ඉපැරණි නගරයක මියුරු රාවය
ඉපැරණි නගරයක මියුරු රාවය
ඉතාලියේ පිබිදෙව්! ලේඛක විසින්
රෝමයේ පිහිටි බොහෝ පොකුණුවල දැකුම්කලු ස්වභාවය හා එයින් නැඟෙන මිහිරි හඬට වශී වූ ඉතාලි ජාතික සංගීතඥයෙකු වන ඔටෝරිනෝ රෙස්පිගි එය අලළා ලස්සන සංගීතයක් නිර්මාණය කළා. එහි තේමාව වුණේ “රෝමයේ පොකුණු” (“The fountains of Rome”) යන්නයි. අපි රෝමයේ තිබෙන පොකුණු අතරින් වඩාත් සිත් ඇදගන්නා පොකුණක් වන ත්රෙවි පොකුණ බලන්න යමු.
පටු පාරක් දිගේ ඇවිද ගිය අපි නතර වුණේ අපේ ඇස් අදහාගන්න බැරි තරම් සුන්දර ත්රෙවි පොකුණ ළඟයි. මෙය පිහිටා තිබෙන්නේ ගොඩනැඟිලිවලින් පිරී පවතින නගරයක් මැදයි. එය පළලින් මීටර් 20ක් වන අතර පොකුණ පතුලේ සිට මැද රූපයේ දක්වා උස මීටර් 26ක් වෙනවා. මෙතරම් මනරම් පොකුණක් නගරයක් මැද පිහිටා තිබීම සිතාගන්නත් අමාරුයි නේද!
දොළොස්වන ක්ලෙමන්ට් පාප්වරයාගේ අණ පරිදි, ඉතාලියේ ගෘහ නිර්මාණ ශිල්පියෙක් වන නිකෝලෝ සැල්වි අතින් ත්රෙවි පොකුණ නිම වුණා. මෙහි ඉදි කිරීමේ කාර්යය 1732දී ආරම්භ වූ අතර නිම කරනු ලැබුවේ 1762දීයි. ත්රෙවි පොකුණට ජලය සපයනු ලබන්නේ ක්රි.පූ. පළමුවන සියවසේදී සාදන ලද ඇක්වා වර්ගෝ නම් වාරිමාර්ග පද්ධතිය මගිනුයි. මෙම වාරිමාර්ග පද්ධතිය පිහිටා තිබෙන්නේ නගරයේ සිට කිලෝමීටර් 13ක් පමණ දුරකින්.
ත්රෙවි පොකුණ සාදා තිබෙන්නේ මුහුදක තිබෙන අසිරියට සමානවයි. මෙහි නෙප්වූන් (හෝ ඕෂනස්) යන නමින් ප්රචලිත මනඃකල්පිත රූපයක් නෙළා තිබෙනවා. ඔහු ගාම්භීර විලාසයකින්, සිප්පි කටුවක හැඩයෙන් යුත් කරත්තයක වාඩි වී ගලා යන ජල කඳ පාලනය කරන ආකාරය අඹා තිබෙනවා දැකගන්න පුළුවන්. මෙම පොකුණේ තිබෙන ජලය අනිකුත් රූප මත හැපී කැලතී නැවත ගලා යන විට ඇසෙන හඬ, මුහුදු රැළි වෙරළ සිපගෙන ගලා යන හඬට සමානයි. මෙම පොකුණ කොතරම් ඉඩ ප්රමාණයක් ගන්නවාද කියනවා නම් ඒ අවට සිටින කෙනෙකුට හැඟෙන්නේ ඒ මුළු ප්රදේශයම මේ පොකුණේ කොටසක් කියායි.
මේ මනරම් දර්ශනය නරඹන්න සෑම දිනකම දසදහස් ගණන් සංචාරකයන් මෙතැනට පැමිණෙන අතර ඔවුන් සෑම කෙනෙක්ම පොකුණට කාසි දමා යන සිරිතක් තිබෙනවා. ත්රෙවි පොකුණේ වතුර සතියකට වතාවක් හිස් කරනවා. සතිපතාම එහි ඩොලර් 11,000ක පමණ මුදලක් එකතු වෙන අතර එම මුදල් යොදාගනු ලබන්නේ ආගමික කටයුතු සඳහායි.
සංගීතඥයෙක් වූ රෙස්බිග් රෝමයේ පොකුණු, සංගීතය සපයනවා කියා විශ්වාස කළා නම් ත්රෙවි පොකුණ හුදෙකලාවේ සංගීතය සපයන සංගීතඥයෙක් වගෙයි. රෝමයේ පිහිටි අනෙකුත් සියලුම පොකුණුවලට වඩා ත්රෙවි පොකුණ අද්විතීයයි!