපේ පළාතේ සභාවක හිටිය ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් මාව බලන්න ආවා. කෙටි වෙලාවකට වුණත් ඔහුගේ පැමිණීමෙන් මට ලැබුණේ විශාල දිරිගැන්වීමක්.

මාරුවීම් නිසා දියුණුවක්

මේවා ලැබීම ලොකු දෙයක් වුණත් මගේ ආශාව තිබුණේ යෙහෝවා දෙවිට නිදහසේ නමස්කාර කරන්නයි. ඒ නිසා මට 13 ලැබුවහම මම අම්මගෙන් ඇහුවා තාත්තා ළඟට යන්නද කියලා. අම්මා මටත් මං අම්මාටත් හුඟක් ආදරේ කළා. ඒත් දෙවිට සේවය කිරීමේ අධිෂ්ඨානයත් මා තුළ තිබුණා. ඇය එකඟ වුණාට පස්සේ මම ආපහු මෝඊවලට ගිහින් එහේ සභාවේ කෙනෙක් එක්ක බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. තාත්තගේ අනුමැතිය ඇතුව අයියයි මමයි හැම රැස්වීමකටම ගියා. සභාවේ සාක්ෂිකරුවනුත් අපිට හැම අතින්ම උදව් කළා. අපි දෙන්නම දියුණුවක් ලැබුවට පස්සේ බව්තීස්ම වුණා. කුඩා කාලේදී මං කළ යාච්ඤාවට මට පිළිතුරු ලැබුණා. යෙහෝවා දෙවිගේ සෙනඟ එක්ක ඔහුට සේවය කරන්න මට ඉඩ ලැබුණා.

ඒ අතරතුර මට මෝඊ සභාවේ සිටි මගේ නැන්දයි මාමයි එක්ක විශේෂ බැඳීමක් ඇති වුණා. ඒ දෙන්නා ෆිලිප් සහ ලොරේන් ටේල. ඔවුන් මට සැලකුවේ ඔවුන්ගේම දුවෙකුට වගෙයි. රාජ්‍ය ප්‍රචාරකයන්ගේ වැඩි අවශ්‍යතාවක් තිබුණු පැපුවා නිව් ගිනියාවල බූගන්විල් දූපතේ සේවය සඳහා ඔවුන් යද්දී මට කිව්වා ඔයා කැමති නම් අපිත් එක්ක එන්න කියලා. මම පැනලා හා කිව්වා. එතකොට මට වයස 15ක් වුණත් තාත්තයි අම්මයි මට යන්න ඉඩ දුන්නා.

එහෙදී මම මගේ පාසැල් අධ්‍යාපනය කරගෙන ගියේ තෑපෑලෙන්. ඊට අමතරව වැඩි වේලාවක් ගත කළේ සාක්ෂි දැරීමටයි. මිෂනාරි සහ පුරෝගාමි සහෝදර සහෝදරියන් එක්ක සේවයේ යන්න ලැබුණ එක මොන තරම් ප්‍රීතියක්ද! එහේ හිටිය අය හරිම යටහත් පහත්. හුඟදෙනෙක් කැමති වුණා බයිබලය පාඩම් කරන්න.

ඒත් දේශපාලන ගැටුම් ඇති වෙන්න පටන්ගත්තට පස්සේ මම එහෙ ඉඳීම ඒ තරම් සුබදායක වුණේ නැහැ. ඒ යහපත් මිනිස්සුන්වයි, ලස්සන දූපතයි දාලා එන්න වුණ එක ලොකු දුකක්. මං කුඩා ගුවන්යානයට නැඟලා පිට වෙලා යද්දී මාමා බලාගෙන ඉඳලා මට අත වැනුවා. හිතේ දුක තද කරගෙන යෙහෝවා දෙවිගෙන් ඉල්ලුවේ කවදා හරි දවසක මටත් පිටරටකට ගිහින් මිෂනාරි සේවයේ යෙදෙන්න අවස්ථාව උදා කරලා දෙන්න කියලයි.

යාච්ඤාවලට පිළිතුරු ලැබී

ඕස්ට්‍රේලියාවේදී උසස් අධ්‍යාපනය අවසන් කළාට පස්සේ නීතිඥ කාර්යාලයක ආධුනිකයෙක් හැටියට මම වැඩ කළා. මේ අතරතුර තාත්තා දරුවෝ කීපදෙනෙක්ම ඉන්න කෙනෙක්ව ආපහු විවාහ කරගෙන තිබුණා. ජේමි අයියා හිටියේ අම්මත් එක්ක. ටික කාලයක් මම මාරුවෙන් මාරුවට අම්මා ළඟයි, තාත්තා ළඟයි හිටියා. මගේ ජීවිතය අවුල් වෙලා වගෙයි මට දැනුණේ. ඒ නිසා මගේ ජීවිතය සරල කරගෙන දෙවිගේ සේවය ගැනම හිත යොමු කරගෙන ඉන්න මට සිද්ධ වුණා. ඒකට හොඳම දේ තමයි පූර්ණ-කාලීන දේවසේවිකාවක් වශයෙන් පුරෝගාමි සේවයට ඇතුල් වීම. වර්ෂ 1994දී මම මෝඊවලදී පූර්ණ-කාලීන සේවයට ඇතුල් වුණා.

ආපහු මගේ හිත හරිගැස්සුණා. සභාවේ හිටිය මගේ වයසේ අනිත් යාළුවොත් දෙවිට ළං වෙලා හිටිය නිසා ඔවුන්ගෙනුත් මට සෑහෙන සහයෝගයක් ලැබුණා. එයින් එක්කෙනෙක් එක්ක තමයි මම 1996දී විවාහ වුණේ. එයාගේ නම විල්. එයා සැර පරුෂ නැති කරුණාවන්ත කෙනෙක්. ඇත්තෙන්ම මට එයාව ලැබීම යෙහෝවා දෙවිගේ ආශීර්වාදයක්!

විවාහ ජීවිතයට හුරු වුණහම අපි දෙන්නම කල් ගෙව්වේ හුඟක් සතුටෙන්. දවසක් සංචාරක අවේක්ෂක එක්ක විල් සේවයේ ගියා. ගෙදර ආවට පස්සේ මට කිව්වා පොඩ්ඩක් වාඩි වෙන්නකෝ කාරණයක් කියන්න තියෙනවා කියලා. “ඔයා කැමතිද වෙන සභාවකට ගිහින් උපකාර කරන්න” කියලා විල් ඇහුව ගමන් මම හිතෙන් ඔව් කියලා කිව්වත් විහිළුවට වගේ ඇහුවා “කොහාටද? වානුවාටුවලටද? ෆීජිවලටද” කියලා. එතකොට විල් කිව්වා “මෝවල්වලට” කියලා. මට ඉබේටම “අපේ අල්ලපු නගරයනේ” කියලා කියවුණා. අපි දෙන්නම සතුටෙන් එකඟ වෙලා පුරෝගාමීන් හැටියට සේවය කරන්න එහෙට යන්න හිතාගත්තා.

ඊළඟ වසර තුනේ මෝවල්වල ප්‍රීතියෙන් සේවය කරලා හොඳ ප්‍රතිඵලත් ලැබුණා. ඒත් එක්කම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ඕස්ට්‍රේලියා ශාඛා කාර්යාලයෙන් තවත් සතුටුදායක ආරාධනාවක් ලැබුණා. එහි ඊළඟ පැවරුම හැටියට සඳහන් වුණේ නැඟෙනහිර ටිමෝරයයි. ඒක ඉන්දුනීසියානු කොදෙව් දූපත්වල නැඟෙනහිර කෙළවරේ පිහිටි කුඩා රටක්. මගේ ඇස්වල සතුටු කඳුළු පිරුණා. මගේ යාච්ඤාවලට පිළිතුරු දුන්නාට මම යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වුණා. ඔහු මාව විතරක් නෙවෙයි අපි දෙන්නවම විදේශ රටක සේවය කරන්න තෝරගත්තා.

විදේශ රටක සේවයේ යෙදෙමින්

අපි අගනුවර වන ඩිලිවලට ගියා 2003 ජූලිවල. එහෙ තිබුණේ ඩිලි සභාව විතරයි. ඕස්ට්‍රේලියාවෙන් ආව විශේෂ පුරෝගාමීන් 13යි, ඒ ප්‍රදේශයේ සාක්ෂිකරුවන් කීපදෙනෙකුයි විතරයි ඒ කාලයේදී එහෙ හිටියේ. ටිමෝරයේ සහෝදර සහෝදරියන් හුඟක් දිලිඳුයි. අවුරුදු 24ක් පුරා ඇදිඇදී ගිය සිවිල් යුද්ධය 1999 අවසන් වෙද්දී හුඟදෙනෙකුගේ දේපළත්, පවුල්වල සාමාජිකයනුත් නැති වෙලායි තිබුණේ. අලුතෙන් තමන්ට ලැබුණ ඇදහිල්ල නිසා හුඟදෙනෙකුගේ පවුල්වලින් දැඩි විරුද්ධවාදිකම් ආවා. මොන තරම් පීඩා ආවත්, අගහිඟකම් තිබුණත් ඔවුන්ගේ ඇදහිල්ල තව තවත් ශක්තිමත් කරගනිමින් සතුටෙන් දෙවිගේ නමස්කාරයේ ඔවුන් යෙදුණා.—එළිදරව් 2:8, 9.

ටිමෝර්හි වැඩිදෙනෙක් දෙවියන්ව විශ්වාස කරන, බයිබලයට ගරු කරන අයයි. වැඩි කල් නොගොස් අපිට පවත්වන්න බැරි තරමට බයිබල් පාඩම් හම්බ වුණා. ටික කාලෙකට පස්සේ මුලින්ම අපි එක්ක පාඩම් කරපු අය බව්තීස්ම වෙලා සාක්ෂිකරුවන් බවට පත් වුණා. ඔවුන්ගේ දියුණුව දැකීමෙන් අපි හුඟක් සතුටු වුණා.

ඒත් 2006දී ආපහු ඩිලිවල ගැටුම් ඇති වෙන්න පටන්ගත්තා. ගෝත්‍රයන් අතර විවිධ ගැටුම් ඇති වෙද්දී ඒක යුද්ධයකට පෙරළුණා. හුඟක් ගෙවල්වලින් බඩු හොරකම් කළා. එහෙමත් නැත්නම් ඒවා සම්පුර්ණයෙන්ම පිච්චුවා. එහේ හිටිය සාක්ෂිකරුවන්ට විශේෂ පුරෝගාමීන්ගේ ගෙවල්වල රැකවරණය දුන්නා. අපේ ගේයි, වත්තයි තාවකාලික සරණාගත කඳවුරක් බවට පත් වුණා. එක අවස්ථාවක සියදෙනෙක් විතර අපිත් එක්ක නැවතිලා හිටියා. කුස්සිය, කෑම කාමරය සහ තාවකාලික රාජ්‍ය ශාලාව බවට පත් වුණේ අපේ ලොකු බිම්පලසයි.

වෙඩි හඬ සහ බෝම්බ පුපුරන හඬ ළඟ ළඟම ඇහුණත් අපේ පුරෝගාමි නිවස සාමකාමීව තිබුණා. අපට හැඟුණේ අපි හැමෝවම ආරක්ෂා කිරීමට යෙහෝවා දෙවි අපි ළඟ ඉන්නවා කියලයි. හැම දවසක්ම ආරම්භ කළේ කණ්ඩායමක් හැටියට බයිබල් පාඨයක් සාකච්ඡා කරමිනුයි. සාමාන්‍ය විදිහට රැස්වීම් පවා පැවැත්තුවා. ඒ වගේම උනන්දුව දැක්වුව අය එක්ක බයිබල් පාඩම් පවා කළා.

සති කීපයක් ගත වී යද්දී නැඟෙනහිර පළාතේ උපන් සහෝදරයන්, තවදුරටත් ඩිලිවල ඉන්න එක එතරම් සුබ නැති බව පෙනී ගියා. ඒ නිසා වගකීම් දැරුව සාක්ෂිකරුවන් බව්කව් කියන නගරයේ අලුත් කණ්ඩායමක් පිහිටුවන්න තීරණය කළා. නැඟෙනහිර ඩිලිවල ඉඳලා එහෙට යන්න පැය තුනක් විතර ගත වෙනවා. විල්ටයි මටයි අලුත් පැවරුම ලැබුණේ එහේ සේවය කරන්නයි.

නැඟෙනහිර ටිමෝර්වල අවුරුදු තුනක් විතර හිටියට පස්සේ තමයි 2006 ජූලිවල අපි බව්කව්වලට ආවේ. අපේ අලුත් කණ්ඩායමේ හිටියේ විශේෂ පුරෝගාමීන් හතරදෙනෙකුයි, ටිමෝර්වල හිටිය සාක්ෂිකරුවන් හයදෙනෙකුයි විතරයි. ඩිලිවල සහෝදරයන්ට තමන්ගේ දේපොළ බඩුමුට්ටු දාලා එන්න සිද්ධ වුණත් ඔවුන්ගේ සිනාමුසු මුහුණු නම් අඳුරු වෙලා තිබුණේ නැහැ. ඔවුන්ගේ පක්ෂපාත පරිත්‍යාගශීලී ස්වභාවය අපි ඇත්තෙන්ම අගය කළා.

විලුයි, මායි තාමත් සේවය කරන්නේ බව්කව්වලයි. අපි අපේ පැවරුමට හුඟක් කැමතියි. ඒක යෙහෝවා දෙවිගෙන් අපිට ලැබුණ ආශීර්වාදයක්. ආච්චි මට ඒ කාලේ කිව්ව දේ ඇත්ත බව ඔප්පු වෙලා තියෙනවා. යෙහෝවා දෙවි මාව හැම තිස්සෙම බලාගෙන තියෙනවා. ඔහුගේ සෙනඟ එක්ක එකතු වෙලා ඔහුට සේවය කරන්න මට ලබා දීලා තියෙන ප්‍රස්තාවට මම නිතරම ඔහුට ස්තුතිවන්ත වෙනවා. මං ආසාවෙන් බලාගෙන ඉන්නේ ආච්චි නැවත නැඟිටින දා එනකල්. එදාට මට පුළුවන් සතුටෙන් ආශීර්වාද ලත් ජීවිතයක් ගත කරන්න මඟ සලසා දුන්න එක ගැන ඇයට ස්තුති කරන්න.

[පාදසටහන]

^ 9 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්.

[26වන පිටුවේ පින්තූරය]

ආච්චි එක්ක

[28, 29වන පිටුවේ පින්තූරය]

මමයි මගේ සැමියායි