Skip to content

පටුනට යන්න

නොසිතූ විරූ පරාජයක්!

නොසිතූ විරූ පරාජයක්!

නොසිතූ විරූ පරාජයක්!

ස්පාඤ්ඤයේ පිබිදෙව්! ලේඛක විසින්

මීට අවුරුදු 400කට පමණ පෙර ඉංග්‍රීසි ඕඩයේ (යුරෝපය සහ එංගලන්තය අතර පිහිටි පටු මුහුදු තීරය) සිදු වූ දරුණු සටනක් ගැන අපි දැන් සලකා බලමු. එය එංගලන්තයේ රෙපරමාදු භක්තික පළමුවන එලිසබෙත් රැජිනගේ හමුදාව හා ස්පාඤ්ඤයේ කතෝලික භක්තික දෙවන ෆිලිප් රජුගේ හමුදාව අතර ඇති වූ සටනයි. එදා සිටි පොදු ජනයා මෙය ‘ධර්මිෂ්ඨයන් සහ දුෂ්ටයන් අතර ඇති වූ සටනක් ලෙස සිතූ නිසා ඔවුන් එය ඉතා වැදගත් කොට සැලකුවා’ යයි එක් පොතක සඳහන් වෙනවා.—එම පොත The Defeat of the Spanish Armada.

මෙම සටනට ස්පාඤ්ඤයෙන් ගිය විශාල නැව් කණ්ඩායම හැඳින්වූයේ ආමඩා කියලයි. මෙය ඉංග්‍රීසි ජාතිකයන් එවකට දැක තිබූ ‘විශාලතම මෙන්ම බලවත්ම නාවික හමුදා කණ්ඩායමයි.’ කොහොමනමුත් මෙම හමුදාව බලාපොරොත්තු වූ ආකාරයට ජය අත් කරගැනීමට නොහැකි වීම කනගාටුවට කාරණයක්! මෙම සටනේදී බොහෝදෙනෙකුට තම ජීවිත අහිමි වුණා. රටවල් දෙකක් අතර මහ මුහුදේ ඇති වූ මෙම දරුණු සටනට හේතු වූයේ කුමක්ද?

දැඩි ප්‍රයත්නයක්

මෙම සටන ඇති වීමට හේතු කිහිපයක් බලපෑවා. එක හේතුවක් නම් ඉංග්‍රීසි ජාතික මුහුදු කොල්ලකරුවන්ගෙන් ස්පාඤ්ඤ නැව්වලට තිබූ තර්ජනයයි. තව හේතුවක් වුණේ ස්පාඤ්ඤ ජාතිකයන් හා ලන්දේසීන් අතර ඇති වූ අරගලයකදී එලිසබෙත් රැජින ලන්දේසීන්ට සහයෝගය දැක්වීමයි. ස්පාඤ්ඤයේ කතෝලික රජුට, එංගලන්තයේ සිටි කතෝලික භක්තිකයන් රෙපරමාදු ආගමට හැරීම වැළැක්වීමට තිබූ අවශ්‍යතාවත් තවත් හේතුවක් ලෙස නම් කළ හැකියි. ස්පාඤ්ඤයෙන් පිටත් වූ මෙම යුධ නැව්වල කතෝලික පූජකයන් සහ උපදේශකයන් 180දෙනෙක් පමණ සිටි අතර සටනට පිටත් වීමට පෙර මොවුන් තමන්ගේ පාපවලට සමාව ලබාගත යුතු වුණා.

මෙම යුද්ධය ගැන ස්පාඤ්ඤ ජාතිකයන්ට තිබූ ආකල්පය පිළිබඳව එවකට සිටි ප්‍රසිද්ධ පූජකයෙක් මෙසේ අදහස් දැක්වූවා. ‘දෙවි පියාණන් අපේ නැවේ කපිතාන්වරයායි. කතෝලික ආගම ආරක්ෂා කිරීමට අපි කරන මෙම සටන මෙහෙයවන්නේ දෙවි පියාණන් නිසා අපිට භය වීමට කිසිම හේතුවක් නැහැ.’ ඉංග්‍රීසි ජාතිකයන් තුළ තිබූ ආකල්පය වූයේ, මෙම සටනින් ජය ගැනීමෙන් ඔවුන්ට රෙපරමාදු ආගම යුරෝපයේ අනිකුත් රටවලට පහසුවෙන්ම පතුරුවාලීමට හැකි වන බවයි.

ස්පාඤ්ඤයේ රජු සිතුවේ ඔහුගේ සැලැස්ම පරිදි එංගලන්තය පහසුවෙන්ම යටත් කරගත හැකියි කියායි. මෙම යුද්ධය මෙහෙය වීම සම්බන්ධයෙන් ඔහු බොහෝ උපදෙස් දුන්නා. මෙම නැව්, ඉංග්‍රීසි ඕඩය දිගේ ගොස් ෆ්ලාන්ඩර්ස්හි * ස්පාඤ්ඤ ජාතික ජෙනරාල්වරයෙක් වන පාර්මා ආදිපාදිවරයාව සහ ඔහුගේ සොල්දාදුවන් 30,000දෙනාව මෙම ගමනට එකතු කරගත යුතු වුණා. ඉන්පසු මෙම හමුදාව එංගලන්ත වෙරළ තීරයට ගොඩ බැස, ලන්ඩන් නගරය යටත් කරගැනීමට පා ගමනින් යා යුතු වුණා. එංගලන්තයේ සිටින කතෝලික ජනයා තමන්ගේ රෙපරමාදු රැජිනට දැක්වූ පක්ෂපාතකම අත්හැර ඔහුගේ කතෝලික හමුදාවට සහය දක්වයි කියා රජු උපකල්පනය කළා.

කෙසේනමුත් ෆිලිප් රජුගේ මෙම සැලැස්මේ යම් දෝෂ දක්නට තිබුණා. එංගලන්තය යටත් කරගැනීමට දෙවියන් තමන්ගේ හමුදාවට සහය දෙයි කියා ඔහු සිතුවද කාරණා දෙකක් ගැන ඔහුගේ අවධානය යොමු වී තිබුණේ නැහැ. එනම් ෆ්ලාන්ඩර්ස්වලින් ජෙනරාල් පාර්මා ඇතුළු ඔහුගේ හමුදාව මෙම ගමනට එක් කරගැනීමේදී මුහුණ දීමට සිදු වන අසීරුකම් හා ඉංග්‍රීසි හමුදාව කොතරම් ප්‍රබලද යන්න ගැන ඔහු දැන සිටියේ නැහැ.

විශාල හමුදාවක්

දෙවන ෆිලිප් රජ විසින් ආමඩා නැව් කණ්ඩායමේ නාවික සේනාධිපති ධූරය සඳහා, මෙඩිනා-සිඩෝනියා නම් ආදිපාදවරයාව පත් කළා. නාවික හමුදාවක් මෙහෙය වීමට ඔහු සමර්ථයෙක් නොවූ නමුත් හොඳ සංවිධායකයෙක් ලෙස නම් දරා තිබුණා. කෙසේවෙතත් මෙම නාවික සේනාංකයේ අනිකුත් ප්‍රධානීන්ගේ සහය ඇතුව සටන සඳහා සැලසුමක් ක්‍රියාත්මක කිරීමට ඔහුට හැකි වුණා. සටන අතරතුර ඔවුන් පණිවුඩ හුවමාරු කරගන්නා ආකාරය ගැන ඔවුන් සැලසුම් කළා. එමෙන්ම මෙම නැව් අතරින් කුමන නැව් එකට ගමන් කරනවාද කියාත්, ඒවා ගමන් කළ යුතු අනුපිළිවෙළ ගැනත් ඔවුන් සැලසුම් කළා. තවදුරටත් ඇති තරම් ආහාර පාන ඔවුන් සතුව තබාගැනීමටත් ඔවුන් සැලැස්මක් යෙදුවා.

ස්පාඤ්ඤ යුධ කණ්ඩායමට රුවල් නැව් 130ක්, නාවිකයන් 8,000ක් සහ සොල්දාදුවන් 20,000ක් පමණ අයත් වුණා. දීර්ඝ කාලයක් පුරා කළ සියලු සැලසුම්වලින් පසු මෙම යුධ කණ්ඩායම, 1588 මැයි මස 29වන දින ලිස්බන් වරායෙන් ගමන ආරම්භ කළා. කොහොමනමුත් අයහපත් කාලගුණය ගමනට බාධා කිරීම නිසා ගමනේ වේගය අඩාළ වුණා. ඉන්පසු ස්පාඤ්ඤයේ වයඹ දෙසෙන් පිහිටි ලා කොරුනා නම් ස්ථානයට සේන්දු වූ මෙම නැව් කණ්ඩායම එහිදී නැව්වලට සිදු වූ හානි අලුත්වැඩියා කොට අවශ්‍ය ආහාර පානද සපයාගත්තා. නාවික සෙන්පති මෙඩිනා-සිඩෝනියා තම සොල්දාදුවන් මුහුණ දුන් මෙම තත්වය ගැන එතරම් සතුටට පත් නොවූ නිසා ඒ පිළිබඳව IIවන ෆිලිප් රජුට ලියා දැන්වූවා. සෙන්පතියාගේ අදහස වූයේ එංගලන්තය යටත් කරගැනීමට දරන මේ සැලැස්ම සාර්ථක කරගත නොහැකි බවයි. ඒත් රජුගේ අණ පරිදි සැලසුම දිගටම ක්‍රියාත්මක කිරීමට ඔහුට සිදු වුණා. ඉන් මාස දෙකකට පසු මෙම නාවික කණ්ඩායම ඉංග්‍රීසි ඕඩයට ළඟා වුණා.

ඉංග්‍රීසි ඕඩයේ සටන ඇරඹේ!

මේ අතරතුරේදී ස්පාඤ්ඤ නැව් කණ්ඩායමක් තම රට ආක්‍රමණය කිරීමට පැමිණෙන බව ඉංග්‍රීසි ජාතිකයන් දැනගත්තා. මෙම නැව් එංගලන්තයේ නිරිතදිගින් පිහිටා තිබෙන ප්ලයිමවුත් නම් ප්‍රදේශයට ළඟා වන විට ඉංග්‍රීසි ජාතිකයන් එහි රැක සිටියා. මෙම යුධ කණ්ඩායම් දෙකටම තිබුණ නැව් ප්‍රමාණය සමානයි. නමුත් ස්පාඤ්ඤ නැව්, ඉංග්‍රීසි නැව්වලට වඩා ප්‍රමාණයෙන් විශාල මෙන්ම පෙනුමෙන් ශක්තිමත් වූවද වේගය අතින් ඉංග්‍රීසි නැව්වලට හිමි වන්නේ පළමු තැනයි. ඉංග්‍රීසි ජාතිකයන්ට දුර තියා වෙඩි තැබිය හැකි තුවක්කු තිබුණත්, ස්පාඤ්ඤ නැව්වල තිබුණේ එතරම් දුරකට වෙඩි තැබිය නොහැකි තුවක්කු වර්ගයි. ස්පාඤ්ඤ හමුදාවේ සැලැස්ම වූයේ ඉංග්‍රීසි නැව්වලට ඇතුල් වී ඒවා අත්පත් කරගැනීමයි. නමුත් ඉංග්‍රීසි ජාතිකයන්ගේ සැලැස්ම වූයේ ස්පාඤ්ඤ නැව් දුරදීම මුහුදුබත් කිරීමයි.

ඉංග්‍රීසි ජාතිකයන්ට දුර තියා වෙඩි තැබිය හැකි තුවක්කු තිබුණු බවත් ඔවුන්ගේ නැව් වේගයෙන් ගමන් කළ හැකි ඒවා බවත් දැනගත් ස්පාඤ්ඤ නාවික සෙන්පති තමන්ගේ නැව් ආරක්ෂා කිරීමට සැලැස්මක් යෙදුවා. ආමඩා නැව් කණ්ඩායමේ ශක්තිමත් නැව් දෙකක් දෙපැත්තේ තිබෙන ආකාරයට අනිකුත් නැව් සියල්ලම අඩසඳක් හැඩයට ස්ථාන ගත කළා. සතුරන්ගේ නැව් ඔවුන් කරා පැමිණෙන විට ශක්තිමත් නැව් දෙකෙන් අනිත් නැව් ආරක්ෂා කළ හැකි වුණා.

ඉංග්‍රීසි ඕඩයේදී සිදු වූ සටන් එතරම් දරුණු නොවුණත් එම සටන් දෙකේදීම ස්පාඤ්ඤයේ නැව් විනාශ නොවූයේ ඔවුන්ගේ සෙන්පති දියත් කළ එම සැලැස්ම නිසයි. මේ නිසා ඉංග්‍රීසි ජාතිකයන් ස්පාඤ්ඤ හමුදාව දුර්වල කිරීමට මං සොයමින් සිටියා. ඔවුන්ට මේ සඳහා 1588 අගෝස්තු 7දා කදිම අවස්ථාවක් උදා වුණා.

කලින් සැලැසුම් කරගත් පරිදි ස්පාඤ්ඤ නැව් කැලැයිස් වරායෙහි නැංගුරම් ලා ගත්තේ ජෙනරාල් පාර්මා ඇතුළු ඔහුගේ හමුදාව මෙම ගමනට එක් කරගැනීම සඳහායි. ස්පාඤ්ඤ හමුදාවේ මෙම ක්‍රියාව ඔවුන්ව අද දැමුවේ මහා විපතකටයි! මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ඉංග්‍රීසි ජාතිකයන් වෙඩි බෙහෙත් පිරවූ නැව් අටක් ආමඩා නැව් දෙසට යවා ඒවා පුපුරවන්න සැලැස්වූවා. මෙම අනතුරෙන් බේරීම සඳහා ස්පාඤ්ඤ නැව් විසිරී ගියා. මුහුදු කුණාටු සහ දියවැල් නිසා මෙම නැව් උතුර දෙසට ගසාගෙන ගියා.

පසුවදා අවසාන සටන දියත් කළා. ස්පාඤ්ඤ නැව්වලට ප්‍රහාර එල්ල කිරීමට තරම් ළංවීමට ඉංග්‍රීසි ජාතිකයන්ට හැකි වුණා. බොහෝ නැව් කැඩී බිඳී ගිය අතර නැව් තුනක් සම්පූර්ණයෙන් විනාශ වී ගියා. මේ අවස්ථාවේදී ස්පාඤ්ඤ හමුදාවට පුපුරන ද්‍රව්‍යවල හිඟයක් ඇති වුණා.

තද කුණාටු සහිත කාලගුණය නිසා ඉංග්‍රීසි ජාතිකයන් සටන නතර කළා. මේ නිසා ආමඩා නැව් කණ්ඩායමට අඩසඳක් හැඩයට නැවතත් ස්ථානගත වීමට හැකි වුණා. පසුවදා සටනට මෙය හොඳ සූදානමක්. ඒත් අභාග්‍යයකට මෙන් පසුවදා පැවතුණු මුහුදු කුණාටු සහ දියවැල් නිසා මෙම නැව් වෙරළ දෙසට ගසාගෙන ගියා.

නැවතත් මෙම නැව් ගැඹුරු මුහුද දෙසට ගසාගෙන යන්න පටන්ගත්තේ සුළඟේ දිශාව වෙනස් වීම නිසයි. මේ අවස්ථාවේදී ඉංග්‍රීසි ජාතිකයන් විසින් බටහිර දෙසින් මාර්ගය හරස් කරගෙන සිටි නිසා ස්පාඤ්ඤ නැව්වලට තම මව්බිම කරා යාත්‍රා කිරීමට හැකි වුණේ නැහැ. එම කුණාටු දිගින් දිගටම පැවතීම නිසා ඔවුන්ව තව තවත් උතුරු දෙසටම ඇදී ගියා. කිසිවක් කරකියාගත නොහැකි තත්වයක සිටි මොවුන් සටන නවතා දමා යෑමට තීරණය කළා. උතුරු දෙසින් පිහිටි ස්කොට්ලන්තය වටා ගමන් කර, අයර්ලන්තය පසු කර තම රටට ඔවුන් පැමිණියේ හරියට පරංගියා කෝට්ටේ ගියා වගෙයි.

කුණාටුව කළ විනාශයක්

ස්පාඤ්ඤ ජාතිකයන් නැවත තමන්ගේ මව්බිම කරා යන විට බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දුන්නා. ඔවුන්ට අවශ්‍ය තරම් ආහාර පාන තිබුණේ නැහැ. ඔවුන්ගේ නැව් බොහෝමයක් කැඩී බිඳී ගොස් තිබුණු අතර තවත් සමහර ඒවා යාත්‍රා කිරීමට නොහැකි තත්වයකට පත් වී තිබුණා. අයර්ලන්ත වෙරළ ආසාන්නයේ තද කුණාටු සහිත කාලගුණයට ඔවුන්ට සති දෙකක් මුහුණ දීමට සිදු වුණා. මේ හේතු නිසා සමහර නැව් මුහුදුබත් වූ අතර තවත් ඒවා වෙරළේ හැපී සුනු විසුණු වී ගියා.

සටනට ගිය ආමඩා නැව් කණ්ඩායමේ ප්‍රථම නැව තම මව්බිම කරා පැමිණියේ 1588 සැප්තැම්බර් 23වෙනිදායි. ඉතිරි නැව්වලින් ආපසු පැමිණියේ නැව් 60ක් පමණයි. දිවි රැකගෙන නැවත පැමිණීමට හැකි වූයේ සටනට ගිය අයගෙන් අඩකට පමණක් වීම මොන තරම් කනගාටුදායකද! බොහෝ අය සටනින් මිය ගිය අතර තවත් සමහර අය මුහුදේ ගිලී මිය ගියා. මෙලෙස දහස් ගණනකගේ ජීවිත අහිමි වුණා. ස්පාඤ්ඤ වෙරළට සේන්දු වූ අයටද තමන්ගේ ජීවිත බේරාගැනීමට මහත් සටනක නිරත වෙන්න සිදු වුණා.

දිවි බේරාගෙන වෙරළට ළඟා වූ අය අද්දුටු ඛේදජනක දෙය ගැන මුලින් සඳහන් කළ පොතේ දැක්වෙන්නේ මෙසේයි. ‘සමහර නැව්වල අවශ්‍ය තරම් ආහාර පාන නොතිබීම නිසා සමහර අය සාගින්නෙන් මිය ගියා.’ තවත් නැවක් මුහුදුබත් වූයේ ‘එහි රුවල් බෑමට හා නැංගුරම් ලෑමට කිසි කෙනෙක් සිටියේ නැති නිසා’ බව තවදුරටත් එහි වාර්තා වෙනවා.

ඉංග්‍රීසි ජාතිකයන් ලද ජයග්‍රහණය

ස්පාඤ්ඤයෙන් පැමිණි කතෝලික හමුදාව පරාජය කිරීමට හැකි වීම ගැන ඉංග්‍රීසි ජාතිකයන් සතුටින් ඉපිල ගියා. දෙවි ඔවුන්ගේ පැත්තේ සිට ඔවුන්ට උපකාර කළ බව ඔවුන් සිතුවා. ඔවුන්ගේ මේ ජයග්‍රහණය දෙවි විසින් ලබා දුන් එකක් බව සනිටුහන් කිරීමට පදක්කමක් මත මෙසේ සටහන් කළා. “යෙහෝවා දෙවි මැවූ සුළඟින් ඔවුහු 1588දී ගසාගෙන ගියහ.”

‘වර්ෂ 1763දී මහා බ්‍රිතාන්‍යය ලෝකයේ බලවත්ම අධිරාජ්‍යය බවට පත් වූ’ බව එක් පොතක සඳහන් වෙනවා. (එම පොත Modern Europe to 1870) “වර්ෂ 1763දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය මුළු ලෝකය පුරාම පැතිර තිබුණේ රෝම අධිරාජ්‍යය තම අණසක පතුරාව තිබූ ආකාරයට වූවද එය රෝම අධිරාජ්‍යයට වඩා විශාල වුණා” කියා තවත් පොතක සඳහන් වෙනවා. (එම පොත Navy and Empire) බ්‍රිතාන්‍යය, කලක් තම යටත් විජිතයක්ව පැවති අමෙරිකා එක්සත් ජනපදය සමඟ එක්වීමෙන් ප්‍රබල ලෝක බලයක් වන එංගලන්ත-අමෙරිකානු ලෝක බලය බවට පත් වුණා.

බයිබලයේ සඳහන් අනාවැකි ගැන උනන්දුවක් දක්වන අය ලෝක අධිරාජ්‍යයන්ගේ නැඟීම් සහ වැටීම් ගැන සොයා බලනවා. ලෝක ඉතිහාසයේ බලවත් අධිරාජ්‍යයන් වන ඊජිප්තුව, ඇසිරියාව, බැබිලෝනිය, මේද-පර්සියාව, ග්‍රීසිය, රෝමය සහ අවසාන අධිරාජ්‍යය වන එංගලන්ත-අමෙරිකානු ලෝක බලය ගැන තොරතුරු බයිබලයේ පුළුල්ව විස්තර කර තිබෙනවා. මේ ලෝක අධිරාජ්‍යයන්ගේ නැඟීම් හා වැටීම් ගැන බයිබලයේ බොහෝ කලකට පෙර පවසා තිබුණා.—දානියෙල් 8:3-8, 20-22; එළිදරව් 17:1-6, 9-11.

වර්ෂ 1588 ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් කියා පැවසිය හැකියි. ස්පාඤ්ඤය අන්ත පරාජයට ලක් කිරීමෙන් අවුරුදු 200කට පමණ පසු මහා බ්‍රිතාන්‍යය ලෝකයේ බලවත්ම අධිරාජ්‍යය බවට පත්වීමෙන් බයිබලයේ සඳහන් අනාවැකියක් එයාකාරයෙන්ම ඉටුවීම කොතරම් විශිෂ්ට දෙයක්ද!

[පාදසටහන]

^ 8 ඡේ. මෙම ප්‍රදේශය ස්පාඤ්ඤ නෙදර්ලන්තය නමින් හැඳින්වූ රටේ කොටසක්ව පැවතියා. දහසයවෙනි සියවසේ ස්පාඤ්ඤය විසින් පාලනය කළ මෙම ප්‍රදේශයට උතුරු ප්‍රංශය, බෙල්ජියම සහ ඕලන්දය ඇතුළත් වුණා.

[24වන පිටුවේ රූප සටහන/සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

ආමඩා නැව් ගමන් ගත් මාර්ගය

​——​ සටනට ගිය මාර්ගය

–– ආපසු පැමිණි මාර්ගය

X සටන්

ස්පාඤ්ඤය

ලිස්බන්

ලා කොරුනා

සැන්ටැන්ඩර්

ෆ්ලාන්ඩර්ස්

කැලැයිස්

ස්පාඤ්ඤ නෙදර්ලන්තය

එක්සත් නෙදර්ලන්තය

එංගලන්තය

ප්ලයිමවුත්

ලන්ඩන්

අයර්ලන්තය

[24වන පිටුවේ පින්තූරය]

දෙවන ෆිලිප් රජු

[හිමිකම් විස්තර]

Biblioteca Nacional, Madrid

[24වන පිටුවේ පින්තූරය]

පළමුවන එලිසබෙත් රැජින

[24, 25වන පිටුවේ පින්තූරය]

ස්පාඤ්ඤ ආමඩාවේ නාවික සෙන්පති මෙඩිනා-සිඩෝනියා ආදිපාදිවරයා

[හිමිකම් විස්තර]

Cortesía de Fundación Casa de Medina Sidonia

[25වන පිටුවේ හිමිකම් විස්තර]

Museo Naval, Madrid