Skip to content

පටුනට යන්න

ඕපාදූප කීම නවත්වන්නේ කෙසේද?

ඕපාදූප කීම නවත්වන්නේ කෙසේද?

යෞවන අය අසති . . .

ඕපාදූප කීම නවත්වන්නේ කෙසේද?

“දවසක් මම පාටියකට ගියා. එතනදී මම පිරිමි ළමයෙක් එක්ක හුඟක් පහත් විදිහට හැසිරුණා කියලා ඊළඟ දවස වෙද්දී ලොකු කටකතාවක් පැතිරිලා තිබුණා. ඒත් ඒක අමූලික බොරුවක්!”—ලින්ඩා. *

“මම ගැහැනු ළමයෙක් එක්ක යාළුයි කියලා කියනවා මට ඇහිලා තියෙනවා. ඒත් ඒ වගේ කෙනෙක් ගැන මම දන්නෙවත් නැහැ! හුඟක් අය දේවල් කියන්නේ ඇත්ත නැත්ත මොකද්ද කියලා හොයන්නේ බලන්නේ නැතුවයි.”—මයික්.

අන් අය ගැන බොරු කටකතා දිගින් දිගටම පැතිර වීම දැන් මිනිසුන්ට සාමාන්‍ය දෙයක් වෙලා. වයස අවුරුදු 19ක් වන ඇනීටාත් මේ වගේ දෙයකට මුහුණ දී තිබෙනවා. ඒ ගැන ඇය පවසන දේ බලන්න. “මං ගැන දිගින් දිගටම එක එක කටකතා පැතිරුණා. මට බබෙක් හම්බවෙන්න ඉන්නවා කියලත් මම ගබ්සාවක් කළා කියලත් කිව්වා. ඒ විතරක් නෙවෙයි මම මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා, ඒවා විකුණනවා කියලත් කතාවක් පැතිරුණා. ඇත්තටම මට තේරෙන්නේ නැහැ මිනිස්සු මේ වගේ දේවල් මට කියන්නේ ඇයි කියලා!”

ඕපාදූප පැතිර වීමේ නවතම ක්‍රම

ඔබේ දෙමාපියන්ගේ යෞවන කාලයේදී ඕපාදූප පැතිරුණේ කටින් කටයි. ඒත් අද ඒ කාර්යය කිරීමට ඊ-මේල්, SMS පණිවිඩ වැනි නවීණ තාක්ෂණය ලොකු රුකුලක් වී තිබෙනවා. කෙනෙකුගේ ආත්ම ගෞරවය කෙලෙසන්න යමෙකුට අවශ්‍ය නම් එක වචනයක්වත් කතා නොකර නවීන තාක්ෂණය යොදාගෙන එය කරන්න පුළුවන්. මේ තාක්ෂණය මගින් සුළු මොහොතකින් වචන කිහිපයකින් යුත් පණිවිඩය විනාඩි කිහිපයක් ඇතුළතදී දසත පතුරුවා හැරිය හැකියි.

එදා ඕපාදූප පැතිර වීමට දුරකථනය භාවිත කළත් අද ඒ තැන අන්තර්ජාලයට හිමි වෙමින් තිබෙනවා. සමහර වෙබ් අඩවි පුරවා තිබෙන්නේ අනිත් අයගේ ඕපාදූපවලින්. යෞවනයන් සමඟ කළ එක් සමීක්ෂණයකදී ඔවුන්ගෙන් සියයට 58දෙනෙක්ම කියා සිටියේ තමන් ගැන බොරු තොරතුරු අන්තර්ජාලය ඔස්සේ පතුරුවාහැර ඇති බවයි.

ඕපාදූප පැතිර වීම මේ තරම් සාමාන්‍ය දෙයක් වෙලා තිබෙන්නේ ඇයි? එමෙන්ම අන් අය ගැන කතා කිරීම හැමවිටම වැරදිද?

අන් අය ගැන කතා කිරීම සැමවිටම වැරදිද?

පහත සඳහන් අදහස හරිද වැරදිද?

අන් අය ගැන කතා කිරීම සැමවිටම වැරදියි. හරි වැරදියි

අන් අය ගැන සාමාන්‍ය දේවල් කතා කිරීම වැරදි නැහැ. ඒ නිසයි ‘අනුන්ගේ කාරණා ගැනත් සැලකිල්ලක් දක්වන්න’ කියා බයිබලයේ පවසා තිබෙන්නේ. (ෆිලිප්පි 2:4) ඉන් අදහස් කරන්නේ ඕනෑවට වඩා අනුන්ගේ පෞද්ගලික තොරතුරු හාරා ඇවිස්සීම නෙවෙයි. (1 පේතෘස් 4:15) අන් අය ගැන තොරතුරු කතා කිරීමෙන් යහපත් දෙයක් සිදු වෙනවා. කෙනෙකුගේ විවාහය ගැන, දරුවෙක් ලැබීම ගැන යම් කෙනෙකුගේ අවශ්‍යතා ගැන කතා කිරීම ඇත්තෙන්ම ප්‍රයෝජනදායකයි. අනික් අතට අපි අන් අය ගැන කොහෙත්ම කතා නොකර සිටිනවා නම් ඔවුන් ගැන අපි සැලකිල්ල දක්වනවා කියා කියන්න බැහැ.

ඒත් කෙනෙක් ගැන සාමාන්‍ය දේවල් කතා කිරීම වුණත් හානිදායක ඕපාදූපවලට හැරෙන්න පුළුවන්. උදාහරණයකට, “ෂෙහාන් හා ශානි කියන දෙන්නා හොඳින් ගැළපෙනවා” කියලා කෙනෙක් හොඳ හිතින් කියන්න පුළුවන්. ඒත් ඒක කටින් කට යද්දී “ඒ දෙන්නා යාළුයි” කියලා කතාව වෙනස් අතකට හැරෙන්න පුළුවන්. සමහරවිට මේ දෙන්නා එවැනි දෙයක් ගැන හිතලවත් නැතුව ඇති. බැලූබැල්මට ඔබට හිතෙයි මේක ඒ තරම් ලොකු ප්‍රශ්නයක් නෙවෙයිනේ කියලා. ඒත් ඔබ ඉන් කෙනෙක් වුණා නම් ඔබට කෙසේ හැඟෙයිද!

දහඅට-හැවිරිදි ජූලි ගැන පැතිරුණු ඕපාදූපයක් නිසා ඇය හුඟක් දුක් වුණා. ඇය පවසන්නේ මෙසේයි. “ඒක අහලා මට හුඟක් කේන්ති ගියා. මේ වගේ අයව මට තවදුරටත් විශ්වාස කරන්න පුළුවන්ද කියලත් මට හිතුණා.” දහනව-හැවිරිදි ජේන්ටත් තිබෙන්නේ මේ හා සමාන අද්දැකීමක්. “පිරිමි ළමයෙක් එක්ක මම ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යනවා කියලා කටකතාවක් පැතිරුණා. ඒත් අපි අතරේ එහෙම දෙයක් තිබුණේ නැහැ. අපි හොඳ යාළුවෝ විතරයි. ඒත් මේ හේතුව නිසා මම එයත් එක්ක කතා කරන එකත් නැවැත්තුවා. මෙහෙම වුණ එක හරිම අසාධාරණයි.”

ඕපාදූප සෑමවිටම හානිකරයි. ඕපාදූප නිසා කෙනෙක් සිත් වේදනාවට පත් වී ඇත්නම් ඔහු තේරුම්ගත යුතු දෙයක් වන්නේ ඔහුත් වෙන අය ගැන ඕපාදූප කතා කර ඇති බවයි. වෙනත් කෙනෙක් ගැන ඕපාදූපයක් කතා කරන අවස්ථාවකදී ඊට හවුල් වීමට කෙනෙක් තුළ පෙලඹීමක් ඇතිවීම පුදුමයක් නෙවෙයි. ඊට හේතුව 18-හැවිරිදි ෆිලිප් පැවසූ දෙයින් පැහැදිලි වෙනවා. “කෙනෙක් තමුන් ගැන කතා කරනවාට වඩා අන් අය ගැන තොරතුරු කතා කරන්න වැඩි කැමැත්තක් දක්වනවා.” සාමාන්‍ය කතා බහක් ඕපාදූපයක් බවට හැරුණොත් ඔබට කළ හැක්කේ කුමක්ද?

කතාව වෙනතකට යොමු කරන්න!

උදාහරණයකට, ඔබ ප්‍රධාන මාර්ගයක රිය පදවාගෙන යනවා කියා සිතන්න. නොසිතූ ආකාරයෙන් ඔබේ ගමන් මාර්ගයේ මංතීරුව වෙනස් කිරීමට හෝ වාහනය නතර කිරීමට හේතු වන තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඔබ හොඳ රියදුරෙක් නම් ඔබ කරන්නේ දුර තියාම එවැනි තත්වයන් හඳුනාගෙන ඔබේ ගමනේ යම් වෙනසක් කිරීමයි. ඔබ එසේ කරන්නේ, ඔබේ ආරක්ෂාව ගැනත් ඔබේ ගමන ගැනත් ඔබ සැලකිල්ලක් දක්වන නිසයි.

ඔබ කරන කතා බහත් හරියට මේ ගමන වගෙයි. ඔබ කතා කරමින් සිටින විට කතාව ඕපාදූපක් බවට පත් වෙන බව පෙනෙනවා නම් ඔබට කතා කරන විෂය මාරු කරන්න සිදු විය හැකියි. එසේ නැතහොත් ඒ කතාව එතනින් නතර කරන්න. එසේ නොකළොත් එම කතා බහ මගින් විශාල හානියක් සිදු වෙන්න පුළුවන්. මෙවැනි හානියක් ගැන මයික් පවසන දේ බලන්න. “ඉවෝන් පිරිමි ළමයි පස්සේ යනවා කියලා මම අනිත් අයට කිව්වා. මේක ඉවෝන්ට ආරංචි වෙලා, එයාගේ හිත කොච්චර රිදුණද කියලා මට ඇවිත් කිව්වා. ඒ සිදුවීම මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මම හිතන්නේ බලන්නේ නැතුව කිව්ව දේ කොච්චර බරපතළද කියලා මට තේරුණේ එතකොටයි.”

කතා බහක් වෙනත් මඟකට හරවන එක ඒ තරම් ලෙහෙසි නැහැ. ඊට ධෛර්යය අවශ්‍යයි. වයස අවුරුදු 17ක් වන කාලීන් පවසන්නේ “අපි කියන දේ ගැන අපි හුඟක් පරෙස්සම් වෙන්න ඕනේ. ඔබ පවසන දේ පැමිණ ඇත්තේ විශ්වාසවන්ත මාධ්‍යයකින් නොවේ නම් සමහරවිට ඔබ පවසන්නේ බොරුවක් වෙන්න පුළුවන්.”

ඕපාදූපවලින් වැළකී සිටීමට බයිබල් උපදෙස් ඔබට ප්‍රයෝජනවත් වෙයි.

“කතාව වැඩි වූ කල වැරදි සිදු වීමට ඇති අවස්ථාද අඩු නැත. නමුත් පරෙස්සමින් කතා කරන්නා නුවණැත්තෙකි.” (හිතෝපදේශ 10:19, නව ලොව පරිවර්තනය, NW) ඔබ වැඩියෙන් කතා කරනවා නම් ඔබ අතින් වැරදි දේවල් පැවසීමට තිබෙන ඉඩ කඩ වැඩි නිසා ඔබට පසුතැවෙන්න වෙයි. ඒ නිසා අඩුවෙන් කතා කර වැඩියෙන් සවන් දෙන්න.

“ධර්මිෂ්ඨයා පිළිතුරක් දෙන්න කලින් හොඳින් සිතයි. නමුත් දුෂ්ටයන්ගේ මුඛයෙන් නපුරු දේ වැගිරෙයි.” (හිතෝපදේශ 15:28, NW) යමක් කීමට පෙර දෙවරක් සිතන්න.

“එකිනෙකා තම තමාගේ අසල්වාසියා සමඟ සත්‍යය කතා කරන්න.” (එෆීස 4:25) යම් දෙයක් පැවසීමට පෙර එය සත්‍යයක්ද කියා සහතික කරගන්න.

“අනුන් ඔබට කරනවාට කැමති දේ, එලෙසින්ම ඔබත් ඔවුන්ට කරන්න.” (ලූක් 6:31) කෙනෙකු පිළිබඳව සත්‍ය තොරතුරක් වුණත්, වෙනත් කෙනෙකුට පැවසීමට පෙර මෙසේ සිතා බලන්න. ‘මගේ පෞද්ගලික තොරතුරක් මේ විදිහට කවුරු හරි කියනවා නම් මට කොහොම හැඟෙයිද?’

“සමාදානයට මඟ පාදන දේවල්ද එකිනෙකාව ගොඩනංවන දේවල්ද ලුහුබඳිමු.” (රෝම 14:19) යම් තොරතුරක් සත්‍යය වුණත් එය ගොඩනංවනසුලු දෙයක් නොවේ නම් එය හානිදායක දෙයක් වෙන්න පුළුවන්.

“සන්සුන් ජීවිතයක් ගත කරන ලෙසත්, තම තමාගේම කාරණා බලාගන්නා ලෙසත්, ඔබේම අත්වලින් වැඩ කිරීමට ඉලක්ක කරගන්නා ලෙසත්ය.” (1 තෙසලෝනික 4:11) ඕනෑවට වඩා අන් අයගේ පෞද්ගලික කාරණාවලට අවධානය යොමු කරනවා වෙනුවට ඔබේ කාලය යහපත් වැඩකට යොදවන්න.

ඉලක්කය ඔබ නම් . . .

දිව පාලනය කරගැනීම සහ ඕපාදූපවලින් වළකිනවා කියන එක අතර වෙනසක් තිබෙනවා. කෙනෙක් ඔබ ගැන ඕපාදූපයක් පතුරුවා ඇත්නම් එවිට මෙහි ඇති බැරෑරුම්කම ඔබට වැටහෙයි. දහසය-හැවිරිදි ජොඈන්ටත් මේ වගේ දෙයක් සිදු වී තිබෙනවා. “මට යාළුවෝ එපා වුණා. මම මුළු රෑම ඇඬුවා. මට දැනුණේ මං ඇති කරගෙන තිබුණ මගේ හොඳ නමට ලොකු කැළලක් ඇති වෙලා කියලයි.”

කිසිම පදනමක් නැතිව ඔබ ගැනත් කටකතා පතුරුවා ඇත්නම් ඔබට කුමක් කළ හැකිද?

හේතුව තේරුම්ගන්න. සමහර අය ඕපාදූප පතුරවන්නේ ඇයි කියා තේරුම්ගන්න උත්සාහ කරන්න. සමහර අය එහෙම කරන්නේ තමන් හැම දෙයක්ම දන්නවා කියලා පෙන්වන්නයි. වයස අවුරුදු 14ක් වන කැරන් කියන්නේ මෙහෙමයි. “ඒ වගේ අයට ඕනෙ කරන්නේ තමන් අනික් අය ගැන අලුත්ම තොරතුරු දන්නවා කියලා පෙන්වන්නයි.” තවත් සමහර අය අනික් අයව පහත් කර කතා කරන්නේ තමන් උසස් බව අඟවන්නයි. මේ ගැන 17-හැවිරිදි රීනි පවසන්නේ, “මිනිසුන්ට අද කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඒ අය කරන්නේ කා ගැන හරි කතාවක් හදලා පතුරුවන එකයි.”

හැඟීම් පාලනය කරගන්න. තමන් ගැන පැතිර ඇති ඕපාදූපයක් නිසා වේදනාවෙන් හෝ කෝපයෙන් ඉන්න කෙනෙක් දරුණු ආකාරයකින් ප්‍රතික්‍රියා කරනවා නම් අවසානයේදී ඔහුට හුඟක් පසුතැවෙන්න සිදු වෙයි. බයිබලයේ හිතෝපදේශ 14:17හි පවසන්නේ මෙසේයි. “ඉක්මනින් කේන්ති ගන්නා මෝඩ ලෙස ක්‍රියා කරයි.” මෙය කියන්න පහසු වුණත් කරන්න එතරම් පහසු නොවන බව ඇත්තයි. නමුත් මෙවන් අවස්ථාවක ඔබ ඔබවම පාලනය කර නොගත්තොත් ඔබත් ඔහු මෙන් ඕපාදූප පතුරුවන්නෙක් බවට පත් වෙන්න පුළුවන්.

යථාර්ථය තේරුම්ගන්න. මෙසේ සිතා බලන්න: මෙය ඇත්තටම මං ගැන කිව්ව දෙයක්ද? කටකතාවක්ද නැත්නම් වරදවා තේරුම්ගැනීමක්ද? මම මේ කාරණය සම්බන්ධයෙන් ඕනෑවට වඩා සංවේදීද? කොහොමවුණත් ඕපාදූප පැතිරවීම වැරදියි. ඒත් අපි ඕනෑවට වඩා කලබලකාරී ලෙස ක්‍රියා කරනවා නම් ඕපාදූපයෙන් අපේ නමට සිදු වන කැළලට වඩා ලොකු කැළලක් එමගින් ඇති වෙන්න පුළුවන්. මෙවන් අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය අපට රෙනීගෙන් ඉගෙනගන්න පුළුවන්. “මං ගැන කවුරු හරි ඕපාදූපයක් පැතිරුවොත් මට හුඟක් දුක හිතෙනවා. ඒත් මම ඒ ගැන කලබල වෙන්නේ නැහැ. මොකද අද මං ගැන කිව්වා වගේ හෙට තවත් කෙනෙක් ගැන මොනවා හරි දෙයක් පතුරවයි කියලා මම දන්නවා.” *

ඥානවන්තම ක්‍රියා මාර්ගය

බයිබලයේ මෙසේ පවසා තිබෙනවා. “අපි සියලුදෙනාම බොහෝ වර වැරදි කරන්නෙමු. යමෙකු වචනයකින්වත් වැරදි කරන්නේ නැත්නම්, ඔහු තමාගේ මුළු ශරීරයම දමනය කළ හැකි පරිපූර්ණ මිනිසෙකි.” (යාකොබ් 3:2) අපි ගැන අන් අය පතුරවන ඕපාදූප ගැන ඕනෑවට වඩා සිතීම ඥානවන්ත දෙයක් නොවෙයි. බයිබලයේ දේශනාකාරයා 7:22හි මෙවැන්නක් පවසා තිබෙනවා. “මක්නිසාද ඔබත් එසේම නොයෙක් වර අනුන්ට ශාප කළ බව ඔබේ සිතට දැනෙයි.”

යේසුස් පැවසුවේ “ප්‍රඥාව ධර්මිෂ්ඨ බව එහි ක්‍රියාවලින් ඔප්පු වේ” කියායි. (මතෙව් 11:19) එමනිසා අපේ යහපත් හැසිරීම ඕපාදූපවලට හොඳ පිළිතුරක් දෙයි. එකිනෙකා සමඟ සැබෑ ප්‍රේමයක් සහ මිත්‍රත්වයක් ගොඩනඟා ගන්න. එවිට ඕපාදූපවලින් වැළකී සිටීමටත් ඉන් ඇති වන බලපෑම්වලට හොඳින් මුහුණ දීමටත් ඔබට හැකි වෙයි.

[පාදසටහන්වල]

^ 3 ඡේ. මෙහි සමහර නම් වෙනස් කර ඇත.

^ 33 ඡේ. සමහර අවස්ථාවලදී ඕපාදූප පැතිර වූ පුද්ගලයාව හමු වී කල්පනාකාරීව කතා කිරීම ඥානවන්ත දෙයක් විය හැකියි. නමුත් හැමවිටම එසේ කිරීම අවශ්‍ය නැහැ. හේතුව “ප්‍රේමය පව් රාශියක් වසා දමන්නේය” කියා බයිබලයේ පවසා තිබෙන නිසයි.—1 පේතෘස් 4:8.

සිතා බලන්න

▪ අන් අය ගැන ඕපාදූප පැතිරවීමෙන් මට වැළකිය හැක්කේ කෙසේද?

▪ මා ගැන කෙනෙක් ඕපාදූප පතුරවා ඇත්නම් මම ඊට ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේද?