Skip to content

පටුනට යන්න

දෙවිට නමස්කාර කිරීමෙන් ප්‍රීතිය අද්දකින්න පුළුවන්ද?

දෙවිට නමස්කාර කිරීමෙන් ප්‍රීතිය අද්දකින්න පුළුවන්ද?

බයිබලයෙන් පිළිතුරක්

දෙවිට නමස්කාර කිරීමෙන් ප්‍රීතිය අද්දකින්න පුළුවන්ද?

“මට දෙවියන් කෙරෙහි විශ්වාසයක් තියෙනවා. ඒ වගේම මම දෙවියන්ට ආදරෙයි. ඒ වුණත් පල්ලි යන එක නම් හරිම නීරස දෙයක්” කියා එක් ක්‍රිස්තියානි තැනැත්තියක් පැවසුවා. ඔබටත් හැඟෙන්නේ එලෙසද? අද බොහෝදෙනෙකුට නම් දෙවිට නමස්කාර කිරීම නීරස දෙයක් වී තිබෙනවා. ඔවුන්ට ඉන් කලකිරීම් ඇති වී තිබෙන අතර තෘප්තියක්ද ලැබී නැහැ. මේ හේතු නිසා ඔවුන් තමන් කැමති ආකාරයට දෙවිට නමස්කාර කිරීමට තෝරාගෙන තිබෙනවා.

ඒත් එවැනි නමස්කාර ක්‍රමයක් තෝරාගැනීමෙන් ඔවුන් සෑහීමට පත් වී තිබෙනවාද? නැහැ. ඊට හේතුව ඔවුන් කලින් අද්දැක්ක දේවල්ම නැවතත් අද්දැකීමට සිදු වී තිබීමයි.

ඒ නිසා මෙවැනි ප්‍රශ්නයක් මතු වෙනවා. බයිබලයේ ඇති මඟ පෙන්වීම්වලට අනුව ජීවිතය හැඩගස්වා ගැනීමෙන් ප්‍රීතිය අහිමි වෙනවාද? කොහෙත්ම නැහැ. උදාහරණයක් ලෙස එක් ගීතිකාකරුවෙක් පැවසූ දෙය සලකා බලන්න. “එන්න, යෙහෝවාට ගායනා කරමු. . . . එන්න, නමස්කාර කරමින් වැඳ වැටෙමු. අපේ මැවුම්කාර යෙහෝවා ඉදිරියේ දණ ගසමු.”—ගීතාවලිය 95:1, 6.

තවත් ගීතිකාකරුවෙක් යෙහෝවා දෙවි කෙරෙහි තිබෙන ඔහුගේ අගය ප්‍රකාශ කළේ “ඔබ පමණක් මුළු පොළොව කෙරෙහි ඉතාම උසස්” කියායි. යෙහෝවා දෙවිව බයිබලයේ හඳුන්වා තිබෙන්නේ “සන්තෝෂවත් දෙවි” ලෙසයි. ඒ නිසා ඔහුට නමස්කාර කරන්නන් අතීතයේදී මෙන්ම අදත් ප්‍රීතියෙන් සිටිනවා.—ගීතාවලිය 83:17; 1 තිමෝති 1: 11.

ප්‍රීතියට දායක වන හේතු

යෙහෝවා දෙවිට නමස්කාර කිරීමේදී සැබැවින්ම ප්‍රීතියක් ලැබීමට නම්, ඔහු අපි වෙනුවෙන් ප්‍රේමය පෙන්වීම සඳහා කර තිබෙන දේවල් අප මුලින්ම දැනගත යුතුයි. දෙවි තම ප්‍රේමය අපට පෙන්වා ඇති විශිෂ්ටතම ආකාරය මෙයයි. එනම් ඔහු “ලෝකයට මොන තරම් ප්‍රේම කළාද යත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.”—යොහන් 3:16.

බයිබලයේ පවසන ආකාරයට දෙවිගේ කැමැත්ත නම් “සියලු ආකාර මිනිසුන් ගැලවීම ලැබීමත් සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක් ලබාගැනීමත්ය.” (1 තිමෝති 2:3, 4) ඉන් අදහස් කරන්නේ අපි බයිබලයේ තිබෙන සමහර පදවල තේරුම දැනගෙන සිටීම පමණක් නෙවෙයි. ඒ වෙනුවට අපි කියවන පදවල ‘හරය වටහාගැනීමත්’ ඒ සඳහා ගැඹුරින් අධ්‍යයනය කිරීමත් අවශ්‍යයි. (මතෙව් 15:10) එසේ කිරීමෙන් “දෙවි පිළිබඳ දැනුම” ලබාගැනීමට හැකි වන අතර ඉන් ප්‍රීතියක්ද ලැබිය හැකියි.—හිතෝපදේශ 2:1-5.

පළමුවෙනි සියවසේ මැසිඩෝනියා නගරයේ විසූ බෙරීයවරු එවැනි ප්‍රීතියක් අද්දැක්කා. දෙවිගේ සේවකයෙක් වූ පාවුල් ඔවුන්ට දෙවිගේ වචනය කියා දුන් විට “ඔවුහු මහත් උනන්දුවකින් වචනය පිළිගෙන, මේ දේවල් සැබෑදැයි බලන පිණිස දිනපතා ශුද්ධ ලියවිල්ල හොඳින් පරීක්ෂා කළෝය.” බයිබලය අධ්‍යයනය කිරීම නීරස දෙයක් නම් ඔවුන් එතරම් උනන්දුවෙන් අධ්‍යයනය කරයිද!—ක්‍රියා 17:11.

යේසුස් පැවසුවේ “ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇති අය සන්තෝෂවත්ය. මන්ද ඔවුහු තෘප්තිමත් වන්නෝය” කියායි. (මතෙව් 5:6) සාගින්නෙන් පෙළෙන අය දිගටම ආහාර ගැනීමෙන් ප්‍රීතියක් අද්දකිනවා හා සමානව දෙවි ගැන දැනුම ලබාගැනීමට ආශාවෙන් සිටින අයට එය ලැබුණු විට ඔවුන් ඉමහත් ප්‍රීතියක් ලබනවා. ඒ නිසා බෙරීයවරුන් මෙන් ඔවුන් ‘බොහෝදෙනෙක්ද අදහන්නන් බවට පත් වෙනවා.’—ක්‍රියා 17:12.

ජීවනයට යන මාර්ගය

පළමුවෙනි සියවසේ සිටි යෙහෝවා දෙවිට නමස්කාර කළ අය ‘මාර්ගයක්’ අනුගමනය කළා. බයිබලයේ ක්‍රියා පොතේ 9:2හි පෙන්වා ඇති පරිදි ‘මාර්ගය’ යන්නෙන් අදහස් කරන්නේ ඔවුන් අනුගමනය කළ අලුත් ජීවන රටාවයි. අදත් දෙවිට නමස්කාර කිරීමෙන් ප්‍රීතියක් අද්දැකීමට කැමති අය ඒ දෙයම කළ යුතුයි. තමන් සිතන ආකාරය හා තමන්ගේ හැසිරීම් රටාව බයිබලයේ සඳහන් ප්‍රතිපත්තිවලට අනුව වෙනස් කරගත යුතුයි.

‘ඔබේ කලින් හැසිරීම් රටාවට ආවේණික මුළා කරවනසුලු ආශාවලින් දූෂ්‍ය වන්නාවූ පරණ පෞද්ගලිකත්වය අහක දමන්න’ කියා පාවුල් එෆීසයේ සිටි ක්‍රිස්තියානීන්ගෙන් ඉල්ලා සිටියා. එපමණක්ද නොව “දෙවිගේ කැමැත්තට අනුව මවන ලද අලුත් පෞද්ගලිකත්වය පැළඳගත යුතු බවත්” ඔහු මතක් කර දුන්නා.—එෆීස 4:22-24. *

එම උපදෙස පිළිගෙන දෙවිගේ කැමැත්තට අනුව අපේ ජීවිතයේ වෙනස්කම් සිදු කරන විට අපට ජීවිතයේ ලොකු තෘප්තියක් මෙන්ම ප්‍රීතියක්ද අද්දකින්න පුළුවන්. අපි ජීවිතයේ කරන මෙම වෙනස්කම් ගැන දෙවි සතුටු වන බව දැනගැනීම ප්‍රීතියට හේතු වෙනවා. “සම්පූර්ණ ලෙස යෙහෝවාව සතුටු කිරීමේ අරමුණින්, ඔහුට ඔබින ලෙස ගමන් කිරීමට ඔබට හැකියාව දෙන මෙන් ඉල්ලන්නෙමු” කියා පාවුල් කොලොස්සියේ සිටි ක්‍රිස්තියානීන්ට පැවසුවේ ඒ නිසයි.—කොලොස්සි 1:10.

දෙවිව “සම්පූර්ණ ලෙස” සතුටු කිරීමට හැකියාව අපට තිබෙනවා. එසේ කළ හැකි වන්නේ ඔහු අපට සමාව දෙන නිසයි. අපි සෑම කෙනෙක්ම පව් කරනවා. ඒ නිසා අපි සෑම කෙනෙකුටම දෙවිගේ සමාව ලබාගැනීම අවශ්‍යයි. පාවුල්, 1 තිමෝති 1:15හි පවසන්නේ “ක්‍රිස්තුස් යේසුස් ලෝකයට ආවේ පව්කාරයන්ව ගලවාගැනීම” සඳහා කියායි. යේසුස් තම ජීවිතය අප වෙනුවෙන් පූජා කිරීම නිසා අපේ පව්වලට සමාව ලබාගැනීමට හැකියාව අපට තිබෙනවා. දෙවිට නමස්කාර කරන කෙනෙකු අතින් යම් වරදක් සිදු වූ විට එය ඔහුගේ සිතට ලොකු වදයක් වෙනවාට කිසිම සැකයක් නැහැ. ඒත් ඔහුට දෙවිගෙන් සමාව ලබාගත හැකි කියා දැනගැනීම මහත් සහනයක්. මේ නිසා ඔහුට දෙවි ඉදිරියේ නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සිටින්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔහු දෙවිගේ කැමැත්ත කරන තාක් කල් තමන්ගේ පාපවලට දෙවිගෙන් සමාව ලබාගත හැකි බව දැනගැනීමෙන් ප්‍රීතියක් අද්දකින්නත් හැකි වෙනවා.

ප්‍රීතිවීමට තවත් හේතු

යම් කෙනෙක් දෙවිට නමස්කාර කිරීමට තෝරාගැනීමේදී ඔහු තනි වෙන්නේ නැහැ. පුරාණයේ සිටි දෙවිගේ සේවකයෙක් හා ගීතිකාකරුවෙක් වූ දාවිත් මෙසේ පැවසුවා. “‘යෙහෝවා දෙවිගේ ගෘහයට අපි යමු’ යයි ඔවුන් මට කී විට මම සතුටින් පිනා ගියෙමි.” (ගීතාවලිය 122:1, නව ලොව පරිවර්තනය NW) දෙවිට නමස්කාර කරන අනිකුත් සාමාජිකයන් සමඟ දිගටම රැස්වීම්වලට සහභාගි වීමෙන් අපේ ප්‍රීතිය තවත් වැඩි වෙනවා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට සහභාගි වීමෙන් පසු එක් තැනැත්තෙක් මෙසේ පැවසුවා. ‘ඒ අය අපිව සාදරයෙන් පිළිගත්තා. ඔවුන් අතරේ ලොකු එකමුතුකමක් දකින්න තිබුණා. තරුණ අය ඇඳ පැළඳ සිටි ආකාරය වගේම ඔවුන්ගේ හැසිරීමත් හරිම ඉහළයි. ඒ දරුවන් දෙමව්පියන්ට ලොකු ආඩම්බරයක්. ඒ වගේ රැස්වීමකට මට ආරාධනා කළ එක ගැන මම හුඟක් ස්තුතිවන්ත වෙනවා.’

ඔබටත් යෙහෝවා දෙවිට ප්‍රීතියෙන් නමස්කාර කිරීමට අවස්ථා උදා වෙන්න පුළුවන්. දෙවිට නමස්කාර කිරීමෙන් දාවිත් මහත් ප්‍රීතියක් අද්දැක්කා. “සතුටින් යෙහෝවා දෙවිට සේවය කරන්න. ප්‍රීති ඝෝෂා නඟමින් ඔහු ඉදිරියට එන්න” කියා දාවිත් පැවසුවේ ඒ නිසයි. (ගීතාවලිය 100:2) නිසි ආකල්පයක් ඇතුව දෙවිට නමස්කාර කරන සෑම කෙනෙකුටම ඉන් මහත් ප්‍රීතියක් අද්දකින්න හැකි වෙනවාට කිසිම සැකයක් නැහැ.

[පාදසටහන]

^ 14 ඡේ. එෆීස 4වන පරිච්ඡේදය හා කොලොස්සි 3වන පරිච්ඡේදය කියවා බැලීමෙන් අලුත් පෞද්ගලිකත්වයක් පැළඳගැනීමට ඇතුළත් වන දේ ගැන පැහැදිලිව දැනගත හැකියි.

මේ ගැන ඔබ සිතුවාද?

සැබෑ නමස්කාරය තුළ ප්‍රීතිය අද්දැකීමට දායක වන්නේ මොනවාද?1 තිමෝති 2:3-6.

යේසුස්ගේ ජීවිත පූජාව අපට ප්‍රීතියක් ලබා දෙන්නේ කෙසේද?1 තිමෝති 1:15.

දෙවිට ප්‍රීතියෙන් නමස්කාර කිරීමට රැස්වීම් උපකාරවත් වන්නේ කෙසේද?ගීතාවලිය 100:1-5.

[10වන පිටුවේ පින්තූරය]

අන් අය සමඟ එකට බයිබලය අධ්‍යයනය කිරීමෙන් ප්‍රීතිය අද්දැකිය හැකියි