Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

▪ “අමෙරිකාවේ වෙසෙන වැසියන්ට වඩා ඔවුන්ට තිබෙන TV සංඛ්‍යාව වැඩියි. එහි ජනගහනයෙන් අඩකටම තමන්ගේ නිවෙස්වල TV තුනක් හෝ ඊට වැඩියෙන් තිබෙනවා.”—එක්සත් ජනපදයේ, ASSOCIATED PRESS, U.S.A.

▪ දකුණු අප්‍රිකාවේ උසාවිවල සෑම දිනකම ළමුන් 82ක් පමණ පෙනී සිටින්නේ “වෙනත් ළමුන්ව දූෂණය කිරීම නිසා හෝ පහරදීම්වලට ලක් කර ඇති නිසයි.” ඔවුන්ගෙන් වැඩිදෙනෙක් මෙවැනි ක්‍රියාවලට පෙළඹී තිබෙන්නේ “රූපවාහිනියෙන් නරඹන දේවල් නිසා” බව වාර්තා වෙනවා.—දකුණු අප්‍රිකාවේ, THE STAR.

අඩු නින්දේ ප්‍රතිඵල

සමහර ස්පාඤ්ඤ ජාතිකයන්ට අවශ්‍ය තරම් නින්ද නොමැතිකම නිසා ඔවුන්ගේ වැඩවල කාර්යක්ෂම බව අඩු වී තිබෙන බව පෙනී ගොස් තිබෙනවා. බාසිලෝනාහි වෛද්‍යවරයෙක් වන එත්වා එස්ටවිල් පවසන ආකාරයට, සාමාන්‍යයක් ලෙස ගත් කළ ස්පාඤ්ඤ ජාතිකයන්ගේ නින්ද යුරෝපීයන්ට වඩා මිනිත්තු 40කින් අඩුයි. ඔවුන් පාන්දරින්ම අවදි වෙනවා, සේවා කාලයේ වැඩි වේලාවක් නිරත වෙනවා විතරක් නෙවෙයි රාත්‍රි ආහාරය ගන්නෙත් හුඟක් ප්‍රමාද වෙලයි. අවශ්‍ය තරම් නින්ද නොමැතිකම නිසා නුරුස්නා ගතිය, මතක ශක්තිය අඩු වීම, කාන්සාව හා මානසික අවපීඩනය වැනි තත්වයන් ඇති වෙනවා. “මනස වෙහෙසා කරන වැඩවලට පමණක් නොව වෙනත් ඕනෑම වැඩක නිරත වීමට නම් ඒ කෙරෙහි අවධානය දීමේ හැකියාව තිබිය යුතුයි. සාමාන්‍යයෙන් දිනකට පැය හතක් හෝ අටක්වත් නිදාගැනීම අත්‍යවශ්‍යයි” කියා එම වෛද්‍යවරයා තවදුරටත් පවසනවා.

තෙල් වෙනුවට තිරිඟු

සීත රටවල උණුසුම ලබාගැනීමට තිරිඟු දහනය කිරීම සාධාරණද? ජර්මන් පුවත්පතක පවසන ආකාරයට තිරිඟුවල මිල පහත බැසීමත් තෙල්වල මිල ඉහළ යෑමත් මීට හේතුවයි. ගොවියෙකුට තිරිඟු භාවිත කිරීම තෙල් භාවිත කිරීමට වඩා ලාභදායි. ගොවියෙකුට තිරිඟු කිලෝග්‍රෑම් දෙකහමාරක අස්වැන්නක් ලබාගැනීම සඳහා වියදම් කළ යුත්තේ යූරෝ ශත 20ක මුදලක්. (රුපියල් 28ක්) ඒත් එම තිරිඟු ප්‍රමාණය දහනය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනය තෙල්වලින් ලබාගැනීමට නම් ඔහුට යූරෝ ශත 60ක (රුපියල් 84ක්) මුදලක් වැය වෙනවා. එම පුවත්පතේ මෙවැනි ප්‍රශ්නයක් අසා තිබෙනවා. “බොහෝදෙනෙක් කුසගින්නේ සිටිද්දී ධාන්‍ය පිළිස්සීම සාධාරණ දෙයක්ද?”—Frankfurter Allgemeine Sonntagszeitung නම් පුවත්පත.

පාප්තුමාගේ බැහැදැකීම සහ වෙළදාම

වර්ෂ 2006දී පාප්තුමා විසින් ජර්මනියේ බැතිමතුන්ව බැහැදකින්න එන විට, අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සිතූ වෙළදුන්, නිෂ්පාදකයන් හා සංචාරක ව්‍යාපාරයේ යෙදී සිටින්නන් තම මඩිය තර කරගැනීමට කටයුතු සූදානම් කළා. කතෝලික පල්ලියත් හරි හරියට අනිත් අය සමඟ එකතුවෙලා වෙළදාම් කරන්න පටන්ගත්තා. බැතිමතුන්ගේ පොත් පත්, කොන්ත, ඉටිපන්දම්, ශුද්ධ පැන් අඩංගු බෝතල්, ටී-ෂර්ට්, තොප්පි, මුදු සහ වතිකානු කොඩි මේ අතර තිබුණා. එක් සඟරාවක මේ ගැන පැවසුවේ “යේසුස් දේවමාලිගාවෙන් වෙළෙඳුන්ව එළවූ වග නොදන්නා ගානටයි මේ කතෝලික පල්ලි කටයුතු කරන්නේ” කියායි.—Der Spiegel නම් සඟරාව ඇසුරෙන්.

ප්‍රචණ්ඩත්වය ඇතුළත් වීඩියෝ ක්‍රීඩා

“ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළත් වීඩියෝ ක්‍රීඩාවලට අබ්බැහි වී සිටින අය සැබෑ ප්‍රචණ්ඩ ක්‍රියාවක් දුටු විට ඒවාට කිසිම සංවේදී බවක් නොපෙන්වන බව” එක්සත් ජනපදයේ කළ එක් සමීක්ෂණයකින් හෙළි වුණා. එමෙන්ම එවැනි ක්‍රීඩා නරඹන අයට තිබෙන්නේ “ප්‍රකෝපකාරී හා දරුණු සිතුවිලි බවත්, ඔවුන්ගේ හෘද ස්පන්දන වේගය වැඩි” බවත් එමගින් අනාවරණය වුණා. එම සමීක්ෂණයට යොදාගත් අයගෙන් එක් කණ්ඩායමකට ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළත් වීඩියෝ ක්‍රීඩා දර්ශනයකුත්, අනික් කණ්ඩායමට ප්‍රචණ්ඩ ක්‍රියා ඇතුළත් නැති වීඩියෝ ක්‍රීඩා දර්ශනයකුත් පෙන්වූවා. ඉන්පසුව සැබෑ ප්‍රචණ්ඩ ක්‍රියාවක් ඇතුළත් වීඩියෝ දර්ශනයක් මෙම කණ්ඩායම් දෙකටම නැරඹීමට සැලැස්වූවා. ඉන් බලාපොරොත්තු වුණේ ඔවුන්ගේ හෘද ස්පන්දන වේගය හා එවැනි ක්‍රියාවලට දක්වන සංවේදී හා අසංවේදී බව පරීක්ෂා කිරීමයි. “ප්‍රචණ්ඩත්වය ඇතුළත් වීඩියෝ ක්‍රීඩා දර්ශනය නැරඹූ අය, සැබෑ ප්‍රචණ්ඩ ක්‍රියාවක් ඇතුළත් වීඩියෝ දර්ශනයට සංවේදී නොවූ බව” එමගින් පෙනී ගියා.