Skip to content

පටුනට යන්න

ෂාක් බොක්ක මුහුදු ජීවීන්ගේ නිවහන

ෂාක් බොක්ක මුහුදු ජීවීන්ගේ නිවහන

ෂාක් බොක්ක මුහුදු ජීවීන්ගේ නිවහන

ඕස්ට්‍රේලියාවේ පිබිදෙව්! ලේඛක විසින්

ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ සිට කිලෝමීටර් 650ක් පමණ උතුරු දෙසට වෙන්න පිහිටා ඇති මුහුදු බොක්ක හඳුන්වන්නේ ෂාක් බොක්ක කියලයි. වර්ෂ 1629දී ලන්දේසි ජාතික ගවේෂකයෙකු වූ ෆ්‍රාන්සෝවා පෙල්සාට් මේ ස්ථානය විස්තර කළේ ‘ගස් කොළන් නැති, වියළි, දැකීමට ප්‍රිය නැති ස්ථානයක්’ හැටියටයි. එහි ගිය සමහර අයට ඒ ප්‍රදේශය ගැන තිබෙන්නෙත් සුබවාදී අදහස් නොවෙයි. ඔවුන් ඒ අවට ප්‍රදේශයන් ගැන විස්තර කළේ බලාපොරොත්තු සුන් කරන, කිසිම පලක් නැති, කලකිරීමක් ඇති කරන ප්‍රදේශ ලෙසයි.

කෙසේවෙතත් අද තත්වය ඊට වඩා වෙනස්. සෑම අවුරුද්දකම සංචාරකයන් 1,20,000ක් පමණ මෙම ස්ථානය නැරඹීමට එනවා. වර්ෂ 1991දී මෙම ප්‍රදේශය ලෝක උරුමයක් ලෙස නම් කළා. *

මුහුදු ජීවීන් ගහන තෘණ භූමිය

පෙල්සාට්, මුහුද යට තිබෙන දේ නිරීක්ෂණය කළා නම් කිසි දිනෙක එලෙස පවසන්නේ නැහැ. හේතුව ලෝකයේ විවිධ වර්ගයේ තෘණවලින් ගහන විශාලතම මුහුදු තෘණ භූමිය පිහිටා තිබෙන්නේ ෂාක් බොක්කේ වීමයි. එහි විශාලත්වය වර්ග කිලෝමීටර් 4,000කටත් වඩා වැඩියි. ෂාක් බොක්කේ නැඟෙනහිර දෙස ඇති එක් ප්‍රදේශයක මුහුදු තෘණ කිලෝමීටර් 130ක් පමණ දුරට ව්‍යාප්ත වී තිබෙනවා.

මුහුදු පැළෑටි ගහනව තිබෙන මෙම ප්‍රදේශයේ ඉස්සන්, කුඩා මසුන් හා වෙනත් මුහුදු සත්වයන් වෙසෙනවා. මුහුදු ඌරා නම් ක්ෂීරපායි ගනයේ මුහුදු සත්වයන් 10,000ක් පමණ මෙම පැළෑටි මගින් පෝෂණය ලබනවා. උන් එකෙකුගේ බර කිලෝග්‍රෑම් 400ක් පමණ වෙනවා. සමහර අවස්ථාවලදී සිය ගණනින් යුත් රංචු මෙහි පැමිණෙන්නේ රිසි සේ මේ පැළෑටි කා දැමීමටයි. ලෝකයේ වැඩියෙන්ම මුන් වෙසෙන්නේ ඕස්ට්‍රේලියාවේ උතුරු වෙරළේ බස්නාහිර සිට නැඟෙනහිර දක්වා වෙරළ තීරයේයි. *

ෂාක් බොක්කේ වෙසෙන තවත් ජීවියෙක් තමයි මෝරා. මෙහි මෝරුන් විශේෂ 12කට වඩා වෙසෙනවා. එසේ විවිධ මෝරුන් වෙසෙන නිසයි මෙය ෂාක් බොක්ක කියා හඳුන්වන්නේ. වයිරම් මෝරාත් මත්ස්‍යයන් අතරින් විශාලතම මත්ස්‍යයා වන තල්මස් මෝරත් මෙහි සිටිනවා. මුන් මුහුදේ සිටින දැවැන්තයන් වුණත් කිසිවෙකුට මුන්ගෙන් හානියක් නැහැ. එමෙන්ම මේ ස්ථානයේ වෙසෙන තවත් සත්වයෙක් තමයි ඩොල්ෆින්. සමහර අය අතර මතයක් තිබෙනවා, මෝරුන් හා ඩොල්ෆින් යන දෙවර්ගයම එකම ප්‍රදේශයේ ජීවත් වෙන්න නැහැ කියලා. නමුත් එහි කිසිම සත්‍යයක් නැහැ. පර්යේෂකයන් සොයාගෙන තිබෙන්නේ මෙහි සිටින ඩොල්ෆිනයන් සියයට 70ක් පමණ මෝරුන්ගෙන් පහර කෑවත් තවමත් මුන් මෙහි වෙසෙන බවයි. සෑම වසරකම ඕස්ට්‍රේලියාවේ දකුණු දෙසට සංක්‍රමණය කරන මොල්ලි තල්මසුන් ටිකක් විඩා නිවාගන්නේ මෙම ප්‍රදේශයේදීයි. එමෙන්ම කැස්බෑවන් බිත්තර දැමීමට එන්නෙත් මේ වෙරළ තීරයටයි.

ඒවා ඇත්තෙන්ම ගල්ද?

ෂාක් බොක්කට දකුණෙන් පිහිටි එක් ප්‍රදේශයක් හඳුන්වන්නේ හැමලින් පූල් කියලයි. මෙය නොගැඹුරු ස්ථානයක්. මෙහි ජලය ඉක්මනින් වාෂ්ප වන නිසා ජලයේ ලවණ ගතිය, මුහුදු ජලයේ ලවණ ගතියට වඩා වැඩියි. මෙම ස්ථානයේ සයනොබැක්ටීරියා ලෙස හඳුන්වන ඒක සෛලී ජීවීන් විශේෂයක් සිටිනවා. එම ජීවීන් සමූහයකගේ දායකත්වයෙනුයි ගල් මෙන් පෙනෙන ස්ට්‍රෝමැටෝලයිට් සෑදී තිබෙන්නේ. මෙම ස්ට්‍රෝමැටෝලයිට් වර්ග මීටර් එකක සයනොබැක්ටීරියා නම් ඒක සෛලී ජීවීන් බිලියන තුනක් පමණ සිටිනවා.

ස්ට්‍රෝමැටෝලයිට් මේ තරම් විශාල වෙන්නේ කොහොමද? සයනෝබැක්ටීරියාවන් ස්‍රාවය කරන ඇලෙනසුලු ද්‍රව්‍ය මත මුහුදු ජලයේ තිබෙන කැල්සියම් කාබනේට් රැඳෙනවා. එසේ රැඳෙන කැල්සියම් කාබනේට් සිමෙන්ති මෙන් ගන තට්ටු බවට පත් වෙනවා. කාලයත් සමඟ මෙම තට්ටු ප්‍රමාණය වැඩි වීමෙන් විශාල ස්ට්‍රෝමැටෝලයිට් සෑදෙනවා. ඒත් මේ ක්‍රියාවලිය සිදු වන්නේ බොහොම හෙමින්. පෙනෙන විදිහට සෙන්ටිමීටර් 30ක් උස ස්ට්‍රෝමැටෝලයිට් එකක් හැදෙන්න අවුරුදු 1,000ක පමණ කාලයක් ගත වෙනවා.

ලෝකයේ ස්ට්‍රෝමැටෝලයිට් දැකගත හැකි ප්‍රදේශ අතරින් හැමලින් පූල් නම් ප්‍රදේශයට හිමි වන්නේ සුවිශේෂී තැනක්.

මිනිසුන්ගේ ඇසුරට එන්නෝ

ෂාක් බොක්කේ මංකි මියා නම් ස්ථානයට බොහෝදෙනෙක් පැමිණෙන්නේ බෝතල් නහය ඩොල්ෆිනයන් දැකගැනීමටයි. මෙම සුරතලුන් මිනිසුන් සිටින වෙරළ ආසන්නයටම පැමිණ මිනිසුන් සමඟ හුරතල් වෙන්න හරි කැමතියි. නමුත් මේ හුරතල් වීම ආරම්භ වුණේ කවදද කියලා කවුරුත් දන්නේ නැහැ.

සමහරු පවසන ආකාරයට 1950 ගණන්වල සිට නොගැඹුරු මුහුදේ සැරිසැරීමට රංචු පිටින් මුන් මෙහි පැමිණ තිබෙනවා. ඒ පුරුද්ද අදටත් එසේමයි. මේ සතුන් වෙරළාසන්නයට පැමිණෙන විට උන්ට කෑම දෙන්න මිනිසුන් පුරුදු වී තිබෙනවා. වර්ෂ 1964 එක් දවසක මංකි මියාවල මසුන් අල්ලමින් සිටි කාන්තාවකගේ බෝට්ටුව වටේ කැරකෙමින් එහාට මෙහාට සැරිසරමින් සිටි ඩොල්ෆිනයෙක්ට ඇය මාළුවෙක් විසි කළා. මෙහි රස දැනුණ ඌ ඊළඟ දවසේදීත් ඇවිත් මේ කාන්තාවගේ අතින්ම මාළුවෙකු අරගත්තා. මේ ආකාරයට ක්‍රමක්‍රමයෙන් ඩොල්ෆින් මේ කාන්තාවගේ යාළුවෙක් වුණා. මේ ඩොල්ෆින්ව ආදරේට හැඳින්වූයේ චාලි කියලයි. වැඩි කල් යන්න පෙර චාලි තවත් යාළුවෝ පිරිවරාගෙන එන්න පටන්ගත්තා.

එදා සිට අද වන තෙක් සංචාරකයන්ගේ සිත් පිනවීමට මේ සුරතලුන් සමත් වී තිබෙනවා. ලොව පුරා සතුන් ගැන පර්යේෂණය කරන ජීව විද්‍යාඥයන් 100කට වඩා වැඩි දෙනෙක් මෙහිදී ඩොල්ෆිනයන් ගැන අධ්‍යයනය කරනවාට අමතරව ඉන් වින්දනයක්ද ලබා තිබෙනවා.

සෑම උදෑසනකම වාගේ මේ සුරතලුන් උන්ගේ දරු මුණුපුරන් සමඟ මේ වෙරළාසන්නයට පැමිණෙනවා. උන්ව දැකගැනීමට බොහෝදෙනෙක් සිටින්නේ නොඉවසිල්ලෙන්. එන සෑම කෙනෙකුටම උන්ව නැරඹීමට ප්‍රස්තාව ලැබුණත් උන්ට කෑම දීම සඳහා ළඟට යන්න ලැබෙන්නේ කිහිපදෙනෙකුට පමණයි. උන් මිනිසුන්ගෙන් යැපෙන තත්වයකට පත් වෙනවාට අඩවිය භාරව සිටින්නන් අකැමති වීම ඊට හේතුවයි. එක් ස්ත්‍රියක් පැවසුවේ මෙයයි. “මේ විදිහට ලෝකයේ ඉන්න හැම සතෙක් එක්කම යාළු වෙන්න තිබෙනවා නම්!”

බයිබලයේ පැහැදිලි කරන ආකාරයට දෙවිගේ අරමුණ වුණේ මිනිසුන් හා සතුන් ප්‍රීතියෙන් එකට වාසය කිරීමයි. සතුන්ව රැකබලා ගැනීමත් එයට අයත් වුණා. (උත්පත්ති 1:28) දෙවි මෙම අරමුණ ඉටු කරන්නේ ස්වර්ගයේ පිහිටුවා තිබෙන ඔහුගේ ආණ්ඩුව මගිනුයි. එම ආණ්ඩුවේ රජු වන යේසුස් ක්‍රිස්තුස් එම අරමුණ සම්පූර්ණයෙන්ම මේ පොළොව මත ඉටු කරන බවට දෙවි සහතික කරනවා. ඔබත් සතුන්ට ආදරය කරන කෙනෙක් නම් මෙය දැනගැනීම ඔබේ සතුටට හේතු වන බව නොඅනුමානයි.—මතෙව් 6:9, 10; එළිදරව් 11:15.

දෙවිගේ රාජ්‍යය යටතේ මුළු පොළොවෙම ස්වභාව සෞන්දර්යයේ අලංකාරය තව තවත් වැඩි වෙයි. ඒ කාලයේදී මෙම සුන්දර ෂාක් බොක්ක නැරඹීමට යෑම අදට වඩා කොතරම් ප්‍රීතිමත් අද්දැකීමක් වේවිද!—ගීතාවලිය 145:16; යෙසායා 11:6-9.

[පාදසටහන්වල]

^ 4 ඡේ. යුනෙස්කෝ සංවිධානය විසින් සංස්කෘතික හෝ ස්වාභාවික වටිනාකමක් ඇති භූමි ලෝක උරුමයන් ලෙස නම් කරනවා.

^ 7 ඡේ. මුහුදු ඌරා, මැනටියා නම් මුහුදු සත්වයාට බොහෝදුරට සමානයි. නමුත් මැනටියාට ඇත්තේ වක්‍රාකාර වලිගයක්. ඒත් මුහුදු ඌරාට ඇත්තේ ඩොල්ෆින්ට සමාන වලිගයක්.

[16වන පිටුවේ සිතියම්]

(මුද්‍රිත පිටපත බලන්න)

ඕස්ට්‍රේලියාව

ෂාක් බොක්ක

[16, 17වන පිටුවේ පින්තූරය]

මංකි මියා වෙරළ තීරය

[16, 17වන පිටුවේ පින්තූරය]

සී කව් නම් වූ මුහුදු සත්වයා

[හිමිකම් විස්තර]

© GBRMPA

[16, 17වන පිටුවේ පින්තූරය]

ඒක සෛලී ජීවීන් බිලියන ගණනකින් සෑදුණු ස්ට්‍රෝමැටෝලයිට්

[17වන පිටුවේ පින්තූරය]

සෑම දිනකම මංකි මියා වෙරළට පැමිණෙන ඩොල්ෆිනයන්

[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© GBRMPA; satellite map: Jeff Schmaltz, MODIS Rapid Response Team, NASA/GSFC

[17වන පිටුවේ හිමිකම් විස්තර]

All images, except dugong, supplied courtesy Tourism Western Australia