Skip to content

පටුනට යන්න

සහජ හැකියාවෙන් නොලැබෙන මඟ පෙන්වීම්

සහජ හැකියාවෙන් නොලැබෙන මඟ පෙන්වීම්

සහජ හැකියාවෙන් නොලැබෙන මඟ පෙන්වීම්

‘හරි වැරැද්ද කුමක්ද කියා තේරුම්ගැනීමට ප්‍රතිපත්ති නියම කරලා නැත්නම්, එක් එක්කෙනා තම තමන්ට හරියි කියලා හිතෙන දේ කරයි. එහෙම වුණොත් ඔවුන්ව පාලනය කරන්න අනිවාර්යයෙන්ම නීති මාලාවක් හදන්න සිදු වෙයි.’—ආචාර්ය ඩැනියෙල් කාලන්.

අද දිනත් හරි වැරැද්ද පිළිබඳව නිවැරදි ප්‍රතිපත්ති නැති නිසා බොහෝ නීති රීති සම්පාදනය කිරීමට පාලකයන්ට සිදු වී තිබෙනවා. තම රටේ අනාගතය ගැන තමන් හුඟක් කනස්සල්ලෙන් සිටින බවයි නයිජීරියාවේ ජනාධිපති පවසන්නේ. ඔහු කනස්සලු වෙන්නේ රටේ දේශපාලනික වාතාවරණය ගැන හෝ රටේ දිලිඳුකම ගැන නොවෙයි. “ඊටත් වඩා උග්‍ර ප්‍රශ්නයක් ගැනයි.” ඒ ගැන ඔහු කියන්නේ මෙසේයි. ‘පවුල් කවයේ, රැකියා ස්ථානයේ, සමාජයේ හා මුළු රටේම හරි වැරැද්ද පිළිබඳව තිබෙන ප්‍රතිපත්ති දිනෙන් දින බිඳ වැටෙමින් පවතිනවා.’

බ්‍රිතාන්‍යයේ මව්වරුන් 1,736ක් යොදාගෙන කළ සමීක්ෂණයකින් හෙළි වුණේ “පවුල් කවය බිඳ වැටීමට හේතු දෙකක් බලපාන බවයි. එනම් මිනිසුන්ට හරි වැරැද්ද පිළිබඳව ස්ථිර ප්‍රතිපත්ති නොමැතිකම හා බොහෝ තනි මාපිය පවුල් බිහිවීමයි.” පිරිමින් 100දෙනෙකුටත් වඩා වැඩිදෙනෙක් සමඟ දුරාචාරයේ යෙදුණ එක් චීන කාන්තාවක් පැවසූ දෙයක් ටයිම් සඟරාවේ මෙසේ වාර්තා කර තිබුණා. “මේක මගේ ජීවිතේ. මට හිතෙන දෙයක් කරන්න මට පුළුවන්.” මේ කාන්තාව හා සමානව චීනයේ වෙසෙන බොහෝ මිනිසුන්ට සදාචාර සම්පන්න ජීවිතයක් ගත කිරීමට එතරම් වුවමනාවක් නැහැ.

ඉහළ නිලතල දරන පුද්ගලයන් තුළ පවා යහපත් ප්‍රතිපත්ති නැති බවක් දක්නට ලැබෙනවා. බොහෝ දේශපාලනඥයන්, රැකියා ස්ථානවල ප්‍රධානීන් හා ආගමික නායකයන් “යහපත් ප්‍රතිපත්ති රැකීම සම්බන්ධයෙන් පොදු ජනයාට හොඳ ආදර්ශයක් තබා නැහැ” කියා කැනඩාවේ එක් පුවත්පතකට පැවසුවේ ජාවඩ් අක්බාර් නම් තැනැත්තායි. ඉන්පසු ඔහු මෙසේද පැවසුවා.“ඉහළ නිලතල දරන බොහෝදෙනෙක් ප්‍රතිපත්ති ගරුක මිනිසුන් නෙවෙයි.”—එම පුවත්පත Toronto Star.

පරිහානියට ලක් වන්නේ ඇයි?

මිනිසුන්ට හරි දේ හා වැරදි දේ පිළිබඳව ස්ථිර ප්‍රතිපත්තියක් නැත්තේ ඇයි? එසේවීමට එක් හේතුවක් වන්නේ, මිනිසුන් සංස්කෘතියට පටහැනි දේවල් කිරීමට නැඹුරු වීමයි. එක්සත් ජනපදයේ සමීක්ෂණයකදී පාසැල් සිසුන්ගෙන් බහුතරයක් මෙසේ කියා සිටියා. “හරි දේ හා වැරදි දේ කුමක්ද කියා තීරණය කරන්න ඕනේ තමන්මයි.”

දේශපාලනඥයෙක් මේ පරිහානියට හේතුව වන තවත් කරුණක් පෙන්නුම් කරනවා. “මිනිසුන් එන්න එන්නම ආත්මාර්ථකාමි වෙනවා. ඒ වගේම ඔවුන් උත්සාහ කරන්නේ තමුන්වම තෘප්තිමත් කරගැනීමටයි. තවදුරටත් තමන්ට අවශ්‍ය දේ කොහොමහරි ලබාගන්නත් ඔවුන් උත්සාහ කරනවා.” එවන් ආත්මාර්ථකාමි ආකල්ප, පුද්ගලයෙකුට ජීවිතයේ සතුට අත් කරගන්න උපකාර කරයිද? එමෙන්ම කෙනෙකුට අන් අය සමඟ හොඳින් පෑහී කටයුතු කිරීමට ඒවා මඟ පාදයිද?

එක් අවස්ථාවක යේසුස් මෙසේ පැවසුවා. “ප්‍රඥාව ධර්මිෂ්ඨ බව එහි ක්‍රියාවලින් ඔප්පු වේ.” (මතෙව් 11:19) හරි වැරැද්ද ගැන නිවැරදි ප්‍රමිති නැති අය අද්දකින්නේ වේදනාකාරී ප්‍රතිඵලයි. ඒවා නම් එකිනෙකා සමඟ ඇති විශ්වාසය පලුදු වීම, සුරක්ෂිතභාවය අහිමි වීම, තනි මාපියෙක් යටතේ දරුවන් ඇති දැඩි වීම, ලිංගිකව බෝ වන රෝග ඇතිවීම, අවිවාහක මව්වරු, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හා සැහැසියාව යනාදියයි. මෙවන් ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන්නේ ඔවුන් සතුට හා සුරක්ෂිතභාවය අද්දකින බවද?—ගලාති 6:7, 8.

අතීතයේ සිටි දෙවිගේ ප්‍රඥාවන්ත සේවකයෙකු වූ යෙරෙමියාගේ කාලයෙත් මේ හා සමානම තත්වයක් තිබුණා. මේ නිසා ඔහු මෙසේ නිගමනය කළා. “යෙහෝවා දෙවියනි, මිනිසෙකුට තමන් යා යුතු මාර්ගය තෝරාගන්න අයිතියක් නැති බව මම හොඳින් දනිමි. තමාගේ පියවර මෙහෙයවන්න මිනිසාට හැකියාවක්ද නැති බව මම දනිමි.” (යෙරෙමියා 10:23, නව ලොව පරිවර්තනය, NW) දෙවි අපව නිර්මාණය කර තිබෙන්නේ හරි වැරැද්ද පිළිබඳව ඔහුගේ මඟ පෙන්වීම් ලබාගැනීමේ අවශ්‍යතාව ඇතුවයි. හේතුව, සමහරවිට අපිට හරියි කියලා හිතෙන දෙයින් බොහෝ නරක ප්‍රතිඵල ඇති විය හැකි නිසයි. බයිබලයේ හිතෝපදේශ 14:12හි ඒ ගැන පවසන්නේ මෙසේයි. “මනුෂ්‍යයෙකුට යුතුයයි පෙනෙන මාර්ගයක් ඇත. එහෙත් එහි කෙළවර මරණයෙහි මාර්ග වේ.”

ඇතුළාන්ත සටනක්!

දෙවිගේ මඟ පෙන්වීම් අපට අවශ්‍ය වන්නේ ඇයි? බයිබලයේ යෙරෙමියා 17:9හි [NW] ඊට හේතුව පෙන්නුම් කරනවා. “සියල්ලටම වඩා සිත රැවටිලිකාරයි. එය උත්සාහ කරන්නේ කෙසේ හෝ තම ආශාව ඉටු කරගැනීමටයි. එය තේරුම්ගන්න පුළුවන් කාටද?” කෙනෙක් වංචාකාරයෙක් හෝ රැවටිලිකාරයෙක් නම් ඔබ ඔහුව විශ්වාස කරයිද? කොහෙත්ම නැහැ. ඒ නිසා දෙවි අපට මෙම ප්‍රේමණීය මෙන්ම ඍජු අවවාදය දෙනවා. “තමාගේ සිත ගැන විශ්වාසය තබන්නා මෝඩයෙක්ය. නමුත් ප්‍රඥාවෙන් ගමන් කරන්නා ගැලවෙන්නේය.”—හිතෝපදේශ 28:26, NW.

හරි වැරැද්ද අපිම තීරණය කරනවා වෙනුවට දෙවි දෙන මඟ පෙන්වීම් පිළිපදිනවා නම් එය අපිව බොහෝ උගුල්වලින් ආරක්ෂා කරයි. එමෙන්ම දෙවි දෙන ඒ ප්‍රඥාව ලබාගන්න කැමති සියලුදෙනාට ඔහු එය ලබා දෙන බවට පොරොන්දු වී තිබෙනවා. “දෙවි සියල්ලන්ට නොමසුරුව, දොස් නොතබා දෙන හෙයින් ඔබෙන් යමෙකුට ප්‍රඥාව අඩු නම්, ඔහු නොකඩවා දෙවිගෙන් ඉල්ලාවා!”—යාකොබ් 1:5.

‘ඔබේ මුළු සිතින්’ දෙවිව විශ්වාස කරන්න

අපගේ නිර්මාතෘ වන දෙවි ගැන බයිබලයේ පවසන්නේ මෙයයි. “දෙවි පර්වතයය. දෙවිගේ වැඩ සම්පූර්ණය. මක්නිසාද දෙවිගේ සියලු මාර්ග සාධාරණය. දෙවි අයුතුකමෙන් තොර වූ විශ්වාසකම ඇත්තාවූ දෙවි කෙනෙකි. දෙවි සාධාරණය, ධර්මිෂ්ඨය.” (ද්විතීය කතාව 32:4) දෙවි කිසිවිටක වෙනස් නොවන, පර්වතයක් මෙන් ස්ථිරව සිටින විශ්වසනීය කෙනෙක් නිසා හරි වැරැද්ද පිළිබඳ ඔහු දෙන මඟ පෙන්වීම් කිසිම සැකයකින් තොරව පිළිපැදීමට අපට පුළුවන්. බයිබලයේ තවදුරටත් මෙසේද පවසනවා. “ඔබේම බුද්ධියෙහි නොපිහිටා මුළු සිතින් යෙහෝවා විශ්වාස කරන්න. ඔබේ සියලු මාර්ගවලදී ඔහු සලකන්න. ඔහු ඔබේ මාවත් සමතලා කරන්නේය.”—හිතෝපදේශ 3:5, 6.

අපට මඟ පෙන්වීමට සිටින හොඳම තැනැත්තා අපේ නිර්මාතෘ වන දෙවියි. දෙවි අප ගැන හොඳින්ම දන්නා බව මේ බයිබල් පදයෙන් පැහැදිලි වෙනවා. දෙවි “ඔබේ සියලු හිසකේ පවා ගණන් කර තිබේ.” (මතෙව් 10:30) එමනිසා ඔහු සෑමවිටම විශ්වාසවන්ත මිතුරෙක් මෙන් අපට අවශ්‍ය වෙලාවට නිසි මඟ පෙන්වීම් ලබා දෙනවා.—ගීතාවලිය 141:5; හිතෝපදේශ 27:6.

කොහොමනමුත් දෙවි කිසිවිටක ඔහුගේ මඟ පෙන්වීම් පිළිපදින්න කියා අපට බල කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔහු අපෙන් ඉල්ලා සිටින්නේ මෙයයි. “ඔබේ ප්‍රයෝජනය පිණිස ඔබට උගන්වන්නාවූ ඔබ විසින් යා යුතු මාර්ගයේ ඔබ ගෙන යන්නාවූ ඔබේ දෙවි වූ යෙහෝවා මමය. අහෝ, ඔබ මාගේ ආඥාවලට කන්දුන්නෙහි නම් යහපත! එවිට ඔබේ සමාදානය ගංගාවක් මෙන්ද ඔබේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළ මෙන්ද වන්නේය.” (යෙසායා 48:17, 18) අද ලොව පුරා වැඩියෙන්ම බෙදාහරින පොත වන ශුද්ධ බයිබලය මාර්ගයෙන් ඔහු අපට අවශ්‍ය ප්‍රඥාව ලබා දෙනවා.—2 තිමෝති 3:16.

බයිබලයෙන් ලැබෙන ආලෝකය

දෙවිගේ සේවකයෙක් වන දාවිත් බයිබලය ගැන මෙසේ පැවසුවා. “ඔබගේ වචන මාගේ පාදවලට පහනක්ය. මාවතට එළියක්ය.” (ගීතාවලිය 119:105) ඇත්තටම බයිබලය අපේ ජීවිතවලට මඟ පෙන්වීම් ලබා දෙන පහනක් වගෙයි. දැන් අප ගත කරන ජීවිතයටත් අනාගතයටත් බලපාන නිවැරදි මෙන්ම ඥානවන්ත තීරණ ගැනීමට අපට උපකාර කරන්නේ බයිබලයයි.

යේසුස් පොළොව මත සිටියදී කළ දේශනාවක් ගැන මතෙව් 5 සිට 7 දක්වා පරිච්ඡේදවල සඳහන් වෙනවා. එහිදී ඔහු කතා කළ දේවල් අතරට සන්තෝෂය, ප්‍රේමය, වෛරය, දයාව, හරි වැරැද්ද පිළිබඳ ප්‍රතිපත්ති, යාච්ඤාව, ධනවත්කම වැනි කාරණා ඇතුළත් වුණා. එම කදිම තොරතුරුවලින් අදටත් අපට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඔහුගේ එම ඉගැන්වීම් ගැන බයිබලයේ පවසන්නේ “සමූහයෝ ඔහු උගන්වන ආකාරය ගැන මවිත වූහ” කියායි. (මතෙව් 7:28) යේසුස් කළ ඒ දේශනාව කියවා බලන්න. ඔබත් ඉන් ප්‍රයෝජන ලබන බව නිසැකයි.

දෙවිගෙන් “නොකඩවා ඉල්ලන්න”

දෙවි දෙන මඟ පෙන්වීම් අනුගමනය කිරීම හැමවිටම පහසු දෙයක් නොවේ. නිතරම වැරදි කිරීමට නැඹුරුවාවක් අපට තිබෙන නිසා හරි දේ කිරීම සඳහා නිරන්තර සටනක යෙදෙන්න සිදු වෙනවා. (රෝම 7:21-24) කොහොමවුණත් දෙවිගේ උපකාරයෙන් අපට හැකියි ඒ සටනින් ජය ගන්න. එමනිසා යේසුස් පැවසුවේ මෙයයි. “නොකඩවා ඉල්ලන්න. එවිට ඔබට දෙනු ලැබේ. නොකඩවා සොයන්න. එවිට ඔබට සම්බ වේ. . . . මන්ද, ඉල්ලමින් සිටින සියල්ලන්ට ලැබේ. සොයමින් සිටින සියල්ලන්ට සම්බ වේ.” (ලූක් 11:9, 10) යේසුස් කතා කළ සදාකාල ජීවනයට යන පටු මාර්ගයේ ගමන් කිරීමට අවංක වුවමනාවක් තිබෙන අයට දෙවි හැමවිටම උපකාර කරන බව නම් නිසැකයි.—මතෙව් 7:13, 14.

ෆ්‍රෑන්ක් නම් පුද්ගලයාගේ අද්දැකීම සලකා බලන්න. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත් ඔහු කලින් දුම්පානයට ඇබ්බැහි වී සිටි කෙනෙක්. නමුත් බයිබලයේ 2 කොරින්ති 7:1හි සඳහන් වන ‘මාංසය දූෂ්‍ය කරවන’ දේවල් අතරට දුම්පානයද අයත් වන බව තේරුම්ගත් ඔහු එය නතර කිරීමට තීරණය කළා. ඒත් ඒක කරන එක හිතපු තරම් ලෙහෙසි වුණේ නැහැ. දිනක් ඔහුට සිගරට් එකක් බොන්න ඕනෙම වෙලා අස්සක් මුල්ලක් නෑර සිගරට් කොටයක් හෙව්වා.

එදා ඔහු තේරුම්ගත්තා දුම්පානයට ඔහු කොතරම් වහල් වෙලාද කියලා. (රෝම 6:16) මේ තත්වයෙන් ගොඩ එන්න උපකාර කරන්න කියලා ඔහු ඉතා ඕනෑකමින් දෙවිට යාච්ඤා කළා. ඒ වගේම සාක්ෂිකරුවන් සමඟ ඇසුරු කිරීමෙන් ලැබුණ දිරිගැන්වීම්ද ඉන් ජය ගන්න ඔහුට උපකාර වුණා.—හෙබ්‍රෙව් 10:24, 25.

අප කළ යුතු දේ

බයිබලයේ ඇති උසස් ප්‍රතිපත්ති හා මඟ පෙන්වීම් පුද්ගලයකුගේ ජීවිතයට කොතරම් බලපෑමක් කරන්න පුළුවන්ද කියා ෆ්‍රෑන්ක්ගේ අද්දැකීමෙන් පැහැදිලි වෙනවා. බයිබලයේ තිබෙන මඟ පෙන්වීම් අපිට කොතරම් වැදගත්ද කියා යේසුස් පැහැදිලි කළා. “මිනිසා ජීවත් විය යුත්තේ රොටි පමණකින් නොව, යෙහෝවාගේ මුඛයෙන් නික්මෙන සෑම වචනයකිනි.”—මතෙව් 4:4.

අපි දෙවිගේ මඟ පෙන්වීම් අනුව ජීවත් වෙනවා නම් වඩාත් සාර්ථක ජීවිතයක් ගත කරන්න අපිට පුළුවන්. ඒ කියන්නේ සාමකාමී මනසක්, සන්තෝෂවත් ජීවිතයක්, හොඳ සෞඛ්‍යයක් හා දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමයි. බයිබලයේ ගීතාවලිය 19:7, 8හි මෙවැන්නක් පවසනවා. “යෙහෝවාගේ ව්‍යවස්ථාව සම්පූර්ණය. ආත්මය ප්‍රාණවත් කරන්නේය. . . . යෙහෝවාගේ පනත් සාධාරණය. සිත ප්‍රීති කරන්නේය. යෙහෝවාගේ ආඥාව පවිත්‍රය. ඇස් එළිය කරන්නේය [එනම් දෙවිගේ අරමුණු ගැන බලාපොරොත්තුවක් හා පැහැදිලි අවබෝධයක් ලබා දෙන්නේය].”

බයිබලය හරියට අප යා යුතු නිවැරදි දිශාව පෙන්වන දිශා දර්ශකයක් වගෙයි. එය අපට ජීවත් විය යුතු හොඳම ආකාරය කියා දෙනවා. එමෙන්ම අපේ අනාගතය ගැනද එහි කතා කර තිබෙනවා. (යෙසායා 42:9) හරි වැරැද්ද පිළිබඳ දෙවිගේ මඟ පෙන්වීම් අනුව තම ජීවිත හැඩගස්වා ගන්නා අය අද්දකින්න යන්නේ යහපත් අනාගතයක්. ඒ අනාගතය ගැන ඊළඟ ලිපියෙන් කියවා බලන්න.

[4, 5වන පිටුවේ කොටුව/පින්තූරය]

අපට මඟ පෙන්වන දිශා දර්ශකය

හෘදය සාක්ෂිය, දෙවිගෙන් අපට ලැබී තිබෙන අනගි ත්‍යාගයක්. ඒ නිසා යුග ගණනාවක් පුරා විවිධ ජාතීන් අතර හරි වැරැද්ද පිළිබඳව එක හා සමාන ප්‍රතිපත්ති ඇතුව සිටීමට හැකියාව ලැබී තිබෙනවා. (රෝම 2:14, 15) කෙසේවෙතත් අසත්‍ය ආගමික විශ්වාසයන්, දර්ශනවාදී අදහස්, ජාතිවාදය සහ වැරදි ආශාවන් නිසා හෘදය සාක්ෂිය දූෂණය විය හැකියි. (යෙරෙමියා 17:9; කොලොස්සි 2:8) ගුවන් නියමුවෙක් විටින් විට දිශා දර්ශකය භාවිත කරමින් ගමන් කරන දිශාව නිවැරදිද කියා පරීක්ෂා කරනවා හා සමානව, යෙහෝවා දෙවි අපට දී ඇති ධර්මිෂ්ඨ ‘නීති’ යොදාගෙන අපේ ගමන් මඟත් නිවැරදිද කියා සෝදිසි කර බලා අවශ්‍ය වෙනස්කම් කරගැනීම වැදගත්. (යෙසායා 33:22) පරම්පරාවෙන් පරම්පරාවට මිනිසුන්ගේ ප්‍රතිපත්ති වෙනස් වුණත් දෙවිගේ ප්‍රතිපත්ති සදහටම පවතිනවා. ඒ ගැන බයිබලයේ මෙසේ පවසනවා. “මක්නිසාද යෙහෝවා නම් මම වෙනස් නොවෙමි.”—මලාකි 3:6.

[7වන පිටුවේ කොටුව]

සතුට හා සාර්ථකත්වයට මඟ

සතුට ලබන්න

“තම ආත්මික අවශ්‍යතාව ගැන සැලකිලිමත් වන අය සන්තෝෂවත්ය.”—මතෙව් 5:3.

“ලැබීමට වඩා දීමෙන් වැඩි සන්තෝෂයක් ඇති වේ.”—ක්‍රියා 20:35.

“දෙවිගේ වචනය අසා එය පවත්වන අය සන්තෝෂවත්ය!”—ලූක් 11:28.

විශ්වාසය ගොඩනඟා ගැනීම

“තමාගේ අසල්වාසියා සමඟ සත්‍යය කතා කරන්න.”—එෆීස 4:25.

“සොරකම් කරන්නා තවදුරටත් සොරකම් නොකෙරේවා.”—එෆීස 4:28.

“විවාහය සියල්ලන් අතර ගෞරවනීයවද, විවාහ යහන දූෂ්‍ය වීමකින් තොරවද තිබේවා.”—හෙබ්‍රෙව් 13:4.

යහපත් සබඳතා ඇති කරගන්න

“අනුන් ඔබට කරනවාට ඔබ කැමති සියල්ලම, ඔබත් එලෙසම ඔවුන්ට කළ යුතුය.”—මතෙව් 7:12.

“[ස්වාමිපුරුෂයා] තමාට මෙන් තම භාර්යාවටද ප්‍රේම කළ යුතුය. . . . භාර්යාව තම ස්වාමිපුරුෂයා කෙරෙහි ගැඹුරු ගෞරවයක් ඇතිව සිටිය යුතුය.”—එෆීස 5:33.

“මුළු හදවතින්ම එකිනෙකාට කමා කරන්න.”—කොලොස්සි 3:13.

ගැටලු වැළැක්වීම හා විසඳාගැනීම

“කිසි කෙනෙකුට නපුරට නපුර නොකරන්න.”—රෝම 12:17.

“ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය. කරුණාවන්තය. . . . අමනාපයක් සිතේ තබාගන්නේ නැත.”—1 කොරින්ති 13:4, 5.

“ඉර බසින්න කලින් ඔබේ කෝපය ඉවත් කරගන්න.”—එෆීස 4:26.