Skip to content

පටුනට යන්න

සහජ හැකියාවෙන් මඟ සොයා යන්නෝ

සහජ හැකියාවෙන් මඟ සොයා යන්නෝ

සහජ හැකියාවෙන් මඟ සොයා යන්නෝ

‘කුරුල්ලන්ගේ සංක්‍රමණය සොබාදහමේ අරුමයන්ගෙන් එකක්!’—කොලින්ස් ඇට්ලස් ඔෆ් බර්ඩ් මයිග්රේෂන්.

දිනක් අයර්ලන්තය දෙසට පියඹා යමින් සිටි වූපර් හංස රෑනක් වෙත ගුවන් යානයක සිටි නියමුවෙකුගේ නෙත ගැටුණා. වර්ෂ 1967 දෙසැම්බර් 9වන දින මේ වූපර් හංස රෑන පියාසර කරමින් සිටියේ මුහුදු මට්ටමේ සිට මීටර් 8,200ක ඉහළිනුයි. අවට පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ 40ක් පමණ වී තිබියදීත් උන් මේ තරම් ඉහළින් පියාඹන්නේ ඇයි? සුළං බලයේ ආධාරයෙන් පැයට කිලෝමීටර් 200ක පමණ වේගයකින් පියාසර කිරීමට හැකි නිසායි උන් ඒ තරම් ඉහළින් පියාඹන්නේ. මේ නිසා අයිස්ලන්තයේ සිට අයර්ලන්තය දක්වා කිලෝමීටර් 1,300ක දුරක් පියාසර කිරීමට මේ කුරුල්ලන්ට ගත වන්නේ පැය හතක් පමණයි!

තවත් සංක්‍රමණයට දක්ෂ කුඩා පක්ෂියෙක් තමයි ආක්ටික් මුහුදුලිහිණියා. උන්ට වසරකට කිලෝමීටර් 40,000ත් 50,000ත් අතර දුර ප්‍රමාණයක් පියාඹන්න පුළුවන්. ඒක හරියට ලෝකෙ වටේ රවුමක් ගියා වගෙයි.

සුදු මානකොකා දුර ඈත පියාසර කරන්න පුළුවන් තවත් දක්ෂයෙක්. උතුරු යුරෝපයේ තම වර්ගයා බෝ කරන උන් ශීත සමය ආරම්භයත් සමඟම කිලෝමීටර් 24,000ක දුරක් ගෙවාගෙන දකුණු අප්‍රිකාවට සංක්‍රමණය කරනවා. දහස් ගණනින් එතරින් මෙතරට එන යන මේ ගමනේදී ඊශ්‍රායෙලය හරහා එන්න උන් කිසිදාක අමතක කරන්නේ නැහැ. ඈත අතීතයේදීත් උන්ගේ මේ විශේෂ සංක්‍රමණය ගැන බයිබලයෙහි සඳහන් කර තිබෙනවා.—යෙරෙමියා 8:7.

යන්න ඕනෙ කොහේටද කොයි කාලයේදීද කියලා මේ කුරුල්ලන් හරියටම දන්නේ කොහොමද? අවුරුදු 3,500කට පමණ පෙර යෝබ් නම් මිනිසාගෙන් දෙවි මේ ආකාරයේම ප්‍රශ්නයක් ඇසුවා. “උකුස්සා ඉහළ නැඟී දකුණු දිසාවට පියාපත් විදහන්නේ ඔබේ ප්‍රඥාවෙන්ද? රාජාලියා ඔබේ ආඥාව ලෙස උඩට නැඟී උස් තැන කූඩුව සාදයිද?” එවිට යෝබ්ගේ ප්‍රතිචාරය වුණේ කුමක්ද? මෙවැනි සත්වයන්ට දී තිබෙන පුදුමාකාර හැකියාවන් ගැන ඔහු දෙවිට ප්‍රශංසා කළා.—යෝබ් 39:26, 27; 42:2.

මිනිසුන් වෙනස් වන ආකාරය

මිනිසුන්, කුරුල්ලන් හෝ සතුන් වගේ නෙවෙයි. කුරුල්ලන්ට මෙන් මිනිසුන්ට, මඟ පෙන්වීම් සහජයෙන්ම ලැබෙන්නේ නැහැ. නමුත් තමන්ගේ ජීවිතය ගැන නිදහසේ තීරණ ගැනීමේ හැකියාව ඔවුන්ට තිබෙනවා. හරි වැරැද්ද පිළිබඳව වටහාගන්නත් සතුන්ට වෙනස්ව විවිධාකාර පැතිවලින් ප්‍රේමය පෙන්වීමටත් හැකියාව ඔවුන් සතුව තිබෙනවා. (උත්පත්ති 1:27; 1 යොහන් 4:8) දෙවි මිනිසුන්ට දී ඇති මේ හැකියාව, නිවැරදි තීරණ ගන්නත් අන් අය කෙරෙහි පරාර්ථකාමී සැලකිල්ලක් මෙන්ම ප්‍රේමයක් දක්වන්නත් මහෝපකාරි වෙනවා.

කෙනෙක් ළදරු වයසේ පටන් හොඳ ප්‍රතිපත්ති ඉගෙනගෙන නැත්නම් ඔහු සිතන ආකාරයටත් ක්‍රියා කරන ආකාරයටත් එය බලපාන්න පුළුවන්. ඒ වගේම හරි වැරැද්ද පිළිබඳව තිබෙන ප්‍රතිපත්ති පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. මෙවැනි වෙනස් ප්‍රතිපත්ති නිසා එකිනෙකාට වෛර කිරීම, සංස්කෘතික හා ආගමික වශයෙන් මත ගැටුම් හා ජාතීන් අතර ප්‍රශ්න ඇති වී තිබෙනවා.

සොබාදහමේ නීති රීතිවලට සෑම කෙනෙක්ම යටත් වෙනවා හා සමානව සියලුදෙනාම හරි වැරැද්ද පිළිබඳව එකම ප්‍රමිතියකට යටත් වුණොත් මුළු ලෝකයම කොච්චර ලස්සන තැනක් වෙයිද? එවන් උසස් ප්‍රමිති අපට දීමට අයිතිය තිබෙන්නේ කාටද? මේ ගැන අපි ඊළඟ ලිපියෙන් සලකා බලමු.